රථ ගාලෙනුත් කෝටි ගණන් ගසා කෑ කොළඹ මහජන නියෝජිතයෝ | සිළුමිණ

රථ ගාලෙනුත් කෝටි ගණන් ගසා කෑ කොළඹ මහජන නියෝජිතයෝ

කොළඹ නගර සභාව යනු මෙරට වැඩිම බදු මුදලක් හිමිවන පළාත්පාලන ආයතනයයි. එහි වාර්ෂික ආදායම බිලියන 16කට අධිකය. මේසා අධික ආදායමක් හිමි කොළඹ මහ නගර සභාවේ පාලනය බොහෝ කලක් තිස්සේ පවතින්නේ දූෂණ වංචා පිරි අමුතුම ලෝකයක් ලෙසිනි. මීට පෙරද සිළුමිණ මඟින් අවස්ථා ගණනාවකදී හෙළි කළ පරිදි පාපැදියෙන් පැමිණෙන මන්ත්‍රීවරයා වසරකින් දෙකකින් පසු යන්නේ සුපිරි රථවලනි. ඔවුන් සුපිරි මහල් නිවාසවල හිමිකරුවන් වීමට ද වැඩිකලක් ගත නොවේ. 

මේ දූෂණයට සම්බන්ධ නොවන නාගරික මන්ත්‍රීවරුන්ට රැවුම් ගෙරවුම් පමණක් නොව මරණ තර්ජන පවා දූෂිත මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ හා එල්ල වන අවස්ථා එමටය. නිලධාරීන්ටද එසේමය. කොන්ත්‍රාත් පිරිනැමීම මෙන්ම ටෙන්ඩර් ක්‍රමවලින් තොරව භාණ්ඩ මිලදී ගැනීම වැනි දූෂිත ගනුදෙනුවලට මේ බොහෝ පිරිස් දිව යන්නේ වැල ගෙඩියට පියඹා එන කපුටන් රැලක් මෙනි.

එහි අලුත්ම සෙල්ලම පසුගියදා එළියට ආවේ මේ උන්නැහේලාට බේරෙන්නට පුළුවන් ලෙසින් නම් නොවේ. එහෙත් හොරුන්ට ගණදෙවි නුවණ ඇති බව අපි අසා ඇත්තෙමු. එම නිසා කුමන හෝ උප්පරවැට්ටියක් දමා බේරෙන්නට මේ අය උත්සාහ ගනු නියතය. ඒ සඳහා මේ වන විටත් පියවර ගෙන ඇත.

මෙවර දූෂණ සිදු කර ඇත්තේ රථවාහන ගාල් බදු දීම් හරහාය. මේ ඇතැම් සිද්ධීන්ට නගර සභාවේ නිලධාරීන්ද වගකිව යුතු බව තහවුරු වී තිබේ. ඒ ගසා කෑම් මුදලද සුළු පටු නොවේ. එය රුපියල් බිලියන ගණනකි.

ඒ සම්බන්ධව මාස 6 කට අධික කාලයක් තිස්සේ විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයකින් පසු විගණන වාර්තාවක් කොළඹ නගර සභාවේ ලේකම් වෙත එවා තිබේ. පිටු 41කින් යුත් දැවැන්ත විගණන විමසුමක් වන ඒ හරහා කොළඹ නගර සභාවේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ රෙදි ගැලවී ඇත. 2022 අප්‍රේල් 08 දිනැතිව SIF/C/AG/AE/2022/02 අංක දරන එය නියෝජ්‍ය විගණකාධිපති (විශේෂ විමර්ශන හා වෝහාරික) එස්. එම්. ඩී. එස්. සුදීශ් රෝහිත විසින් අත්සන් කර තිබේ.

වෝහාරික විගණනය සිදු කර ඇත්තේ අදාළ ස්ථානවලට විගණන නිලධාරීන් මාස ගණනාවක් තිස්සේ ගොස් සිදු කරන ලද විමර්ශන ඔස්සේය. ඒ නිසා මෙවර නම් අදාළ දූෂිතයන්ට ලෙහෙසියෙන් ගැලවෙන්නට නොහැකි වනු ඇත.

