
පුරාණයේ භාරතයේ විසූ ව්‍යාස නම් ඍෂිවරයකු විසින් සංග්‍රහ කරන ලද හිතෝපදේශ ශ්ලෝක එකතුව ‘ව්‍යාසකාරය’ නමි. මේ කෘතිය එහි මුල් සංස්කෘත බසින් ම කරන ලද සිංහල පරිවර්තනයයි.
ව්‍යාසකාරයේ පැදි හෙවත් ශ්ලෝක 101කි. එනයින් එය නාමාෂ්ට ශතකය, ප්‍රත්‍ය ශතකය. නවරත්න ශතකය, නීිති ශතකය වැනි ශතක ගණයට ද ඇතුළත් කළ හැකි ය.
ව්‍යාස ඉසිවරයාගේ උපත පිළිබඳ විස්තර සොයා ගත නොහැකි ය. එසේ වුවත් ඔහු ජිවත්ව සිටින්නට ඇත්තේ ක්‍රිපූ 2 සියවසේ හෝ 4 වන සියවසේ බවට අනුමාන කළ හැකි ය.
ව්‍යාසගේ උත්පත්ති නාම ක්‍රිෂ්ණ ද්වයිපායන බව පැවසේ. ඊට හේතුව ඔහුගේ සමේ අඳුරු පැහැයයි. ඔහු ‘වේද ව්‍යාස’ ලෙස ද හැඳින්වේ. වේදය, ඍග්වේදය, සාමවේදය, යජුර්වේදය සහ අථර්වවේදය ලෙස කාණ්ඩ හතරකට බෙදා සම්පාදනය කළේ ඔහු බව විශ්වාස කෙරේ. ඔහු ව්‍යාස ලෙස ප්‍රකට වූවේ මේ ක්‍රියාව නිසා ය. ව්‍යාස යනු බෙදා වෙන් කරන්නා ය. ව්‍යාසගේ මේ බෙදීම නිසා ශාස්ත්‍රවන්තයනට වේදය ඉගැනීම පහසු වූ බව පිළි ගැනේ. තවත් තැනෙක සඳහන් වන පරිදි ව්‍යාස වේදය බෙදා වෙන් කළේ කොටස් තුනකට පමණි. අථර්වවේදය පසුව එක් වූවකි.
එසේම ව්‍යාස, පද්‍ය හෙවත් ශ්ලෝක 200,000 අන්තර්ගත පරිච්ඡෙද 18කින් සමන්විත මහා භාරතය නම් මහානර්ඝ වීර කාව්‍යයේ කතුවරයා ද වේ.
එහෙත් ව්‍යාසකාරය නම් මේ කුඩා කෘතිය ඔහුගේ ම ප්‍රබන්ධයක් නොවේ. එය ‘ගරුඬ පුරාණය’ නම් විශාල හිතෝපදේශ කාව්‍යයෙන් තැනින් තැනින් උපුටා ගන්නා ලද පැදි 101ක් බව මේ කෘතියේ පෙරවදනේ සඳහන් ය. හරියට ධම්ම පදය මෙනි. ගරුඬ පුරාණය යනු විෂ්ණු අභිනන්දනය කෙරෙමින් රචිත ‘පුරාණ’ නම්න් හැඳින්වෙන මහා කෘති අටළොසෙන් එකකි. මේවායේ කර්තෘ අඥාත ය. ගරුඬ යනු විෂ්ණුගේ වාහනය බව ද විෂ්ණුට අවතාර හෙවත් පවත්නා ආකාර දහයක් ඇති බව ද සැලකුව මනා ය.
පෙර ද සඳහන් කැර ඇති පරිදි ව්‍යසකාරය යනු හිතෝපදේශ සංග්‍රහයකි. ළමා අවධියේ සිටම මිනිසකු දැන උගත යුතු සහ වටහා ගත යුතු දෑ, ද ජීවිතය හැඩ ගස්වා ගත යුතු ආකාරය සහ ව්‍යවහාර කළ යුතු ආකාරය ද විමසන කරුණු එහි අන්තර්ගත ය. ජීවන අත්දැකීම් ඒවා ඇසුරින් නිදසුන් ගෙනහැර පා විග්‍රහ කළ හැකි වීම විශේෂත්වයකි.
මේ කෘතියේ අහි අඩංගු එක් එක් සංස්කෘත ශ්ලෝකය සිංහල පාඨකයාට පහසුවෙන් වටහා ගත හැකි වන පරිදි පියවර පහකින් දක්වා ඇත.
විය යුතු පරිදි ම මුලින් ම ඇත්තේ මුල් සංස්කෘත ශ්ලෝකයයි. දෙවනුව එම පද්‍යමය අනුපිළිවෙළ වෙනස් කොට අන්වය ගද්‍යමය වැකියක් ලෙස ඉදිරිපත් කෙරේ. එය ද සංස්කෘත බසිනි. ඉන් පසුව එන්නේ ඒ අන්වයේ පදානුගත සිංහල පරිවර්තනයයි. එය පදරුත් ලෙස දක්වා ඇත. ඊළඟට පරිවර්තකගේ විවරණයයි. අනතුරුව නිර්මිත සිංහල පැදිය ඇත. ඉන්පසු ඇත්තේ ඉංගිරිසි පර්වර්තනයයි.
විවරණය ගැන පරිවර්තක මෙසේ කියයි.:
‘සම්භාව්‍ය සාහිත්‍යය යනු අපේ මුතුන් මිත්තන්ගේ ඥාන සම්භාරයයි. එහි වැදගත් ජීවන දර්ශනයක් ඇත. මිනිසා දිගින් දිගට ඉදිරියට ගෙන යන තාක්‍ෂණ දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට භාවිතයට යොදා ගන්නට සිදුවන මෙවලම් හි වෙනසක් ඇති වනු මිස, ඔහුගේ මූුලික අවශ්‍යතාවල වෙනසක් ඇති වන්නේ නැත. ඔහුට ඇත්තේ කොහොමින් හෝ සිය පංචස්කන්ධය නඩත්තු කිරිමයි. එහෙත් මේ පංචස්කන්ධය ලෞකික ය. ඒ නිසා ම අතෘප්තිකර ය. එහි ලා අවබෝධයක් ලබන්නට අවධානය යොමු කළ හැකි පංචේන්ද්‍රික දෘෂ්ටිය ඉක්මවා යන අතින්ද්‍රිය ශක්තියක් ඔහුට ඇත. සම්භාව්‍ය සාහිත්‍යයේ ඒ අතින්ද්‍රිය ඥානය නොඅඩුව ව්‍යාප්ත ව තිබේ. වර්තමානය සඳහා අපට ඉන් ලද හැකි ඵලය නම් ඒ ඔස්සේ නිර්මාණාත්මක චින්තනයට සිත මෙහෙයවීමයි. කාලීන තත්ත්ව සමඟ සසඳමින් මෙහි විවරණයක් සපයා ඇත්තේ එනිසයි. අපේ ව්‍යවහාරික අත්දැකීම් සමඟ තුලනාත්මක ව සසඳමින් යට කී ඥාන සම්භාරය අපේ ජීිවන දර්ශනයට අනුපානයක් කැර ගත හැක්කේ එවිටයි. එය ආධුනිකයකුට මඟ පෙන්වීමක් වනු ඇත’යි තරයේ අදහමි.
සුභාෂිතයේ පද්‍ය සහ ලොකෝපකාරයේ ඇතැම් ගී ද කෙළින්ම ව්‍යාසකාර ශ්ලෝකවල පදානුගත පරිවර්තන බව පෙනේ. ඒ බව සනාථ කරනු පිණිස එවැනි තැන් කිහිපයක අදාළ සුභාෂිත පද්‍යය හෝ ලෝකෝපකාර ගීය දක්වා තිබේ. ඕනෑම සාහිත්‍යයක් කෙරේ වෙනත් සාහිත්‍යයක ආභාසය කෙසේ ලැබෙන්නේ ද යන්න ඉන් පැහැදිලි වෙයි. කිසියම් සාහිත්‍යයකට ලැබෙන එවන් ආභාසය කිසිසේත් අවතක්සේරුවකට ලක් කළ යුතු නොවේ. ඒ වනාහි සමස්ත මානව සංහතිය සතු ඥාන සම්භාරය බෙදා හදා ගැනීම නම් වන පරමාදර්ශය මැයි.’
මේ කෘතිය සඳහා ව්‍යාස විසින් ශ්ලෝක තෝරා ගනු ලැබ ඇත්තේ ඉතා ප්‍රවේසමෙන් බව පරිවර්තක පවසයි. ඒ සඳහා ඔහු ගරුඬ පුරාණය ඉතා සැලකිල්ලෙන් හදාරන්නට ඇත. මෙහි එන පැදි ජීවිතය පිළිබඳ අත් පොතක් වනවා සේම ජීිවිතයට අත්වැලක් සපයන්නක් ද වෙයි.
මෙහි මා සිත් ගත් පැදි දෙකක පදරුත් පහත දක්වමි.
30. මුහුණ රැළි විසින් වළඳන ලදී. හිස නර කෙසින් යුත් වූයේ ය. අත් පා මසින් තොරව ලිහිල් ව වැටෙයි. තරුණ වන්නේ තෘෂ්ණාව මැ පමණි.
47. නුවණින්, වයසින්, තවසින් වැඩි වුවත් මිනිස්සු ධනයෙන් වැඩි තැනැත්තාගේ ෙදාරකොඩ බැගෑපත් වැ ලගිත්.
‘ව්‍යාසකාර විවරණය’ නාරාවිල පැට්ට්‍රික්ගේ කෘතියකි.