
- මේ වන විට හෙද සේවයේ නිරත පිරිස 44,000කට ආසන්නයි
- හෙද සේවය සඳහා වාර්ෂිකව 3,000ක් අවශ්‍යයි
- ලංකාවේ හෙද උපාධි පාඨමාලාව ආරම්භ කළේ 1997
මගේ ජීවිතය නිර්මලව ගත කිරීමටත් මගේ වෘත්තීය භක්තිමත්ව කිරීමටත් මෙම සම්භාවනීය සභාව ඉදිරියේ ගම්භීරත්වයෙන් ද උදාරත්වයෙන් ද යුක්තව තරයේ පොරොන්දු වන්නෙමි. අනර්ථකාරි වූ කවර ක්‍රියාවකින් වුවද වළකින අතර හානිකර ඖෂධ ගැනීමෙන් හෝ දැනුම ඇතිව අනුන්ට දීමෙන් හෝ වළකින්නෙමි.
මාගේ වෘත්තිය තත්ත්වය නඟා සිටුවීම සඳහා මුළු ශක්තියම යොදා ක්‍රියා කරන්නෙමි. රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල් පිළිබඳ මට දැනගන්නට ලැබෙන පෞද්ගලික තොරතුරු රහස් ලෙස රැක ගන්නෙමි. රෝගියාගේ කටයුතුවලදී ළැදිව සහයෝගය දීමටත් මා භාරයේ සිටින සියල්ලන්ගේම අභිවෘද්ධිය උදෙසා ජීවිතය කැප කිරීමටත් පොරොන්දු වන්නෙමි.”
මේ ආකාරයට ප්‍රතිඥාවක් දෙනු ලබන්නේ හෙද හෙදියන් හෙද සේවයට එක්වන අවස්ථාවේදීය. මෙම ප්‍රතිඥාව නයිටිංගේල් ප්‍රතිඥාව ලෙස හැඳින්වේ. ඊට හේතුව ෆ්ලොරන්ස් නයිටිංගේල් විසින් හෙද සේවයේ අඩිතාලම දැමීමයි. ක්රිමියානු යුද්ධයේදී තුවාල වූ අය සොයමින් අතේ පහනක් ඇතිව අඳුරේ ගිය බැවින් “පහන සහිත කාන්තාව” ලෙස එදා ඇයව හැඳින්වූ අතර ඇගේ සාත්තුව නිසාම යුද්ධයේදී සොල්දාදුවන්ගේ මරණ අනුපාතය 40% සිට 2% දක්වා අඩු කර ගැනීමට හැකි විය. ක්‍රි:ව: 1860දී බ්‍රිතාන්‍යයේ ශාන්ත තෝමස් රෝහල සහ හෙදියන් වෙනුවෙන් නයිටිංගේල් පුහුණු පාසල ආරම්භ කළ ඈ හෙද සේවය උදෙසා අනුපමේය සේවයක් කළාය. ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ උපන් දිනය යෙදෙන මැයි 12 වැනි දිනය, ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම් කරනු ලැබුවේ එබැවිනි.
1965 සිට ජාත්‍යන්තර හෙද කවුන්සිලය මෙම දිනය සමරනු ලැබූ අතර ජාත්‍යන්තර හෙද දිනය වශයෙන් මැයි 12 නම් කරමින් සැමරීම ආරම්භ කළේ 1974 පටන් ය. 2022 මැයි 12 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වන්නේ “ගෝලීය සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා හෙද සේවාවේ අයිතීන් සුරකිමින් එහි සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට හෙදියන්ගේ හඬ නායකත්වයට” යන්නයි.
