ඇඳි­රිය අස්සේ භීති­යෙන් වෙළුණු කොලො­ම්පු­රේ සවා­රි­යක් | සිළුමිණ

ඇඳි­රිය අස්සේ භීති­යෙන් වෙළුණු කොලො­ම්පු­රේ සවා­රි­යක්

තරු­ණ­යන් පිට­කො­ටුව බස් නැව­තුමේ ක්‍රිකට් ක්‍රීඩා කර­මින්
තරු­ණ­යන් පිට­කො­ටුව බස් නැව­තුමේ ක්‍රිකට් ක්‍රීඩා කර­මින්

 

ටම ගිනිගත් අවාසනාවන්ත, දින කිහිපය සමස්ත ලක්වැසින්ට සේම කොළොම්පුරවාසීන්ටත් පුදුම තරම් බිහිසුණු හද කකියවන සුළු ජුගුස්සාජනක සිද්ධි දාමයක් වූවාට කිසිදු සැකයක් නැත. දෙදහස් විසිදෙකේ මැයි නමවෙනිදා නමය නපුරුය යන වදන සත්‍යයක් බවට ඔප්පු වූයේ කිසිවකුත් බලාපොරොත්තු රහිත, කිසිදාක සිදු නොවිය යුතු අමිහිරි මතකයන් රැසක කළු පැල්ලම් රැසක් ශේෂ කරමිනි.

 

සතිඅන්ත නිවාඩුවෙන් පසු සඳුදා දිනයක් වූ එදිනත් දිවයිනේ නන් දෙසින් අගනුවරට ලක්ෂ සංඛ්‍යාත ජනගඟක් විවිධ හේතූන් මත හා රැකියා පිණිස පැමිණියහ. අගමැති මැදුර හා ජනාධිපති මැදුර අබියස සිදුවන සජීවී සිදුවීම් රූපවාහිනී තිර මත දිග හැරෙන්නට විය. කාගෙ කාගෙත් සිත් යොමුව

බේරේ වැවට දැමූ වාහ­න­යක් ගිනි තබා ඇති අයුරු

තිබුණේ ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්නයි. ලේක්හවුසිය අසලින් ඇදෙන ඇම්බියුලන්ස් හඬ කියාපෑවේ ද බිහිසුණු සිදුවීමක පෙරනිමිතිය. වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව නිවේදනය කෙරුණු පසු අගනුවර කාර්යාලවල බහුතර පිරිසක් එකවර එළියට බට හෙයින් අගනුවර පැවතියේ දැඩි තදබදයකි. ලේක්හවුස් ඉදිරිපිටින් ගාලුමුවදොර දක්වා දිවෙන පාර පොලිස් බාධක යොදා වසා තිබුණු අතර සතර දෙසින් එක්රැස්වූ වාහනවලින් නිකුත් වූ නලා නාදය කන් බිහිරි කරන්නක් විය. පිටකොටුවට විශාල ජන ගඟක් ඇදෙමින් තිබුණු අතර ටෙක්නිකල් මංසන්ධියේ සිට පංචිකාවත්ත දෙසට පැවතියේ එකම තදබදයකි.

“ඉස්සරහ බස් ගිනි තියනවා”; වාහනවලට ගහනවා සැමතින් ඇසුණේ එකම හඬිනි.

පොලු මුගුරු රැගත් තරුණ පිරිසක් පාරේ වාහන අතර ඔබමොබ සැරිසරමින් වාහනවල අංක පරීක්ෂා කෙරුණි. පංචිකාවත්ත හන්දියේ බස් රථ හරස් කර තිබූ අතර පාර වසා ටයර් ගිනි තබමින්, සටන් පාඨ කියමින් මහපාර අරක්ගෙන තිබුණි. පිටකොටුවේ සිට යතුරුපැදියෙන් බෞද්ධාලෝක මාවතේ පිහිටි මගේ නිවසට යාමටත් පැය 2 පමණ වේලාවක් ගතවූයේ මහා මාර්ගයේ දිගටම පැවති වාහන තදබදය හේතුවෙනි.

