ප්‍රසන්න අප්‍රසන්න වූ දොස්තර ගැන දොස්තරලා කියන කතා | සිළුමිණ

ප්‍රසන්න අප්‍රසන්න වූ දොස්තර ගැන දොස්තරලා කියන කතා

මහා­චාර්ය රනිල් ජය­ව­ර්ධන
මහා­චාර්ය රනිල් ජය­ව­ර්ධන

 

නාරාහේන්පිට ලංකා (පුද්ගලික) රෝහලට පැමිණි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ සායනික පෝෂණවේදි, මහාචාර්ය රනිල් ජයවර්ධන ය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මෙය පසුගිය දිනවල කාගෙත් කතා බහට ලක් වූවකි.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා මහාචාර්ය රනිල් ජයවර්ධන දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත. නමුදු ඒ පිළිබඳව ඔහු කළ අදහස් දැක්වීමක් අන්තර්ජාලයෙන් අපට හමු විය. එහිදී ඔහු පළ කළ අදහස් මෙසේය. "මට ලොකු ප්‍රසිද්ධයක් ගන්න කරන එකක් නෙමෙයි මේක. ඇත්තටම මෙතන මානුෂීය හේතුවක් තියෙන්නේ. අපේ ගෙවල්වල ලයිට් නැහැ. දැන් වාහනයට තෙල් ගහගන්න විදිහක් නැතිව යාළුවකුගේ වාහනයක ආවේ. ඔය තත්ත්ව ඔක්කොම එක්ක අපිට බැහැනේ සදාචාරාත්මකව මේ වගේ කෙනෙකුට treat කරන්න. මම වෛද්‍යවරයකුට අමතරව මහාචාර්ය කෙනෙක්නේ. මේ අය ඊයේ පෙරේදා මහාචාර්යවරුන්ටත් එක එක ඒවා කියලා තියෙනවානේ. පාර්ලිමන්ට් එකේදිම කිව්වානේ මහාචාර්යවරු ඒ අයගේ students ලා, ළමයින්ව හරියට හදලා නැහැ කියලා, අපට දොස්තර කෙනෙක් විදිහට ඕනෑම වෙලාවක පුළුවන් ඒ patient එක්ක තියෙන තීරණයක් ගන්න. ඒ patientව බලනවාද නැද්ද කියලා තීරණය ගන්න පුළුවන්. නර්ස් ඒ ෆයිල් එක ගෙනත් තියපු ගමන් මම කිව්වා මම මේ patient ව බලන්නේ නැහැ කියලා. එයාට සල්ලි refund කරලා දෙන්න කියලා කිව්වා. ඒක තමයි ඇත්තටම වුණේ. වෙන මුකුත් වුණේ නැහැ. ඒපාර නර්ස්ලා ගිහින් මම බලන්න කැමති නැහැ කිව්වාට පස්සේ ඒ මහත්තයා යන්න ඇති. මේ අවස්ථාව අනුව අපි හැම එක්කෙනාටම එක විදිහට සලකන්න ඕනෑ.

ඇත්තටම එයාලා කවුරුවත් විශේෂ පුද්ගලයන් නෙමෙයි. එයාලාට ඕනෑ නම් රජයේ ඉස්පිරිතාලවලට ඇවිත් බෙහෙත් ගන්න පුළුවන්. ඒක තමයි විශේෂඥ වෛද්‍යවරුන් ඔක්කොම තීරණය කර ගත්තේ politiciansලාට කොහොමටත් විශේෂ සැලකිල්ලක් දෙන්නෙ නැහැ කියලා. Unless Emergency. Emergency නම් කිසිම දෙයක් කල් දාන්න බැහැ. මම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇහුවාම ඒ අයත් ඒ තීරණයෙ තමයි ඉන්නේ. ඇත්තටම මට පෞද්ගලිකව කිසි ප්‍රශ්නයක් නැහැ. මම තුන්වෙනි පාරට තමයි බලන්න තිබුනේ. දෙපාරක් බලලා තියෙනවා. ඒත් දැන් එන්න එන්න ප්‍රශ්නය උත්සන්න වෙලා. ඒ අය මිනිස්සුන්ගේ පැත්තට තීරණ ගන්න බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ යුතුකම කරන්න ඕනෑ. අපි පාගමන් ගියා. කැම්පස්වල හර්තාල් කළා. අපි මොනවා කළත් ඒ අයට ඇහිලා නැහැ වගේ තමයි පෙනෙන්නේ."

