තීව්‍රවන දේශපාලන අර්බුදය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

තීව්‍රවන දේශපාලන අර්බුදය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. විපක්ෂය විසින් කතානායකවරයාට බාරදුන් විශ්වාසභංගය පවතින අර්බුදයන්ට විසඳුමක් ද? 
2. ගාලුමුවදොර උද්ඝෝෂණයට මසක් ගත වී ඇත. ඉදිරිය ඔබ දකින්නේ කෙසේ ද? 
3. මෙම උද්ඝෝෂණකරුවන් සහ පොලිසියේ ක්‍රියාකලාපයන් පිළිබඳව ඔබ දරන මතය කුමක්ද? 
4. අන්තර්වාර පාලනයක් ගැටලුවලට දේශපාලනික විසඳුමක් ද? 
5. දේශපාලනඥයන් සහ වෙනත් පාර්ශ්ව ගැන හෙළිදරව් කර ඇති දූෂණ වංචා පිළිබඳ ඔ‍ෙබ් අදහස කුමක්ද?

මේ ආර්ථික අර්බුදය අප තේරුම් ගත යුතුයි
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අනුර ප්‍රියදර්ශන යාපා

1 පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමන්ට අවශ්‍ය දෙයක් කිරීමට ඕනෑම පක්ෂයකට අයිතියක් තියෙනවා. විශ්වාසභංගයත් එවැනි ක්‍රියාවලියක්. එසේ නම් පාර්ලිමේන්තු ක්‍රියාවලියකදී අපි වැඩකරන කොට විශ්වාසභංගයක අරමුණ විය යුත්තේද ඒ විශ්වාසභංගය ජයග්‍රාහණය කරවීමටයි. ඒ පිළිබඳව තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. කවුද ඡන්දය ප්‍රකාශ කරන්නේ කවුරුන්ද ඡන්දය ප්‍රකාශ නොකරන්නේ කියලා තාම කතා කරලා නැහැ. ඒ අනුව අපිත් අපේ ස්වාධීන වූ පිරිස ලෙස අදහස ලියවිල්ලක් හරහා ප්‍රකාශ කරන්න උත්සහා කරනවා. ඒ අනුව අපේ ස්ථාවරය පිළිබඳව අදහසක් දක්වන්න අපිත් බලාපොරොත්තු වෙනවා.

2 ලංකාව අද විශාල ආර්ථික අර්බුදයකට ගිහින් තියන බව අපි තේරුම් ගත යුතුයි. ඒ ආර්ථික අර්බුදයට ගෙන ගිය පිරිස්වල වැඩපි‍ළිවෙළ නිසයි; තරුණ පරම්පරාව සහ ‍අනෙකුත් පාර්ශ්වයන් මේ උද්ඝෝෂණවලට ආවේ. රජය මේ කාර්යයන් තවමත් හරියාකාරව තේරුම් අරන් නැහැ; මේ උද්ඝෝෂණ සඳහා යොමුවෙලා තියෙන්නේ විශාල ලෙස තරුණ කණ්ඩායම්, වෘත්තිකයන් සහ වෙනත් සමාජ කණ්ඩායම්. ඒ අය කියන්නේ මොකක්ද කියලා ආණ්ඩුව තේරුම් ගන්නේ නැතිවීම ගැන අපිට කනගාටුයි. මේ අය මතු කරන්නේ මේ රටේ ආර්ථිකය හදන්න දේශපාලනික ප්‍රතිසංස්කරණ හරියාකාරයෙන් කරන්න කියලයි. මේ සම්බන්ධයෙන් රජය හරියාකාරව තේරුම් නොගෙන මේ පිරිස්වලට තවදුරටත් එතන ඉන්න සැලැස්වීම සුදුසු නැහැ. මේ තර්කය තේරුම් ගත යුතුයි. අපි රජයට සහ විරුද්ධ පක්ෂයට යෝජනා ගණනාවක් කරලා තියෙනවා. ඒත් ඒ අය ඔවුන්ගේ කොඩිය ගහගෙන තමන්ගේ බලසේනාව පිටුපස තියාගෙන ඉන්නවා; මිසක එකට එකතු වෙලා කතා කරන්න තරම් අවංක භාවයක් නැහැ. අද පවතින ඛේදවාචකය එයයි.

