
කෘතිය - කෝපි රහට කවියක්
කර්තෘ -තාරකා සම්පතී අබේසේකර
මිල රුපියල් 300/= පිටු 72
විමසීම් - 077 366139
කර්තෘ ප්රකාශනයකි
මෙවර සතියේ කවි පොත ලෙස අප තෝරා ගන්නේ නවක කිවිදියක වන තාරකා සම්පතී අබේසේකර විසින් රචනා කරන ලද “කෝපි රහට කවියක් කෘතියයි. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය පාසල් වියේ සිටම කවියට පෙම්බඳින්නියකි. බාලවියේ සිට කවියට පෙම්බැදි, කවි ලියූ ඇයගේ කවි අපට මුලින්ම හමුවන්නේ පුවත්පත්වල කවිපිටු හරහාය.
කෝපී රහට කවියක් ඇගේ මුල්ම කවිපොතයි.
ගැහැනියකට ජීවිතයේ සතුට පමණක්ම හිමි නැත. ඇතැම් ගැහැනියකට බොහෝ දුක් කම්කටොලු විදීමට සිදු වේ. ඒ එක්කෝ ඇගේ වරදින්ය. එහෙමත් නැත්නම් දෙමාපිය වැඩිහිටියන්ගෙ වරදිනි. එහෙත් නැත්නම් මේ සමාජයේ වරදිනි. මේ කවියේ කතා නායිකාව දරුවන් සිටින මවකි. නමුදු අවාසනාව නම් ඇයට ඒ දරුවන් උස්මහත් කිරීමට අනුන්ට අතපෑමට සිදුවීය. ඇගේ ජීවිතයට තිබු හව්හරන බිඳි ගියදා ඇයට සිදුවන්නේ තවත් පිරිමියෙකුගේ සරණ පැතීමටය. එය එක් අයෙකුට පමණක් සීමානොවේ. නමුදු දරුවන් ජීවත් කිරීමට ඈ උත්සාහ ගත්ත ද ඇගේ හෘදය සාක්ෂිය ඇටම දොස් පවරන්නීය. එය එසේ වුවද ඇයට වෙන කරන්නට කිසිවක් නැත. මාතෘකාව ගිලිහුණු බිම් තඹුරු.
අනේ හාන්දුරුවනි මට වන්න සමා
වරද කළේ මගෙ පණ වන් දරුවෝ නිසා..
බෝට්ටුව තියා මාකස් මුදූ ගියා
තඹුරු වැලෙන් ගිලිහුණු මල් සුළගෙ ගියා...
හත් දොහකට විතරක් අප මතක තියා
හිතවත්කම් ලුණු හුළඟේ පෙඟී ගියා....
තඹුරු පොට්ටු ගුලිකර මගෙ උකුලෙ ගසා
මාළු ලැල්ලේ මාළුත් වහං වුණා...
මල්ලක් කුස දරන් පිරි අල්ලක් දැකලා
මටත් හොරෙන් මගෙ සළු පිළි ලිහී ගියා..
මොනර කොළ රඟන කබාය පසෙක තබා
කියනු මැනවි පළවෙනි ගල මට ද කියා...
අතීතය හා බැඳුනු කතා හරි රහය. විශේෂයෙන් අතීත මතකයන් සුන්දරය. බාලවියේ ඒ මතකයන් ගෙන එනනේ ඒ යුගය හා බැදුණු සුවඳත් සමඟය. එය තවකෙකුට කියා දෙන්නට නොහැකිය. ඉමිහිරි මතකයන් පිරුණ අතීතයක් යළිත් මතකයට නඟන කෝපි සුවඳ ද එවැන්නකි. අම්මාගේ මතකය යළි යළිත් අලුත් කරන්නේ කෝපි සුවඳයි. මාතෘකාව කෝපි රහට කවියක්.
මහගෙදර පෑළ දොරින්
පිළිකන්නට බැහැපු
කෝපි බඳින සුවඳ
අපේ මිදුලටත් ඇවිඳින්...
කොහොමත් තව ටිකකින්
අම්මා එනවා සිතුරුයි
කෝපි කුඩු මුලත් එක්ක
................
..............
හැමදාම හැන්දෑවට
කොහොඹ ගහ යට
බංකුවේ
අපි කෝපි බොන කොට
පින් දෙනවා අම්මාට...
කාන්තාව සම කරන්නේ මහ පොළවටය. ඇයද එය එසේම කරයි. නමුදු එය වෙනස්ය. ඒ ඈ ගැහැනිය දකින අයුරුය. මාතෘකාවකි. මහපොළොවත් කාන්තාවකි ගරු.
දුකටත් සතුටටත් කොහොමත්
අම්මලා අඬනවා හැමදාමත්
ඒ නිසයි මල් පෙති මැදත්
ඉගෙන්නේ පිනි බින්දු රෑටත්..
දුකක් හිත දැරුවත්
හිනාවක් පිපෙනවා මුණෙත්
හෝ ගගා අඬන රැල්ලත්
පෙණ තබන්නේ ඒකයි වැල්ලෙත්...
උපදිනා ලෙස ගැහැනුන් දරු
තබා ඇය කුස තුළ පිරු
මිහිකත උපදවන දේ පියකුරු
පල වැල බර නෙක තුරු සරු..
ඒකයි කියන්නේ
මහ පොළවත් කාන්තාවකි ගරු
තාරකා සම්පතී අබේසේකරගේ කවි සංවේදීය. ඒ කවි අර්ථවත්ය. ඇය තම අත්දැකීම ලියන්නේ හරි අපූරුවටය. ඇගේ ඇරඹු ම අපූරුය. ඒ ගමනේ දිගු දුර යන්නට හැකිවේවා යැයි හැගෙන ලකුණු මේ කවි අතර තිබේ.