
පුවත්පත් කලාව අමුතු ම එකකි. එය එහි නිරත වන්නෝ දනිති. සමාජයේ දැවෙන ප්‍රශ්න තමන් දැවෙන ප්‍රශ්න සේ කේවල ලෙස විඳින්නට මේ පිරිස සමත් වෙති. එහෙත් මේ අප කියන හෘදය සංවේදී පත්තරකාරයා හැම තැන ම නැත. ජනතාවගේ පත්තරකාරයකු වීම ලෙහෙසි ද නැත. මුවඟ මුවඟ කියැවෙන එවැනි පත්තරකාරයන් වේ නම් ඒ ස්වල්පයකි. එයින් ද ප්‍රමුඛ ව කියැවෙන නාමයක් වේ නම් ඒ ඩී. බී. ධනපාල නාමය ය.
අප මේ කියන්නට යන කාලවකවානුව ද අප මේ ගෙවන වකවානුවට සමාන කාලයකි. එදා ද හාල්, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිිබිණි. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම පුවත්පතේ වගකීම ය. එහෙත් මෙය වඩාත් දැනෙන සේ දැනුම්වත් කරන්නේ කෙසේද යන්න ගැන උපකර්තෘවරයාට ගැටලුවකි. ඔහු කල්පනා කරයි; ඇවිදියි. ධනපාල ප්‍රධාන කර්තෘවරයා මේ උපකර්තෘවරයා දෙස ටිකක් වෙලා බලා සිටියේ ය. අනතුරුව ඔහුට මෙසේ පැවසීය.
මොනවද අයිසෙ ඔච්චර කල්පනා කරන්නේ. දානවා ඕකට හෙඩිම මෙහෙම...
නෑ.....නෑ.....නෑ.... එච්චරයි.
මේ පුවත්පත් කතුවරයා කොතෙක් නිර්මාණශීලී ද යන්නට එය එක් උදාහරණයක් පමණී.
මේ කුඩා මිනිසාට එදා රාජ්‍ය නායකයෝ පවා බිය වූහ. ගරු කළහ. තමන් කරන කියන දෑ කොයි මොහොතේ විවේචනය කරයි ද යන්න ගැන ඔවුහු බියෙන් පසු වූහ. එනිසාම බිය මුසු ගෞරව සම්ප්‍රයුක්ත බවක් ද ඔහු කෙරේ විණි. ආණ්ඩු හදන්නට මෙන් ම පෙරළන්නට ද මේ කුඩා මිනිසාගේ පෑන් තුඩට හැකි බැව් මොවුහු දැන සිටියහ.
“ධනපාල තමයි මාව කෑවේ. ඒ වුණාට මිනිහගෙ දස්සකම්වලටත් නිර්භීතකම්වලටත් මං ගරු කරනවා.” අගමැති ජෝන් කොතලාවල වරක් පවසන්නේ ඒ නිසා ය. පනස් හයේදී ධනපාල පුවත්පත් කලාවේදියා බණ්ඩාරනායකට අගමැති වන්නට තීරණාත්මක සහයෝගයක් දැක්වූයේ තමා බලයට පත් වුවහොත් විරුද්ධවාදීන් සිටුවා පස් ගහන බවට ජෝන් කොතලාවල තර්ජනය කර තිබූ පසුබිමක ය. මහින්ද රණවීර ලියූ “ඩී. බී. ධනපාල සමඟ අවුරුදු දහසයක්” නම් කෘතියේ වන මේ සඳහන ඊට කදිම නිදර්ශනයකි.