3 උ‍ද්‍ඝෝෂණ සහ රැස්වීම් පැවැත්වීමට ලංකාවේ මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒ සඳහා අයිතියක් තියෙනවා. එයට බාධාවක් ඇතිවී තිබෙන බව සමහර තැන්වල පොලිසිය හැසිරිමේදි පෙනුණා. යම්කිසි ඌණතාවක් තියෙන බවක් පෙණුනා. ඒ වගේම සමහර කණ්ඩායම්වල රැඩිකල් තත්ත්වයන් උද්දීපනය වීමක් අපිට පේනවා. මේ පිළිබඳව අපි තීන්දු කළයුතු නැහැ. එය තීන්දු කරන්න අධිකරණයක් තියෙනවා. අධිකරණයට ඉදිරිපත් කරපු සෑම කෙනෙකුටම ‍ඒ මොහො‍තේම ඇප ලබාදීලා තියෙනවා. ඒ කියන්නේ සාමය කඩවීමක් වෙලා නැහැ. පොලිසිය ක්‍රියාකිරීමේ යම් ආකාරයක ඌණතාවක් පෙන්වා තියනවා. පොලිසිය තමන්ගේ අතින් වරදක් වුණාද නැද්ද කියලා කල්පනා කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදි අපි හොඳ තැනක ඉන්නවා. පොලිසියක් මේ දේවල්වලට මැදිහත් වීමේදි කිසිසේත් අනවශ්‍ය ලෙස මැදිහත් විය යුතු නැහැ. සියලුම නීතිඥවරුන් මේ අවස්ථාවේදී එක පිලක ඉන්නවා. යම් අසාධාරණයක් පේන නිසා මේ නිතීඥවරුන් මේ ක්‍රමවේදයන්ට විරුද්ධයි. ඒ අයත් මේ මානව හිමිකම් කඩවිම් සහ මිනිස් අයිතිවාසිකම් කඩවිම් සහ අසාධාරණයන්ට විරුද්ධයි.

4 මේ අවස්ථාව මැතිවරණයකට යන්න අවස්ථාවක් නොවෙයි. මුදල් ඇමැතිවරයාගේ කතාවෙන් අපිට පේනවා; ලංකාවේ ආර්ථීකයේ විශාල අර්බුදයක් තියෙනවා කියලා. ලංකාවේ අර්බුදය විශාලත්වය කොතරම් ද කිවහොත් මූලික අවශ්‍යතා සඳහාවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට විදෙස් මුදල් නැහැ. ඊළඟට වැටුප් ගෙවා ගැනීමටවත් මුදල් නැහැ. දේශීය අවශ්‍යතා සඳහා ද බදු මුදල් නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් හමුවේ ජාතික කර්තව්‍යක් උදෙසා එකට එකතු වී වැඩ කළ යුතුයි. අපිට පක්ෂ පාවාදීමට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවට නැවත මුදල් බලය ඇති කිරීමට, පාර්ලිමේන්තු කාරක සභාව ශක්තිමත් කිරීමයි. පාර්ලිමේන්තුවට නව අගමැතිවරයෙක් පත්කර ඉන්පසුව ඒ අගමැතිවරයා යටතේ නව සියලු පක්ෂවලින් සැදුම්ලත් කැබිනට් මණ්ඩලයක් පත් කර කෙටි කාලයක් එකට වැඩ කරලා; මේ රටේ තත්ත්වය යහපත් වුණාට පසුව එකිනෙකාගේ දේශපාලන ගමන් යමු කියලා අපි කිව්වේ. ඒ සම්බන්ධයෙන් තවමත් එකඟතාවකට එන්න බැරි වුණා. අපේ රටේ දේශපාලන ක්‍රමය සහ දේශපාලන පක්ෂවල දැක්ම පිළිබඳව මම කනගාටු වෙනවා. මේ දේවල් කරන්නේ අපි ‍වෙනුවෙන් නොවෙයි; අද රට වැටිලා තියන තත්ත්වය නිසා අපි මේ දේවල් කරන්නේ. එසේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න බැරි නම් අපි ගෙවල්වලට යන්න ඕන.

5ජවිපේ නායක අනුර කුමාර දිසානායක කාලයක් පර්යේෂණයක් කරලා මේ වංචා දූෂණ ගැන ලිපි ගොණු ඉදිරිපත් කරලා තියනවා. අපේ රටේ රජයක් බලයේ ඉන්න විට ඒ බලය හිමි අයට යම් ආකාරයක වගකීමක් පැවරෙනවා. රජයේ අරමුදල් පාවිච්චි කිරීමට කටයුතු කිරීමට කොහේ හෝ තැනක අයිතිවාසිකම් කඩවීමක් වෙලා තියෙනවා; නම් නොසැලකිල්ලක් වෙලා තියනවා නම්; ඒ සඳහා ක්‍රියාත්මක වීම කළ යුතුය. මේ පිළිබඳව සොයා බලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනිවාර්යෙන් අවසන් තීන්දුවක් ගනී.


