
හඳපානේ ඉඳැ, හඳ පහන් විඳැ විඳැ හදේ සුද වෑහෙන තරමට මැ ලපේ මතු කොටැ කතා කරන පුහු-දුන් මිනිසුන් ගහන ලෝකයකැ මිනිසුන්ගේ ගුණ කෙන්ද පවා කන්ද කොටැ දකින්නා වූ සත් දනන් දැකීමත්, ඔවුන් ඇසුරට ලැබීමත් සම්පතෙකි.
යම් මිනිසකු යම් රටෙකැ උපදිනවාද, ඒ උපන් මොහොතේ පටන් තෙමෙහෙ තමාගේ පණ උහුලන හුස්මැ එමැ පරිසරයේ මැ අදින්නේ යැ. තමා කන දෙයටත් බොන දියටත් අන් හැම කටයුත්තකටත් එම පරිසරයට ඔහුගේ ණය සිළව්වක් ඇති බවට කවර කතාද?
අම්මා යන උතුම් වදනින්, මවු කිරි සුවඳ මුසු වී හිමිවන මව් බස සිඟිති අවදියේ මැ යමකු අයත් වියයුතු ජන රැස හෙවත් ජාතිය ද පෙන්නා දෙයි. එපමණෙක් ද? ඔහුගේ ඇස පාදා දීමට පිහිට වන එබස මැ ඔහු ආදී මුතුන් මිත්තන්ගේ උරුමයේ කොටස්කරුවකු ද කෙරෙමින් ඔහුගේ ජාතිකත්වය තවද තහවුරු කෙරෙයි. මේ කරුණු නිසා මැ යම් කිසි බසකට, රැසකට, දෙසකට උරුමකම් ඇති හැම දෙන මැ තමා අයත් එමැ තෙරුවන වෙනුවෙන් ඉටු කළයුතු යුතුකම් රැසෙකි. මේ යුතුකම් අත් පුදෙන් ඉටු කරන්නේ හොඳ මිනිසෙකි. එබන්දෝ ජන මුළෙහි හරසරට නිස්සෝ යැ.
කොග්ගල මහා ප්‍රාඥයා - මාර්ටින් වික්‍රමසිංහයන් දිනූ තැන් සිට නෙත් කැලුම් වැටෙන මානයේ උපන් දෑ හිතකාමී අරීසෙන් අහුබුදු සූරීනට අනුව මැ, 2011 මැයි 26 වැනිදා සුර ලෝ පඬි සබයට ගිය තෙමේම, ජන මුළෙහි මහත් හරසරට නිස්සෙකි.
1920 මාර්තු 18 වැනිදා දකුණු ලකැ කොග්ගල මලලගම දී ජන්ම ලාභය ලැබූ අරීසෙන් අහුබුදු සූරීන් කලා ලොවට කැඳ වූ සුපින්වතා වන්නේ “ලක්මිණි පහනේ” දායකයකු වූ ඔහුගේ සීයා කෙනෙකුන් වූ සලමන් වතුගෙදරයන් ය. අහුබුදු බිලිඳු අවදියේදී සීයා ඔහුට ඇසෙන්නට ගුත්තිලය - කුසදා කව - අන්ධභූත ජාතකය කියෙව්වේ ය. අහුබුදු දස හැවිරිදි වන විට එම පොත් තුනම කට පාඩමින් කියන්නට පටන් ගත්තේ ය. බාල කාලයේ ලත් මේ රසවත්කම හේතුවෙන්ම බස කෙරෙහි ආසක්ත විය. එදා බසෙහි රස අවුස්සා බසින් ගත හැකි වැඩ පෙන්නා දුන් කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සෙවණට පත් වීමෙන් ද - නොතිත් ඇල්මෙන් පොත පත සේවනයෙන් ද බසිසුරුකම ලත් අහුබුදුහු කුඩා කල ගමේ දුටු බ්‍රම්පෝඞ් නාඩගම - දිනතර නාඩගම ඔස්සේ ගීයට නැඹුරු වූහ. එකල්හිම විදුර ජාතක නාඩගමක් රචනා කොට පන්සල අසළ රඟ දැක්වීය. ඉනුදු නොනැවතී අම්බලන්ගොඩ සංගීතඥ සමරපාලගෙන් සංගීතය හදාරා 1941 දී වයලීන වාදනයෙන් ගාන්ධර්ව ප්‍රාරම්භය ද සමත් විය.
