
වැස්ස ඉවර වෙනවත් එක්කම කුරියර් එකකින් ආව ලිපියක් වැනි කුඩා කවරයක් රැගෙන ආ තරුණයෙක් එය මගෙ අතට දීලා නික්ම ගියා. හිතාගන්න බැහැ මොකක්ද කියල. සල්ලි අමාරුව අස්සෙ වුණත් පොතක් ඇරෙන්න වෙනින් යමක් ඇණවුම් කරනව යැ. වැරදීමක් වෙන්නත් බෑ. හරියටම මගෙ නමට ම, මගෙ ලිපිනයට ම, ගෙදර අයත් අහනව මොකක්ද ඔය ආවෙ කියල.
චූටි දෝණි කියනව ඇහුණ ෂුවර් එකට ම ඔය පොත් ගන්න වවුචර් එකක් තමයි කියල. අම්මව පුදුම කරන්න මාම එවන්න ඇති කියල.
"මොන පිස්සුද උඹලගෙ මාම, පුළුවන් නම් එයා මගෙ පොත් ටිකත් විකුණාවි.."
දැන් හිනාවෙවී හිටිය වුණාට පුදුමෙන් වගේ ඔන්න කවරය කඩල ඇතුළෙ තිබුණ ලියකියවිලි ටික ඇදල අරන් කියවන්න කලින් මාව ගල් ගැහුණා.
" ඔහ් ! මේ මගෙ නමට
මෙක්සිකෝවට යන්න ගුවන් ටිකට් එකක් ... මේ... මේක..වෙන්න බෑ."
මට කෑ ගැස්සුනා.. ඒත් මගෙ කවුරුත් මෙක්සිකෝවේ
නෑ නෙ..? .
"අම්මගෙ කවුද ඔය රටේ ඉන්නෙ."
වැරදීමක් වෙන්න ඇති. නම චෙක් කරන්නකො. දෙන්න දෙන්න මම බලන්න"
ටිකට් එක අරන් බලපු චූටි දෝණි, තාත්තාගෙ මූණ වගේම, මගේ මූණත්, අක්කගෙ අයියගෙ මූණු ටිකත් මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ හරියට අයි. එස්. අයි. එස්. එකෙන් ලියුමක් ආව වගෙ.
" මේක වාසනාවක් මම මොනතරම් දුක් වින්ද ද?, ඔව් වාසනාවක් ."
."අම්මේ ඔය ලියුමක් තියෙන්නෙ ඒක කියවන්න. උඩහ ලොකු අයියවත් පවු කියල හිතල අම්මට ටිකට් එකක් එව්ව ද දන්නෑනෙ“. පුතාගෙ හඬ ඇහුණ චූටි දෝණි ...
"මෝඩ අයියෙ. උඩහ ලොකු අයිය ඉන්නෙ කොරියාවෙ" කියල කිව්වා.
ඒ මදිවට හප්පා ඔන්න මහ තැනත් කඩන් පැනපි.
" ඔය ලියුම කියවල බලනව ඉස්සෙල්ල. අම්මල දූල පිස්සො වගෙ දඟලනව මෙතන.."
ඇත්ත නේන්නං. මම ලියුම කියවන්න ගත්ත. ඒකත් හරි කෙටියි.
ආදරණීය ඇරයුමක්. !
සොයුරිය ඔබේ මිතුරෙක් විසින් මට කළ යෝජනාවකට අනුව ඔබට මේ ටිකට් පත එවනු ලබනවා. කිසිදු වියදමක් ඔබ විසින් සිදු කිරීමට අවැසි නැත. ඔබට ගුවන් යානය තියෙන්නෙ තව දින පහකින්. ඔබ ළඟ ගමන් බලපත්‍රයක් ඇති බව ඔබේ මිතුරා කිවේය. ආදරයෙන් මෙක්සිකෝවට ඔබව පිළිගන්න අපි සූදානම්. පහත තියන විස්තර අනුව මෙක්සිකෝවට පැමිණෙන්න. සියලු ලියකියවිලි දින දෙකකින් ඔබට හදා ගැනීමට හැකිවේවි. විදේශ තානාපති කර්යාලයට යන්න. ඔබට අවැසි සියල්ල එහි සැකසී ඇත.
