වසර 50ක් පිරෙන පූර්ණ නිදහසේ අසිරිය | සිළුමිණ

වසර 50ක් පිරෙන පූර්ණ නිදහසේ අසිරිය

1972 මැයි 22 වැනි දින මහනුවර දළදා මාලිගාව අබියස පැවැති ජනරජ උත්සවයේදී එවකට අගමැති ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතිය අමතන අවස්ථාව.

- බ්‍රිතාන්‍ය රාජාණ්ඩු ක්‍රමයේ සියලු බැමි සිඳ දැමුවේ 1972 ව්‍යවස්ථාවෙන්.
- ජාතික අරමුණින් උත්සව සැමරීමට පාලකයන්ට ජාතික අරමුණක් නැහැ
- නිදහස් දිනයට වගේ ම ජනරජ දිනයටත් වැදගත් තැනක් හිමි විය යුතුයි.

ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ පෙබරවාරි 04 වැනිදා දිනය අප උත්සවශ්‍රීයෙන් සමරන බව සැබෑවකි. එහෙත් ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් පූර්ණ නිදහස ලැබුවේ 1972 මැයි 22 වැනිදා ය. එනම් අදින් හරියටම වසර 50 කට පෙර ය. එම නිසා ම මැයි 22 වැනිදා දිනය ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස නම් කෙරිණි. ලංකාව යනුවෙන් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීමට පටන් ගනු ලැබුවේ 1972 මැයි 22 වැනිදා සිට ය.

එහෙත් එහි එතරම් ලොකු වෙනසක් ජනතාවට නොවැටහෙන්නේ අප තවමත් ශ්‍රී ලංකාව සහ ලංකාව යනුවෙන් දෙයාකාරයටම ව්‍යවහාර කරන බැවිනි. ඉංග්‍රීසි භාවිතයේදී ‘සිලෝන්‘, ‘ශ්‍රී ලංකා‘ නමින් වෙනස් වූ අතර එය අප දෙයාකාරයටම භාවිත කෙරෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පූර්ණ නිදහස ලැබූ ජනරජ දිනය ගැන අප සාකච්ඡා කරනු ලබන්නේ එවැනි පසුබිමක් තුළ ය.

“1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබුණු දිනය අපි මහ ඉහළින් කතා කළාට 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාවට තිබුණේ එංගලන්තයේ ආධිපත්‍යය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වුණේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කළ අග්‍රාණ්ඩුකාරයා. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව සම්මත කළ පනතක් වුවත් නීතිගත වුණේ නැහැ. අධිකරණයේ නඩු විභාග වුණාට තීන්දුව දුන්නේ එංගලන්තයෙන්. ඒ දවස්වල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එංගලන්තයේ මහ රැජිනගේ අත්සනින් තීන්දුව ලැබෙන්න ඕනෑ. මට මතකයි 71 කැරැල්ලෙ වැරැදිකරුවන්ට උසාවි තීන්දුව පවා දුන්නේ මහ රැජිනගේ අණ පනත්වලට විරුද්ධව ක්‍රියා කළා කියලා. 48 අපි බ්‍රිතාන්‍යෙයන් නිදහස ලැබුවාට අපේ රටේ හමුදාව හැඳින්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව කියලා. වරාය, ගුවන් තොටුපොළ අයිති වෙලා තිබුණේ එංගලන්තයට. 1948 දී අපේ රටට හිමි වී තිබුණු ඩොමිනියන් නිදහස හෙවත් අර්ධ නිදහස පූර්ණ වශයෙන් ලැබුණේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඊට සමගාමීව ත්‍රිකුණාමලය වරාය, කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා රජයට අයත් වුණා. රාජකීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වුණා. රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව වුණා. අපේ රට බ්‍රිතාන්‍ය සමඟ තිබූ සියලු බැමිවලින් නිදහස් වුණා.“ යනුවෙන් විස්තර කළේ මහාචාර්ය සුමනසිරි ලියනගේ ය.

ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම 1972 මැයි 22 වැනි දින සිදුවුව ද ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී මුල් වරට හඬක් නැඟුවේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ පමණි. ඒ 1931 වර්ෂයේදී ය. ඉන් අනතුරුව වාමාංශික දේශපාලනයට එකතු වූ රැඩිකල් තරුණයින් ද පූර්ණ නිදහස උදෙසා හඬ නැඟූ නමුත් නිදහස් සටනට පුරෝගාමී වූ නායකයන් එදා ඉල්ලා සිටියේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හා වැඩි බලතල පමණි.

“ඇත්ත වශයෙන් ම ලංකා සමසමාජ පක්ෂය තමයි ආරම්භයේ පටන් පූර්ණ නිදහස වෙනුවෙන් හඬ නැඟුවේ. 1972 දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වුණේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා. ඒකට සියලු පක්ෂ සහභාගි වුණා. 1972 මැයි 22 ජනරජ දින උත්සවයේදී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කතා කළා.

කොහොමත් පූර්ණ නිදහස ලැබූ ශ්‍රී ලංකා ජනරජයට ලංකා සමසමාජ පක්ෂය ලොකු දායකත්වයක් දුන්නා.“ යනුවෙන් ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා සඳහන් කළේ ය.