රට ම එක ම යුද පිටියක් ව තිබුණ ද මම සඳුදා කොළඹ ජාතික රෝහලට ගියෙමි. මහරෝහලට ළඟාවන හැම මාර්ගයක්ම සෑම දෙසකින්ම ජනාකීර්ණව පැවතුණි. මහ හඬ නංවමින් ගිලන් රථ හදිසි අනතුරු අංශයේ ගේට්ටුව අසලට පියඹා එයි. රැගෙන එන තුවාලකරුවන්ගේ දිවි බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය උත්සුක වෙද්දී ඇතැම් පිරිසක් තවත් ගැටුමකට අරඅදිමින් සිටියහ. හදිසි අනතුරු අංශයේ පිවිසුම් මාර්ගයේ ඇතුළත දිස්වූයේ එකම හිස්ගොඩකි. ඇතැම් පිරිස් තුවාලකරුවන්ට එල්ල කරන පහරවල් රෝහල් කාර්ය මණ්ඩලයට ද වැදුණි. අවසානයේ වෛද්‍යවරු ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ පැවසුවේ රෝගීන් කාහටත් ප්‍රතිකාර කිරීම රෝහලේ වගකීමක් නිසා ඊට බාධා නොකරන ලෙසත් රෝගීන්ට හිංසා නොකර ආපසු යන ලෙසත්ය.

මහජන පුස්තකාලය අසල  වෙසක් සැර­සිලි කරන නගර සභා සේව­ක­යන් පිරිසක්

සඳුදා සවස් භාගයේ මාධ්‍ය ජැකට්ටුව පැළඳගත් මා අගනුවර තතු විමසනු වස් යතුරු පැදියෙන් අගනුවර සැරිසැරුවෙමි. බෞද්ධාලෝක මාවතේ තුම්මුල්ලෙන් කොල්ලුපිටිය දෙසට විහිදි ප්‍රධාන පාරේ විශාල බස් රථ දෙකක් ගිනි තියා තිබුණි. තුම්මුල්ලෙන් මහරගම දෙසට දිවෙන මාර්ගයේ සම්බුද්ධත්ව මන්දිරය අසලද දැවුණේ විශාල බස් රථ දෙකකි. ගින්න නිවනවා වෙනුවට බහුතර පිරිසක් ඒ අසල ඡායාරූප ගනිමින්, වීඩියෝ කරමින් තම ජංගම දුරකථනවල සිද්ධීන් සටහන් කරන ආකාරය දක්නට ලැබුණි. ඇඳිරිනීතිය ඒ වන විට රටපුරා ක්‍රියාත්මක වුවද මහ පිරිසක් ඒ වනවිටත් කොළොම්පුර අගමැති මැදුර සමීපයේ හා ගාලුමුවදොර අරගල බිමේ රැඳී සිටියහ. ගංගාරාමය අසලින් අගමැති මැදුරට දිවෙන පෙරහැර මාවතේ එකම ගිනි ජාලාවක් සේ වාහන රැසක් ගිනි තබා තිබුණි.

අරලියගහ මැදුර ගාලුපාර පිවිසුමේ රැස්ව සිටි තරුණ පිරිසක් විශාල යකඩ මාර්ග බාධකයක් තල්ලු කරගෙන විත් අරලියගහ මැදුරේ ඉදිරිපස විශාල ගේට්ටුවේ වැද්දූහ. නැවතත් එයම රැගෙන විත් පිටුපස සිට ඉදිරියට පැමිණ ගේට්ටුවේ වැද්දුවේ කෙසේ හෝ ඇතුළුවීමටය. ඒ අතර අතට අසුවන ගල් කැබලි වලින් අරලියගහ මැදුර දෙසට දමා ගැසූහ. අරලියගහ මැදුරට ඇතුළු විය හැකි සෑම ගේට්ටුවක් අසලටම ජනයා ඒකරාශි වී සිටිනු දක්නට ලැබුණේ ඇඳිරි නීතිය හා පොලිස් අණ ද නොතකමිනි. අවසානයේ ආරක්ෂක හමුදා විසින් කඳුළු ගෑස් ප්‍රහාර හා අහසට වෙඩි තැබූහ.