මීට ශ්‍රීපති.
" ඈ ....ශ්‍රීපතී .. ?
“ම්ම් මගෙ යාළුවෙක් මෙක්සිකෝවේ .."
අන්දුන් කුන්දුන් වූ මම පිස්සු හැදෙනකම් හිතුවත් මතකයක් නෑ. ඒ තරම් ළඟ මිතුරෙක්...ඒත් පතී...යම් මතකයක්..තිබුණ නමක්. ඒත්..ශ්‍රී කෑල්ලක් ඌට තිබුණේ නෑනෙ...
ඒ රටේ දුරකථන අංකයක් එහි සඳහන්ව තිබුණා. ඊට ඇමතුමක් ගත්තම කතා කළේ මෙක්සිකෝවේ සැන් මිගෙල්වල පිහිටි ප්‍රධාන පෙළේ හොටලයක කළමනාකාරවරයෙක්.
"ගුඩි ඊව්නින් මෑම්. ඔබ වෙනුවෙන් අපේ හෝටලය බුක් කරල තියෙනවා දින දාහතරකට. ඔබව පිළිගන්න අප සූදානම්. ස්තුතියි. මෑම්.
රිසිවරය තැබූ මට එළිවෙනකම් නින්දක් නෑ. ඒත් පහුවදා ලොකු යුද්දයක් කරල මෙක්සිකෝවට යන්න අවසරය ගත්තෙ. මහත්තයගෙ සහෝදරි පත්ම අක්කගෙ මිතුරෙක් එහෙ රාජ්‍ය නිලධාරියෙක් විදිහට මෙක්සිකෝවේ ඉන්න නිසා හොඳට ගියා. ඒ වගේම ඔහුගෙ සොයා බැලීමක් ලබා ගන්න පුළුවන් නිසා කිසි ප්‍රශ්නයක් නෑ. නැත්නම් යවයි මාව මෙක්සිකෝවටම. මොකකදෝ කුතුහලයක් හිතේ තිබුණා. ඒත් මේක දන්නම කෙනෙක්ගෙ ඇරයුමක් මාව පුදුම කරන්න හදන්නෙ කියල කියා ගන්න බරි සතුටක් වගෙම මාර ආඩම්බරයක් හිතේ තිබුණා. දැන් ඉතින් බඩු මුට්ටු ලිස්ට් ගොඩයි. ඔර්ලෝසු, චොක්ලට්, සෙන්ට්, පුතාට ටැබ් එකක් හපොයි පිස්සු හැදෙන ලිස්ට් එකක්. මටත් ගන්න ජාති ගොඩයි. ඒත් සල්ලි කොහෙන් ද? ඒ කොහොම වුණත් මෙක්සිකෝවට නොමිලේ ගිහින් දවස් දාහතරක් ඉඳල එන්න ලැබුණ එකම මදි ද?
වෙනදට වඩා ගැම්මක් දැනුණ. ඒක ටිකක් ගෙදර අයට විහිළුවකුත් වුණා. තව දින දෙකක් තිබුණා මෙක්සිකෝවට යන්න. දැන් දවස් යන්නෙ හිමින්ද මන්දා. පපුවෙ ස්පන්දනයත් වැඩි වෙනව වගේ. ඉදල හිටල මෙක්සිකෝවට යන දවසට ඇඳගෙන යන්න ගෙනාව දිග ලිනන් ගවුම ඇඳල බූට්වගේ සපත්තු දෙකක් දලා, මේකප් එකක් එහෙමත් පොඩ්ඩක් දාගත්ත. වටපිට බලල ඉස්සරහ දොරත් වහලා පොඩ්ඩක් ඇවිදල බැලුව පොඩි පෙරහුරුවකට වගෙ. කෙල්ලගෙ හිකි හිකිය ඇහෙන්න ගත්ත මම උඩ විසිවුණා. දඩිබිඩි ගාල ඇඳුම් ටික ගලවල ගෙදරට ඇඳපු ගවුම දාගත්ත. මේ ටිකේ කළේම මෙක්සිකෝවේ ඇවිදින්න තියන තැන් හොයන එක. ගූගල් ගිහින් බලල ඒවා සටහන් දාගත්තා. කන්නාඩිය ළඟට ගිහින් පොඩියට රවුමක් කැරකුණා ලතින් නැටුම් අඩි කීපයක් එහෙමත් කැරකිලා බැලුවා. මට අතීතෙ මතක් වුණා. නෙහාර එක්ක නටපු නැටුම්. අපි දෙන්නම කළේ නැටුම්..