කොළඹ නගර සීමාව තුළ ගාල් කරනු ලබන රථවාහනවලින් ගාස්තු අය කිරීම 1988 වසරේදී ආරම්භ කළ අතර එම මුදල් එකතු කරන ලද්දේ කොළඹ නගර සභාවට අනුයුක්ත රථවාහන පාලක හා පාලිකාවන් විසිනි. එහෙත් 2010 වසරේ සිට එයට පෞද්ගලික පාර්ශ්වයන්ද සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන ලදී. මේ දූෂණ වංචා සියල්ල ඇරැඹෙන්නේ එතැන් සිටය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ වර්ගමීටර් 99,000ක භූමි ප්‍රදේශයක වරකට වාහන 7,000ත් 7,500ත් අතර ප්‍රමාණයක් ගාල් කර හැකි රථ ගාල් 121ක් වේ. එයින් වර්ග මීටර් 85,800ක භූමි ප්‍රදේශයක් සහිත වාහන 6,500ක් පමණ ගාල් කර හැකි රථගාල් 112ක් පෞද්ගලික සමාගම් 19කට කොන්ත්‍රාත් පදනම මත ලබා දී තිබේ. එමෙන්ම වර්ග මීටර් 8,620ක් වූ වාහන ගාල් කරන ස්ථාන 9ක් නගර සභාවේ රථවාහන පාලක හා පාලිකාවන්ට ලබා දී ඇත.

මීට අමතරව වාහන 111ක් ගාල් කළ හැකි වර්ග මීටර් 1,279ක් වූ ප්‍රදේශයක් මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට තම කාර්යාලය ඉදිරිපිට වාහන ගාල් කිරීමට ද වාහන 26ක් ගාල් කළ හැකි වර්ග මීටර් 299ක් ව්‍යාපාරික ස්ථානයන්ට ද ලබා දී ඇත. එමෙන්ම පසුව ස්වයංක්‍රීය යන්ත්‍ර මඟින් මුදල් අය කිරීමේ ක්‍රමය යටතේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ හා ඒ ආසන්න අතුරු මාර්ගවල ද වාහන 1426ක් ගාල් කළ කලාපයන් කිහිපයක් පෞද්ගලික සමාගමකට බදු දී තිබේ.

2017 වසරේ ජූලි 26 දරන ගැසට් නිවේදනයේ සඳහන් පරිදි කොළඹ නගර සභා අතුරු ව්‍යවස්ථාවක් යටතේ රථවාහන ගාල් බදු දීම සඳහා වන කොන්දේසි ඇතුළත් කර තිබුණි. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වන විට රථවාහන ගාල් 112න් 100ක් පෞද්ගලික ආයතන 19කට ලබා දී ඇත. එහිදී අදියර රැසක් යටතේ මේ බදු දීම් සිදු කර ඇති අතර 1 අදියරේ සිට 16 අදියර දක්වා බදු දීමේදී මහනගර සභාවේ රථවාහන පාලිකාවන් විසින් වාහනවලින් මුදල් අය කර දුන් ප්‍රමාණ අනුව බදු අය කිරීමට අදාළ සැලසුම් සකස් කර ඇති අතර 17 අදියර හා 18 අදියර යටතේ වාහන ගාල් බදු දීමේදී වාහන ධාරිතාව හා අය කරනු ලබන මුදල් අනුව ගණනය කිරීම් සිදු කර තිබේ.

එසේ ලැබෙන මුදලින් 35%ක මුදලක් අදාළ ආයතනවලට වෙන් කර තිබේ. එයින් ප්‍රමුඛත්වය ලැබු‍ණේ අදාළ ගාස්තු අය කරනු ලබන රථ වාහන පාලකයන් හෝ පාලිකාවන්ගේ වැටුප් වෙනුවෙන් වන අතර මුදල් නොගෙවා යන්නන් වෙනුවෙන්ද යම් ප්‍රතිශතයක් වෙන් කර තිබේ. එසේම ආයතනික ලාභය වෙනුවෙන් ඉතිරි මුදල වෙන් කර තිබේ. අදාළ වාහන ගාල්වලින් මුදල් අය කිරීමේදී රාජකාරි කටයුතු සඳහා පැමිණි රජයේ වාහනවලින්ද මුදල් අය කිරීමට අදාළ පෞද්ගලික ආයතන විසින් කටයුතු කර ඇති අතර කොළඹ නගර සභාව විසින් එම ස්ථානවල රථවාහන පාලිකාවන් යොදා රථවාහන ගාස්තු අය කිරීමේදී එසේ රාජකාරි කටයුතු වෙනුවෙන් පැමිණෙන වාහනවලින් මුදල් අය කෙළේ නැත.