කුඩා කල ගමේ දී හිත ගිය ගීතය ඔහුගේ පරම ආස්වාදය විය. 1944 උණවටුනේ පැවැති හෙළ හවුල් උළෙලේ කුමරතුඟු සමරු ගීය ලියූ අහුබුදු ලවා “ලංකා ලංකා පෙම්බර ලංකා...” ගීය රචනා කරවාගැනීමට සුනිල් සාන්ත උණවටුනට එවූයේ මෝසෙස් පෙරේරා නම් වූ තව හෙළ හවුල් නායකයෙකි.
සිංහල ගීයෙහි පිනට පහළ වූ අරීසෙන් අහුබුදු හෙළ ගීයට නිවැරදි, නිරාකූල වියත් බස හඳුන්වා දුන්නේ ය. සිංහල ගීයට වියතුන් හඳුන්වා දීමේ ගෞරවය මුළුමනින්ම හිමි වන්නේ සුනිල් සාන්තට හා පණ්ඩිත් අමරදේවට ය. සුනිල් සාන්ත, අරීසෙන් අහුබුදු ප්‍රමුඛ පෙර කී හෙළ හවුලේ ඇත්තන් සම්බන්ධ කරගත් අතර පණ්ඩිත් අමරදේව එදා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ - විමල් අභයසුන්දර ආදී විද්වතුන් පෙරමුණට ගෙන ආවේ ය.
“සිංහල සින්දුව පැවැත්තේ රාවයෙන් මනින සිංහල තුති පත් සේ හින්දුස්ථානි රාග තාල රාවුයෙන් මැ මැනෙන පහත් තතුවෙකැයි විරිත විනා අරුතක්, වියරණයක් ගැන වැඩි සැලකිල්ලක් එදා සිංහල සින්දු තනන්නා නොදැක්වීය. අදත් නමට ශාස්ත්‍රීය වූ අපේ හින්දුස්ථානි සිංහල රාවු ගීය ඒ අතින් වැඩි අමුත්තක් නැති බව කනගාටුවෙන් වුව ද කියැ යුතු ඇත්තෙකි” යි සුනිල් සාන්ත ප්‍රකාශ කළේ ය. සුනිලුන් නිසා ගී ලියන්නට පටන් ගත් අහුබුදු කවියා නිසා හෙළ ගී මඟ කිවියාව ඇති උසස් රචනයෙන් පොහොසත් විය. ගුවන්විදුලියෙන් ආරම්භ කළ යහපත් ගීත ප්‍රබන්ධ සංස්කෘතිය සිනමාවට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ද මහා සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ය. 1956 ලෙස්ටර් රේඛාව චිත්‍රපටයේ ගී පබැඳීමට මර්සලින් ජයකොඩි පියනම ද 1960 දී සන්දේශයට ගී පබැඳීමට අරීසෙන් අහුබුදුවන් ද ගත්තා සේම, එම චිත්‍රපට ඔස්සේ සුනිල් සාන්ත සිනමා ගීතය පොහොසත් කරන්නට කැඳවා ගත්තේ ය.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපට ගීතයට අවතීර්ණ වූයේ රේඛාවෙන් පසු 1959 දීය. රේඛාවේ සියලු ගී ජයකොඩි පියතුමා ලියන්නාක් මෙන්ම, සන්දේශයේ ගී හතම රචනා කළේ අහුබුදු සූරීන් ය. ඒ ගී සියල්ල ප්‍රශස්ත සාහිත්‍යයික රචනා වෙයි. රැජින මමයි - පුරුතුගීසිකාරයා - සුදට සුදේ වලාකුළයි - පුන්සඳ එළියයි - රෑන ගිරා රෑන අඹේ සහ කටේ කිරි සුවඳ යන්නට ගීත අතර පුන්සඳ එළියයි ගීතය අහුබුදු සූරීන්ගේ භාෂා සංවේදීතාව මැනවින් හෙළි කරන්නකැයි සිතමි.