මහාචාර්ය රනිල් ජයවර්ධන මේ ආකාරයට අදහස් පළ කර තිබුණද ඔහුගේ ක්‍රියා කලාපය බොහෝ දෙනකුගේ උදහසට ලක් විය. බොහෝදෙනකුගේ අදහස වී තිබුණේ මහාචාර්යවරයගේ ක්‍රියාව වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි බවයි. හිපොක්‍රටිස් දිව්රුම කඩ කළ වෛද්‍යවරයකු ලෙස මහාචාර්ය රනිල් ජයවර්ධනව හැඳින්විණි. වෛද්‍ය සේවයේදී හතුරාටත් මිතුරාටත් එක සමානව සැලකිය යුතු බව බොහෝදෙනකුගේ අදහස විය. ඔවුහු රෝහලේදී වෛද්‍යවරයා වෛද්‍යවරයකු මිස අරගලකරුවකු නොවන බවත් රෝහලේදී රෝගියා රෝගියකු මිස අමාත්‍යවරයකු නොවන බවත් සටහන් කළහ.

වෘත්තීයවේදින් දේශපාලනයට යොදවා ගැනීම බරපතළ ප්‍රශ්නයක්. අද රාජ්‍ය සේවයේ අයව මේ දේශපාලනයෙන් ගලවාගන්න බැහැ. අද මිනිස්සුන්ගේ දේශපාලනය වෙනස් වුණාට සදාචාරය වෙනස් වෙලා නැහැ. මේකට මේ රටේ සෑම දේශපාලන ආණ්ඩුවක්ම වගකිව යුතුයි. කොටින්ම කිව්වොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් (GMOA) දේශපාලනයට යොදවා ගත්තා. මහාචාර්ය රනිල් ජයවර්ධනගේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නෙත් ඒ දේශපාලනීකරණය තමයි. පුද්ගලික හැඟීම් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කරන්න බැහැ. ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලික රෝහල රෝගියාට වගකිව යුතු බවයි මගේ අදහස. හරි නම් ඒ වෛද්‍යවරයාගේ මහාචාර්ය පදවිය අහෝසි කරන්න ඕනෑ" යනුවෙන් අදහස් දැක්වූයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ය.

ඒ අතරවාරයේදී පසුගිය සඳුදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට වෛද්‍යවරුන් දෙදෙනාගේ හැසිරීම, මාධ්‍ය සංදර්ශනයක් බවත් ඒ තුළින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) ලකුණු දමා ගැනීමට කටයුතු කළ බවත් පැවසීමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අමතක කළේ නෑ. "ඉස්පිරිතාලෙකට රෝගියෙක් ගෙනාපුවාම ඒ කෙනාගේ ජාතිය, ආගම, කුලය, දුප්පත් ද ධනවත් ද කියන කිසිම කාරණයක් වෛද්‍යවරුන්ට අදාළ වෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් ප්‍රකාශ කර තිබෙන්නේ රෝගින්ට සේවය කිරීම තුළින් සතුට ලබා ගන්න කියලා.

ප්‍රතිකාර ගැනීමට එන රෝගින් උස් පහත් කරලා සලකන්න වෛද්‍යවරුන්ට බැහැ. එදා හදිසි අනතුරු අංශයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට වෛද්‍යවරුන් කටයුතු කළේ වෛද්‍යවරුන්ගේ ආචාරධර්මවලට අනුකූලවයි. රෝහලක් ඇතුළට රෝගියකු ආවාම අපේ පෞද්ගලික මතවාද වැදගත් වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ රෝගියාට සත්කාර කිරීම පමණයි. යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු පැහැදිලි කළේය. එහෙත් මහාචාර්ය රනිල් ජයවර්ධන සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අදහස් පළ කිරීමෙන් වැළකී සිටියේ මහාචාර්යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෛද්‍යවරයකු නොවන බව පවසමිනි. මහාචාර්ය රනිල් ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු වන බැවින් ඔහු අයත් වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බව ඔහු සඳහන් කළේය.