නිශා කළ අරගල බිමේ පැවතියේ දැඩි අඳුරකි. කඩා බිඳ දමා තිබූ ඇතැම් කුටි නැවත ඉදිකරමින් තිබුණේ කලින් තුබූ තැන්වලට වඩා එහාට මෙහාට වන්නටය. ආරක්ෂක හමුදා හා පොලිස් අණ ද නොතකමින් විශාල පිරිසක් ගාලුමුවදොරට ඇදී ආහ. අරගල බිමේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල තනා තිබූ ප්‍රධාන අරගල කුටිය අසල අතිවිශාල ජනතාවක් රැඳී සිටිනු දක්නට ලැබුණි. අරලියගහ මන්දිරය අසල ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පුපුරා යාමෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ආරක්ෂක භටයෙක් මිය ගිය අවාසනාවන්ත පුවතක් මා සවනත වැකිණි.

පසුදින 10දා අඟහරුවාදා එළිවන විට රටපුරා එකම ගිනි ජාලාවක්ව තුබූ බව මාධ්‍ය මඟින් අසන්නට ලැබුණි. අගනුවර වටා සංචාරයට එදින මා මහමඟට පිවිසියේ සවස් වරුවේය. බෞද්ධාලෝක මාවතට බොරැල්ල දෙසින් පිවිසෙන මාර්ගයේ හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු පමණ සිටි අතර දෙදෙනෙක් අත ගිනි අවි ද වූහ. එදින කොළොම්පුර හැම පාරක්ම පාළු ස්වභාවයක් දිස්විය. ඇඳිරි නීතිය හමුවේ එතනින් ගමන් කරන අයගේ සෑම වාහනයක්ම පරීක්ෂා කෙරෙන අතර සාධාරණ අනන්‍යතාවක් ඔප්පු කළ නොහැකි පිරිස් සහිත වාහන ආපසු හරවා යවන බව ඔවුහු කීහ.

පුරහල අසල ගිනි තබා විනාශ කළ බස් රථ 3ක් දක්නට ලැබුණි. බස් රථවල ඇතුළත මුළුමනින්ම විනාශ වී තිබුණත් රථයේ ගමනාන්තය හා අංක තහඩු පැහැදිලිව දිස් විය. ඒ ස්ථානය පසුකොට යන වාහනවල සිටින පුද්ගලයන් තම ජංගම දුරකථනවලින් නිසල සේයාරූ සටහන් කරගත්තේ වාහන සෙමින් ගමන් කිරීමට සැලැස්වීමෙනි. රටට මෙවන් විශාල විපතක් සිදුව තිබෙද්දීත් කොළඹ ඉහළ මධ්‍යම පන්තියේ මැදිවිය ඉක්මවූ දෙගොඩහරි වයසේ ගැහැනු පිරිමි කීපදෙනෙක් තම සුපිරි පන්තියේ සුනඛයන් රැගෙන විහාරමහාදේවි උද්‍යානයේ සිනාපිරි මුවින් මොනවාදෝ දොඩමින් සැරිසරනු දක්නට ලැබුණි.

