
- පරිසරවේදීන්ගේ ඉහළ ජයග්‍රහණයක්
- පොලිසියේ; ගෞරවය ලබාදුන් නඩු තීන්දුවක්
කුරුණෑගල මහාධිකරණය දුන් මාස 3 අත්හිටවූ සිර දඬුවම් ඉවත් කරමින් කොබෙයිගනේ සමූප සභාපති, ප්‍රා.සභා උපසභාපති ඇතුළු 20කට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
‘රජෙක් වුවත් කළ කම් පල දෙනවාමයි’ යනුවෙන් කතාවක් ඇත. එහි අර්ථය අර්ථය වරදක් කළ අයකුට තනතුරු තාන්න මාන්න කොතරම් තිබුණත් කවදාක හෝ ඊට දඬුවම් ලැබෙනවා යන්නයි. මේ කතාව සාක්ෂාත් කරන නඩු තීන්දුවක් අභියාචනාධිකරණය පසුගිය අප්‍රේල් 8 වැනිදා නිකුත් කළේය. ඒ කුරුණෑගල මහාධිකරණය මීට වසර දහසයකට පෙර නිකුත් කළ නඩු තීන්දුක් බලරහිත කරමිනි. මීට දහසය වසරකට පෙර මුළු රටම කැලඹූ මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
2006 මාර්තු මස තිස් වැනිදා රටට හිරු උදාවූයේ මැතිවරණය උණුසුමත් සමඟිනි. ඒ පුංචි ආණ්ඩුවලට සභිකයන් තෝරාගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම එදිනට යෙදී තිබීම හේතුවෙනි. එවකට රස්නායකපුර පොලිසියේ ස්ථානාධිපති ධූරය හොබවමින් සිටි පොලිස් පරීක්ෂක ප්‍රදීප් කරුණාධීර ද අතිශය කාර්යබහුල දිනයක් ගෙවා දමමින් සිටියේය. මැතිවරණ ආරක්ෂක රාජකාරිවල යෙදී සිටි ස්ථානාධිපතිවරයාට පස්වරු 2 පසු වී ටික වේලාවක් ගෙවෙද්දී උප පොලිස් පරීක්ෂක ජයන්තගෙන් ඇමැතුමක් ලැබිණි.
" සර්, සිංගංදළුව මංකඩෙන් උදේ ඉදලා වැලි ගොඩදානවා කියලා තොරතුරක් ලැබුණා. වැලි පටවන්න ලෝඩර් එකකුත් ගෙනැල්ලා තියෙනවාලු. " ඇමැතුමෙන් කියැවිණි.
තොරතුර ඉතා වැදගත් නමුත් මැතිවරණ ආරක්ෂක රාජකාරි සඳහා මුල්තැන දීම අනිවාර්යය බව සිය කණිෂ්ඨ නිලධාරියාට පැහැදිලි කළ ස්ථානාධිපතිවරයා ඉඩ ලැබෙන පළමු අවස්ථාවේදීම අදාළ ජාවාරම වැටලීමට යන බවත්, ඒ සඳහා නිලධාරීන් පිරිසක් සූදානම් කර තබන ලෙසට ද උපදෙස් දුන්නේය. ඡන්ද පෙට්ටි පිටත්කර යැවීමෙන් මැතිවරණ රාජකාරි නිමා කළ ස්ථානාධිපතිවරයා වැලිතොටුපල වැටලීමට ගියේය.
පොලිසියේ හදිසි කඩාවැදීමත් සමඟ වැලි ජාවාරම්කරුවෝ හිස් ලූ ලූ අත පළා ගියහ. එලෙස පළා යමින් තිබූ ලොරියක් පසුපස හඹාගිය පොලිස් පරීක්ෂක කරුණාධීර එහි රියදුරු මට්ටු කරමින් ලොරිය අත්අඩංගුවට ගත්තේය. පළා ගිය ජාවාරමුන් සහ වාහන සොයා වැටලීම තවදුරටත් සිදුකෙරෙද්දී ලඳු කැලෑවක සඟවා ගොස් තිබූ ලෝඩර් යන්ත්‍රයද අත්අඩංගුවට ගැනීමට ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට හැකිවිය. මංකඩට පැමිණි සිසිර කුමාර රාමනායක නැමැත්තෙකු ස්ථානාධිපතිවරයා ඉදිරිපිට සිටගත්තේ ඒ අවස්ථාවේදීය. සිසිර එවකට ව්‍යාපාරිකයකු ලෙස සමාජය හමුවේ පෙනී සිටි සිටි අයෙකු විය.
