පුත්තලම රත් කළ පැය 12ක් | සිළුමිණ

පුත්තලම රත් කළ පැය 12ක්

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දංකො­ටුව නිවස ගිනි ගෙන විනාශ වී ඇති අයුරු
හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දංකො­ටුව නිවස ගිනි ගෙන විනාශ වී ඇති අයුරු

 

ශ්‍රී ලංකාව තුළ 1948 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදීමෙන් අනතුරුව ඇතිවූ පළමු බහුජන නැගිටීම සිදුවූයේ එවකට එක්සත් ජාතික පක්‍ෂ පාලනය පැවති 1953 අගෝස්තු මාසයේය. සහල් සලාකය ඉවත් කිරීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඉවත්කිරීම, තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම, ජනතාව පීඩනයට ලක්කිරීමට හේතු වූ කරුණු අතර ප්‍රධාන විය.

 

කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන්, ගොවීන්, සිසුන්, නිලධාරීන්, කාන්තාවන්, භික්ෂූන් ඇතුළු පිරිස එයට එක්වූයේ කිසිදු භේදයකින් තොරවය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොළේ, සරසවිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස් අතර විරෝධතා ව්‍යාපාර පැන නැඟුණේ සැලසුම් සහගත ලෙසින් නොවේ.

මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන විසින් 1953 ජූලි 23 වැනිදා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට එරෙහිව ඇරඹුණු විරෝධතා 1953 ජූලි අවසානය වනවිට උණුසුම් ස්වරූපයක් ගෙන තිබිණි.

විරෝධතාවන්හි අවසාන ප්‍රතිඵලය අගෝස්තු 12 හර්තාලය වේ.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව විපක්ෂයේ පක්ෂ සහ වෘත්තිය සමිතිවල රැස්වීමක් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් එදින ගෝල්ෆේස් පිටියේ විශාල ජන සහභාගිත්වයකින් පැවැත්විණි.

මේ සියලු හර්තාල්, උද්ඝෝෂණ, අතරතුරදී රටේ සිවිල් පාලනය මුළුමනින් ඇන හිටිණි. ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පවා පැවැත්වීමට කටයුතු කළේ නැවක් තුළය. හර්තාලය නිසා ජේ.ආර්. ජයවර්ධනයන්ට මුදල් ඇමති තනතුරින් ඉවත්වීමටද සිදුවිය.

හර්තාල්, උද්ඝෝෂණ, මර්දනය කිරීමට යෙදූ පොලිස් සහ හමුදා සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 11කි. ප්‍රාදේශීය නායකයන් සහ ක්‍රියාකාරිකයන් 499 දෙනෙකුට නඩු පැවරිණි.

ඉන් වසර 68 කට පසු 1953 පැවති හර්තාලයට එහා ගිය ජන අරගලයක් ආරම්භ වුයේ ඉකුත් අප්‍රේල් මස දෙවන දිනය. ආණ්ඩු විරෝධීන් කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ගෝඨා ගෝ ගම නමින් අලුත් ගමක් නම් කරමින් කූඩාරම් ගසා ගෙන එහි රැඳී සිටිමින් රටේ උද්ගතවී තිබෙන ඉන්ධන ගෑස්, විදුලිය ඇතුළු තවත් ගැටලු වලට විසඳුම් ඉල්ලා ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත් විය යුතු යැයි බල කරමින් විරෝධය පළ කළහ.

අරගලය නිර්දේශපාලනික විය. ‘’ගෝඨා ගෝ හෝම්’’ ඔවුන්ගේ තේමා පාඨය විය. මහා ජල ගැල්මක් සේ හදිසියේ මතුව නැඟුණ තාරුණ්‍යයේ ප්‍රභවයට පූජක පක්ෂය, විද්වතුන්, කලාකරුවන් නීතිඥයන් සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ඊට පෙළ ගැසුණේ රට තුළ උද්ගතව ඇති දරුණු ඛේදවාචකයේ විසඳීමට හැකි අයුරින් දායකවීමට ය.