‘පනස් හයේ බණ්ඩාරනායක ජයග්‍රහණයේ ප්‍රධාන බලවේගය වුණේ එවක පැවති එක්තරා පුවත්පත් දෙකක්. එකක් හේමපාල මුනිදාසගේ ‘සිංහලේ’ පත්‍රය. අනික ධනපාල මහතාගේ ‘ලංකාදීප’ පුවත්පත. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ නිර්මාතෘවරයා ලෙස බණ්ඩාරනායකගේ නම සඳහන් වුණත් එහි හැබෑ නිර්මාතෘවරයා වන්නේ ධනපාල බව මා අසා කියවා තියෙනවා‘
එහෙත් එසේ පාර කැපූ ධනපාල ම තවත් වරෙක බණ්ඩාරනායක දේශපාලනය විවේචනය කරන්නට ද පසුබට වන්නේ නැත. බණ්ඩාරනායකගේ රෙද්ද බැනියම යටින් මහමුදලිකම පෙනෙන බව ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ ඒ නිසා ය. ඩී. බී. ධනපාල සතු අදීනත්වය පුවත්පත් කලාවේදීන්ට ආදර්ශයක් වෙන්නේ ඒ අයුරෙනි. ඔහු පුවත්පත් කලාව කළේ එහි ගෞරවය රකිමිනි. නැත්නම් ඩඩ්ලි සේනානායක වැන්නකුට ‘ඔබතුමා රට බලාගන්න, අපි පත්තරේ බලා ගන්නම්‘ කියා කියන්නට බැරි ය.
වරප්‍රසාද, තාන්න මාන්න දී වහන්නට බැරිව තිබූ කටත්, පෑනත් සූක්ෂ්ම ව වසන්නට දේශපාලඥයන් ගත් උත්සාහයට ධනපාල කතුවරයා හසු වෙන්නේ නැත. සංස්ථා සභාපතිකම්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූර, ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූර වැනි එකී මෙකී නොකී සියලු තානාන්තර හේ ප්‍රතික්ෂේප කළේ ය. පුවත්පත් කලාවේදියකු ලෙස තම අදීන පෞරුෂය මනාව නඩත්තු කළ හේ, පසු පරම්පරාවට සනිදර්ශයක් විණි. ඔහු ප්‍රගතිශීලියකු හෝ වාමාශිකයකු නොවන බව බොහෝ දෙනාගේ අදහසයි. සමසමාජ පක්ෂ නායක ඇන්. ඇම්. පෙරේරා හා ඔහු ඍජු ව ම ගැටෙන අවස්ථා තිබුණි. දවස පත්‍රයෙන් කළ සමහර හෙළිදරවු වීම් ඊට නිදසුන් ය. වැරදි කරන්නන්ට නිකම් කොනිත්තන්න විතරක් එපා. ගහනව නම් වැටෙන්න ම ගහන්න. ඔහු සිය පත්තර ලෝකයේ දුහුනන්ට නිතරම කීවේ ය. කෙනකුට ගහන්න නම් ඔහු ගැන හැදෑරීමක් අවශ්‍යය ය. ඒ හැදෑරීම නොකර කාර්යයට අත නොතබන සේ ඔහු කරන අනතුරු ඇඟවීම පුවත්පත් කලාවට පමණක් නොව සෑම දෙයකට ම ආදර්ශයකි.
එසේ කියන ඔහු ජනතාව වෙනුවෙන් සිට ගන්නේ දෙවරක් නොසිතා ය.
‘පත්තරයක් කරනකොට අපි අනුන්ට ප්‍රචාරය දුන්නත් ඔවුන්ගෙන් අඩුම තරමේ කෘතඥතාවක්වත් බලාපොරොත්තු වෙන්න නරකයි. ප්‍රචාරයක් දෙන එක අපේ වගකීම. එච්චරයි. මිනිස්සුන්ගෙන් කෙලෙහිගුණ බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කරන්න එපා. එහෙම කළොත් පසුතැවිලි වෙන්නයි වෙන්නේ. යමකුට යමක් කරදිය යුතු නිසා එය කරන්න. එයින් එහාට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා”
ඒ ඔහුගේ ස්ථාවරයයි. පුවත්පත් කලාවේදියකු කෙතරම් නිහතමානී හා අනතිමානී පුද්ගලයකු ද යන්නට දෙස් දෙන තවත් කතාවක් මට ඔබට මේ හා ම කියන්නට ඇවැසි ය. සිය මළගම කළ යුත්තේ කෙසේදැයි හේ කලින් ම කියා තිබුණේ ය. අන්තිම කැමැත්තේ සඳහන් ඒ කතාව මෙපරිදි ය.