“ලංකාවේ යටත්විජිත පාලන කාලයේදි රෝගීන්ගේ සාත්තු සේවාව සිද්ධ වුණේ කන්‍යා සොයුරියන් අතින්. මෙරට හෙද විදුහල ආරම්භ කළේ 1939දී. අද වන විට හෙද විදුහල් 17ක් තිබෙනවා. හෙද පාඨමාලාව උපාධිය දක්වා උසස් වුණේ 1997දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවෙන්. 2000 වර්ෂයේ ජ/පුර, යාපනය, රුහුණු විශ්වවිද්‍යාලය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලවල හෙද උපාධි පාඨමාලා ආරම්භ කළා. 2020 දී කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව හෙද පීඨයක් පටන් ගත්තා. මේ වන විට ලංකාවේ හෙද සේවයේ තත්ත්ව ඉතාමත් පුළුල් ආකාරයට වැඩිදියුණු වී තිබෙනවා. ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය කියලා වෙනමම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් ලංකාවේ හෙද සේවයේ අධ්‍යාපනික මට්ටමේ ව්‍යාප්තිය පිළිබඳ විස්තර කළේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පති, ඩබ්ලිව්.ඒ. කීර්තිරත්න ය.
ඔහු පවසන ආකාරයට වාර්ෂිකව හෙද සේවයට 3000ක පිරිසක් අවශ්‍ය වෙයි. වසරකට හෙද විදුහල්වලට බඳවා ගන්නා සංඛ්‍යාව 2500කි. ඉතිරි 500 බඳවා ගැනෙන්නේ විශ්ව විද්‍යාලවලින් පිටවන හෙද උපාධිධාරින්ගෙනි. හෙද සේවයට පිරිමින් බඳවා ගැනීමේ ප්‍රතිශතය 5%කි. මේ වන විට 44,000කට ආසන්න පිරිසක් හෙද සේවයේ නිරත වී සිටිති.
“සාමාන්‍යයෙන් ජනතාව දන්නේ හෙදිය, හෙදි සොයුරිය, හෙද පාලිකා කියන තනතුරු ගැන විතරයි. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද ශ්‍රේණියේ අධ්යක්ෂ තනතුරු දක්වා හෙද හෙදියන්ට උසස්වීම් ලබා ගන්න ඉඩ ප්රස්ථා සැලසිලා තියෙනවා. හෙද ක්ෂේත්රයේ හෙද අධ්‍යාපනය, රෝහල් සේවාව හා මහජන සෞඛ්‍ය කියලා අංශ 3ක් තියෙනවා. හෙද අධ්‍යාපනයට අයත් වෙන්නේ ඉගැන්වීම් හා අධීක්ෂණය. රෝහල් සේවාව යටතට ගැනෙන්නේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය. මහජන සෞඛ්‍ය සේවා කටයුතුවලට අයිති වෙන්නේ ප්‍රජා සෞඛ්‍ය සේවයයි. ඒත් ජනතාවට දැනෙන්නේ හෙද හෙදියන්ගේ කාර්යභාරය කියන්නේ රෝගින්ගේ සාත්තුව විතරයි කියලා. ඇත්තටම හෙදියන්ගේ රාජකාරිය ඊට වඩා පුළුල් දෙයක්.” යනුවෙන් ඩබ්ලිව්.ඒ. කීර්තිරත්න සඳහන් කළේය.
හෙදියකගේ කාර්යභාරය රෝගීන්ට ඖෂධ ලබාදීම, තුවාලවලට බෙහෙත් දැමීම, එන්නත්කරණය යනාදි රාජකාරිවලට පමණක් සීමා වී නැත. ජනතාවට පෙනෙන දේ එය වුවද රෝගියා පැය 24 පුරාම සිටින්නේ හෙදියන්ගේ භාරයේ බව අප අමතක නොකළ යුතුය. වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කර, බෙහෙත් නිර්දේශ කළ පසුව අවශ්‍ය සියලුම ප්‍රතිකාර හා සාත්තුව ලබාදෙමින් රෝගින්ව අධීක්ෂණය කරනු ලබන්නේ හෙදියන් විසිනි. යම් හදිසි අවස්ථාවක වෛද්‍යවරුන් කැඳවනු ලබන්නේ හෙදියන් විසිනි. වාට්ටු භාර හෙදියකට රාජකාරිය භාර ගැනීමට අනෙක් හෙදිය නොපැමිණියහොත් සිය සේවා මුරය නිමා කර නිෙවසට යා නොහැකිය. අනෙක් සේවා මුරය ද කළ යුතුය.