පුරා මාසයකට අධික කාලයක් එනම් ඉකුත් 9 වෙනි දිනට තිස් හතක් පුරාවට පැවති නිර්මාණාත්මක සහ සාමකාමී අරගලය ගැටුම්කාරී තත්වයකට පත්වුයේ හදිසියේ එම ස්ථානයට කඩා වැදුණු පොලු මුගුරු අතැතිව බීමතිවන් කඩා වැදුණු කණ්ඩායමක් හේතුවෙනි.

මේ අතර අරගල භූමියට විවිධ දේශපාලන පක්ෂවල නායකයින් මැති ඇමතිවරුන් පැමිණීමට කටයුතු කළහ. ඒ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අරගල භූමියේ සැරිසරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මම සිද්ධීන් පාදක කරගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු වේලාවක් තුළ කලහකාරී සිද්ධීන් ඇති වෙන්න පටන් ගැනිණි. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වයඹ බස්නාහිර පළාත් මායිම් වන මා-ඔය පාලම අසල පොලු මුගුරු රැගත් විරෝධතාකරුවන් විශාල පිරිසක් රැඳී සිටිමින් අමාත්‍යවරයා පැමිණෙතැයි මාර්ගයේ ගමන් ගන්නා වාහන පරීක්ෂා කරන්නට විය. හලාවත නගරයේ දී කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල රථයටද අලාභ හානි සිදු කළේ මින් අනතුරුය. හලාවත, වෙන්නප්පුව, පුත්තලම මහවැව ඇතුළු සෑම නගරයකම විරෝධතාකරුවන් නිර්පාක්ෂික ගෝල්ෆෙස් විරෝධතාකරුවන්ට පහරදීමට විරෝධය පා එක්රොක් වී විරෝධතා පැවැත්වූහ. ඒ අතර රෝහල් ඇතුළු රාජ්‍ය ආයතනවල ද සේවක සේවිකාවන් සිය ආයතනවල ඉදිරිපිටට පැමිණ විරෝධතා පවත්වන්නට වූහ. පැවති මෙම වටපිටාවාව තුළ සවස හතරට පමණ බස් රථ, වෑන් රථ, යතුරු පැදිවලින් පැමිණි පන් දහසකට අධික පිරිසක් පිරිසක් හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට හා කාර්යාලයට ගල් මුල්වලින් පහර දී විරෝධතාකරුවන් ගිනි තැබීමට කටයුතු කළහ. මෙම සිදුවීම ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට ගත්තේ ඉතා සුළු වේලාවකි.

අනතුරුව කුපිත වූ ජනතාව පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව නියෝජිතයන් ඇතුළු මහජන නියෝජිතවරුන්ගේ නිවෙස් වලට පහරදෙමින්, දේපලවලට අලාභ හානි කරමින් ගිනි තැබීමට කටයුතු කළහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙකුගේ, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් තිදෙනෙකුගේ නිවාස හා දේපළ, වාහන කුපිත වූ ජනතාව විසින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස, දංකොටුව ප්‍රදේශයේ පිහිටි අරුන්දික ප්‍රනාන්දුගේ නිවස, අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩිය සහ මරදවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකක් සහ වාහන තුනක්, පියංකර ජයරත්නට අයත් මාදම්පේ ප්‍රදේශයේ නිවස හා රජයට සහාය ලබා දුන් පුත්තලම වාන මාර්ගයේ පිහිටි අලි සබ්රි රහිම්ගේ නිවස හා කාර්යාල හා වාහන විනාශ කෙරිණි.

වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු සහ පාලිත රෝහණ යන අයගේ නිවෙස් මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චිට, හලාවත ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට අයත් නිවාසවලටද අලාභ හානි කර ඇත. මෙම සිද්ධීන් වලට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කරන බව පුත්තලම බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

 

Comments