“මල විකාර මෙක්සිකෝවේ ගිහින් එද්දි මේ මනුස්සය පිස්සු වැටිල ඒවි ..."
මහත්තයගෙ ආඩපාලි ය.
"හපොයි..රෑ හත වෙලා..."
ඔර්ලෝසුව බැලූ මට දෙලොව රත් වුණා. ඉක්මනට බතක්, පරිප්පුවක් එක්ක හාල් මැස්සො බැදල ගත්තා. දවල් හදපු හතු මාළුවත් තිබුණා . ඒ අස්සෙම අලුත ගෙනා ලැගේජ් බෑග් එකට ගෙනියන බඩු ඔක්කෝම අහුරල තිව්වා.
අලුත් දවසක් වෙනස්ම ලෝකයක්. මනරම් වූ වස්සානයක් උදාවෙලා තිබුණා. මෙක්සිකෝව හරියට දිව්‍ය ලෝකයක් වගෙයි. ග්වාඩලාජාරා සොඳුරු නගරය නේද මේ. දෙයියනෙ සැන්ටියාගෝ තේකිලා, ආසාවෙන් පොත් වලින් විතරක් කියවපු මැජික් නගරය. ඒකෙ ලස්සන. නෙහාරගෙ අතේ එල්ලිලා ඒ නගරය පුරාම ඇවිද්ද විශාල අවන් හල්වල හදන කෑම සුවඳෙ බෑ.
"නෙහාර අපි කොහෙද? යන්නෙ මේ..."
"ශොපින් කරමු. ඇයි ආස නැද්ද ඉස්සර ඉතින් ඒකත් ඔයාට රස්සාව වගෙනෙ නේද?"
ඇත්තටම නෙහාර පුදුමයි. මාව මොකට ගෙන්න ගත්ත ද මෙච්චර වියදම් කරලා. ඒත් මේ වෙලාවෙ ඔය මනස්ගාත මක්කටෙයි දෙන දෙයක් ගන්නවා මිසක්.
රිවීරා මායා ලස්සන පළාතක්. එහි ආකාර්ෂණීය වේදිකාවක්. වටේ ඉන්න අය නෙහාරට හිස පහත් කරල ආචාර කරනව. නෙහාර ලොක්කෙක් වගෙ මෙහෙ ඉන්නෙ.
"මේනා.... ඔයා දන්නවද ඒ මිනිස්සු අපි අඳුරන්නෑ. ඒත් ආචාර කරනව" මගෙ ඇස් උඩගියෙ අපේ රට මතක් වෙලා. ඒ, මනරම් වේදිකාවට අපට ... ආරාධනාවක්. නෙහාර ...!
මට හිතාගන්න බෑ කාලෙකින් නටල, රඟපාල නෑ, දැන් නුහුරුයි. ඒත්, නෙහාර මගෙ අත අල්ලන් වේදිකාවට ගොඩ වුණේ ඉස්සර වගේ. මම ඇඳල උන්න දුඹුරු පාට පළල් සායට රතු හැට්ටයක්, ඒකට ගැළපෙන රතු රවුම් තොප්පිය, නැටුමට ම ආවේණිකව තිබුණා . නෙහාරගෙ කළු සුදු කව් බෝයි ඇඳුම ඊටම ගැළපුණා. මාරිආච් සංගීතයට මෙක්සිකානු සාම්ප්‍රදායික හැට් ඩැපන් නර්තනයක නෙහාර දෑතෙ වෙළිලා එදා වගේම නටන්න පුළුවන් වුණා. මටම පුදුමයි. මේ මමද?
රංගනය නිමාකරේ ජරාබේ ටැපැටියෝ කියන මෙක්සිකානු සාම්ප්‍රදායික නර්තනයෙන්. අපිට පෙර නැටූ ජෝඩුවගෙ නර්තන අඩි අල්ලගන්න අපට පුළුවන් වුණා. මේ චාරිකාව මනස්කාන්තව ගෙවෙනව නේද කියල හිතුණ.