"සර්, ඔය ලෝඩර් එක ගෙනාවේ මම. ඕක අයිති .... ඇමතිතුමාගේ මල්ලිට. මේක පොලිසි අරගෙන ගියොත් අපි දෙන්නටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේක ගොඩින් බේරගන්න බලමු." කිසිදු බියක් සැකක් නැතිවම සිසිර කියාගෙන ගියේ මුදල් නෝට්ටු මිටියකුත් අතේ තබාගෙනය. "හරි, අපි එහෙනම් යමුකෝ පොලිසියට. කරන්න පුළුවන් මොනවද කියලා එහෙදී බලමු." ස්ථානාධිපතිවරයා උපායශීලී වෙමින් කීය. ඊට අවනත වූ සිසිර අත්අඩංගුවට ගෙන රැගෙන එන්නැයි පොලිස් කොස්තාපල්වරයකුට පැවැරූ ස්ථානාධිපතිවරයා ඔයෙන් එගොඩ වීමට සැරසුණේය. එවිටම සිසිරගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණු අතර තමන් වැලිමංකඩේදී පොලිසියට හසුවූ බවත්, දැන් පොලිසියට රැගෙන යමින් සිටින බවත් ඇමතුමට පිළිතුරු ලෙස පවසන අයුරු ද ස්ථානාධිපතිවරයාට ඇසිණි. ඇමතුම අවසන් වී විනාඩි දහයකට වඩා ගතවූයේ නැත. පොලු මුගුරු අතින් ගත් පනහකට වැඩි සේනාවක් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම වටලාගත්හ. තමන් වෙත එල්ල වෙමින් ඇති තර්ජනය දුටු පොලිස් පරීක්ෂකවරයා ඒ අසල සිටි පොලිස් කොස්තාපල්වරයා අමතා ඔහු අත තිබූ ගිනි අවිය තමන්ට ලබාදෙන ලෙස පැවසීය. කොස්තාපල්වරියා, තමන් සතුව තිබූ ටී 56 ගිනි අවිය ස්ථානාධිපතිවරයා වෙත දිගු කරනවාත් සමඟ ම ඔහුට එල්ල වූ පහරකින් කොස්තාපල්වරයා බිම ඇද වැටිණි. එසැණින් ක්‍රියාත්මක වූ අත්අඩංගුවේ සිටි සිසිර වැලි පැටවීමට ගෙනවිත් තිබූ සවලකින් ස්ථානාධිපතිවරයාගේ හිස පිටුපසට හැකි වෙර යොදා පහරක් එල්ල කෙළේ ය. සවල් පහරින් ස්ථානාධිපතිවරයාගේ හිස බිඳී ගිය අතර උණු ලේ දහරාවක් මුහුණ හරහා ගලා හැලෙන්නට විය. " මූ තමයි ඕඅයිසී. ගහලා මරාපල්ලා මේකව." සිසිර වියරුවෙන් මෙන් පිරිසට අණ දුන්නේය. මේ වනවිට ස්ථානාධිපතිවරයා සමඟ රැඳී සිටි අනෙක් පොලිස් කොස්තාපල්වරයා ප්‍රහාරයත් සමගම පලා ගොස් සැඟවී ගියේය. මරු විකල්ලෙන් මෙන් බිම අත ගෑ පොලිස් පරීක්ෂක කරුණාධීරගේ අතට ද අහම්බෙන් මෙන් පොල්ලක් හසුවිය. සවල් සහ පොලු අමෝරාගෙන තමන් වෙත පීනු වැලි ජාවාරමුන්ට හැකි වෙර යොදා පොලු පහර දෙන්නට පොලිස් පරීක්ෂකවරයා ක්‍රියා කළේය.
හුදෙකලා සටනක යෙදී සිටි ස්ථානාධිපතිවරයාගේ හිසට දෙවැනි පහර එල්ල කළේ ඔහුට නොපෙනෙන ලෙස පිටුපසින් පැමිණි ජාවාරම්කරුවකු විසිනි. එම ප්‍රහාරයත් සමඟ සිහිසුන් වූ වූ ස්ථානාධිපතිවරයා කපා දැමූ කෙසෙල් කඳක් සේ වැලිතලාවේ ඇද වැටිණි. වැලි ජාවාරමුන් පලායාමත් සමගම එතෙක් වේලා වන ලැහැබක සැඟවී මේ සිදුවීම දෙස බලා සිටි දෑසක් එළියට පැමිණියේය. ඒ ප්‍රහාරය ආරම්භ වීමත් සමඟ පළා ගිය පොලිස් කොස්තාපල්වරයාය. මළකඳක් බවට පත්ව සිටි ස්ථානාධිපතිවරයා හේන් ගොවියකුගේ සහ ඔහුගේ බිරියගේ සහාය ද ඇතිව රෝහලට ගෙන යාමට අදාළ කොස්තාපල්වරයා විසින් කටයුතු කළේය.