ආදායමෙන් 35%ක් අදාළ පෞද්ගලික ආයතන වෙත ගෙවීම් කළද ඇතැම් පෞද්ගලික ආයතන සිදු කර ඇත්තේ ඔවුන්ගේ දෛනික අපේක්ෂිත ආදායම ඉලක්ක කර ගෙන ඉතිරිය අනුව පමණක් රථවාහන පාලක පාලිකාවන්ට දීමනාවක් ගෙවීමය. ඒ නිසා රථවාහන පාලක පාලිකාවන් විසින් වාහන හිමියන්, රියැදුරන් අපහසුතාවට පත් කරමින් උපරිම ලෙසින් වාහනවලින් මුදල් අය කරන්නට කටයුතු කර ඇත. රථවාහන ගාලක් අසල හදිසියේ දුරකථන ඇමතුමක් ගන්නට වාහනයක් නැවැත්වුවද එතනට දුවගොස් රථවාහන ගාල් කළ බවට බිල්පතක් ලබා දෙන්නට ද ඔවුන් කටයුතු කර ඇත.

මේ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඇතැම් පෞද්ගලික ආයතන තම වාසියට අදාළ ගාල් තමන්ට උචිත පරිදි සකස් කරගෙන ඇති අතර ඇතැම් රථවාහන ගාල් නිසි පරිදි සකස් කර ගන්නට මහ නගර සභාව විසින් අදාළ නිර්ණායක ලබා දී නැත.

උදාහරණයන් ලෙස පෙන්වා දෙන්නේ නම් 18 අදියර යටතේ බොරැල්ල හන්දියේ සිට මරදාන දක්වා රථවාහන 118ක් ගාල් කර ගාස්තු අය කිරීම සඳහා කිලෝමීටර් 2ක පමණ දුරක් අනුකොටස් 5කට බෙදා එක් රථගාලක් ලෙස පවත්වාගෙන යාමට K Two Logistics Services පෞද්ගලික සමාගමට 2019. 12. 31 සිට 2021. 12.31 දක්වා ටෙන්ඩර් ලබාදී ඇති නමුත් එහි සීමා නිසි ලෙසින් ලබා දී නැත. එම නිසා බොරැල්ල සිට මරදාන දක්වා දීර්ඝ කලාපයක් ඔවුන් විසින් අත්පත් කරගෙන දිනකට වාහන දහස් ගණනක් ගාල් කළ හැකි පරිදි රථගාල් නිර්මාණය කරගෙන තිබේ. ඒ අනුව ඒ මාර්ගයේ වාහනයක් කුමන ස්ථානයක නැවැත්වුවත් නැවතුම් ගාස්තු අය කරන්නට අදාළ ආයතන කටයුතු කර තිබේ.

එසේම 18 අදියරේම තවත් එක් ටෙන්ඩර් ප්‍රදානයක් ලෙස නොරිස් කැනල් මාර්ගයේ වාහන 144ක් ගාල් කිරීම සඳහා තනි රථගාලක් ලෙස සලකා ඒ.ආර් එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික ආයතනයටත් එහි ආසිරි සෙන්ට්‍රල් රෝහල ඉදිරිපිට තිරස් අතට රථ වාහන 41ක් ගාල් කිරීමටත් ලබා දී තිබුණි. 

නොරිස් කැනල් රථගාල වාහන 41ක් පමණක් ගාල් කළ හැකි පරිදි බදු දී ඇති නමුත් පටු මාර්ගයක් සහිත ඒ මාර්ගය අවහිර වනසේ වාහන 72ක් ගාල් කළ හැකි පරිදි අවදානම් ලෙසින් රථගාල සකස් කර වාහන ගමන් ගන්නා අතට ද වාහන ගාල් කිරීමට සලස්වා එහි වාහන 41ක් වෙනුවට වාහන 82ක් ගාල් කළ හැකි පරිදි එනම් දෙගුණයක ආදායමක් උපයා ගත හැකි පරිදි රථගාල සකසා ඇත. එහෙත් අදාළ නියමිත මුදලවත් ගෙවා නැත.