‘මං මළහම කාටවත් විශේෂයෙන් කියන්න ඕන නෑ. පැය දෙකක් යන්න කලින් වළදාන්න. හැබැයි, යක්කඩුවේ නායක හාමුදුරුවන්ට විතරක් දන්වලා සුදුරෙදි කෑල්ලක ඩී. බී.ට නිවන් සැප ලැබේවා... කියලා එල්ලුවොත් හොඳටම ඇති‘
පුවත්පත් කලාවේදියකුගේ දිවිසැරිය කෙසේ විය යුතු දැයි යන්නට දිය හැකි සදූපදේශය මේ අනුව හේ අප වෙනුවෙන් සටහන් කරන්නේ මීට දශක කිහිපයකට පෙර ය.
මේ සියල්ලට පාර කැපෙන්නේ කෙලෙසද යන්න අප දැන සිටිය යුතු ම ය. ලංකාවේ පුවත්පත් කලාවේ මහ පෙරළියක් වෙන්නට බලපෑ කරුණකට අතගැසූ කුඩා මිනිසා ඩී. බී. ධනපාල ය. 1947 දී ඔක්තෝබර් 29 වැනිදා ‘ලංකාදීප’ පත්‍රය ආරම්භ වූයේ ඒ පෙරළියේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉර හඳ පවතින තාක් කල් පවතින්නට පළ වූ සිළුමිණ සේ ම ලංකාදීප ය ද ජනතාවගේ හද බැඳ ගත්තේ වෙයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච බලවේගයේ ම පත්‍රයක් ලෙස ‘ලංකාදීප’ නැවුම් මුහුණුවරකින් පවත්වා ගෙන යාමට ධනපාල ප්‍රමුඛ කර්තෘ මණ්ඩලයට හැකි විය. එහෙත් දශකයක් ඉක්ම යද්දී ස්වකීය අරමුණු මේ ඔස්සේ සාධනය කර ගත නොහැකි ය යක උපකල්පනයට හේ ක්‍රමයෙන් එළැඹුණේ ය. එයින් වසර 13ක් ගතවෙන තැන ධනපාල නම් මේ අපූරු පෞරුෂවත් කතුවරයා ලංකාදීපයෙන් එළියට බසින්නේ විකල්පයක් අපේක්ෂාවෙනි. ඒ 1960 මැතිවරණයේ අගමැති ඩඩ්ලි සේනානායකට එරෙහිව දැදිගම ආසනය සඳහා තරග වදින්නට ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රත්න දේශප්‍රිය සේනානායකට නිවාඩු අනුමත කිරීම මුල්කරගෙන ටයිම්ස් පාලනයත් ඇති වූ මතභේදයක් නිසා ය. ඉන්පසු ධනපාල තමා සමඟ ලංකාදීපයෙන් ඉවත් වූ පත්‍රකලාවේදීන් පිරිසක් සමඟ දිවයින නමින් තවත් අලුත් පුවත්පතක් ආරම්භ කළ නමුදු එය වැඩි කල් පැවතුණේ නැත.
එහෙත් මේ පාර ආරම්භ වෙන්නේ එතැනින් ම නොවේ. ඊට හේතු සාධක සපයමින් යන ගමන ගැන අප සවිඥානික විය යුතු වෙන්නේ ඒ නිසා ය.