දිනකර හා දිනමිණ පුවත්පත්වල හිටපු කර්තෘවරයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් කුරේ පැවසුවේ අර්ධ නිදහස ලබා සිටි ඉන්දියාව, වසර 1 1/2 කින් පූර්ණ නිදහස ලැබූවත් ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීමට අවුරුදු 24 ක් ගත වූ බවයි. ඉන්දියාව බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලැබූ දිනය සහ ජනරජ දිනය උත්සවශ්‍රීයෙන් සමරන නමුත් ලංකාව ජනරජ දිනය අමතක කර දමා ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේ ය. “දැන් ඉන්න පරම්පරාව ජනරජ දිනයේ වැදගත්කම දන්නේ නැහැ. ඒ අය පෙබරවාරි 04 නිදහස් දිනයෙයි මැයි 22 ජනරජ දිනයෙයි වෙනස දන්නේ නැහැ.

මේ අවුරුද්දට ශ්‍රී ලංකාව පූර්ණ නිදහස ලබා, ජනරජයක් බවට පත්වී අවුරුදු 50 ක් වෙනවා. මේ අවුරුද්දේ ඉඳලා, ලංකාව ජනරජයක් බවට පත් කළ මැයි 22 දිනයට වැදගත්කමක් දෙනවා නම් ගොඩාක් වටිනවා.“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් කුරේ සඳහන් කළේ ය.

පෙබරවාරි 04 සහ මැයි 22 යන දිනයන් ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් වැදගත් වන නමුත් පොදු ජනතාවගේ ආර්ථික, සමාජ, දේශපාලනික පැවැත්ම සඳහා එය කොතෙක් දුරට වලංගු ද යන්න ගැටලුවක් බව පැවසුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ය.

1956 දී ඇතිවූ බණ්ඩාරනායක පෙරළිය පොදු ජනතාවගේ ජන ජීවිත වර්ධනය කිරීමට ගත් උත්සාහයක් බව පැවසූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් පෙරළියක් ඇති කළ යුගයක් වුවත් වාර්ගික බෙදීමක් ඇතිවූ බව ද පැවසීය. 

“මේ රටේ ජනතාව වෙනුවෙන් සම්පාදනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැටියට 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන් ම ඊට පෙර තිබූ රජයන්ට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය තිබුණේ නැහැ. 1970 දී සමගි පෙරමුණ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා ව්‍යවස්ථාව වෙනස් කිරීමට බහුතර බලය ලබා දෙන්න කියලා. ඒ වගේ ම 2/3 ක බලය සමගි පෙරමුණු රජයට ලැබුණා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ගැඹුරු, සරල පැහැදිලි ආකාරයට සකස් කරපු ව්‍යවස්ථාවක්. 1972 මැයි 22 ස්ථාපිත කළ ජනරජය එවකට පැවති රජය සෑම වසරකම උත්සවාකාරයෙන් සැමරුවා. ඒත් 1977 දේශපාලන පෙරළිය සමඟ මැයි 22 දින ජනරජ සැමරුම් උත්සව නැවතුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ නායකයා වන ඩී.ඇස්. සේනානායක විසින් පෙබරවාරි 04 දින ලබාගත් නිදහස උත්සවශ්‍රීයෙන් සැමරීම ආරම්භ කළා. අපේ රටේ උත්සව සැමරෙන්නේ ජාතික අරමුණකින් නෙමෙයි. දේශපාලන වුවමනාවන් අනුව පාලකයන්ගේ පැවැත්ම උදෙසා ජනරජ දිනය සැමරීම යටපත් වීමට හේතු වුණේ පාලකයන්ට ජාතික අරමුණු නැති නිසයි.“ යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක විස්තර කෙළේ ය.

මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ සියලු ජන කොටස් ආවරණය වන ආකාරයට සකස් කිරීමට අසමත් වී ඇති බවයි. ඊට අමතරව අගමැති වටා බලය කේන්ද්‍රගත වීම ද මෙහි ඇති තවත් දුර්වලතාවක් ලෙස ඔහු පැවසුවේ ය. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දිගුවක් ලෙස හැඳින්වූයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ ය. “1977 බලයට පත්වූ රජය 1994 දී වෙනස් වුණා. එතැන් සිට පත්වූ සියලුම ආණ්ඩුවලින් අපි ඉල්ලීමක් කළා නැවතත් ජනරජ දිනය සැමරීමේ වැදගත්කම ගැන. ඒත් අපේ ඉල්ලීම 1994 සිට පත්වූ සියලුම පාලකයන් ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා ලංකා සමසමාජ පක්ෂය තනිවම ලංකාවේ ජනරජ දිනය සමරනවා.“ යනුවෙන් සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා ය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පැවසුවේ ලංකාවේ උත්සවශ්‍රීයෙන් සැමරෙන සෑම දිනයක්ම දේශපාලකයන්ගේ ක්‍රීඩාවක් බවට පත්වී ඇති බව ය. දේශපාලනයෙන් තොරව ජනරජ දිනයේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, ජාතික අරමුණින් මැයි 22 දිනයට නව පණක් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් විය හැකි ය.

Comments