මේ ආණ්ඩුව ජනතා හඬට කන් දෙන්නේ නැහැ
- සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර

1 මේ රටේ මිනිස්සු කියන්නෙත්, මේ රට මේ තත්ත්වයට පත් කළ ජනාධිපති අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ පිරිස ගෙදර යන්න ඕන කියලා. මේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය විනාශ කළේ මේ පාලකයෝ. ජනතාව කියන්නේ ඒ අයව තවදුරටත් තියාගන්න අවශ්‍ය නැහැ කියලයි. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ හඬයි. මුදල් ඇමැති අලි සබ්රි ඇමතිතුමා පාර්ලිමේන්තුවෙත්; ජනාධිපතිතුමාගේ මාධ්‍ය නිවේදනයේත් පිළිගත්තා ඒ ගොල්ලෝ කරපු වැරදි නිසා මෙවැනි තත්වයක් රටට ඇතිවුණේ කියලා. රසායනික පොහොර ගෙන්වන එක නවත්වපු නිසා ගොවියා විනාශ වුණේ කියලත්; IMF එකට මුලින්ම නොගිය නිසා මේ විදිහට අපිට ඩොලර් නැතුව හිරවෙලා ඉන්න සිද්ධ වුණේ කියලා. ඒ අය පිළි අරන් වැඩක් නැහැ, දැන්වත් ඒ අය ඉවත් වෙන්න අවශ්‍යයි. තමන්ගේ ගජමිතුරන්ට බදු සහන දුන්න නිසයි, රටේ ආර්ථිකය කඩා වැටුණේ. ඒ විතරක් නෙවෙයි අද ජනතාවට අවශ්‍ය මුලික දේවල් සෑම දෙයක්ම නැතිවෙමින් පවතිනවා. ඉදිරි පරපුරේම අනාගතය අවිනිශ්චිතයි. ජනතාව කියන්නෙත් මේ වැරදි කරපු උදවිය මේ චෝදනාවලට ලක්වෙලා ඉන්න උදවිය අයින් වෙන්න අවශ්‍යයි කියලා. ජනතාව දැන් මාස ගාණක් පාරට බැහැල තැන් තැන්වල උද්ඝෝෂණ කරනවා. හැම තරාතිරමකම කට්ටිය පක්‍ෂ භේදයෙන් තොරව මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉන්නවා. විපක්ෂය ලෙස අපි ආණ්ඩුවට එරෙහිව විස්වාසභංගයක් ගෙනාවේ ඒ නිසයි.

2 ගාලු මුවදොර උද්ඝෝෂණය දේශපාලන කණ්ඩායමක් විසින් හෝ වෙනත් කණ්ඩායමක් විසින් සංවිධානය කළ දෙයක් නොවෙයි. ජනතාව ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා පීඩනයට ලක්වෙලා තියෙනවා. තෙල් ටික, ගෑස් ටික විදුලිය නැතිවෙලා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. බඩුමිල වැඩිවෙලා ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයක් මතු වෙලා; ජනතාව ඉන්නේ පිඩාවකින්. තෙල් විදුලිය ගෑස් වගේම අත්‍යවශ්‍ය ආහාරවත් නැහැ. මේක දුප්පත් පොහොසත් හැමෝටම ප්‍රශ්නයක්. මම ගාලු මුවදොර සිද්ධිය දකින්නේ සාධාරණ ඉල්ලීමක් කියලා. මීට ඉස්සරලා උද්ඝෝෂණ කළේ කම්කරු පන්තිය හා පීඩිත පන්තිය. අද යමක් කමක් දන්න නීතිය හොඳින් දන්න වෘත්තිකයන්, වෛද්‍යවරු, උගත් තරුණ තරුණියෝ, සියලුම තරාතිරම්වල වෘත්තිකයෝ, පුජ්‍ය පක්ෂය, නළු නිළියන්, කලාකරුවන් ඇතුළු මේ සියලුම පාර්ශ්ව උ‍ද්ඝෝෂණයට සම්බන්ධ වෙනවා. සමාජයේ ඉන්න සෑම නියෝජනයක්ම මේ රජයට විරුද්ධව උ‍ද්ඝෝෂණය කරනවා. ඔවුන් කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලයි. නමුත් මේ අය ජනතා හඬට කන් දෙන්නේ නැහැ. ඒ නිසා ගාලුමුවදොරෙන් බොහොම සාධාරණ හා සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැ‍ඟිලා තියනවා.