බේරේ වැව අසල වාහන රැසක් මුළුමනින්ම විනාශ කර දමා තිබූ අතර පෙරහැර මාවතෙන් අරලියගහ මැදුරට පිවිසෙන මාර්ගයේ පිළිස්සුණු වාහනයක කොටස් ගලවන තරුණයෙක් මා නෙත ගැටුණි. ඒ වන විට ඇඳිරි නීතිය ද නොතකා ඉතා විශාල පිරිසක් බේරේ වැව අසලට රොක්ව පිළිස්සු වාහන නරඹමින් සිටිනු දුටු මගේ හද කීරි ගැසුණි. බේරේ වැවට පෙරළුණු වාහනයකට ගිනි තැබූ තරුණයින් ඊළඟට වන්නේ කුමක්දැයි බලා සිටියහ. ඡායාරූප ගැනීමට ඊට සමීප වූ මා හට ඔවුන් පැවසුවේ මිස් ඈතට වෙන්න දැන් පෙට්‍රල් ටැංකිය පුපුරයි යනුවෙනි.

ගතවූයේ නිමේෂයකි. දැවෙන එක් වෑන් රියක් දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බැවින් කවුරුත් දුරස් වූහ. නවලෝක රෝහල සමීපයේ බේරේ වැව අසල ද බස් රථ දෙකක් ගිනි තබා පෙරළා දමා විනාශ කර තිබූ අතර එකක් ලං.ග.ම. රියකි. එම අන්තයෙන් අරලියගහ මැදුරට යන පාර ද හමුදාව අරක්ගෙන සිටිනු දක්නට ලැබුණි.

පිත්තල හන්දියෙදී පොලිස් නිල­ධා­රීන්  විනාශ වූ වාහන පරීක්ෂා කරන අයුරු

සටන් පාඨ කියමින් ජාතික කොඩි රැගෙන කොම්පඤ්ඤවීදිය දෙසින් ගාලු මුවදොරට ඇඳිරි නීතිය ද නොතකා ඇදෙන පෙළපාලියකි. කොම්පඤ්ඤවීදියට ළඟා වන විට සැඳෑ අඳුර හාත්පස අරක්ගෙන තිබූ අතර රාත්‍රී කෑම කඩ දෙක තුනක් ද විවෘතව තැබුණි. අගනුවර වැඩිම ජන පිරිසක් ගාලුමුවදොරට අමතරව මා දුටුවේ එහිය.

ඔවුන්ට ඇඳිරි නීතියක් නැත්තා සේය. කොම්පඤ්ඤවීදිය දුම්රියපල අසලින් වැටුණු පටු පාර ඔස්සේ යතුරු පැදියෙන් මා ගමන් කළේ අරලියගහ මැදුර දෙසටයි. පොලිස් හා හමුදා නිලධාරීන් සේවයේ යෙදී සිටිමුත් හාත්පස පැවතියේ දැඩි නිහැඬියාවකි. එහි ඉදිරිපස ගස්කොළං පිච්චී කළුවී තිබුණි. "ඊයේ හිටපු කට්ටිය කෝ?" මම ආරක්ෂක නිලධාරින්ගෙන් විමසීමි. "උදේ අගමැතිතුමා පිටවුණාම ඒ අයත් ගියා ගාලුමුවදොරට. අපිත් පැය 12 - 24 වගේ වැඩ කරන්නේ එකතැනක. ගල් ප්‍රහාරවලින් ඇතුළේ ආරක්ෂක නිලධාරින්ටත් තුවාල වෙලා තිබුණා. අරලියගහ මන්දිරේ සේවකයෝ ඉවත්කර ගත්තෙත් හරි අමාරුවෙන් ඔවුහු පැවසූහ. කොල්ලුපිටිය පොලිසිය අසල විශාල පොලිස් නිලධාරින් පිරිසක් සිටියහ.

එතැනින් යතුරු පැදිය ආපසු හරවාගත් මා මාර්ග බාධක අතරින් ඇති පුංචි ඉඩෙන් රිංගමින් ගාලුමුවදොර දෙසට පිවිසීමි. ගාලුමුවදොර හෝටලය මානයේ වටරවුම බෞද්ධ කොඩිවලින් බැනර්වලින් සරසා තිබුණි. අවිඳු අඳුර නැසූ මේ උතුම් වෙසඟේ සැම සිත් සුවපත් වේවා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! එහි සනිටුහන් විය.

