
කොයිවෙලේ වහීදැයි කියා අනාවැකි කියන්නට බැරි කොළඹ අහස යට මේ දිනවල ගෝල්ෆේස් හි පැවැත්වෙන අරගල භූමියට අප ගියේ හොඳින් අව්ව වැටි තිබු හැන්දෑවකය. ඉකුත් අගහරුවාදා සන්ධ්‍යාවේ අප එහි යන විටත් අරගල බිමේ එක් වේදිකාවක තරුණයකු උත්කර්ෂවත් අන්දමින් කතාවක් පවත්වමින් සිටියේය. ඒ වේදිකාව ඉදිරියේ නතර වී ඊට මහත් ඕනෑකමින් ඇහුම්කන් දෙමින් සිටි පිරිස අතරින් අපේ කතා නායකයන් සොයා ඉදරියට යන්නට වීමු.
‘අන්න තැන. ඡායාරූප ශිල්පි ගයාන් මුහුද පැත්තට අත යොමුකර පැවැසුවේය. ඒ වන විට අප සිටියේ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිටය. පාර මාරු වූ අප එතැනට ගියෙමු. නිල් ඩෙනිම් ඇඳුමකින් සැරසුණ තරුණියක් ඒ වන විටත් සිතුවමක් සිත්තම් කරමින් සිටියාය. දැඩි අවු රශ්මිය යට මුහුදු සුළඟේ නැහැවෙමින් ‘අරගල බිම චිත්‍රගාරයේ‘ සිතුවම් අඳින ඇය සමඟ අප කතා කළෙමුු. ඇය වාසි සමුදා දේවී. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය එහි පැමිණ ඇත්තේ අප්‍රේල් 20 වැනිදාය.
“මම පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ. මම මෙහෙ නතර වෙලා ඉන්නේ නැහැ. ගෙදර යනවා එනවා. මම මුලින්ම මෙහෙ ඇවිල්ලා කෑම බෙදන ටෙන්ට් එකකත් මුල් දවස්වල වැඩ කළා. චිත්‍ර අදින්න ඇවිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා. අරගලයට සම්බන්ධ චිත්‍ර තමයි මම අදින්නේ. මා මෙහි ඇඳ ඇති සිතුවම් වලට බොහෝ අදහස් තිබෙනවා. නමුත් මේ චිත්‍ර නරඹන අයට මීට වෙනස් අදහසුත් ඇති. මම මේ එක චිත්‍රයකින් අදහස් කර තිබෙන්නේ අරගලයෙන් පසු තත්ත්වය කොහොම වේවිද කියන එක. මම කුඩා කාලයේ සිට චිත්‍ර අදිනවා. මම මට හිතෙන හැඟෙන දේ සිතුවමින් කියනවා. මම කොහොමත් මෙතැනට ආවේම මගෙන් විය යුතු සහාය දක්වන්න. එහෙම ඉන්න අතරේ මට හිතුණා චිත්‍ර ඇඳීමෙන් අපට දෙන්න පුළුවන් පණිවුඩය දිය යුතුයි කියලා. රට වෙනස් විය යුතුයි කියන අදහස කා තුළත් තිබුණාට එය මේ අයුරින් විය යුතුයි කියලා මේ අරගලයත් සමඟ තමයි එළියට ආවේ. මට ඕන මගේ රට ලස්සන රටක් වෙනවා දකින්න. අපි මේ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්.“ සමුද්‍රා එසේ පවසනින් යළිත් සිය සිතුවම වර්ණ ගන්වන්නට විය.