“ඉස්සරම නම් හෙදියන්ගේ සේවා මුරය හැඳින්වූවේ වහල් සේවා මුරය කියලා. උදේ 7.00ට වැඩට ආවාම රෑ 7.00ට ආපසු යන්න වෙන්නේ. දවල් 12 සිට සවස 3.00 දක්වා විවේකයක් ලැබුණා.
මම හෙද සේවයට පැමිණියේ 1966 දී. ඒ කාලේ සති 2ක් එක දිගට රාත්‍රි වැඩ මුර කරන්න ඕනෑ. ප්‍රසූත නිවාඩු තිබුණේ දින 42යි. ඇත්තටම ඒ කාලේ හෙදියන්ට ඔවුන්ගේ පවුල් ජීවිත ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. හෙද වෘත්තියයි පවුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යෑම ලොකු වගකීමක් වුණා.
අපි සේවයට සම්බන්ධ වූ කාලේ උපකරණ වුණත් අද වගේ වැඩිදියුණු වී තිබුණේ නැහැ. ඒ කාලේ කැනියුලා තිබුණේ නැහැ. සේලයින් දුන්නෙත් රබර් බටයකින්. ඒනිසා උපකරණ සූදානම් කිරීම, විෂබීජහරණය කිරීම වගේ රාජකාරිත් අපට පැවරිලා තිබුණා. අද තාක්ෂණය සහ විද්‍යාව දියුණුයි. එය අද හෙද සේවයට ලොකු පිටිවහලක් වී තිබෙනවා. අපේ වහල් සේවා මුර ක්‍රමය නැති වුණේ 1977දී. ඒ වෙනුවට අඛණ්ඩ පැය 6ක සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක වුණා. රාත්‍රි සේවා මුරය පැය 12 වුණත් දැන් ඉස්සර වගේ රෑ වැඩ මුරය සති 2ක් කරන්න අවශ්‍ය නැහැ. මාසයකට දින 2ක් වගේ තමයි රෑ වැඩ වැටෙන්නේ. අද හෙද සේවයේ උපාධි තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සම්බන්ධ වෙලා තිබුණු හෙද සේවයට දැන් වෙනම කවුන්සිලයක් තිබෙනවා. මේ සියල්ල හෙද සේවය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ.” යනුවෙන් විස්තර කළේ විශ්‍රාමික හෙද සොයුරිය, සෝමලතා වෛද්‍යරත්න සෙල්ලහේවා ය.
හෙද සේවය අත්‍යන්තයෙන්ම මිනිස් ජීවිත සමඟ බැඳී පවතින වගකීම් සහිත වෘත්තියකි. එම වගකීම පැහැර හැරුණොත් එය මුදලින් පරිපූර්ණ කළ නොහැකිය. සමාව ඉල්ලීමෙන් ඵලක් නැත. එම මොහොතේ කළ යුතු රාජකාරිය එම මොහොතේම කළ යුතුය. එය පසුවට කල් තැබිය නොහැකිය.