"නෙහාර අර අර වේදිකාවෙ ලස්සන" මට කෑ ගෑසුණා උතුරින් ස්පාඤ්ඤයත් ග්වාඩලාජාර මනරම් නගරයත් අතර ඇති සුන්දර රිවීරා මායාහි අප ඇවිදන්න ගියා. විශාල කෞතුකාගාර ඒ වයෙ තබා ඇති නොයෙක් සුන්දර අපූරු කලා නිර්මාණ දෑසින්ම දැක ගත්තා. බොජුන් හලකට ගොඩ වැදුණු අපි රසවත් මෙමෙක්සිකානු කෑම ,බීම වර්ග කෑවා ,බිව්වා.
"ඔ ඕ ... නෙහාර...! වැටෙයි ඔයා.."ටිකිලා පානය නිසා නෙහාර ටිකක් මත්වෙලා උන්නා. ටිකිලා කියන්නේ මෙක්සිකෝවට ආවේණික සැර වැඩිම, මත් බීමක්. මටත් බීපු සරුවත් එකට මත් වුණා වගේ නුහුරු ගතියක් දැනුණා. ඒ මනරම් වූ අවන්හලින් එළියට බැහැපු අපි, රිවීරා මායාහි සල්පිල්වලින් පිරි වර්ණ වත් වූ මාවත් දිගේ ඇවිද ගියා. එක පාරටම දැක්කෙ විවෘත අවන්හලක එහෙම් පිටින් ඌරෙක් බේක් කරන විදිය. ඒක මට අප්‍රසන්න දසුනක් වුණා. බඩ අඹරවා ගෙන ඇඟ සීතල වෙලා වමනෙ එන්න ආවා... ඕක්.. ඈ හ් ....අනේ නෙහාර!
“මොකක් පිස්සු ද තමුසෙට මොන නෙහාරෙක් ද?... බලනව... ඈ දැන් නමයට කිට්ටුයි. අර පොඩි එවුන් දෙන්න කෑම පිහනව තමුසෙ මෙතන දවල් හීන දකිනව. මෙක්සිකෝවේ නෙවෙයි තමුසෙට යන්න වෙන්නෙ අංගොඩ“
දෙයියනෙ, දවල් වෙලා ඉක්මනින් වැඩ පටන් ගත්ත. බැණුමට වෙනද සටපට ගෑවට අද නිහඬව ඉන්න ඕන.
"අම්මා ඔයා හෙට මේ වෙලාවට මෙක්සිකෝවේ ශා...මරු මරු..."
චූටි දොණිගෙ හිනාවට දුකත් හිතුණ. ඒත්...ඉතින් දවස් දාහතරක්නෙ, මොකට දුක් වෙන්නද..?.
" ඔව් ඉතින් යාළුවෝ එහෙම තමයි චූටි. දැක්කනෙ. කොහොමද ඒකට අපේ එවුන් කොළඹට යන්න හයිවෙ ටිකට් එකක් බුක් කරාවිද..?
"මේ ....මෙක්සිකෝවට යන්න මෙක්සිකෝවට ....ඔන්න යාළුවො "
අම්මටත් තාත්තටත් බේත් දෙන විදිහ ලියල තියල ගෙදරට ඕන හැමදේම ගෙනාවා. නැත්නම් මෙක්සිකෝවේ නෙවෙයි අපායට ගියත් චෝදනා. අමාරුවෙන් වුණත් කෑම උයන්න දෝණිල දෙන්නට පැවරුවෙ එයාලගෙ ලිස්ට් වල බඩු ගේන පොරොන්දුව පිට. එදා දවස හරි කාර්යබහුලව ගෙවුණා. රෑ දෙකට හයිවේ එකේ කටුනායකට ආවා මහත්තයයි පුතයි එක්ක. ගුවන් යානය තියෙන්නෙ හරියටම උදේ හයට. විදුලි එළිවලින් ආලෝකමත් වෙලා තිබුණු කටුනායක ගුවන් තොටුපළට අප ඇතුළු වුණා. කියාගන්න බෑ දැණුන සතුට. කොහෙ කොහෙ ඇවිදින්න යනවද කියල සිතින් මවමින් මං හිටියේ.
