
මුනිදසුන් ගුරු දෙව් අසුනේ තබා
ගැදි ද ගී පැදි හා දෙසුමින් ද හා
ගුරු ලෙසින් හෙළ සාහිත කෙත් වැවූ
අහුබුදුන් සමරම් බැතියෙන් සදා
අද ද සාදයෙ ගී ගැයුමක් වුවොත්
එකට අත්පුඩි දී ගයනේ තොසින්
ඔබ ලියූ සිනමාපට ගී තමා
යුග ගණන් නො නැසේ ඔබ ගී බැඳුම්
හෙළ පුතුන් උදෙසා අරුතින් සරූ
නවමු නම් තබමින් හෙළකම් වැවී
හෙළ වදන් කොසුවේ කළ මේවරත්
ඉතිහසේ සැම දා සටහන් වැ යේ
මෙරට ගම්වල නම් පහයා අරුත්
ලියු පොතින් වියතුන් ඇස පෑදුණේ
පද නිරුත් පැහැයූ මුනිදස් මඟින්
අහූබුදුන් කළ මේ කිතු රැව් නඟයි
බුදු වසත් කඳ දෙව් උපතත් තවත්
රස නුසුන් මහ කව් ගණනක් කළත්
පරෙවියත් රස දාරත්වෙයි ඔබේ
කිවි රුවන් පායේ නැඟු රන් පහන්
රවුළු පිත් තරු හා බලි ඈ රජුන්
පවත ලෝ දැනැගන්නෙ ඔබෙන් මැ වේ
රවුළු සක්විති ගී නළුවේ ගැයූ
මිහිරි ගී වනපොත් වනුයේ ඉබේ
සුදු සමන් මල මෙන් සිරිතින් පහන්
හදවතත් සුවඳයි කඩුපුල් වගේ
මුදු බසින් කරුණා මිහිරෙන් හැනූ
පියකු මෙන් සිසුවන් නෙත පෑදුවේ
තෙලි තුඬත් පැහැයත් සුපෙමින් බැඳී
කළ විසිත් සිතුවම් නෙත මත් කෙළේ
සිරි වතත් ගුරු දෙව් මුහුණත් මැවූ
ඇස ඇඳී මනසේ නො නැසී රැඳේ
බස ද සාහිත සාගිනි පත් කුඩා
අපට සිප් කිරි දී කළ පෝසණේ
ඔබ දෙපා සියපත් නළලත් තබා
ගුණ ගඳින් පිබිදෙම් තුති ගී ගයා
- තිලක නවරත්න