“ඇත්තටම හෙද සේවය කියන්නේ පින් රැස් කරගන්න පුළුවන් රැකියාවක්. රෝගියා කියන තැනැත්තාව අපි සලකන්න ඕනෑ මේ ඉන්නේ මගේ අම්මා, තාත්තා, මගේ සහෝදරයෙක්, මගේ සහෝදරියක් කියලා. යුද්ධය තිබුණු කාලේ මම වව්නියාවේ කඳවුරුවලට ගිහින් සේවය කළා. ඒ කඳවුරුවල මැස්සෝ පිරිලා. අපිට වතුර ටිකක් කටට හළාගන්න බැරි තරමට මැස්සෝ. සුනාමි කාලේ පැරැළියට ගිහින් කුණුවෙලා ගඳ ගහන අයට සාත්තු කළා. මගේ හෙද වෘත්තීය ජීවිතයේ ඒ වගේ අත්දැකීම් ගොඩාක් තිබෙනවා. ඒ හැම අවස්ථාවක්ම මම සිහිපත් කරන්නේ පුණ්‍ය කටයුත්තකට දායක වුණා කියන හැඟීමෙන්. ඒත් අද සමහරුන් ඉන්නවානේ තමුන්ගේ අම්මා තාත්තාට වුණත් සලකන්නේ නැහැනේ. ඒ වගේ අය හෙද සේවයට බැඳුණම අපිට ලොකු සත්කාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ අතළොස්සක් දෙනා නිසා හෙද සේවයේ ගරුත්වය නැති වුණත් බහුතරයක් වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරනවා. ශික්ෂණයෙන් කටයුතු කරනවා.” යනුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෙද සොයුරියක වන සමින්ද්‍රා කුමාරි පිටිගල සඳහන් කළාය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ තිබෙන අංශවලින් වැඩිම පිරිසක් සේවයේ නිරත වී සිටින්නේ හෙද ක්ෂේත්රයේය. සෞඛ්‍ය සේවයේ කොඳු නාරටිය ලෙස සැලකෙන්නේ හෙද සේවයයි. එහෙත් බදුල්ල හෙද විදුහලේ ජ්‍යෙෂ්ඨ හෙද ආචාර්ය කේ.පී.ජේ. පතිරණ පැවසුවේ වර්තමානයේ හෙද සේවය සඳහා යොමුවන පිරිසේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. හෙද සේවයේ ඇති වගකීම් සම්භාරය සහ වෙහෙසකර බව ඊට බලපා ඇති බව ඔහුගේ අදහස ය.
“අද හෙද සේවයේ උපාධිය ලබා ගන්න පුළුවන්. පුහුණු වන කාලයේදීත් දීමනාවක් ගෙවනවා. රැකියා සුරක්ෂිත බව තිබෙනවා. සමාජ පිළිගැනීම හා වෘත්තීය තත්ත්වය තිබෙනවා.
අද යුරෝපීය රටවල්වල හෙද සේවාව පවත්වාගෙන යන්නේ ආසියානු රටවල්වල හෙදියන්ගෙන්. ලංකාව ඇතුළු ආසියානු රටවල්වලත් හෙද සේවයට පැමිණෙන අය අඩු වුණාම ලෝකයේම හෙද සේවයට තර්ජනයක් ඇති වෙනවා. ඒනිසා හෙදියන් සේවාවේ නිරත වීමට උපක්‍රම යෙදීම ඉතාමත් වැදගත්.” යනුවෙන් බදුල්ල හෙද විදුහලේ ජ්‍යෙෂ්ඨ හෙද ආචාර්ය කේ.පී.ජේ. පතිරණ පැවසීය.
අපේ රටට විදේශ විනිමය ලැබෙන එක් ක්ෂේත්රයක් වන්නේ විදේශ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන්ගේ දායකත්වයයි. හෙද සේවාව සඳහා අපේ වෘත්තිකයන් විදේශගත වුවහොත් අපේ රටට ගෞරවාන්විතව විදේශ විනිමය ලබා ගත හැකිය. හෙද ඩිප්ලෝමා පාඨමාලාවට අමතරව හෙද උපාධිය ලබා ගැනීමේ ඉඩප්රස්ථා පවා මේ වන විට විවර වී තිබේ. ලංකාවේ ඇති සියලුම හෙද විදුහල් විශ්වවිද්‍යාල බවට පත් කර සියලුම හෙදියන් උපාධිධාරින් බවට පත් කිරීම සඳහා මේ වන විට සැලසුම් කර තිබේ. හෙද වෘත්තියේ තත්ත්වය, ප්‍රමිතිය ඉහළ දැමීමෙන් විදේශ රැකියා වෙළඳපොළේ අවස්ථා වැඩි කර ගත හැකිය.
“හෙද සේවාවේ අයිතින් සුරකිමින් සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම හෙදියන්ගේ හඬ නායකත්වයට යන්න මේ අවුරුද්දේ ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වෙනවා. ඇත්තටම හෙද සේවාව සඳහා ආයෝජනය කිරීමෙන් රටට විශාල යහපතක් සිද්ධ වෙනවා. මොකද රටක සංවර්ධනය මැනීමේදී සෞඛ්‍ය දර්ශකය ඉතා වැදගත් මිනුම් දණ්ඩක්.