නොරිස් කැනල් රථගාලේ DCSLආයතනය ඉදිරිපිට රථ වාහන ගාල් කිරීම හා එයින් මුදල් අය කළ නොහැකි වුවත් ගාස්තු අය කර වාහන නැවැත්වීමට කටයුතු කර ඇත. ඒ. ආර්. එන්ටර්ප්‍රයිසස් ආයතනය විසින් ඒ නීති විරෝධී කාර්යයේ යෙදී ඇත.

වාහනවලින් මුදල් අය කළ හැක්කේ උදෑසන 6 සිට රාත්‍රී 12.00 දක්වා වුවත් නොරිස් කැනල් පාරේ රථගාල්වලින් පැය 24ම ගාස්තු අය කර තිබේ.

රථගාල් බදු ගත් සියලු සමාගම් විසින් අදාළ බදු මුදල් ඊළඟ මාසයේ 15 දින හෝ ඊට පෙර කොළඹ නගර සභාවට ගෙවිය යුතු විය. හිඟ මුදල් මාස දෙකකට වැඩි කාලයක් ගතව තිබුණහොත් පෙර දැනුම් දීමකින් තොරව අදාළ බදු දීම අත්හිටුවීමට හැකියාව ඇති නමුත් එවැන්නක් සිදු කර නොමැත.

එසේ වුවත් රථගාල් බදු ගත් සමාගම් අතුරින් 2017 දෙසැම්බර් 31 වන විට ආයතන 15 කින් රුපියල් 42,920,325ක්ද 2018 දෙසැම්බර් 31 දිනට ආයතන 23කින් 92,551,949ක්ද 2019 දෙසැම්බර් 31 වන විට ආයතන 29කින් 127, 175, 601ක්ද 2020 දෙසැම්බර් 31 වන විට ආයතන 36කින් 180,412,174ක්ද හා 2021 දෙසැම්බර් 31 වන විට ආයතන 35කින් රුපියල් 367,270,159ක්ච මහ නගර සභාවට හිඟ මුදල් ලෙස තිබුණි.

එසේ ගෙවීම් පැහැර හැර ඇති සමාගම් වෙත නැවත රථගාල් ලබා දීමට නගර සභාව විසින් කටයුතු සිදු කර තිබේ.

විශේෂයෙන්ම සලීඩ් එන්ටර්ප්‍රයිසස් ආයතනය 2015, 2016, 2017 වසරවල කොන්ත්‍රාත් 6කට අදාළව රුපියල් 99 47734 මුදලක් ගෙවීම පැහැර හැර තිබියදී 2018 ඔක්තෝබර් 5 දින සහ 2018. 11. 01 පිළිවෙළින් 10/2018 26/2018 34 /2018 ගිවිසුම් යටතේ රථගාල් 3ක් යළිත් ලබා දී ඇත.

එමෙන්ම 1 සිට 16 දක්වා අදියරයන්හි තක්සේරු කිරීම මත ලබා දුන් රථගාල්හි අදාළ මුදල්ද නිසි ලෙසින් ලැබී නොමැති බව වෝහාරික විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

එසේම අදියර 17 දී රුපියල් 111,586,176ක් හා අදියර 18 දී රුපියල් 335,696,324ක් නගර සභාවට අහිමිව තිබේ. එය ඇස්තමේන්තුගත ආදායමෙන් 54%ත් 80%ත් අතර බවද හෙළිව තිබේ.

එය නගර සභා රථවාහන පාලිකාවන් විසින් සිදු කෙළේ නම් 17 අදියරේදී රුපියල් 128,194,560ක් ද 18 අදියරේදී රුපියල් 401,926,412ක්ද උපයා ගන්නට තිබුණු බව හෙළිව තිබේ.

විශේෂයෙන්ම 2021 වසරේ දෙසැම්බර් 31 වන විට සමාගම් විසින් රුපියල් 367,270,159ක් නගර සභාවට අය විය යුතුව තිබුණි. නමුත් ඒ මුදල් අය කර ගැනීමේ කිසිදු ක්‍රමවේදයක් සකස් කර නැත.