පෘතුගීසි ගායනා විධි අතර ඉතා ප්‍රචලිත “ලලයි ලිලයි ලයි නෝනඟෙ’ යන ප්රවාදගත යෙදුම අහුබුදු සූරීන් නිර්මාණශීලී ලෙස යොදා ගන්නා අපූරුව බැලුව මනාය.
සඳ රැස් සිඹැ සිඹැ සැනැහෙන පිරිසුදු
සුදු මුදු සුදු වැල්ලයි
ලලයි ලයි - සුදු මුදු සුදු වැල්ලයි
සිය මනමාලිට කොහෝ තුරුලු වී
කුහූ කුහූ හඬලයි
ලලයි ලයි කුහූ කුහූ හඬලයි
පෘතුගීසි බළකොටුවක සෙබළුන් ද හවුල් වන රූපමය අවස්ථාවට ඔහු පරම පිවිතුරු සිංහල ගීය බද්ධ කරනුයේ එපරිද්දෙනි. ඉනික්බිති ඔහු තෙවන - පාරා වළලු -
හඳයා - නාරිලතා - වජිරා - කවුද හරි - මගෙ රන් පුතා - පේනවා නේද - සංඛපාලි - ආදර හසුන සහ පුරන් අප්පු චිත්‍රපටයට අපූරු ගී රචනා කළේ ය. ඒවා අගැයීම වෙනම කළ යුතු හැදෑරීමකි. එතුමා ඉඟි නළුවලට ලියූ ගී අතුරින් කැපී පෙනෙන සුවිශිෂ්ට ගීයක් පමණක් දැක්වීම යොග්‍ය යැයි සිතමි. ප්‍රේමකුමාර එපිටවලගේ ‘පරෙවිය’ ඉඟි නළුවේ සාම අස්න රැගෙන පරෙවි ධේනුවක් අමෙරිකාව බලා යයි. ඒ යන ගමන් මඟ ඇය (සීතා මංගලිකා) අප්‍රිකාව හා චීන අහස් කුස තරණය කරයි. චීනය මතින් පරෙවි ධේනුව පියාසර කරද්දී ගැයෙන ගීය එක්වරම අපට ඇසෙන්නේ චීන බසින් කළ ගීතයක් ලෙසිනි. එහෙත් එය පිරිසිදු හෙළ බසින් ලියූ අපූරු ගීතයකි. (ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතය ද මනාව ගැළැපිණි)
ලෝකෙන් ජන බලයෙන් වැඩි බිම් නම්
චීනුන් වේ - මා බිම් මවු බිම්
පීකිං නැංකි ක්වාතුං ෂැංහෙයි
මේවන් පුර අන්-කොයි වෙයිදෝ හොයි
හෝයැංහෝ යැං සිකි - යැං සිකි යැංගං
චීනේ ගොයියන් - නේ දෙයියන් වන්
මාඕ සේතුං - වෞඑන්ලායි තුම්
නාවන් සන්දයි - චීනුන් නැංගේ
අහුබුදු කිවිඳුන්ගේ ගී විසිතුරු කව් ලකුණින් සමලංකෘත ය. නිදසුන් කිහිපයක් දක්වමු.
ලොවේ මැවුම්කරු ද නුදුටු
වගේ දුලබ තුරුලිය මතැ
අදත් අමුතු මල් පුබුදින
සමනල කන්දයි
ලොවේ මැවුම්කරු පවා නුදුටු දුලබ තුරුලිය මතයි අමුතු මල් පුබුදින්නේ.
බෝ පත් සිල් සිල් ගා ලෙළදී හිඳැ
සිල් පද ඉල්ලන්නේ
බෝ පත් ලෙළ දෙන්නේ ‘සිල් සිල්’ නාදයෙන් සිල් පද ඉල්ලමිනි.
