අර­ග­ල­පි­ටියේ සාත්තු­කා­රයෝ | සිළුමිණ

අර­ග­ල­පි­ටියේ සාත්තු­කා­රයෝ

 

රගලය මත ලේ හැලුණේය. ඉතිහාසයේ ඉතාම අඳුරු දිනයක් රටේ ශිෂ්ටත්වය ගැන ලෝකය ඉදිරියේ අප සියලු දෙනාම අපහසුවට පත් කළේය. රටේ ජනාධිපතිවරයා පවා ඒ සිදුවීම් මාලාව පිළිබඳ කම්පනයෙනි. වටහාගත නොහැකි සාහසිකත්වයකින් ගෝල්ෆේස් භූමිය වසා දමා තිබිණි. නොසරුප් වදන්ය. වියරු වැටී තමන්ගේම දරුවන් සොයුරු සොයුරියන් වැනි පිරිසකට පහර දෙන පියවි සිහිය පලවා හළ මිනිසුන්ය. ආදරය ගැලූ බව බව දුටු ගෝල්ෆේස් අරගල බිමේ වෛරයේ සැඩ කුණාටු ගලා යනු දුටුවෙමි.

ඒ අතර මනුෂ්‍යත්වයේ නාමයෙන් කැපවුණු සීමිත කණ්ඩායමක් ගිනි ගත් බිමක් මත ජීවිතයක් රැක ගැනීම වෙනුවෙන් කරන මහා මානුෂික මෙහෙයුම දුටුවෙමි. අරගලකරුවන් ද, වෙනත් පාර්ශ්වයක ප්‍රහාරකයන් ද යන්න සම්බන්ධව වාරණයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් දියත් වී තිබුණු එම මානුෂීය මෙහෙයුම ඇසට කඳුළු නන්වන සුළු මනුෂ්‍යත්වයේ ප්‍රකාශනයකි. ඒ ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි සහ එම අවස්ථාවේදී එතැනට සැණෙකින් පැමිණි සෞඛ්‍ය සේවා සත්කාරක කණ්ඩායම්ය.

ගෝල්ෆේස් අරගල භූමිය තුළ ප්‍රධාන වශයෙන් ප්‍රථමාධාර කණ්ඩායම් කිහිපයක් වෛද්‍යවරු සහ පුහුණු කාර්ය මණ්ඩල සමඟ ස්ථානගතව සිටියේය. ඒ, රතුකුරුස හමුදාව, ශාන්ත ජෝන් ගිලන්රථ සේවය, සර්වෝදය ප්‍රජා සත්කාරක සේවය හදිසි ප්‍රතිකාර සේවා සඳහා අරගල භූමිය පුරා පැය විසිහතරම සේවයේ සිටියේ ඒ බිමේ උද්ඝෝෂණය පටන් ගත් දිනට පසුදා සිටය.

මේ ස්වේච්ඡා සේවාවන්වලින් දෙකක් වූ රතුකුරුස හමුදාව මෙන්ම ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මේ රට තුළ ක්‍රියාත්මක ජාත්‍යාන්තර ස්වේච්චා සෞඛ්‍ය සත්කාරක සංවිධානයන්ය.

පක්ෂ පාට වර්ග භේද ඇතුළු කිසිඳු සීමා මායිමකින් තොරව ප්‍රතිකාර අවශ්‍ය මනුෂ්‍යයන්ට ප්‍රතිකාර සැපයීමේ පරමාර්ථ සහිතව කැපවුණු මේ කණ්ඩායම් සම්බන්ධව වැඩි අවධානය යොමු වූයේ ගෝල්ෆේස් අරගල බිම යුද භූමියක් වූ අවස්ථාවේ දී ය. ඒ වියරු දිනයේ පොලු මුගුරු රැගෙන පැමිණි මිනිස්සුන් ගේ පහරදීම්, අනතුරුව එල්ල වුණු කඳුළු ගෑස් ප්‍රහාර, නිසා මුළු භූමිය පුරා ඇසුණේ තුවාල ලද්දවුන් ගේ වේදනාත්මක කෙඳිරිය සහ එක දිගට එන ලතෝනිය.

මේ සිදුවීම සම්බන්ධ අත්දැකීම මුලින්ම අප හා බෙදා ගන්නේ සර්වෝදය ප්‍රජා සෞඛ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්නය. සර්වෝදය ප්‍රජා සෞඛ්‍ය ව්‍යාපාරයත් රටේ සෞඛ්‍ය සේවා සඳහා දශක ගණනක් තිස්සේ විසල් ශක්තියක් සපයමින් ප්‍රථමාධාර හා නිවාරණ සේවා සපයන සංවිධානයකි. ඔවුන්ගේ ගිලන් රථ සේවාව සතුව ගිලන් රථ දෙකකි.