එසේම ආයතන 11ක් විසින් පවත්වාගෙන ගිය රථගාල් 29ක කොන්ත්‍රාත් 2021 වසරේ දෙසැම්බර් 31 අවසන් වීමට තිබුණි. එම රථගාල්වලින් පමණක් එදිනට රුපියල් මිලියන 85.1ක් අය විය යුතුව තිබුණි. එසේ වුවත් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව එම ආයතනවලටම යළි එම ගාල් බදු දී තිබේ. එසේ බදු දීමේදී එම සමාගම් සමඟ කිසිදු ලිඛිත එකඟතාවයක්ද ඇති කරගෙන නැත.එම බදු දීම් සඳහා සභාවේ අනුමැතිය ලබා ගත වුවත් එයද සිදු කර නැත.

මේ වන විට අදාළ සමාගම් විසින් මහ නගර සභාවට ගෙවිය යුතු මුදල් තවත් වැඩි වී එය මේ වසරේ මාර්තු මාසය වන විට රුපියල් මිලියන 92.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම නගර සභාවේ රථවාහන පාලිකාවන් හරහා ද නිසි ලෙසින් මුදල් අය කිරීමේ ක්‍රමවේද අනුගමනය කර නැත.

2020 වසරේ දෙසැම්බර් 31 දක්වා පාලිකාවන්ට වෙන් කර ඇති ගාල්වලින් මෝටර් රථ 348ක් ලොරි 113ක් ත්‍රිරෝද රථ 102ක් යතුරු පැදි 161ක් ලෙස වාහන 724ක් එකවර ගාල් කළ හැකි ස්ථාන 8ක් පාලිකාවන් 23 දෙනකුට ලබා දී ඇති අතර ඔවුන් අදාළ කාලයට රැස් කර දී ඇති මුදල රුපියල් 83,85,140කි.

නමුත් මේ ගැන කළ විගණනයේදී හෙළිව ඇත්තේ රථවාහන පාලිකාවන් අවම වශයෙන් දිනකට පැය 8ක් සේවය කළා මසකට දින 25ක සේවය කිරීමේදී රුපියල් 5,602,000ක් අය විය තිබූ නමුත් ලැබී ඇත්තේ 10,87,344ක් පමණි. ඒ අනුව මසකදී අහිමි වූ ආදායම රුපියල් 45,14,656ක් බව තහවුරු වී ඇත.

එමෙන්ම 2015 වසරේ ඩුප්ලිකේෂන් පාර ඒ ආශ්‍රිත මාර්ගවල ටෙනාගා කාර් පාර්ක්ස් පුද්ගලික සමාගමට රථවාහන 1426ක් ගාල්කිරීම සඳහා ගිවිසුම්ගත වී තිබුණි. 2023 දක්වා එහි ටෙන්ඩරය දී තිබුණි. නමුත් එය ලබා දී ඇත්තේ ඩේලිනිවුස් පුවත්පතේ පමණක් 2015 ජූනි 26 දින දැන්වීමක් පළ කරමිනි. ඒ සඳහා ස්වයංක්‍රීය මුදල් ගෙවීම් යන්ත්‍ර සවි කළ යුතු වුවත් සවි කර ඇත්තේ යන්ත්‍ර 100ක් පමණි.

2021 වසරේ අප්‍රේල් මාසය වන විට එම සමාගම නගර සභාවට ගෙවීමට තිබූ මුදල රුපියල් 109,254,581 කි. එහෙත් එය අය කර ගැනීමට කිසිදු ක්‍රමවේදයක් සකස් කර නැත. එම නිසා මේ දක්වා එම සමාගම විසින් ගෙවිය යුතු මුදල රුපියල් 66, 724, 488 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මීට අමතරව නාගරික මන්ත්‍රීවරුන් විසින් තම කාර්යාල ඉදිරිපිට වාහන නැවැත්වීමට අවශ්‍ය බව පවසමින් සිදු කළ වංචාවද හෙළි වී ඇත. ඒ අනුව නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනා අතුරින් 110 දෙනකු වර්ග මීටර් 2.4 X 4.8 ප්‍රමාණයක් අනුමැතියෙන් වෙන් කරගෙන ඇත. 