"මහාචාර්ය රනිල් ජයවර්ධන විසින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම කියන කාරණයේදී පෞද්ගලික රෝහලක සිදුවීම ගැන අපි අවධානය යොමු කරන්න ඕනෑ. එතනදී ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය වෛද්‍යවරයාට තිබෙනවා. රජයේ රෝහලකදි මේ සිදුවීම වුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. හැබැයි මෙම වෛද්‍යවරයා පුද්ගලික රෝහලේ කළමනාකාරිත්වයට දැනුම් දී තිබුණා නම් එයා දේශපාලනඥයන් පරීක්ෂා කරන්නේ නැහැ කියලා, හිටපු අමාත්‍යවරයා අපහසුතාවට පත් නොවන්න ඉඩ තිබුණා. අනිත් කාරණය තමයි මීට පෙර අවස්ථා දෙකකදීම මෙම වෛද්‍යවරයා විසින් මෙම පුද්ගලයාට ප්‍රතිකාර කර තිබෙනවා.

තුන්වැනි අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා ප්‍රතික්ෂේප කිරීම ගැන මීට වඩා සැලකිලිමත් වීමට ඉඩ තිබුණා. කොහොම වුණත් රෝහල් කළමනාකාරිත්වයට මහාචාර්යවරයා එයාගේ ප්‍රතිපත්තිමය තීරණය දැනුම් දුන්නා නම් ඔහුට වෙනත් වෛද්‍යවරයකු වෙත යොමුවීමේ හැකියාව තිබුණා. එහෙම නම් මේ සිද්ධිය මේ තරම් දුරදිග යන්නේ නැහැ. අනික මේ වෛද්‍යවරයා ප්‍රකාශ කරනවානේ හිටපු අමාත්‍යවරයාට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්න පුළුවන් කියලා. ඔහු ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙ නැහැ. එතකොට වෛද්‍ය ආචාරධර්ම කඩ කළා කියලා කියන්න බැහැනේ." යනුවෙන් පැවසුවේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ය.

පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිදුවූ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අගය කිරීමට වෛද්‍ය ජී.ජී. චමල් සංජීව අමතක කළේ නැත. ඒ, රෝගියා මිනීමරුවකු වුවද ඔහුගේ තරාතිරම නොබලා උපරිම වශයෙන් සේවය සැලසීම වෛද්‍යවරුන්ගේ රාජකාරිය වන නිසාය.

"වෛද්‍යවරයකුගේ පරම යුතුකම වන්නේ රෝගින්ගේ ජීවිත බේරා ගැනීම. අපි කිසිම කෙනෙක් ස‌ෙතකුගේවත් මරණය අනුමත කරන්නේ නැහැ. එදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඉදිරිපිට වෛද්‍යවරුන් කටයුතු කළේ ඒ අරමුණ ඇතිවයි. එල්.ටී.ටී.ඊ යුද්ධය තිබුණු කාලේ අපි අපේ හමුදා සොල්දාදුවන්ටත් ප්‍රතිකාර කළා. තුවාල වුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටත් ප්‍රතිකාර කළා. හිරගෙවල්වල ගැටුම් පැවැති අවස්ථාවල අපි සිරකරුවන්ටත් ප්‍රතිකාර කළා. ඒ අය අධිකරණයෙන් වැරදිකරුවන් වුණ අය කියලා අපි ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ.

සාමාන්‍ය තත්ත්වය ඒකයි. වෛද්‍යවරුන්ගේ කාර්යභාරය, යුතුකම හා වගකීම වෙන්නේ රෝගින්ගේ ජීවිත බේරාගැනීම සඳහා උපරිමයෙන් කැපවීම. එසේ වුවත් හදිසි ප්‍රතිකාර තත්ත්වයක් නොවන අවස්ථාවකදී වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි ඒ රෝගින් ජීවිත තර්ජනයක් තිබෙන, හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන රෝගින් නොවිය යුතුයි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙලාවක ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නැහැ. ජාත්‍යන්තර නිර්ණායක වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇති නිර්ණායකවලත් ඒ බව පැහැදිලිව විස්තර කර තිබෙනවා" යනුවෙන් පැහැදිලි කළේ මහාචාර්ය මන්දික විජේරත්න ය.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වන අතර කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටු සාමාජිකයෙකි.

 

 

Comments