“ අරගලයේ යෙදෙන තරුණ පිරිස්වල ඉල්ලීමක් තිබුණා ඔවුන්ට අපේ සේවය ලබා දෙන්න කියලා. ඒ අනුව මූලික සෞඛ්‍ය සේවා සපයන්න අපේ ගිලන් රථය වෛද්‍යවරු ඇතුළු 12 දෙනකුගෙන් යුත් සෞඛ්‍ය සේවා කණ්ඩායමක් සමඟ පැය විසි හතරම අරගල භූමියේ රඳවන්න අපි තීරණය කළා. පසුගිය 09 වැනිදා එක්වරම කඩා වැදුණේ ඉතාම නොහික්මුණු පිරිසක්. තව පොඩ්ඩෙන් වෛද්‍ය සේවාවන්ටත් ඒ අය ගහනවා. ඔවුන් ශාන්ත ජෝන් ගිලන් ප්‍රතිකාර සේවා කඳවුරු පිහිටි තැනට ප්‍රහාරයක් එල්ල කළා. ඒ අවස්ථාවේ දී මැදිහත් වූ තරුණ පිරිස් රතු කුරුස කඳවුර පිහිටා ඇති තැනට එන්නට නොදී හරවා යැව්වා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙක් තුවාල ලබලා. අපි මූලික ප්‍රතිකාර ලබා දී තිහකට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට රැගෙන ගියා.“ ඔහු අපට කීවේය.

මේ භූමිය තුළ වාර්තා නොවුණු මහා මානුෂික සේවයක් කළ එක් වැදගත් කණ්ඩායමක් ශාන්ත ජෝන් සත්කාරක සේවයෙන් වාර්තා විය. දිවයින පුරාම දිස්ත්‍රික්ක විසිහතර තුළ විසි දහසකට වැඩි ස්වෙච්ඡා සේවක ජාලයක් සහිත ශාන්ත ජෝන් සත්කාරක සේවය තමන්ගේ ගිලන් රථ දෙකක් ගෝල්ෆේස් අරගල භූමියටත්, එක් ගිලන් රථයත් ගාල්ල අරගලයේත් සත්කාරක සේවා කණ්ඩායම් සමඟ රඳවා සිටියේය. ශාන්ත ජොන් සත්කාරක සේවයේ කොළඹ මධ්‍යම දිස්ත්‍රික්කයේ සහකාර දිසා කොමසාරිස් ගයාශාන් ලක්මාල් සිය අත්දැකීම අප සමග විස්තර කරන්නේ මෙසේය.

“ ගෝල්ෆේස් අරගල භූමිය තුළ අපේ වෛද්‍යවරු, හෙදියන්, ස්වේච්ඡා සේවකයන් 60කින් සමන්විත කණ්ඩායමක් සිටිනවා. පැය 24 ක් තුළ 30ක කණ්ඩායමක් හැමදාම සේවය කළා. මේ ස්ථානයට පිරිස වැඩිවෙන කොට අසාධ්‍ය රෝගියෙක් රෝහල්ගත කිරීමට පෙර ලබා දිය යුතු ඉහළම ප්‍රතිකාර ලබා දිය හැකි මට්ටමට අපේ සේවාව පුළුල් කළා. ඔක්සිජන් ලබා දීම, ඇතුළු සියලුම ප්‍රථමාධාර අංග සහිතවයි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ.

මුලින්ම අසාධ්‍ය තත්ත්වයෙන් වාර්තා වුණේ හතිය, ඖෂධ මගහැරීම නිසා එන හෘදයාබාධ, රුධිර පීඩනය අඩු වැඩි වීම, ෆිට් එක වැනි රෝග තත්ත්ව. ඒ වගේම රිය අනතුරු. මෙතැන සතියකට රිය අනතුරු තුනක් පමණ වෙනවා. ඒ සියලු දේ එක්ක අපි මේ ගැටුම එන්න පෙර රෝගීන් 302ක් රෝහල් ගත කළා. ඉන් 122ක් හිටියෙ ඉතාම අසාධ්‍ය තත්ත්වයෙ.

මේ අතරෙයි මැයි 09 ගැටුම ආවෙ. අපි එදා දවස ගැන වෙනම වාර්තා තියාගෙන හිටියා. අපි හිතුවෙ තත්ත්වය සමනය වේවි කියලා. කඳුළු ගෑස් වදිනකොට තමයි අපි ඉවත් වුණේ. එදා දවසේ 72ක් අපි රෝහල්ගත කළා. වැඩි හරියක් අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමේ හිටපු තරුණයන්. පහර කාලා තුවාල සහිතව ඔවුන් මෙතෙන්ට ගෙනාවෙ බයිසිකල්වල. අපි මෙතනින් අවශ්‍ය සත්කාර කළා. ඊට පස්සේ කෙලින්ම ජාතික රෝහලට යැව්වා. සුළු තුවාල ලැබූ අය, කඳුළු ගෑස් නිසා අසාත්මිකතත්ත්ව ඇති වූ අයත් එක්ක අපෙන් එදා දවස තුළ ප්‍රතිකාර ලබපු මුළු ගණන 112ක්.