ස්ථානාධිපතිවරයා පළමුව නිකවැරටිය රෝහලටත් එතැනින් කුරුණෑගල ශික්ෂණ රෝහලටත්, අවසානයේදී කොළඹ ජාතික රෝහලටත් මාරුකර යැවිණි. වැලි ජාවාරමුන්ගේ ප්‍රහාරය කෙතරම් තිරශ්චීන වී ද යත් රෝහලට ඇතුළු කරන අවස්ථාව වනවිට පොලිස් පරීක්ෂකවරයාගෙන් දිස්වුයේ මස් කරනු ලැබූ සත්වයකුගේ ස්වාභාවයකි. ඒ වනවිට ඔහුගේ වම් ඇස ගැලවී එල්ලෙමින් තිබූ අතර, මුහුණේ අස්ථි සුණුවිසුණුවීම මස් වැදලි එල්ලා වැටෙමින් තිබිණ. මුඛයේ තිබූ දත්වලින් වැඩි ප්‍රමාණයක් උගුල්ලා තිබිණි. නාස් කුහර කුඩු වී තිබීම නිසා ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී නැහැයෙන් කටින් විසිවූ රුධිරයෙන් ඇඳ සහ රෝහල් බිත්ති ද ලෙයින් නැහැවෙමින් තිබිණි. ඒ දසුන දුටු කිසිවකුත් පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් ජීවත්වීම අපේක්ෂා නොකළේය. එහෙත් වෛද්‍යවරුන්ගේ දැඩි පරිශ්රමයක ප්‍රතිඵල ලෙස කොළඹ ජාතික රෝහලේදී කරුණාධීර පියවි සිහිය ලබන්නේ සිහිසුන්වීමෙන් දින 8 කට පසුවය. එතැන් සිට අඛණ්ඩව මාස හයක් ජාතික රෝහලේදී ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවිය.
1997 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන කරුණාධීර උතුරු නැගෙනහිර ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කරමින් ප්‍රදර්ශනය කළ දක්ෂතා සහ හැකියාවන් හේතුවෙන් 2003 ජනවාරි මස පළමුවැනිදා පොලිස් පරීක්ෂක ධූරයට උසස්වීම් ලැබීය. 2005 පෙබරවාරි 05 වැනිදා රස්නායකපුර පොලිස් ස්ථානාධිපති පුටුවේ ඔහු අසුන් ගන්නේ අවුරුදු 28 ක් වැනි ලාබාල වයසකදීය. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා පැහැදිලි සහ දීර්ඝ ගමනක් සහිත පොලිස් නිලධාරියකුගේ සමාරම්භය ද සනිටුහන් කරමිනි. එහෙත් ඒ සියල්ල කණපිට හරවමින් ඉන් වසරකට පමණ පසුව දෛවෝපගත ඉරණමකට මුහුණදීමට ඔහුට සිදු විය.
මෙම සිදුවීමෙන් පසුව යළි සේවයට වාර්තා කළ නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම අත්විදින්නට සිදුවූ නොසලකාහැරීම්, කොන්කිරීම් හා කලකිරීම් හේතුවෙන් කරුණාධීර මේ වනවිට පොලිස් සේවයට සමුගෙන සිටී. කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා ගරාජයක් පවත්වා ගෙන යන ඔහු අද වන විට දිවිගෙවන්නේ එයින් ලබන ආදායමේ පිහිටෙනි. කරුණාධීරගේ වම් ඇස සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර කෘතිම ඇසක් සමග දිවි ගෙවීමට ඔහුට මේ වන විට සිදු වී තිබේ. දකුණු කනෙහි ඇසීම පවතින්නේ සියයට දහයක් තරම් අඩු මට්ටමකය. මෙම ප්‍රහාරයේ දී ඔහුට දත් එකොළහක් අහිමි වූ අතර තවත් දත් ගණනාවක කොටස් අහිමි වී ගොස් තිබේ. ස්වසන පද්ධතියට සිදු වූ හානි හේතුවෙන් ගඳ සුවඳ හඳුනා ගැනීමේ හඳුනා ගැනීමේ වාසනාවද අද වෙන විට ඔහුට නැත. මේ වනවිට හිසට පමණක් සිදුකර ඇති සැත්කම් ගණන හතරකි. කරුණාධීර ජීවිතාන්තය දක්වාම වෛද්‍ය අධීක්ෂණය සහ උපදෙස් මත ඖෂධ භාවිත කරමින් දිවි ගෙවිය යුතු බව වෛද්‍ය මතය වී තිබේ.