එයින් 60 දෙනකු අනුමැතිය ලබා ගෙන ඇත්තේ තම කාර්යාල කොළඹ 11 ඇති බව දක්වමිනි. එහෙත් ලබා දී ඇති ලිපිනයන්හි කිසිදු කාර්යාලයක් නොමැති බව තහවුරු වී තිබේ. එමෙන්ම තවත් 13 දෙනකු කොළඹ 12 කාර්යාල ඇති බව දක්වා වාහන ගාල් ලබා ගෙන තිබේ. ඊට අමතරව අධික වාණිජ ප්‍රදේශයක් වන කොළඹ කේසර් වීදියේද කාර්යාල ඇති බව දක්වා රථගාල් වෙන් කරගෙන තිබේ. විශේෂයෙන්ම අංක 56 හා අංක 40/1 හි දක්වා ඇති ස්ථානවල ඇත්තේ කාර්යාල නොව පෞද්ගලික ව්‍යාපාරික ආයතන වේ. නාරාහේන්පිට කිරුළ පාරේද වාහන 7ක් ගාල් කර ඇති ස්ථානයන්හිද එසේ බිම්කඩවල් වෙන් කරගෙන ඇත.

කොටුව තරුණ බෞද්ධ සංගමයේ අංක 126 /5, 126/10, 126/116බී කාර්යාල ඇති බව දක්වා රථගාල් වෙන් කරගෙන ඇතත් එහි කිසිදු කාර්යාලයක් තිබී නැත. අදාළ මන්ත්‍රීවරුන් සිදු කර ඇත්තේ තම කාර්යාල ඉදිරිපිට තම වාහනය නැවැත්වීමට අනුමැතිය ලබාගෙන එම භූමිය වෙනත් අයට ලබා දී එයින් මුදල් අය කර ගැනීමයි. මෙය වසර ගණනාවක් සිදු කළ විශාල මුදල් අවභාවිතයකි.

මාෆියාව කෙතරම්ද යත් මහා පරිමාණයේ සිට දූෂණය සිදු කරගෙන විත් අවසානයේ තමන්ට යැයි වෙන් කරගත් බිම්කඩද අලෙවි කර ඇත. මේ විගණන විමසුම ලැබුණු විට කඩි ගුල ඇවිස්සුණා සේ කිපුණු නාගරික මන්ත්‍රීවරුන් පසුගිය 28 වෙනිදා කොළඹ නාගරික කොමසාරිස්වරියගේ කාමරය වටලා අසභ්‍ය වචනයෙන් ඇයට බැණ වැදී තර්ජනය කර ඇති අතර ඇය මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන කටයුතු සිදු කෙරේ. එමෙන්ම පසුව මේ දූෂිතයන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවට ගොස් තිරිසනුන් සේ ආණ්ඩුකාර කාර්යාල භූමියේ හැසිරී තිබේ. මහජන නියෝජිතයන් නොව ඉතාම පහත් දීනයන් ලෙස ඔවුන් හැසිරෙන අයුරු වීඩියෝ දර්ශන අප සතුය.

ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකට මේ පිරිස් වෙත දන්වා ඇත්තේ නාගරික කොමසාරිස්වරිය ඉවත් කර දෙන ලෙසයි. එහෙත් ආණ්ඩුකාරවරයාගෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබි නොමැත.

තමන් නිවැරැදි නම් තවත් අය ඉවත් කරන්නට හෝ ඔවුන්ට පහර දෙන්නට තර්ජනය කරන්නට අවශ්‍ය නොවේ. විගණන විමසුමට නිසි ලෙසින් පිළිතුරු දීමට තමන්ට හැකි විය යුතුය. එහෙත් ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ යන්න පසක් වූ කළ ගැලවීමට ඇති ඉඩකඩ අඩු බව අප හොදින්ම දනී. දැන් විගණකාධිපතිවරයා හා කොළඹ මහ නගර සභාවේ ලේකම්වරයා තම රාජකාරිය නිසි ලෙසින් ඉටු කළ යුතුය. අපි ඒ දෙසද බලා සිටිමු.

ඡායාරූප - සාලිය රූපසිංහ

Comments