අලුත් ඇඳුම් ඇඳල මෙක්සිකෝවේ ලස්සන තැන්වල ඇවිදින්න යන විදිහ. ලෝක නගරයක් වන මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි සුමායා ජාත්‍යන්තරය කෞතුකාගාරය නරඹන්න. ඒ වගේම ඒකෙ තියන විවිධ වූ විශාල කලා නිර්මාණ කැමරාවට හසුකරගන්න. සුන්දර සුදු වැලි සහිත වෙරළ කන්කුන්හි ටර්කියුයිස්, ආකාර්ශණීය වර්ණිත වතුර සහිතව විහිදී යන මනරම් දසුන් දෑසින් දකින්න. ආකාර්ශණීය වූ අපූර්ව පුරාණ මායා නගර දකින්න. ඒ වගේම පුදුමය දනවන මනස්කාන්ත යැයි කියන උද්‍යාන, නරඹන්න තීරණය කළා. රසවත් කෑම ජාති, ගන්න....ඒත් ...මේ යාළුව කවුද ?
පතී...! ඔව් පතී කියන්නෙ නම් මාත් එක්ක නාට්‍යය කරපු නෙහාරගෙ යාළුවෙක්. ඒත් නෙහාර ජර්මනියටනෙ ගියේ. මීට අවුරුදු දහ අටකට විතර කලින් මගෙ හිත දිව්වෙ අතීතෙට. ඉස්සර නෙහාර එක්ක රඟපාපු නාට්‍යයවල චරිත මොනතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාපු ඒව ද. ඒ වගෙම නෙහාර එක්ක මඩොල් දූවට කී සැරයක් නම් ගියා ද.
ඒ ගමනේ රසවත් බව....බෝට්ටුවෙ ගමනට මම කොයි තරම් ආස කරා ද. ඇත්තටම ඒ කාලෙ ළමයි දාල නෙහාර එක්ක මම පැනලයයි කියල කීදෙනෙක් නම් හිතුව ද. මට ඉබේටම හිනා ගිය නිසා වටපිට බැලුවෙ පුතාවත් දැක්ක නම් කියල. නෙහාර එක්ක කොයිතරම් ආදරණීය සිප වැළඳ ගැනීම් තිබුණා ද, අපි තනිවුණ වාර කොතෙක් නම් තිබුණා ද ඒව රහසක් ම වුණා. අපේ ම කතාවක් අපිට මඟ හැරුණ. පතී අපට ළඟින් උන්න. ඒ සුන්දර අතීතය වර්තමානය වෙලා ආව වත් ද ?
මේ ඒ පතී ම ද...?
ඒත් මේ ...ශ්‍රී කියන කෑල්ලක් ඌට තිබුන්නෑනේ. නෙහාරම ද මේ ටිකට් එක මට එව්වෙ.
හිතේ කෝටියක් ප්‍රශ්නත්, පිළිතුරුත්, අතරෙදි එක පාරටම කාලයේ දිගුව නිම වී අවසන් මිනිත්තුවෙ හි ගුවන්යානය කරා යා යුතුව තිබුණා. පුතත් මහත්තයත් සිප වැලඳ ගැනීමෙන් පස්සේ ඇස් දෙකෙන් ආපු කඳුළු පිහිදාගත්ත. මම ආපසු හැරිලා බැලුවා. ඒ දෙන්නා ඈත ඉඳගෙන මට අත වැනුවා.