කරුණාධීර මහතාගේ ජීවිතය අපායක් බවට හැරවුණු නමුත් ඔහුට පහර දුන් සැකකරුවන්ගෙන් ජීවිත පසුකාලීනව උසස්වෙමින් පැවතිණි. මෙම පහරදීමට අදාළ නඩුවේ පළමු විත්තිකරු වන සිසිර කුමාර රාමනායක කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ධුරයටත්, තවත් විත්තිකරුවකු වූ මහින්ද කුමාරසිරි කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයටත් පත්වූහ.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිය සුරැකීම උදෙසා දිවිහිමියෙන් සිය රාජකාරිය ඉටු කළ නිලධාරියකුට ලැබිය යුත්තේ බුහුමන් නමුත් කරුණාධීර සම්බන්ධයෙන් සියලු කටයුතු සිදුවූයේ අනෙක් පැත්තටය. තැනින් තැනට මාරුකිරීම්, චෝදනා පත්‍ර ලබාදීම්, විනය පරීක්ෂණ වැනි පුදුමාකාර බුහුමන්ය. රැකියාව එපා කරවන ආකාරයේ සෘජු හා වක්‍ර බලපෑම්ය. උසස් නිලධාරීන්ගේ රැවුම් ගෙරවුම්ය. තත්ත්වය කෙතරම් දරුණු වීද යත් කරුණාධීරගේ පොලිස් සේවයේ අවසන් වසර තුනේදී ඔහුට උරුම කර ඇත්තේ නිශ්චිත රාජකාරියක් පවරා නැති නිකමෙකුගේ තත්ත්වයකි. පොලිස් පරීක්ෂකවරයකු, ස්ථානාධිපතිවරයකු පමණක් නොව සිය රාජකාරිය අත්නොහළ සැබෑ විරුවෙකු ද වූ මේ මිනිසාට ඔහුගේ අවසන් රාජකාරි සමයේදී මේසයක් සහ පුටුවක් ලබාදීමටවත් පොලිස් දෙපාර්තමේන්තුව කාරුණික වූයේ නැත.
කෙනෙහෙලිකම් තවදුරටත් ඉවසාගත නොහැකි තැන කරුණාධීර සෞඛ්‍ය හේතු මත තමන් විශ්‍රාම ගන්වන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව 2017 නොවැම්බර් 09 වැනිදා සිට ඔහුව විශ්‍රාම ගන්වනු ලැබීය.
කරුණාධීර මහතාගේ හුදෙකලා සටනේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම අපරාධයට සම්බන්ධ විත්තිකරුවන් විසි දෙනකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේය. ඒ අනුව පළමුවැනි විත්තිකාර සිසිර කුමාර රාමනායකට බරපතළ වැඩ සහිත පස් වසරක සිර දඬුවමක් ද, පළමුවෙනි හයවැනි සහ නවවැනි විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවම්ද සෙසු සියලුම විත්තිකරුවන්ට වසර දෙක බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද අභියාචනාධිකරණය විසින් නියම කළේය.
මෙම සිදුවීමට අදාළව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේදී විත්තිකරුවන් පිරිස අධි චෝදනා ලබා සිටි අතර නඩු විභාගය අතරතුරදී එකී චෝදනාවන්ට තමන් වැරදිකරුවන් බවට විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ පිළිගත්හ. එහිදී මේ නඩුවේ සියලු විත්තිකරුවන්ට වෙන් වෙන් වශයෙන් මාස තුනක අත්හිටවූ සිර දඬුවම් නියම කළ කුරුණෑගල මහාධිකරණය අගතියට පත් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ නමය හමාරක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබිණි. තමාට මෙතරම් ශාරීරිකව සහ මානසිකව හානියක් කළ විත්තිකරුවන්ට කුරුණෑගල මහාධිකරණය මගින් ලබාදී ඇති දඬුවම් යුක්ති සහගත නොවන බවත්, අදාළ නියෝගය බල රහිත කර විත්තිකරුවන්ට උපරිම දඬුවම් පමුණුවන්නැයි අයැදිමින් කරුණාධීර අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය. එම අභියාචනාවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළහ. ඒ අදාළ සිදුවීමෙන් දහසය වසරකට පසුව කරුණාධීර යුක්තිය ඉටුකරමිනි.
කුරුණෑගල අතිරේක, බණ්ඩාර රත්නායක