රතු කුරුස සමාජය ජාත්‍යාන්තරව පිළිගත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවන ලෝක ආදර්ශයක් සහිත් මානුෂික සංවිධානය ය. ශ්‍රී ලංකාවේ රතුකුරුස සමාජයේ සන්නිවේදන ප්‍රධානී නවීන්ද්‍ර සේනාරත්න අප සමඟ සංවාදයට එක් වූයේය.

“අපේ මූලික ප්‍රතිපත්තිය කිසිම මූලික අනුමිතීන්ගෙන් තොරව පීඩාවට පත් ජනතාවට සේවය සැපයීමයි. ඒ අනුවයි අරගල භූමියේ ප්‍රථමාධාර කඳවුරක් පවත්වාගෙ යන්නෙ. සෙනග එක් වන ඕනෑම තැනක පළපුරුද්ද සහිත වෘත්තීය භාවයෙන් යුතු පිරිස් සමග එක්වී ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයාට ප්‍රතිකාර ලබා දීමයි අපි දිගින් දිගටම කළේ.

"ගෝල්ෆේස් භූමිය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ පිරිස පාලනය කරගන්න බැරි අවස්ථාවලදීත් අපේ සේවාව ලබා දෙන්න කටයුතු කළා. එතැනදී මේ තුවාල වුණේ අරගලකරුවන් ද වෙනත් අයෙක් ද කියා සොයන්න අප කටයුතු කරන්නෙ නෑ. තුවාල ලද සියලු දෙනාට මූලික ප්‍රතිකාර කළා. අවශ්‍ය අය ඉක්මනින් රෝහල් ගත කළා. මුල් සිද්ධියෙන් පසුත් අවට සිදුවූ ගැටුම්කාරී අවස්ථාවල තුවාල ලද සියයකට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට අප කටයුතු කළා.“

1990 සුවසැරිය ගිලන් රථ සේවය මේ රටේ මිනිස්සුන්ට ජීවිත බලාපොරොත්තුවක් ගෙනා සේවයකි. ඉන්ධන අර්බුදයත් සමඟ මේ විශිෂ්ට සේවාව ද අර්බුදයකය. නමුත් සෑම ගිලන් රථයක් සඳහා වෘත්තීය භාවයෙන් යුතු හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණ නිලධාරින් දෙදෙනෙක්, ඇමතුම් මධ්‍යස්ථානයක් සඳහාම පැය 24 පුරා සේවය කරන වෛද්‍යවරයෙක් සහිතව රට පුරා ව්‍යාප්තව ඇති ගිලන් රථ 297කින් සමන්විත මෙම සේවාව මේ මොහොතේදීත් ඉතාම අසීරුවෙන් වුවද ඔවුන්ගේ සියලු සේවා ක්‍රියාත්මකය. දෛනිකව අසධ්‍ය රෝගීන් දහසකට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමේ මානුෂික වාර්තාව මේ සේවය සතුය.

සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා ද අප සමඟ සංවාදයට එක් වුණේය.

“විශාල මහජන එක්රැස්වීම් සහ අර්බුධකාරී හදිසි සිදුවීම් පිළිබඳ සෑම අවස්ථාවකම අපි සුපරික්ෂාකාරී වෙනවා; ඇලට් එක ආ සැණින් එතැනට යන්න. අපේ ප්‍රධානම අරමුණ 'ජීවිත සුරක්ෂා කීරිමයි'. ඒ වෙනුවෙනුයි අපි උපරිම කැප වෙන්නේ.

පසුගිය දා ගෝල්ෆේස් අරගල භූමියේ හදිසියේ උද්ගතවූ අර්බුධකාරී අවස්ථාවේදී ඒ පිළිබඳ වාර්තා වුණු සැනකින් දුරකතන ඇමතුම් එන විදිහට අපේ ගිලන් රථ 11 ක් යොදවා රෝගීන් විශාල ප්‍රමාණයකට අවශ්‍ය මූලික ප්‍රථමාධාර සපයමින් රෝහල් කළා.“ ඔහු කියන්නේය.

රට පුරා ඇවිලුණු භීෂණය මේ වනවිට යම් පාලිත තත්ත්තවයක. ගෝල්ෆෙස් අරගලය නැවත ඇරඹී තිබේ. මේ සත්කාරක මනුෂ්‍යයෝ යළිත් එම බිමෙහි දිවා රෑ නොමැතිව සිය මානුෂික මෙහෙවර දියත් කරමින් සිටිති. ඒ මනුෂ්‍යත්වයේ නිහඬ කතාව අරුමයකි.

ඡායාරූප - සුලෝචන ගමගේ

 

Comments