ඉකුත් 9 වැනිදා අරගල භුමියට ප්‍රහාර එල්ල වූයේ නොසිතු මොහොතකදීය. ඒ ප්‍රහාරයත් සමඟ එහි නිතර වූවෝ තුවාල ලැබුහ. චිත්‍රාගාරයේ චිත්‍ර ද දැවි අළුවී ගියේ ඒ කලාකරුවන්නේ ශක්තියට අතුල්පහරක් එල්ල කරමිනි. නමුදු අරගලය එතැනින් නතර නොවිණි. එදාම හැන්දෑව වන විට යළිත් ඔවුහු ගොඩනැගෙන්නට වූහ. ගින්නෙන් දැවි අළු වී ගිය සිය පින්සල්, පින්තාරූ ආදිය ගැන දැන් ඔහුට ඇත්තේ දුකකි. තිස් වසරකට වඩා වැඩි කාලයක් වේදිකා නාට්‍ය සමඟ කටයුතු කරන ඔහු මේ දිනවල සිටින්නේ අරගල බිම චිත්‍රාගාරයේය. ඔහු සුමේධ හේවාවිතාරණය.
“මම කලාවට යොමුවුණේ 1980 ගණන්වල. මුලින්ම සුගතපාලද සිල්වා මහත්මයාගේ මරාසාද්, පරාස්ස, ලෝකා ආදි නාට්‍යවල රඟපෑවා. ඉන් පස්සේ ඒ නාට්‍ය වලම වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. මම රඟපෑම වෙනුවෙනුත්, වේශ නිරූපණය වෙනුවෙනුත් රාජ්‍ය සම්මාන දිනා තිබෙනවා. කොරෝනා වසංගතය රට පුරා පැතිරීමත් සමඟ අපට අපේ කලා කටයුතුවල නියැළෙන්න බැරි වුණා. ඒ තත්ත්වය පහව යනවාත් සමඟම මේ ප්‍රශ්නය. මම අරගල බිම චිත්‍රාගාරයට එන්නේ මට පෞද්ගලිකව කිසිවක් අවශ්‍ය නිසා නොවෙයි. මම මෙතැනට ආවේ මගෙ රට වෙනුවෙන්. අපේ මේ යෞවනයන්ට ශක්තියක් වීමේ අදහසින්. හැමදාම උදේට මෙතැනට ඇවිල්ලා මේ තරුණයොත් එක්ක ඉඳලා, චිත්‍ර ඇදලා මම ලබන්නේ පුදුමාකාර ආත්ම තෘප්තියක්. දැන් මගෙ වයස අවුරුදු හැටයි. මට හිතෙනවා අපි මේ තරුණයන්ගේ අරගලයට ශක්තියක් විය යුතුයි කියා. ඒ අරමුණින් තමයි මම මෙතැනට දවස ගානේ එන්නේ යන්නේ; මේ තරුණයන්ට දිරියක් වෙන්න. එදා මෙහෙට ගහපු වෙලාවේ අපේ චිත්‍රාගාරයටත් ගිනි තිබ්බා. ඒ අවස්ථාවේ මගේ සියලු දේ ගිනි ගත්තා. චිත්‍ර අදින්න මම දැන් සියල්ලම අලුතෙන් ගන්න ඕන. අද මේ රටේ හැමෝටම ජීවත් වීම විශාල අර්බුදයකට මුහුණදීලා ඉන්නේ. ඒ තත්ත්වය දවසකින් දෙකකින් ඇති වුණ දෙයක් නෙමෙයි. අපි හැමෝම දැන් මේ වෙනස. එහෙමත් නැත්නම් රට නිවැරදි මඟට ගැනීමට වෙහෙසිය යුතු කාලයක්. මමත් මේ පෙනී හිටින්නේ ඒ වෙනුවෙන්. ඒ සුන්දර රට නිර්මාණය කිරීමේ අරගලයක තමයි අද අපි යෙදී සිටින්නේ“
ඔවුහු දැන් සිය දවස ගෙවන්නේ ඒ අරමුණිනි. දෙනෝ දාහක් යන එන මඟ, ඒ අරගල භූමියේ ඉවත දමන කොළ කැබලි, කසළ ඇති දැයි කියා දෑස් සොයයි. නමුදු තැන තැන ඇති කසල බඳන්වලට පමණක්ම ඒ ඒ අපද්‍රව්‍ය දැමීමට අරගල භූමිවාසියෝ සංයමයෙන් යුක්තය. එය නම් සැබවින්ම පැසසිය යුතු කාරියකි.