ධනපාල නම් පුවත්පත් කලාවේදියා හඳුනාගන්නේ මෙරට පුවත්පත් කලාවේ ප්‍රදීපස්ථම්භයක් සේ බබළන ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ය. ඔහු සිලෝන් ඩේලිනිවුස් පත්‍රයේ එවකට කර්තෘ එච්. ඒ. ජේ. හුළුගල්ලේ ට කියා ඉන්දියාවේ සිට 1933 දී ඩී. බී. ධනපාල මෙරටට ගෙන්වා ගන්නේ සිලෝන් ඩේලිනිවුස් පත්‍රයේ විශේෂාංග කර්තෘ වශයෙන් සේවයට බඳවා ගැනීමට ය. එසේ ගෙන්වා ගන්නට ඩී. ආර්. විජයවර්ධනයන්ට බලපෑ හේතු සාධක විණි. ඒ වනවිටත් ඩී. බී. ධනපාල ඉන්දියාවේ ඉගෙන ගන්නා ගමන් එරට පුවත්පත්වලට ඉංග්‍රීසියෙන් ලිපි ලියූයේ ය; ඉන්දියානුවන් සඳහා ඉංග්‍රීසි සඟරාවක්ද පළ කළේ ය. දක්ෂ ලේඛකයකු ලෙස ඉන්දියාවේ ප්‍රචලිත මේ තරුණයා වඩාත් වටින්නේ ලංකාවට බැව් ඩී. ආර්. විජයවර්ධනට තේරුම් ගැනීමට අපහසු වූයේ නැත. එහෙත් ඩී. බී. ධනපාල සිලෝන් ඩේලිනිවුස් පත්‍රයේ සේවය කරන්නේ සත් වසරක කාලයක් පමණී. පරිපාලනය සමඟ ඇතිකර ගන්නා ලද ගැටුමක් නිසා පුවත්පත් කලාව අතහැර හේ ගුරු වෘත්තියට ඇතුළත් වෙන්නේ ය. ඒ ගමන නිමවෙන්නේ කැලණියේ ධර්මාලෝක විදුහල්පති ධූරය දක්වා පැමිණීමෙනි.
එහෙත් පුවත්පත් කලාවේ නිමග්න අයකුට එයින් මිදීම අතිශය අපහසු කාර්යයකි. හේ කුමන වෘත්තියක යෙදුණත් අවසානයේ නැවත නැවතත් හැරෙන්නේ පුවත්පත් කලාව දෙසට ම ය. ඩී. බී. ධනපාල පුවත්පත් කලාවේදියාටත් ඉන් මිදෙන්නට හැකි වෙන්නේ නැත. 1961 පෙබරවාරි 1 වැනි දා ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම බිහිවන්නට පාදම සැකසෙන්නේ ඩී. බී. ධනපාල නම් පුවත්පත් කලාවේදියාගේ මෙකී පෙලඹවීම නිසා ය. සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම බය සැක නැතිව මේ කාර්යයට අතගසන්නේ ඩී. බී. ධනපාල කතුවරයා ගැන තිබූ අසීමිත විශ්වාසය හා ඔහුගේ හැකියාව පිළිබඳ තිබූ තක්සේරුව නිසා ය. හේ තමා එතෙක් ලත් අත්දැකීම් සියල්ලම උපයෝගී කරගෙන අලුත්ම ජාතික පුවත්පත බිහි කිරීමට පිඹුරුපත් සැකසුවේ ය. ඒ සඳහා ඔහු සමඟ පියල් වික්‍රමසිංහ හා ඩේවිඩ් කරුණාරත්න ප්‍රමුඛ පත්‍රකලාවේදීන් පිරිසක් එක් වී සිටියහ. සිංහල පුවත්පත් කලාවට සියවස් සපිරුණු පසු එළඹි වසරේ ම ‘දවස’ පුවත්පත බිහිවන්නේ ඒ පසුබිමේ ය. ඒ අනුව ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මුල් ම ප්‍රකාශනය වූ ‘දවස’ මංගල කලාපය නිකුත් වූයේ 1961 අගෝස්තු 14 වැනිදාවක ය. එයට කතුවැකිය ලියමින් ධනපාල ප්‍රධාන කතුවරයා පවසන්නේ “ඇත්ත වශයෙන් ම ‘දවස’ ඔබේ පුවත් පත ය. ‘දවස’ පුවත් පත ඔබ අත තබමින්, එහි අනාගතය ඔබ අතේ බව දන්වනු කැමැත්තෙමි.” කියා ය.