දෝතල් තුරැ එල් වැල් - එළෙන්නා
කොයි එගසින් අත්වැල්
මට ඇති ඔබ අත්වැල්-වෙළෙන්නෙමි
හිමි ඔබ හා හැමකල්
ඇයගේ අත්වැල් ඔහු වටා වෙළෙන්නේ අත්වැල් ප්‍රාර්ථනා කරමින් වැඩෙන දෝතල් වැල්වලට වඩා මැනැවිනි. විහින් හටන් නැහැ අරඹන්නේ
බෝ පත් ඒ බව පවසන්නේ
ඇරඹූ හටනේ පෙරට තැබූ පිය
පෙරට මැ යේ
සතුරන්ට වුව එරෙහිව සිංහලයා ‘විහින් හටන් අරඹන්නේ නැත” එහෙත් ඇරැඹූ හටනේ පෙරටැ තැබූ පය පසුපසට ගන්නේ ද නැත.
අවි ගිලිහුණු සතුරා කැමැවූ
සිය අවි දී හටනට කැඳැවූ
මළ සතුරාටත් සෑ බැඳැවූ
හෙළ ගුණ ගණ සතුරෝ මැ කිවූ
හෙළයාගේ සතුරෝම හෙළයාගේ ගුණ කියති. මන්ද යත් අවි ගිලිහුණු සතුරන් කමා කළ හෙයිනි. ස්වකීය අවි සතුරාට දී හටනට කැඳවූ හෙයිනි. මළ සතුරාටත් සෑ බැඳවූ හෙයිනි. හෙළයාගේ යහ ගුණ කී සැටි අපූරු ය.
බක් මහේ අසිරිය අහුබුදු කිවියාණන් දකින්නේ කෙසේද?
ලේනුන් පලවා අඹ ගහ මුඳුනේ
ටකය බැඳෙන මාසේ
පලබර ගස්වැල් දන්සල් සරසා
සියොතුන් කැඳවන මාසේ
බක් මහේ බඹරුන් මලින් ගැවසීගත් මල් යාය සිඹැ සිඹැ යන්නේ පිස්සු වැටුණු ගානටය. පලබර ගස් කුරුල්ලන් කැඳවන්නේ පලින් පිරි දන්සල්වලට ය.
සිල් ගත් වවුලන් මස් රස දුරලා
පලවැල කන මාසේ
මස් රස බලන වවුලන් සිල් සමාදන්ව පලවැල කන්නේ බක් මහේ ය. ලක්බිමේ වීර පුතුන්ගේ එඩිය පැවසීමට අහුබුදු යොදා ගන්නේ කෙබඳු කාව්‍යෝක්තියක් ද?
ආ හෙණේ ද පන්දුවක් සෙයින් තකන්නමෝ
මාමෙරක් හරස් වුණත් උඩින් පනින්නමෝ
ලක් පුතුනට ආ හෙණේ පන්දුවකි. මහ මෙරක් හරස් වුණත් උඩින් පනින්නට ඔවුහු සමත් වෙති.
අහුබුදු ගීත නිබන්ධකයා ගැන මෙසේ සිහිපත් කරන අතරම එතුමන්ගේ කාව්‍ය නිර්මාණ හා සෙසු සාහිත්‍ය නිර්මාණ පිළිබඳ කතිකාවකට ද අනාගතයේ කිසියම් අවස්ථාවක් යොදාගත යුතු බව අපගේ වැටහීමයි.
කවියට - සිප් වදනට - වියරණයට - විවරණයට - සිරිත් කතාවට - කතන්දරයට - දෙසුමට සූරකම් පෑ අරීසෙන් අහුබුදු ගීතයෙහි වඩාත් දස්කම් විස්කම් පෑම නිසා ඔහු අද වඩාත් කතාබහට ලක් වන්නේ අති විශිෂ්ට සාහිත්‍යයික ලක්ෂණයෙන් සැරසුණු අග්‍රේසර ගීත ප්‍රබන්ධකයකු වශයෙනි. මෙය ද ඉන් අංශු මාත්‍රයක් ගෙනහැර දැක්වීමට දැරූ දිළිඳු තැතක් පමණි.