මේ අරගල භූමියේ චිත්‍රාගාරයේ සූජිත් අප යන අවස්ථාවේ එහි නොසිටියේය. නමුදු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන සංජය ඈපා සෙනෙවිරත්න එහි සිටියේය. ඔහු මුලින්ම මේ අරගලයට දින පතා ආගිය කෙනෙකි. නමුදු දැන් ඔහු ඒ ගමේ නිත්‍ය වැසියෙකි.
“මං කවදා හරි ගෙදර යන්නේ මේ අරගලය නිමා වූ දවසට. මෙතැන ඉන්න අපි හැමෝගෙම අරමුණ එකයි. යහපත් විදිහට ඉන්න හිතෙන රටක් සකස් කිරීමයි අපේ අරමුණ. අපි හැමදාම මේ තියෙන දේශපාලනයට විරුද්ධ අය. දැන්වත් අපේ රට, රටේ දේශපානය නිවැරදි මාවතකට යොමුවිය යුතුයි කියලා අපි මේ ඉල්ලන්නේ ඒකයි. පසුගිය දිනවල අපි කළ කලා නිර්මාණ ගින්නට බිලි වුණා. ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. මේ චිත්‍රාගාරයට ගිනි තිබ්බ එකනම් කිසිම අයුරකින් සමාව දෙන්න බෑ. මේ අරගල භූමියට හැමෝම වගේ එකතු වුණා. මෙතැනට එන හැමෝගෙම අරමුණ දියුණු සංස්කෘතික මිනිසෙක් ගොඩනැඟීම. අපේ අතීයේ හිටපු අය, වර්තමානයේ ඉන්න අය ඒ වෙනුවෙන් කටයුතු කළා නම් අපිට අද මේ වගේ අරගල කරන්න වෙන්නේ නෑ. මෙතැනට ගිනි පෙනෙල්ල අරන් ආව එක කිසිසේත්ම හරි කියන්නේ නෑ. අන්න ඒ වැරදි මිනිහා නිවැරදි කරන්නයි අපි අරගල කරන්නේ.“
චිත්‍ර ශිල්පීන් විසින් ඇද ඇති සිතුවම් බැලීමට බොහෝ දෙනා එහි යති එති. ඇතැමෙක් වරු ගණන් එකම සිතුවම දෙස බලා විවිධ අර්ථ දෙති. ඇතැම් විට චිත්‍ර ශිල්පීන් හා ඔවුහු කතාබහේ යෙදෙති. මේ අතර එතැන රැදී වුන් තුවාල ලැබූ තරුණයකු අප ඇස ගැටුණේය. පසුගියදා සිදු වූ පහර දීමේදී තුවාල ලැබූ මේ තරුණයා කියන්නේ ඔහු මෙතෙක් අත්විඳි දේ ය. අනුරාධපුර බුදුරුවකන්ද ප්‍රදේශයෙන් මෙහි පැමිණි සඳරුවන් කුමාරගේ කතාව මෙසේය.
“මගේ වයස අවුරදු 18යි. මම සාමාන්‍ය පෙළ විභාගය කෙරුවේ 2020. මම කොළඹ හෝටලයක් සේවය කළා. නිවාඩුවට ගමේ ගිහින් ඉන්නකොට මම මේ අරගලය ගැන දුටුවේ යාළුවෙකුගේ දුරකථනයෙන්. මට හිතුණා මෙතැනට එන්න ඕන කියලා. කොළඹ ඇවිත් වැඩකරන තැනට ඒ බව කිව්වාම එහෙන් කිව්වේ යනවා නම් යන්න රස්සාවට එන්න එපා කියලා. මම කල්පනා කෙරුවා. මට හිතුණා මම මෙහෙ එනවා කියලා. මම තව යාළුවෙක් එක්ක ආවේ. මෙතැන වැඩ වලට සහය වෙමින් හිටියා. එදා පහර දුන්න දවසේ මට මුලින්ම පහර කිහිපයක් වැදුණා. ඒ ගමන පොලිසියේ කිහිප දෙනෙක් මාව ගෙනිහින් කුඩාරම ඇතුළෙ තියලා කිව්වා එළියට එන්න එපා හැංගිලා ඉන්න කියලා. මම එතැන හිටියා. ඒත් ඒ ආපු අය කුඩාරම් කඩද්දි මාව දුටුවා උන් මට හොඳටම පහර දුන්නා. දවස් හතරක් මට රෝහලේ ඉන්න වුණා. දැන් අරගල බිමේ ඉන්න ආයුර්වේද වෛද්‍යවරයා මට ප්‍රතිකාර ගත කරනවා. මගෙ ඇඳුම් ඔක්කෝම පිච්චුණා. මට අත් දෙක ඔසවන්න අමාරුයි. මට කවන්නේ, පොවන්නේ මේ අරගල බිමේ ඉන්න සහෝදරයෝ. මම ඇත්තටම මෙතෙන්ට ආදරෙයි. මම කවදා හරි ගමේ යන්නේ මේ අරගලය ජයගත්ත දවසට. එතකන් මම මේ සොයුරු සොයුරියන් සමඟ මෙහි ඉන්නවා.“ සඳරුවන් පවසන්නේ බොහෝ අධිෂ්ඨානශිලීවය.
පුබුදු තෙන්නකෝන් ද අරගල බිමේ සිටින තවත් චිත්‍ර ශිල්පියෙකි. මොරටුුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන ඔහු අරගල භූමියට පැමිණ දැන් සතියක් පමණ වේ.
“අපි විශ්වවිද්‍යාල කාලයේ ඉදන්ම හෙව්ව වෙනස වෙනුවෙන් තමයි මේ පෙළ ගැසිලා ඉන්නේ. මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ 2015 වසරේ. මම රැකියාවක් කළා. එතැනින් ඉවත් වී ටික කාලයක්. ඉන් පසුව මම “මෙඩිටේෂන්“ වලට යොමු වෙලා හිටියා. ඒ කාලය තුළ රටේ මොනවද වුණේ කියලා මම දැන හිටියේ නෑ. එතැනින් එළියට ආවාම තමයි රටේ මෙහෙම අරගලයක් යන බව දැන ගත්තේ. මම ඒ ගැන තොරතුරු හෙව්වා. ඒ ගැන කියෙව්වා. අවසානයේ මමත් අරගලයට ආවා. මම එහෙම ආවේ මගෙ අම්මා තාත්තාට කියලා. අපි දැන් මේ පිරිස සමඟ අරගල කරනවා. අපි අරගල කරන්නේ මේ ප්‍රකාශන මාධ්‍ය ඔස්සේ. අපි බලමු. ඉදිරිය සුබ වේවා කියා පතනවා.“
ඒ වන විටත් හිරු තද රැස් ගෝල්ෆේස් භූමිය වෙළා ගෙන තිබිණි. අපි එහින් පිට වී මඳ දුරක් එන විට හිසට සෙවණක් වත් නැති තැනකදී මහ වැස්සක් ඇද හැළුණේ අනපේක්ෂිත ලෙසය. යායුතු තැනක් සොයන අතර පසුකර ආ මඟ දෙස යළි බැලිමි. නමුදු මිනිසුන් ඒ සිටි අයුරින්ම ඒ ඒ තැන්වලය. අව්ව වැස්ස දැන් ඔවුනට වගක් නැති සේය.
ඡායාරූප - ගයාන් පුෂ්පික