ඩී. බී. ධනපාල පුවත්පත් කලාවේදියා නිරන්තර පුවත්පත් කලාව ඇතුළත අත්හදාබැලීම් කෙරූවෙකි. ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම දවස පත්‍රය පටන් ගත් මුල් කාලයේ ඩී. බී. ධනපාල කළ අත්හදාබැලීමක් අද පුවත්පත්වල අලෙවිය හා ජනප්‍රියත්වය තීරණය කරන තරමේ සාධකයක් වී තිබේ. එදා දවස කර්තෘ මණ්ඩලයේ සිටි තරුණ තරුණියන්ට ප්‍රධාන කර්තෘ ඩී. බී. ධනපාල කර්තෘවරයාගෙන් සිය කාමරයට එන ලෙස කැඳවීමක් ලැබෙයි. එකිනෙකා පිටුපස එකිනෙකා තරුණ තරුණියෝ දොර කාමරයේ දොර ඇරගෙන පෝලිමේ ආහ. පැමිණි පිරිස දෙස හේ සිනාසෙමින් බලා සිට ඇත්තේ පීකොක් සිගරැට්ටුවක් උරමිනි. අනතුරුව ඔහු තරුණ පිරිසට මෙසේ කීවේය.
‘‘අයිසෙ, තමුසෙලා බැඳලා නෑනේ. තමුසෙලා විවාහ වෙන්න කැමැති ළමයාගේ වයස, කුලය, උසමහත, කෙට්ටුද, නැතිනම් තමුසෙලා කැමැති ඔක්කෝම වචන විසිපහකින් විතර ලියනවා. නම් ගම් දාන්නේ නැහැ. පත්තරේ බාරේ දැන්වීම පළ කරන්නේ.’’
ඊළඟ රිවිදින පුවත්පතේ ලංකාවේ ප්‍රථම වතාවට මංගල දැන්වීම් තීරයක් පළ විණි. මෙය මෙදා පුවත්පත් ලෝකය පවා උඩියටිකුරු කරන්නට බලපාතැයි එදා ඔහුට නොසිතෙන්නට ඇත. එනිසාම දවස කාර්යාලයට නමක් ද පටබැඳුණි. ලේක්හවුසියට බේරේ ගෙදර කීවා සේ දවස කාර්යාලයට කීවේ මඟුල් ගෙදර කියා ය. මේ මංගල දැන්වීම් තීරය නිසා කලා ලෝකයට එක්වූ යුවළ අතර, අප දන්නා කියන හා ආදරය කරන යුවළක් ද වෙයි. ඒ ශ්‍රියානි වීරකෝන් හා ආතර් යූ. අමරසේන එකතුවයි. අද ශ්‍රියානි අමරසේන නමින් කලා ලොව බබළවන සුන්දරිය පුවත්පත් කලාවේදියකු වූ ආතර් යූ. අමරසේනට හිමි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.
පුවත්පත් කලාවේදියකු සතු අදීනත්වයත්, නිර්මාණශීලීත්වයත් එකසේ එක්තැන් වූ ඩී. බී. ධනපාල නාමය පුවත්පත් කලාවට කියන පර්යාය නාමයක් සේ මුවඟ මුවඟ නැඟෙන්නකි. අප්‍රමාණ පුවත්පත් කලාවේදීන් අතර ධනපාල නාමයට අදත් පිදෙන්නේ බුහුමනකි. ලංකාවේ ප්‍රධාන පුවත්පත් දෙකක් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙමින් පුවත්පත් කර්මාන්තයේ නව ප්‍රවණතා රැසක් හඳුන්වා දීමේ ලා උපස්ථම්භක වූ ඩී. බී. ධනපාල නාමය අමරණීය ය.