Fපීඩෝ හෙවත් ආත්මය පිළිබඳ සංවාදය | සිළුමිණ

Fපීඩෝ හෙවත් ආත්මය පිළිබඳ සංවාදය

 

මේවනාහි "Fපීඩෝ" නම් කෘතිය ප්ලේටෝ (ක්‍රිපූ 427 - 347) නම් චිර ප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයා විසින් රචිත කෘතියකි. ඔහුගේ ගුරුවරයා වූ මහා දාර්ශනික සොක්‍රටිස්ගේ (ක්‍රිපූ 470 - 399) අවසන් හෝරා කිහිපයේ දී එකල ඇතැන්ස් නුවර විසු තවත් ප්‍රකට විද්වතුන් දෙදෙනකු වූ සීබීස් සහ සිම්මියාස් සමඟ පවත්වන ලද සාකච්ඡාවක වාර්තාවකි.

 

එසමයේ ඇතැන්ස් පාලනය විසින් සොක්‍රටීස්ට මරණ දඬුවම නියම කරන් ලැබී ය. ඒ රජයේ දෙවිවරුන් පිළිනොගැනීම, අලුත් දෙවිවරුන් ඇදහීම, තරුණ පෙළ නොමඟ යැවීම යන චෝදනාවලට ඔහු වරදකරු වූ හෙයිනි. අභියාචනයක් ඉදිරිපත් කරන ලද නමුත් එයින් තින්දුවේ වෙනසක් නොවී ය. අභියාචනා විභාගයේ දි ඔහු ඉදිරිපත් කළ කරුණු ‘ඇපලොජි’ නම් කාතියේ ඇතුළත් ය.

ඒ අනුව අධිකරණය විසින් නියම කරන ලද දිනයක හෙම්ලොක් නමැති වස පානය කොට මිය යන්නට ඔහුට නියම කෙරිණ. මේ වස බඳුන ඒ වෙනුවෙන් පත් කැර සිටි නිලධාරියකු විසින් සකස් කැර දිය යුතු වූ අතර මරණයට නියම වූ පුද්ගලයා විසින් පානය කළ යුතු විය.

මෙහි දී අපූරු දෙයක් සිදුුව ඇත. එකල ඇතැන්ස් නුවර සිට ඇපලෝ දෙවියන්ගේ දෙවොල පිහිටි ඩෙලොස් නම් දිවයින වෙත වාර්ෂික පූජාව සඳහා ශූද්ධ නෞකාවක් යවන සිරිතක් තිබී ඇත.

ඒ නැව පිටත් ව ගොස් පෙරළා ඇතැන්ස් වෙත එන තෙක් නගරය පිරිසිදුව තබා ගත යුතු ය. කිසිදු ප්‍රාණ ඝාතයක් ඒ කාලය තුළ සිදු නොකෙරේ. සොක්‍රටීස්ට මරණීය දණ්ඩනය නියම කරන ලද්දේ ඒ නැව පිටත්ව ගිය දා මය. ඒ නිසා සොක්‍රටිස්ට මැරෙන්නට මාසයක් බලා හිඳින්නට නියම වී තිබිණි.

මේ කාලය තුළ සිර ගෙදරට ගොස් ඔහු හමුවී පිළිසඳරේ යෙදෙන්නට නීිතියෙන් තහනමක් නොවී ය. ඒ නිසා බොහෝ දෙනා විශේෂයෙන් ම ඔහුගේ අනුගාමිකයෝ ඔහු වෙත එළැඹ සාකච්ඡාවල නිරත වූහ.

හැඩරුවෙන් එතරම් ප්‍රිය මනාප නොවුණත් සොක්‍රටීස් ජනප්‍රිය පුද්ගලයෙක් විය. ශාරීරික හා මානසික දෙ ආකාරයෙන් ම විශාල දරා ගැනීමේ ශක්තියක් ඇතිව සිටි හේ තමන්ගේ පෙනුම ගැන හෝ සුඛ විහරණය ගැන එතරම් සැලකිල්ලක් නොදැක් වූ බවත් ඒ නිසා ඔහුගේ බිරිඳ සැන්තෆි පසු වූයේ නොරිස්සුම් සහගත සිතින් බවත් සඳහන් ය.

සිය පූර්වගාමීන් ගිය මඟම අනුයනවා වෙනුවට ඔහු ස්වීය මත ඉදිරිපත් කළේ ය. සද්ගුණය සහ නුවණ වැඩුම ඔහුගේ දේශනවල තේමාව විණි. සොක්‍රටීස් කිසිවක් ලීවේ නැත. ඔහු පැවැසු දෑ සියල්ල ලේඛනගත කළේ ඔහුට වඩා වසර 43කින් බාල ප්ලේටෝ විසිනි. ප්ලේටෝට වඩා තුන්වසරකින් බාල සෙනොෆෙන් සොක්‍රටීස්ගේ දේශන ලේඛනගත කළ අනෙක් තැනැත්තා ය. එහෙත් දර්ශනය හැදෑරූවකු නොවන නිසා ඔහුගේ වාර්තා ගැන පසුකාලීනයෝ සැක කරති. අනෙක් අතට ප්ලේටෝ විසින් සොක්‍රටීස්ගේ සංකල්පවලට සිය අදහස් ද එක් කරන්නට ඇත ය යන මත ද පවතී.

මේ කෘතියේ එන සොක්‍රටීස්, සීබිස් සහ සිම්මියාස් අතර ඇති වු සංවාද ප්ලේටෝ සිය සවනින් ඇසු ඒවා නොවේ. ඒවාට සවන් දී සිට ඇත්තේ ෆීඩෝ සහ එතෙක්‍රිටස් නම් සොක්‍රටිස් අනුගාමික දාර්ශනිකයන් දෙපල ඇතුළු තවත් පිරිසකි. ෆීඩෝ එසමයේ ඇතැන්ස් හි දාර්ශනික ගුරුකුලයක් පවත්වා ගෙන ගිය අයෙකි.

ඔහු සොක්‍රටීස්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ ව තමා ඇසූ දුටු සියල්ල ඒ පිළිබඳ ව ඔහුගෙන් විමසු ඇතැන්ස් නගරෝපාන්තයක පිරිසකට කළ විස්තරය සේ මේ කෘතිය ප්ලේටෝ ඉදිරිපත් කරයි.

මෙහි මූලික වශයෙන් කොටස් දෙකකි. මුල් කොටස ‘ෆිඩෝ හෙවත් ආත්මය පිළිබඳ සංවාදය’ වන අතර දෙවන කොටස ‘ෆීඩෝ විවරණය’ වේ. මුල් කොටස් සංවාද හතරක් ද ඒවායේ අතුරු සංවාද ද ඇත. පළමුවන සංවාදය එතෙක්‍රිටස් සහ ෆිඩෝ අතර කෙරෙන්නකි. මෙයට සීබිස් සහ සිම්මියාස් ද සහභාගි වී ඇති අතර සොක්‍රටීස් වරින්වර අදහස් දක්වා ඇත.

දෙවන සංවාදයේ එන්නේ ආත්මයේ අමරණීයත්වය ඔප්පු කරනු පිණිස වන තර්ක දෙකකි.

තුන්වන සංවාදයේ අඩංගු වනුයේ සොක්‍රටීස්ගේ මත නිසා සීබීස්ට හා සිම්මියාස්ට ඇති වූ ගැටලු සහ ඒවාට පිළිතුරු සහ ඊට අදාළ ව සොක්‍රටීස්ගේ ක්‍රමයේ ප්‍රභවය විස්තර කිරීමකි.

සිව්වන සංවාදයේ එන්නේ ආත්මය අමරණීය ය යන්න ගැන තවදුරටත් තර්ක ඉදිරිපත් කිරීමයි.

මේ සංවාද පැවැත්වුණු ස්ථානය වූයේ සොක්‍රටීස්ගේ සිර කුටියයි. එහෙත් අපට ඒ බව නොහැඟ්. කොටින්ම කියනවා නම් අප මේ කියවන්නේ තව හෝරාවකින් දෙකකින් මිය යන්නට නියමිතව සිටින අයකු හා කෙරෙන සංවාද බව අපට අමතක වී යයි. ප්ලේටෝගේ කෘතියේ සාර්ථකත්වය එයයි. සොක්‍රටීස් මරණයට මුහුණ දෙන්නේ උපේක්‍ෂාවෙනි.

අප මේ සටහන් කියවන්නේ ද උපේක්‍ෂාවෙනි. ඒ නිසා අපට ඔහුගේ මරණය ගැන ශෝකයක් නොදැනේ.

මේ කෘතියේ එන ආත්මය පිළිබඳ සොක්‍රටීස්ගේ සංකල්පය වටහා ගැන්මට එය ඉතා ප්‍රවේසමෙන් සැලකිල්ලෙන් කියැවිය යුතු වේ. මෙහි එන දර්ශනය එක්වර වටහා ගැනීිම අසීරු විය හැකි බැවින් ය ඒ. පළමුව මුල් කොටස ද ඉන්පසු දෙවන කොටස ද කියවා නැවත මුල් කොටස කියවීම මැනව’යි යෝජනා කරනු කැමැත්තෙමි.

‘ෆීඩෝ හෙවත් ආත්මය පිළිබඳ සංවාදය’ මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩිගේ කෘතියකි. මේ පර්වර්තනය මුල් ගී 5 ක් කාති ඇසුරෙන් කරන ලද බව එහි සඳහන් ය.

Comments