මෙක්සිකෝව බලා පැය කීපයක ගුවන් ගමන සුන්දර වූ අලුත්ම අත්දැකීමක්. ගමන පුරාම කියාගන්න බැරි සතුට, ආශාව වගේම ලොකු කුතුහලයක් පිරිල තිබුණා. නෙහාර දකිනකම් මම නොඉවසිල්ලකින් උන්නනෙ. දිගු ගුවන් ගමනකින් පස්සෙ මම මෙක්සිකෝවට ඇවිත්. දෙයියනෙ! මේ දැවැන්ත ගුවන් පර්යන්තය. නුහුරු දසුන් නරඹමින් මම ගුවන් තොටුපොළට සේන්දු වුණා. බෑගය චෙක් කරල එළියට යන්න කලින් පෝන් එක ඔන් කරල ගෙදරට කෝල් කරා. ඒත් ඒ එක්කම කෝල් කීපයක් මගෙ මොබයිල් එකට ආව. ඇමතුම් නුහුරු නම්බර් දෙකකින්. එදා මෙක්සිකෝවේ හොටෙල් එකට මගෙ මොබයිල් නම්බර් එක දුන්න ෂුවර් එකටම එහෙන් වෙන්න ඕන. පෝන් එක ආන්සර් කරල කණට තියා ගත්ත." හලෝ මැඩම්. මම, පත්මා මැඩම්ගෙ මහත්තයා මගෙ යාළුවා. මට ඔයා ගැන බලන්න කියල, ඔයාගෙ හස්බන්ඩ් මේ විස්තර දුන්නෙ මැඩම්. ඔයා මෙක්සිකෝවට එන්න එපා ඉක්මනින් ආපහු යන්න. ඔය ටිකට් එවපු ශ්‍රීපති, රොෂේන් කියන දෙන්න මෙහෙ ඉන්න ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍යය ජාවාරම්කාරයො. කොකෙන් නිෂ්පාදනයෙ රජවරු. මැඩම් මේ වෙලාවෙ මම ඉන්නෙ අප්‍රිකාවේ සංචාරයක. මම හිතන්නෙ මැඩම් එයාර්පෝට් එකට එන ගමන් වෙන්න ඇති. ආපහු යන්න. දෙයියනෙ ! මේ රොෂේන්, මම විසි වුණේ අතීතෙට. මම මනමෙ කුමාරි. නෙහාර මනමේ කුමාරයට අඳිද්දි , රොෂේන් වැද්දට අැන්ද, පතී පසුතල නිර්මාණය කළා. එදා රොෂේන් නෙහාරට ඇත්තට ම කඩුවකින් ගහන්න ගියා. අර පත්ම අක්කගෙ යාළුව තව මොනව හරි කියවගෙන ගියා වගෙ මතකයි. ඒ එක්කම මගෙ අතින් මොබයිල් එක අතහැරුණ. පුතාගෙ ඇස් දෙකේ ඡායාවත්, බොනීටෝ හුවර්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැමති දිලිසෙන පුවරුවත් අපැහැදිලි වෙමින් ඇස් දෙක නිලංකාර වුණා.
පසුවදන ,
ආසියාතික ගැහැනු බොහොමයක් කුටුම්බ ගත ජීවිතය තුළින් නික්ම කිනම් හෝ සංචාරයක ,සතුටක් සොයා යෑමට සිහින දකින බැව් නොරහසකි.එය වරදකාරී හැඟීමකින් නොවූවද එවන් වූ නිදහසක් ආසියාතික ගැහැනියකට සිහිනයක්ම පමණි.
යුතුකම් වගකීම් මිස චාරිකාවක යන්නට තම පාසල් කාලයේ මිතුරියක හා දවසක දෙකක චාරිකාවක් යෑමට විමසුවත් කඳුළු සලන තරම් වරදකි එයද වේදනා විඳින්නට සිදුවන කරුණක් ව සතුට මවා පාමින් දිවිගෙදන ගැහැනුන් කොතෙක් නම් වේද තම පවුල සෙනෙහසින් රකිමින් වුව තමන්ට, තමන් වීමට ඉඩ හසර ගිලිහී ජීවිතය තුළ සතුට, විනෝදය, පෙර තමන් කළා වූ වෘත්තීය පවා සිහිනයක වූ ගැහැනුන් නිදහස් යැයි සිතා සකසා ගන්නා හෝ සැකසෙන්නා වූ කටයුතු, ගමන් බිමන් පවා අනපේක්ෂිත වූ වේදනාවට නතුවන ඒවද විය හැක. රිදුම් පමණක් අපව හඹනවා නොවේ දැයි ඇය අවසන් මිනිත්තුව තුළදී විඳවන්නට ඇත,
ගැහැනියකටත් සෙනෙහසින් පිරි නිදහස්, සුරක්ෂාවෙන් සපිරි ලොවක් තැනේවා යි ගැහැනියක වශයෙන් මම ප්‍රාර්ථනා කරමි.