සුපිරි වෙළෙඳසැල් අවට ගැවසෙන යාචකයන්ගෙන් ප්‍රවේසම් වෙන්න | Page 2 | සිළුමිණ

සුපිරි වෙළෙඳසැල් අවට ගැවසෙන යාචකයන්ගෙන් ප්‍රවේසම් වෙන්න

ඝාතනය සිදුවූ තලවතුගොඩ සුපිරි වෙළඳ සැල ඉදිරිපස

තැම් යාචකයන් නිසා මහජනතාවට දෛනිකව මුහුණපාන්නට සිදුවන කරදර හිංසා පීඩා නිමක් නැත. බසයේ දුම්රියේ මග තොටේ සහ පොදු ස්ථාන සුපිරි වෙළෙඳසල් අසල ගැවසෙන සමහර යාචකයන් මහජනතාවට ‘පිළිලයක්‘ වී ඇත්තේ ඔවුන්ගෙන් සිදුවන පීඩා නිසාමය. යාචක ජාවාරම්කරුවන් ද බිහිවී ඇති අතර ඔවුන් ළඟ ‘පඩියට‘ වැඩ කරන යාචක පිරිසක් ද බිහිවී සිටිති. මේ යාචකයන්ගේ හිංසා පීඩාවලට ලක්වන ඇතැමුන්ට සිය ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවී තිබීම නම් අතිශය කනගාටුදායක ය. එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙනි. 

මාලඹේ පොතුඅරාව පාරේ අංක 969/04 නිවෙසේ පදිංචි නිශ්ශංක බණ්ඩාර මහතා පනස් හත් හැවිරිදි ය. ඔහු වෘත්තියෙන් දේශීය වෛද්‍යවරයෙකි. නිශ්ශංකගේ ආදරණීය බිරිය කාන්ති ශ්‍රියාලතායි. මේ අඹු සැමියනට එක් පුතෙකි. ඔහු විවාහකයෙකි.

දේශීය වෛද්‍ය නිශ්ශංක ගුණවර්ධන කඩුවෙල සහ ගංගොඩවිල ප්‍රදේශවල වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක සේවය කරමින් එහි පැමිණෙන රෝගීන් රැසක් සුවපත් කරන්නේ කාලයක සිට ය. ඉන් අනතුරුව ඔහු අතිරේක කාලයක් වැය කරන්නේ පෞද්ගලික ප්‍රතිකාර කටයුතු සඳහා ය.

ඒ පසුගිය මාසයේ 26 වැනිදා ය. එදින උදෑසන වෛද්‍ය නිශ්ශංක ගුණවර්ධන බණ්ඩාරගම ප්‍රදේශයට යන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය.

එදින රාත්‍රි අටයි තිහට පමණ වෛද්‍ය ගුණවර්ධන සිය පුතුට දුරකතන ඇමතුමක් ගත්තේ ය. වෛද්‍ය ගුණවර්ධන නැවත සිය නිවෙසට ඇමතුමක් ගන්නේ රාත්‍රි 9 ට පමණ ය. එහෙත් ඔහු ඒ මොහොතේ තමන් සිටි ස්ථානය නිවෙසේ අයට පැවැසුවේ නැත. බිරිය ශ්‍රියාලතා ඇමතූ ඔහු කීවේ නිවෙසේ සුරතලයට ඇති කළ බල්ලාට බිස්කට් ගත් බවකි. නිවෙසට අවශ්‍ය තවත් දේවල් ද ගත් බව ගුණවර්ධන බිරියට කීවේ ය.

සැමියා තව ටික වේලාවකින් නිවෙසට පැමිණෙන බව දන්නා බිරිය ශ්‍රියාලතා ඔහු වෙනුවෙන් රාත්‍රි ආහාරය සූදානම් කළා ය. එහෙත් මිනිත්තුවෙන් මිනිත්තුව පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රි 11 ට ළං වූවත් වෛද්‍ය ගුණවර්ධන නිවෙසට පැමිණියේ නැත.

