
- මම රාජපක්ෂ පවුලේ සමීප නෑයෙක් නෙමෙයි
- පාර්ලිමේන්තුවට ආවේ අවසන් මහ මැතිවරණයෙන්
පසුගියදා නව වැනි පාර්ලිමේන්තුවේ හිස් වූ නියෝජ්‍ය කථානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් පැවැතුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න අතරය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අජිත් රාජපක්ෂගේ නම යෝජනා කළ අතර, සමන්ප්‍රිය හේරත් විසින් ස්ථිර කරන ලදී. නව වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පසුගියදා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, අනතුරුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී නැවතත් එම ධුරයට තේරී පත්විය. අනතුරුවද යළිත් පසුගිය 06 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඊට නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් කථානායකවරයා තීන්දු කළේ පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කථානායක තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවය. ඒ අනුව ඡන්ද 109 ක් ලබා ගනිමින් අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පුටුවට වැඩි ඡන්ද 31 කින් තේරී පත් වූ අතර, මන්ත්‍රිනි රෝහිණි කවිරත්නට ලබාගත හැකි වූයේ ඡන්ද 78 කි. මෙහිදි ඡන්ද 23 ක් අවලංගු වී තිබුණි.
අජිත් රාජපක්ෂ යනු කවුරුන්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔහු බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ නියෝජ්‍ය කථානායක ලෙස පත් වීමෙන් අනතුරුවය. අජිත් රාජපක්ෂ වාසගම අනුව බොහෝ දෙනෙක් හැදින්වූයේ ඔහු රාජපක්ෂ පවුලේ ඥාතියකු හැටියටය. ඔහු සිළුමිණ පුවත්පතට අප හා එක්වූයේ තමා කවුරුන්ද යන්න පිළිබඳ අප කළ විමසීම්වලට පිළිතුරු දෙමිනි.
“බොහෝ දෙනෙක් මම රාජපක්ෂ පවුලේ කෙනෙක් විදියටයි හඳුන්වන්නේ. ඒ මමත් රාජපක්ෂ කෙනෙක් නිසා. ඒත් මහින්ද රාජපක්ෂ පවුලත් අපිත් අතර ළඟ ඥාතිත්වයක් නැහැ. දුරින් අපි නෑයෝ. ඒ වගේම එදා සිට මහින්ද රාජපක්ෂයන් සහ අපේ පවුලත් අතර ලොකු හිතවත්කමක් තිබුණා. මගේ පියා දේශපාලනය නොකළත් සමාජ සේවයට කැපවූණු කෙනෙක්. ඒ නිසා මහින්ද රාජපක්ෂයන් සමඟ දේශපාලන හිතවත්කමකට මුල පිරුණා. එතුමා නීතිඥයෙක් නිසා අපේ නඩුවලට එතුමා කතා කළා. 1993 වසරේ මාව දේශපාලනයට ගෙනාවේ ඔහු.....“ අජිත් රාජපක්ෂ කතාවට මුල පුරන්නේය.
1974 ජනවාරි මස උපන් අජිත්ගේ උපන් ගම වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙරොටය. ව්‍යාපාරිකයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවකු වූ එස්. රාජපක්ෂ ඔහුගේ පියා වන අතර ගෘහණියක් වූ මව එම්.වී. පි. ආරියවතිය. ඇත්වටුව කනිෂ්ඨ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබු ඔහු කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ හුංගම විජයබා ජාතික පාසලෙනි.
“මම මුලින්ම දේශපාලනයට පිවිසෙන්නේ 1993 වසරේදි. ඒ බරවාකුඹුක බල මණ්ඩලයේ සංවිධායක වශයෙන්. 1997 දි එනම් මට වයස අවුරුදු 21 දි පළමු වරට වැඩි ම මනාපයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති වුණා. ඉන් අනතුරුව අවුරුදු 23 දි දකුණු පළාත් සභාවට තරග කර තේරී පත්වෙනවා. 2004 දි මම යළිත් දකුණු පළාත් සභාවටම තරග කර වැඩිම මනාපයෙන් තේරී පත්වෙනවා. 2009 වසරේදි තුන්වැනි වතාවටත් දකුණු පළාත් සභාවටම තේරි පත්වෙන අතර එහිදි මම සභානායක වගේම ආණ්ඩු පක්ෂ සංවිධායක වෙනවා. මම පාර්ලිමේන්තුවට ඉල්ලුම් කරන්නේ 2001 වසරේදී. ඒ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ අවස්ථාවේ මම දිස්ත්‍රිත්කයේ හතරවැනියා බවට පත්වුණා. නමුත් පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව හිමි වන්නේ නැහැ. 2015 මහ මැතිවරණයට මම ඉදිරිපත් වන්නේ නැහැ. යළිත් මම මහා මැතිවරණයකට ඉල්ලුම් කරන්නේ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි. ......“
අජිත් රාජපක්ෂ මෙරට අවසන් පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් තේරිපත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 6 වැනියා ලෙස මනාප 47,375 ක් ලබා ගනිමිනි. පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පළමු වරට පිවිසුණු ඔහු එතැන් සිට කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු සභාපති මණ්ඩලයේ සාමාජිකයකු ද විය.
අජිත් රාජපක්ෂ සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. සිය බිරිඳ නිල්මිණි කුමාරිය.
ගෘහණියක් වූ සිය බිරිය ස්වාමියාගේ කටයුතු වෙනුවෙන් හා සාමාන්‍ය පෙළට මුහුණ දෙන එකම පුතු වූ රවිදු රාජපක්ෂ වෙනුවෙන් සිය කාලය කැප කරන්නීය.
අජිත් රජපක්ෂ නියෝජ්‍ය කථානායවරයාට ඉදිරියේදි කළ යුතු වෙනස්කම් හා මුහුණ දිය යුතු අභියෝගයන් රැසකි. රටට ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමේ වගකීමද ඔහුට දැන් හිමිය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විනය හා ක්‍රියාකලාප පිළිබඳව අද බොහෝ දෙනා චෝදනා නඟන මෙවන් වකවානුවක ඔහු ඉදිරියේදි පාර්ලිමේන්තු සදාචාරය වෙනුවෙන් දරන්නේ කවර වගකීමක්ද?
“අද සමහර මන්ත්‍රිවරු මාධ්‍යය ඉදිරියේ විවිධාකාර හැසිරීම් ප්‍රදර්ශනය කරනවා. අද මන්ත්‍රිවරුන්ගේ හැසිරීම පිළිබඳ මහජන අරගල වලින් පවා කියාපානවා.
මන්ත්‍රිවරු අප්‍රසාදයට ලක් වෙනවා නම් අපි එය නිවැරදි කළ යුතුයි. ජනතාවගේ අප්‍රසාදයට ලක් නොවන පාර්ලිමේන්තු ක්‍රමයක් සැකසිය යුතුයි. අද රටේ පැවැති ඇති බරපතල ප්‍රශ්නයට වගකියන ආයතනයක් බවට පාර්ලිමේන්තුව සකස් විය යුතුයි. කාරක සභා ශක්තිමත් විය යුතුයි. ඒ සියලු කටයුතු වෙනුවෙන් මම වෙහෙසි වැඩ කරනවා.....“ ඒ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂය.