ස්වයංක්‍රීය! | සිළුමිණ

ස්වයංක්‍රීය!

සේල මහත්තයා තරමක් වේගයෙන් රථය ධාවනය කරන්නට විය. වේගය දක්වන මීටරය හතළිහේ සිට හැට දක්වා ද, හැටේ සිට අසූව දක්වා ද ඉහළ නැංගේ ය. රථයේ වේගය වැඩිවන විට මුළු අවධානය මාර්ගයට යොමු වන අතර ශාරීරික අපහසුතා ඉබේම අමතක වෙයි. වාහනයේ වේගය අඩුවන විට අපහසුතා කෙමෙන් මතුවෙයි. සර්පයකු මිනිස් අඩි ශබ්දයට තැතිගෙන සිය ගමන නවතා හිස ඔසවන ආකාරය ඔහුට සිහිපත් වෙයි.

ජීවිතයේ පිළිවෙළක් නැතිවිට මනුෂ්‍යයා අනවශ්‍ය කරදරවල පැටලෙන බව ද, නිස්කාරණේ අපහසුතාවලට මුහුණ දෙන බව ද ඔහුට සිතෙයි. පිළිවෙළ යන්න විග්‍රහ කරන අසේල මහත්තයා ගමනක් පිටත්වීමට පෙර ඒ සඳහා සූදානමක් ගත යුතු යැයි පිළිගනී. වාහනයක් පදවන මිනිසා හොඳ සූදානමකින් සුක්කානමට අත තැබිය යුතු බව ඔහුට සිහිවිය. සියලු ප්‍රශ්න බිමින් තබා සැහැල්ලු මනසකින් වාහනයේ රියදුරු අසුනට යන්න යැයි කවුදෝ ලබාදුන් උපදේශනයක් හදිසියේ ම ඔහුගේ මනසට කඩා වැදුණේ ය. දැන් ඔහු රථය පදවාගෙන යන්නේ එම උපදේශනය තුට්ටුවකට නොසලකමින් ය.

වේලාව ප.ව. හයයි තිහට ආසන්න ය. අසේල මහතාට ප්‍රතිමුඛව ධාවනය වන රථ වාහන ස්වකීය විදුලි ලාම්පු දල්වා ඇත. එය ඔහු අකමැතිම දර්ශනයකි. මේ වනවිට වයස පනස් පහ ඉක්මවා සිටි අසේල මහතාගේ ඇස් පෙනීම දුර්වලය. උපැස් යුවළක් භාවිත කරන්නැ‘යි වෛද්‍ය උපදේශනයක් තිබුණ ද ඔහු ඊට අකැමැති ය. උපැස් යුවළ මහා කරදරයකි යන මතවාදයේ ඔහු එල්බගෙන සිටියේ ය. වාහනයකින් නිකුත් වෙන සැර ආලෝක ධාරාව කෙළින් ම ඔහුගේ දෑසට යොමු වුවහොත් පෙනීම එකවර දුර්වල වෙයි. ස්වල්ප වේලාවක් ගත වන තුරු කිසිවක් ම කර කියා ගත නොහැකි ය. තමන්ට ප්‍රතිමුඛව ධාවනය වන වාහනවල පහසුව සඳහා විදුලි ලාම්පුවල එළිය අඩවන් කිරීමේ ක්‍රමයක් ඇතත් කිසිවකු එය පිළිපදින්නේ නැත.

අසේල මහතාට හදිසියේ ම තම බිරිය කෙරෙහි බලවත් කෝපයක් හට ගැනිණි. ඇය විශ්‍රාම යන වයස පසුකර සිටිය ද අභියාචනයක් ඉදිරිපත් කරමින් සේවා දිගුවක් ලබා ගත්තා ය. ඒ අනුව උදෑසන එක වරක් ද, හැන්දෑවේ තව වරක් ද යනුවෙන් දිනකට දෙවරක් ම දුම්රිය පොළ වෙත යෑමට ඔහුට සිදු වී ඇත. ඇස් පෙනීම දුර්වල බැවින් හැන්දෑවේ ගමන ඔහුට ඔරොත්තු දුන්නේ ම නැත. එහෙත් බිරියගේ වාග් සංග්‍රාමය යටතේ ඔහුට හිමි වන්නේ පරාජය ම පමණි. එබැවින් නිබදවම මේ සේවාව ඉටු කරන්නට ඔහුට සිදුවී ඇත.