අපේ හෙද සේවය මාතෘ, ළමා, ශල්‍යාගාර, වේදනා කළමනාකරණ, ආසාදන පාලන ආදි වශයෙන් විශේෂ කීපයකට වෙන් කරන්න පුළුවන්. ඒ ඒ විශේෂ අංශවලට හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. රෝග නිවාරණය සහ ප්‍රතිකාර කියන අංශ දෙකේම හෙද වෘත්තිකයෝ විශිෂ්ට සේවාවක් සපයනවා. රටේ සංවර්ධනය උදෙසා බලාපොරොත්තු වන සේවාවට ළඟා වීමට හෙදියන්ගෙන් ඉටුවන කාර්යභාරය විශාලයි. ඒනිසා අපේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයේම සෞඛ්‍ය රැක ගැනීමට හෙදියන් වෙනුවෙන් ආයෝජනය කිරීම තුළින් විශාල හඬක් නැංවීමට හැකි වෙනවා.” යනුවෙන් හෙද වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා එම්.බී.සී. සමන්මලි විස්තර කළාය.
හෙද සේවයේ යෙදී සිටින සියලුදෙනාගේම ප්‍රාර්ථනාව වන්නේ රෝගින් සුවපත් වී නිවෙස්වලට යනු දැකීමයි. ඔවුන් මුහුණ දෙන දුෂ්කරතම හා අසීරුතම අවස්ථාව ලෙස සඳහන් කළේ රෝගියකු මිය ගිය බව රෝගියාගේ භාරකරුවන්ට දැනුම් දීමයි. එමෙන්ම හෙද හෙදියන් නිරන්තරයෙන් සිය දැනුම යාවත්කාලීන කර ගත යුතු බව සඳහන් කළේ බදුල්ල හෙද විදුහලේ ජ්‍යෙෂ්ඨ හෙද ආචාර්ය කේ.පී.ජේ. පතිරණ ය.
“පාසල් අධ්‍යාපනය අවසාන කරලා හෙද පුහුණුවට පැමිණෙන ළමයින් අවුරුදු 3ක් පුහුණු කරලා ජීවිතයක් භාරදිය හැකි තත්ත්වයට පත් කිරීම විශාල භාරදූර කාර්යයක්. අපි ඒ වගකීම සමඟ බැඳී සිටිනවා.
කොවිඩ් වසංගත කාලෙදිත් වෛද්‍යවරුන් වගේම හෙද හෙදියනුත් විශාල කැප කිරීම් කළා. ඒත් ජනමාධ්‍ය ඔස්සේ හෙදියන් ගැන ලියන කියන දේවල් සම්බන්ධයෙන් අපිට ගැටලු තියෙනවා. හෙදියගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට කටයුතු කිරීම ඉතා වැදගත්.” යනුවෙන් සඳහන් කළේ කඳාන හෙද විදුහලේ විශේෂ ශ්‍රේණියේ හෙද ආචාරිනි ඉරේෂා රණවීර ය.
ලෝකයේ බොහෝ රටවල්වල එක් හෙදියකට බාර වන්නේ රෝගින් 7ක් වැනි ඉතා සුළු ප්රමාණයකි. එහෙත් ලංකාවේ එක් හෙදියකට රෝගීන් 20ක් 30ක් වැනි විශාල ප්‍රමාණයක් රැක බලා ගැනීමට සිදු වේ. මේ සියලු දෙනාගේම ඇඳ ඉහපත් පටලවා නොගනිමින් වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර කිරීම පහසු නැත.
ඊට අමතරව රෝගින්ගේ ඇතුළත් වීම්, බඩු තොග හා ඖෂධ ගණනය කිරීම් වැනි ලේඛන කටයුතු පවා සිදු කෙරෙන්නේ හෙද නිලධාරින් අතිනි. ඇතැම් අවස්ථාවල ඔවුන්ගෙන් එල්ල වන වදනකට අප සිත් රිදවා ගත යුතු නොවන්නේ එමනිසාය.