වෙනදාට වෙසක්වලට අමුතු වෙසක් ගන්නා කොළොම්පුර කාටත් අමතකව ගිය වෙසක් සිරිය කාටත් සිහි කැඳවමින් මා දුටු පළමු වෙසක් සැරසිල්ල එයයි. අරගල භූමිය අරා කිසිඳු ආරක්ෂක නිලධාරියකු නොවූ අතර ප්‍රධාන අරගල කුටියට අමතරව කුඩා අරගල ස්ථාන කීපයක් විය. ඒ හැම තැනකම කාන්තාවන් මූලිකත්වය ගෙන සටන් වැකි කීහ. අරගල භූමිය ඉදිරිපස සැකසූ නව කුටියක ස්වාමින් වහන්සේලා උපවාස කරමින් සැතපී සිටියහ. ඒ අසලම කන්‍යා සොයුරියන් විශාල පිරිසක් ද විය. කතෝලික පියතුමන් රැසක් ද අරගල බිමේ සැරිසැරූහ. අරගල බිමේ සිතුවම් කඩා බිඳ දැමුවද නව චිත්‍ර නිර්මාණ නවමු ආරකින් ඉදිරිපත් කොට තිබුණි. විවිධ සංවිධාන රැසක් විවිධාකාරයෙන් අරගල බිමේ සැමට සත්කාර කරනු පෙනුණි.

බොහෝ පිරිස් ජංගම දුරකථනවල එළි දල්වා එහාට මෙහාට තාලෙට වනමින් අරගලකරුවන් දිරි ගැන්වූහ. අරගලයේ ජනතා හඬ යනුවෙන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසා තුබූ අතර කාන්තා චරිත ප්‍රබලව හඬ නඟනු දුටිමි. ජාතික ප්‍රතිපත්ති ව්‍යාපාරය පිරිසිදු පානීය ජලය බෙදා දුණි. අරගල භූමිය පුරා කළු කොඩි එල්ලා තිබූ අතර සිත් සේ තැන තැන වාහන ගාල්කර තිබුණි. එදින මා නිවසට පැමිණියේ මැදියම් රැය ද පසුකළ පසුය. පසුගිය එකොළොස්වෙනි බදාදා කොළඹ වටා සංචාරය කළ මා තුම්මුල්ලට මුලින්ම යතුරුපැදිය ධාවනය කළෙමි. අතරමග මාර්ග බාධක ත්‍රිවිධ හමුදා බාධක කොතෙක් තිබුණ ද ආරක්ෂිත ජැකට්ටුව පැළඳි මා හට ඔවුන් බාධා නොකළේ ඒ වන විට මා හුරුපුරුදු රුවක් වූ හෙයිනි. නගරයේ ස්ථාන කීපයක හැරෙන්නට සෑම තැනකම පාහේ කඩසාප්පු වසා දමා ජනශුන්‍යව පැවතුණි.

ආර­ක්ෂක නිල­ධා­රීන් කොල්ලුපිටියේදී  වාහන පරීක්ෂා කරන අයුරු

මහා මාර්ගයේ ගමන් කළේ ද වාහන කීපයක් පමණි. තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට, කෞතුකාගාරය සමීපයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසල පිටකොටුව බෝගස සමීපයේ කඩසාප්පු කිහිපයක් විවෘතව තිබුණි.

එකම තැනක වැඩිම ආරක්ෂක නිලධාරින් පිරිසක් මා දුටුවේ පිත්තල හන්දියේය. එහි ද බස් රථ කීපයක් පෙරළා ගිනි තබා විනාශ කර තිබූ අතර ආරක්ෂක නිලධාරීන් 40 පමණ රාජකාරි කළහ. පොලිස් නිලධාරීන් විසින් පෙරළුණු රථවාහන පරීක්ෂා කරනු දුටුමි.