රාත්‍රි 11 පමණ වෙද්දී තලංගම පොලිස් ස්ථානයෙන් වෛද්‍ය ගුණවර්ධනගේ නිවෙසට ඇමතුමක් ලැබිණි. ඉන් දැනුම් දෙනු ලැබුවේ වෛද්‍ය ගුණවර්ධනට කරදරයක් සිදුවී ඇති බවත් හැකි ඉක්මනින් කොස්වත්ත පොලිසියට පැමිණෙන ලෙසත් ය. හිස ගිනිගත් ශ්‍රියාලතා වහාම පුතුට කතා කළා ය. ඒ මොහොතේ පුතු නිවෙසින් පිටව ගොස් සිටියේ ය. පුතුගේ ජංගම දුරකතනයත් ක්‍රියා විරහිත කර තිබිණි.

තවත් ටික වේලාවක් නිවෙසේ ගත කරමින් කළයුතු දේ ගැන කල්පනා කළ ශ්‍රියාලතා නැවත තලංගම පොලිසියට ඇමතුමක් ගත්තාය. පොලිස් ස්ථානයේ නිලධරයකු ඇයට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් කොස්වත්ත රෝහලට යන ලෙස ය.

ශ්‍රියාලතාගේ පුතු සහ ලේලිය නිවෙසට පැමිණෙන්නේ ඒ මොහොතේ-මය. ඒ දෙදෙනා සමඟ කොස්වත්ත රෝහලට යන ශ්‍රියාලතා සැමියා බලන්නට හැදුවත් ඇය අධිරුධිර පීඩනයෙන් පෙලෙන බැවින් පුතු සහ ලේලිය ඇය වෙනත් ස්ථානයක වාඩිකර පියා බලන්නට යද්දී රෝහලේ වෛද්‍යවරයා එහි පැමිණ වෛද්‍ය ගුණවර්ධන මහතාගේ ජාතික හැඳුනුම්පත, බැංකු කාඩ්පත්, මුදල්, ආයුර්වේද හැඳුනුම්පත ශ්‍රියාලතා අතට පත් කෙළේ ය.

තම සැමියා සාහසිකයකුගේ පිහි පහරකින් අවසන් ගමන් ගොස් ඇති බව ඇය දැන ගන්නේ ඉන් අනතුරුවය. වෛද්‍ය ගුණවර්ධනට සිදුවූයේ කුමක්ද? මේ ගැන තොරතුරු හෙලිවන්නේ ඉන් අනතුරුව ය.

වෛද්‍ය ගුණවර්ධන 26 දා රාත්‍රිෙය් බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළඳ සලකට යන්නේ නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීම සඳහාය. ඒ ඔහුට අයත් මෝටර් බයිසිකලයෙනි.

වෛද්‍ය ගුණවර්ධන එම සුපිරි වෙළෙඳ සලට යද්දී ඒ අසල සිටි යාචකයකු ස්ටිකර් කීපයක් ද රැගෙන ඔහු පසුපස යන්නේ ඒවා මිලදී ගන්නා ලෙස ඇවිටිලි කරමිනි. මේ යාචකයා දෙස බැලූ වෛද්‍ය ගුණවර්ධන ඔහුට අවවාදයක් කරන්නේ ඔය අතර තුරදී ය.

ඔයාට අතපය හතර හොඳට තියෙනවා නේද? හිඟා කන්නෙ නැතිව රස්සාවක් සොයා ගත්තොත් නේද හොඳ? යැයි වෛද්‍ය ගුණවර්ධන යාචකයාට කියන්නේය. වෛද්‍යවරයාගේ අවවාදයෙන් කෝපයට පත්වූ යාචකයා වෛද්‍ය ගුණවර්ධනට බැණ වදින්නට පටන් ගත්තේ ය. මේ හබය මැදට එතැන රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධරයකු ද පැමිණියේ ය.

සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලදී ගෙන පිටතට පැමිණි වෛද්‍ය ගුණවර්ධන සිය මෝටර් බයිසිකලය අසලට යද්දී පසුපසින් පැමිණි යාචකයා ගුණවර්ධන මහතා සමඟ නැවත ආරෝවක් පටන් ගන්නේ උඹේ ළමයි විතර ද කන්නේ? මගේ ළමයි කන්නේ නැද්දැයි අසමිනි.

වෛද්‍ය ගුණවර්ධනට පහරක් ගසන යාචකයා ඒ මොහොතේ ම ඔහුට පිහියකින් අනින්නේ අනපේක්ෂිතවය.

එම පිහි පහරින් වෛද්‍ය ගුණවර්ධන අවසන් ගමන් යන්නේ එම ස්ථානයේදීම ය.

මේ සිද්ධිය තලංගම පොලිසියට වාර්තා වූ වහාම තලංගම පොලිසියේ හදිසි අවස්ථා අංශයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ සුපිරි වෙළෙඳ සල අසලට යන්නේ ඒ මොහොතේදීමය. මරණීය තුවාල සහිතව බිම වැටී සිටි වෛද්‍ය ගුණවර්ධන කොස්වත්ත රෝහලට ඇතුළු කරනු ලැබූවත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේ ය.

ඝාතක යාචකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. 

තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අන්තරගමගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති කවිඳු ප්‍රභාෂ්වර ඇතුළු කණ්ඩායමක් මේ ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කරන්නේ සීසීටීවී දර්ශන ද පරීක්ෂා කරමිනි.

වෛද්‍ය ගුණවර්ධන සහ සැකකාර යාචකයා අතර ආරවුල දුටු ආරක්ෂක නිලධරයාගෙන් ද පොලිස් කණ්ඩායම ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබිණි. සැකකාර යාචකයා පනස් පස් හැවිරිදි අයකු බවත් ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින අයකු බවත් විමර්ශනවලදී හෙළිවිය.

මේ පුද්ගලයා අදාළ සුපිරිවෙළෙඳ සලට පැමිණෙන පාරිභෝගිකයන් පසුපස ගොස් ඔවුනට ස්ටිකර් සහ හඳුන්කූරු අලෙවි කිරීමට උත්සාහ කරන අයකු බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සැකකාර යාචකයා ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව ද හෙළි විය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙයි.

වෛද්‍ය ගුණවර්ධනගේ ලේලිය වන නදීරා කුමාරි පැවසුවේ මෙවැනි කතාවකි.

‘මගේ සැමියාගේ තාත්තා වෛද්‍ය ගුණවර්ධන. එයාට මේ වාගේ විපතක් සිද්ධ වේවි කියලා කවදාවත් අපි හිතුවේ නෑ. ‘තාත්තා‘ ඇත්තටම හරිම අහිංසක කෙනෙක්. මේ ගැන ඔහුට සාධාරණයක් ඉටුවිය යුතුමයි. මේ සිද්ධිය වුණේ රාත්‍රි කාලයේ. එදා උදෑසන ඉඳන් මේ යාචකයාගෙන් එම සුපිරි වෙළෙඳසලට එන පාරිභෝගිකයන්ට හිංසා පීඩා කරදර සිද්ධවෙලා තියෙනවා. මේවායේ සීසීටීවී දර්ශන පවා තියෙනවා. සිද්ධවුණේ මොනවාදැයි හරියටම සොයා බලා මේ අපරාධකරු නීතියේ රැහැනට හසුකර ගන්න කියලයි මම ඉල්ලන්නේ‘

තවත් අයට මේවගේ යාචකයන්ගෙන් කරදර හිංසා පීඩා සිදුවිය හැකියි. මේ සිද්ධිය වෙලා දැන් ටික දවසක් ගතවුණත් යාචකයා මෙතෙක් අත්අඩංගුවට අරගෙන නෑ.

තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති කවිඳු ප්‍රභාෂ්වර සඳහන් කෙළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දීර්ඝ විමර්ශනයන් ආරම්භ කර ඇති බවයි.

දීපාල් සමරසේකර 
අවිස්සාවේල්ල විශේෂ 
කල්පනී පද්මපෙරුම

Comments