හදිසියේ ම සිය රථයේ වේගය අඩු කරන්නට අසේල මහතාට සිදුවිය. මාර්ගයේ දකුණු පසින් රථවාහන පෝලිමකි. දිග පෝලිමකි. කොහොමටත් මේ මාර්ගය පටු ය. එහෙත් වාහන හිමියන්ගේ අවධානයට එය ලක්වන්නේ නැත. ඔවුන්ගේ ඉලක්කය ඉන්ධන පුරවා ගැනීම මිස මාර්ග පහසුව නො වේ. හදිසියේ ම ආණ්ඩුව හා පාලකයන් කෙරෙහි තදබල කෝපයක් නැඟෙයි.

තෙල් නැත. ගෑස් නැත. ඖෂධ නැත. ලයිට් නැත. මේ රටේ ජීවිතය කුමක්දැ‘යි ඔහු තමන්ගෙන් ම ප්‍රශ්න කළේ ය. දුව එංගලන්තයේ ය. පුතා ඕස්ට්‍රේලියාවේ ය. ඔවුන් කිසිදිනෙක මෙබඳු දුෂ්කරතා ගැන කතා කරන්නේ නැත. ලයිට් කැපිල්ලක් ගැන ඔවුන් දන්නේ ද නැත. වහාම එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට යායුතු යැයි ඔහුට සිතෙයි. දේශපාලකයෝ අර්බුදය විසඳන ආකාරය ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරති. එහෙත් මාස ගණනක සිට මහජනයා එක තැන ය.

නොනවත්වා නිකුත් වන නළා හඬකින් අසේල මහතා කලබල විය. ඉදිරියේ ඇති ලොරියක් වාහනය නවතාගෙන නළාව හඬවයි. අසේල මහතා තම රථයේ වේගය තවත් අඩු කොට එය වම්පසට බර කරගත්තේ ය. ලොරි රියදුරාගේ ඉරියවුවලින් පෙනී යන්නේ ඔහු අසේල මහතාට තිත්ත කුණුහරුපයෙන් බැණ වදින බව ය. අසේල මහතා ඉතා පරෙස්සමට රථය පදවන්නට වූ අතර ඊට සමගාමීව ශරීර අපහසුවක් මතුවන්නට පටන් ගත්තේ ය.

ඕනෑ ම අපහසුතාවකදී මනස හසුරුවා ගතහොත් එය පාලනය කරගත හැකි බව අසේල මහතා අසා ඇත. ඔහු කොහොමටත් මානසික විද්‍යාව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. හෙතෙම හිත සකස් කර ගත්තේ ය. පළමුව අපහසුව අමතක කරන්නටත් ඉවසීමේ ගුණ සිහි කරන්නටත් පටන් ගත්තේ ය. මිනිසාගේ ලෙඩ රෝගවලින් සියයට අනූවක් මානසික යැයි එක්තරා වෛද්‍යවරයෙක් කියා සිටී. එය ඇත්තක් බව ඔහු නැවත නැවත සිහිපත් කළේ ය.

මෙවර නම්; ඔහුගේ සියලු උපාය මාර්ග අසාර්ථක බව පෙනී යන්නට පටන් ගෙන තිබිණි. ශරීර අපහසුව කෙමෙන් මෝරා වැඩෙයි. ශරීරය පුරා විදුලියක් සේ වේදනාවක් පැතිර යයි. ඔහු වරින් වර ගැස්සී ගියේ ය. “තව ටිකක් ඉවසමු!“ ඔහු තමාටම කියා ගත්තේ ය.

දුම්රිය පොළ වෙතට යන විටත් බිරිය පැමිණි මඟ බලමින් සිටියා ය. ඇය මෝටර් රථයේ ඉදිරිපස දොර ඇරගෙන රථයට ගොඩ වූයේ ගස්සාගෙන ය.

“හැමදාම පරක්කුයි!

මං මෙතන රස්තියාදු වෙනවා!“

“ට්‍රැෆික්! ට්‍රැෆික්!

එන්ඩ බෑ. තෙල් පෝලිම්!“

“ඒක තමා කියන්නෙ කල් ඇතිව එන්ඩ ඕනෑ!“

අසේල මහතා කරබාගෙන කේන්තිය තද කරගන්නට වූයේ ශරීර අපහසුතාව ගැන සලකමින් ය. කෝපයට අනුව කෑගහන්නට පටන් ගතහොත් අපහසුතාව උත්සන්න වන්නට පුළුවන. හදිසි කෝපය පුපුරා ගොස් හෘද රෝගවලින් මිය පරලොව ගිය ප්‍රසිද්ධ මිනිසුන් ගණනාවකගේ නම් එක පෙළට ඔහුගේ සිහියට නැඟිණි.

සියල්ල ඉවසා හැකිතාක් ඉක්මනින් නිවසට යා යුතුයැයි ඔහු අදිටන් කරගත්තේ ය. එහෙත් එය පහසු නැත. මේ වනවිට කළුවර පැතිර ගොස් ඇති බැවින් සියලු වාහනවල විදුලි ලාම්පු සැරට දැල්වෙයි. ඒ මදිවට ලයිට් කපා ඇත. පාරේ විදුලි පහන් නැත.

බිරිය නො නවත්වා ම කියවන්නට පටන් ගත්තා ය. ඇයට අසේල මහතාගේ කිසිදු ඉරියව්වක් ඇල්ලුවේ නැත. ඔහු බලපෑම් ගණනාවකට යටත්ව රිය පදවමින් සිටියේ ය. එක පැත්තකින් බිරියගේ බැණ වැදීම් හා විවේචන ඇසෙයි.

තව අතෙකින් වාහනවල නළා හඬ හා සැර ආලෝකය ඔහුගේ හිත කැලඹීමට පත් කරයි. ඒ අතර අපහසුතාව උත්සන්න තත්ත්වයට පත්ව ඇත. තමන්ගේ ශරීරය තමන්ටම පාලනය කළ නොහැකි තත්ත්වයකට ඔහු ඇද වැටී සිටියේ ය.

මේ වනවිට වාහන තදබදය හොඳටම වැඩි ය. පේළි දෙකකට වෙන් කර ඇති පාරේ පේළි තුනක් ගමන් කරයි. ඉදිරියෙන් ප්‍රතිමුඛ ව එන ලොරියක ආලෝකයෙන් හා නළා හඬින් අසේල මහතා හොඳටම කැලඹුණේ ය. ඔහු සිය රථය වමට කැපුවේ ය. ඒ සමඟම ‘දඩාස්‘ යන හඬින් රථය ත්‍රීරෝද රියක ගැටුණේ ය. එය තෙල් පෝලිමේ රථයකි. ත්‍රීරෝද රථ රියදුරා කුණු හරුප වැලක් කියාගෙන එළියට බැස්සේ ය. බිරිය ‘අයියෝ මෝඩයා‘! යැයි කෑගැසුවා ය.

ඒ අතර අවට සෙනඟ තමන්ගේ රථය වෙතට ඇදී එනු ඔහුට දැකගත හැකි විය. අසේල මහතා තිරිංග පැඩලය තද කරගෙන ඔහේ බලාගෙන සිටියේ ය. ඔහුට මහත් සැහැල්ලුවක් දැනෙන්නට විය. එය පුදුමාකාර සහනයකි. දුර්ගන්ධයක් පැතිර ගිය ගිය අතර තෙතමනයක් අසේල මහතාගේ දෙපාවලට දැනිණි.

Comments