තෙවන දින බේරේ වැව අසලට ගිය විට එහි කිසිම කෙනෙක් නොසිටි අතර ආරක්ෂක පවුරු දැඩිව යොදා තිබුණි. අරලියගහ මැදුර ඉදිරිපිට විදේශ මාධ්‍යවේදීන් ද වූහ. ඒ වන විට රටේ ආරක්ෂක නීති ඉතාම දැඩි කර තිබුණත්, ගාලුමුවදොර සිට කොඩි ද රැගෙන කොල්ලුපිටිය පොලිසිය ඉදිරියෙන් සමහර පිරිස් ගමන් කළහ. එක් පොලිස් නිලධාරියකු පැවසුවේ අපි කියන දෙයක් මිනිස්සු අහන්නේ නෑ. අන්තිමට අපිටත් ගහනවා බනිනවා. අපිටත් දැන් එපාවෙලා යනුවෙනි.

පිටකොටුව දුම්රියපල, බස් නැවතුම පාළු සිරියක් ඉසිලූ අතර බෝධිය අසල වැඩ නිම නොකළ තොරණකි. ලංගම බස් නැවතුම බස් රථ හරස් කරමින් වසා තුබූ අතර ඇතුළත තේ කඩ කීපයක් විවෘතව තිබුණි. අතරමං වූ තරුණ පිරිසක් විශාල බෑග් සමඟ බංකු මත ළැගුම් ගෙන සිටි අතර තරුණ පිරිසක් බස් නැවතුම ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනු දුටිමි. පිටකොටුව, මරදාන ආදී තදාසන්න ප්‍රධාන පාරවල් ළමුන්ගේ ක්‍රිකට් බිම් බවට පත්ව තිබෙනු අගනුවර ඔබමොබ සැරිසැරූ මා නෙතට සුලභ දසුනක් විය. මරදාන පොලිසිය සමීපයේ වෙසක් කූඩු අලෙවි හලක් විය. සමහර ආයතනවල හා නිවෙස්වල වෙසක් කූඩු හා බෞද්ධ කොඩ එල්ලනු දුටිමි. එක් විනාශ වූ බස් රථයක සම්මා සම්බුදු සරණයි වදන සටහන් විය.

රටපුරා ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව මෙන්ම රටපුරා සිදුවූ ජාතික දේපළ, ජීවිත හානි පිළිබඳව වරින්වර ප්‍රවෘත්ති හා විශේෂ විකාශ මඟින් ප්‍රචාරය කළත් කොළොම්තොට ඇතැම් පිරිස්වලට ඒවා නෑසෙන්නාක් මෙන් හැසිරෙන බැව් පසුගිය ඇඳිරි නීතිය සමය පුරා දිවා රෑ සෑම දිනකම සෑම අස්සක් මුල්ලක් නෑරම සැරිසැරූ මා අත්දුටු අත්විඳි සත්‍යයකි. පසුගිය 11දා සවස් වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පොලිස් නිලධාරින් නිවේදනයක් නිකුත් කරමින් ඇඳිරි නීති කොන්දේසිවල බරපතළකම නිවේදනය කරනු ඇසුණි. එහෙත් ජාතික කොඩි වලින් ගත වසාගෙන සිටි ඇතැමුන්ට එය ද නෑසුණු සෙයකි. "අරගලය පණ ගැහුණේ අපේ හදවතිනි" ගාලුමුවදොර නිල් තණ තිල්ලේ පුවරුවක සටහන්ව තිබුණි.

ජංගම දුර­ක­ත­න­වල ආලෝක දල්ව­මින්  අර­ගල බිමේ සටන් පාඨ කියන තරුණ පිරිසක්

සිළු­මිණ මාණ්ඩ­ලික මාධ්‍යවේදිනී නිශානී හේරත් බන්නැ­හැක ගාලු­මු­ව­දොර අර­ගල බිමේදී

 

Comments