3 මේ උද්ඝෝෂකයන් බොහොම සාධාරණයි. එක ස්ථානයක දෙකක හැර බොහොම සාමකාමීව උද්ඝෝෂණය කරනවා. අපි පාර්ලිමේන්තුව ඉදිරියේ දැක්කා තරුණ තරුණියෝ ටිකක් කාටවත් හිංසාවක් නැතුව උද්ඝෝෂණය කරනවා. නමුත් පොලිසිය මේ අයව අත්අඩංගුවට අරන්. ඒ ළමයි උසස් අධ්‍යපනය ලබන ළමයි; අධ්‍යාපනය කඩාකප්පල් වෙලා අවුරුදු කීයක්ද? අත්අඩංගුවට අරන් ඒ ළමයි අධිකරණයට ඉදිරිපත් කළා. ඒ මොහොතේම ඇප ලබා දීලා තිබුණා. සමහර පොලිස් නිලධාරීන් බොහොම සාධාරණව කටයුතු කරනවා. සමහර නිලධාරීන් අත්තනෝමතිකව තමන්ගේ ආණ්ඩුවට පුළුවන් උපරිමයෙන් සේවය කරනවා. උද්ඝෝෂණවලට පහරදීම් උද්ඝෝෂණ අවහිර කිරීම් නිසා ඉදිරියේදී නීතිය ඉදිරියේදී උත්තර දෙන්න වෙයි.

4 අන්තර්වාර පාලනයක් යෝජනා වෙන්නේ මේ ඉන්න කණ්ඩායම හොඳ නැති නිසා. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හා නොහැකියාව පැහැදිලි නිසා අන්තර්වාර පාලනයක් ඉල්ලන්නේ. නමුත් මේ අය බලයේ ඉන්න තුරු අන්තර්වාර පාලනයකට යන්න බැහැ. මේ රට මේ තත්ත්වයට පත් කළ ජනාධිපති එක්ක කොහොමද අන්තර්වාර පාලනයක්‌ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඉතිහාසයේ නිත්‍යානුකුල නොවන ආකාරයට ආණ්ඩුව පෙරළපු හැටි අපි දැක්කා. ප්‍රතිසංස්කරණ කියලා හමුදාවේ පුහුණු වෙච්චි හමුදාවේ නීති රීති හා කටයුතු අනුගමනය කරපු හමුදාවට අනුගතවෙලා හිටපු මේ අය හැමතැනම ඉහළ තනතුරුවලට දාලා රටේ ආර්ථික ක්‍රියාවලියම අඩාළ වුණා මේ විනාශයට මේ අය වග කියන්න අවශ්‍යයි.

ආණ්ඩුවේ අමනෝඥ වැඩ නිසා අද ගොවිතැන නැතිවෙලා තියෙනවා. රසායනික පොහොර නැති නිසා ගොවියෝ මහමඟට වැටිලා. අනාගතයක් නැති වුණා. අද මේ අපි අන්තර්වාර පාලනයක් කරන්නේ මේ වගේ පිරිසක් එක්කද? මුදල් ඇමැති කිව්වේ ආණ්ඩුවට තව තියෙන්නේ ඩොලර් මිලියන 50යි කියලා. අපි රට 2019 බාරදෙද්දී ඩොලර් බිලියන හතක් තිබුණා.

5 සජිත් ප්‍රේමදාස සම්බන්ධ කර සිදුකළ චෝදනාව අමූලික බොරුවක්. රනිල් වික්‍රමසිංහගෙන් අනුමැතිය හම්බවුණේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස අවංක දේශපාලඥයෙක්. නිත්‍යානුකුල ආකාරයට සියලු මුදල් වියදම් කරලා තියෙන්නේ. විහාරස්ථානවල ආගමික ස්ථානවල වැඩි දියුණු කරන්න සත පහක්වත් අරන් නැහැ. ඒ නිසා අනුර කුමාරට අපි කියනවා ඕගොල්ලෝගේ බැංකු කඩපු ඉතිහාසය අපිට මතක් කරන්න වෙන බව. මිනීමරපු ඉතිහාසය මතක් කරන්න වෙනවා. ඕනවට වඩා බොරු කියල මේ රටේ ජනතාව රවට්ටන්න හැදුවොත්. අපි දන්නවා ඒගොල්ලෝ හැසිරිච්ච ආකාරය; ඒගොල්ලෝ කටයුතු කරපු ආකාරය. දෙසැරයක් මේ රටේ ආර්ථිකය විනාශ වෙන්න කටයුතු කළේ ඔය ජවිපෙ බව අපි පැහැදිලිවම කියනවා. ජවිපෙ ක්‍රියාකාරකම් නිසා 1971ත් මේ රටේ සෘණ ආර්ථිකයක් ආවා; 1989 මේ රටේ ජීවිත දස දහස් ගණනක් නැතිවුණා, ජවිපෙ ක්‍රියාකාරකම් නිසා. අපි පැහැදිලිවම ඒගොල්ලන්ට කියනවා පරණ දේවල් ඇඳගන්න ඕන නම් බොරු නොකිය ඉන්න කියලා. ජනාධිපති අගමැති සිහින මවන අනුර කුමාර දිසානායක අනිත් අයට අද මඩ ගහනවා. අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඇහින් දැක්ක දේවල් තියෙනවා. මේ අයගේ චෝදනා ඔප්පු කරන්න ඕන. වගකීමක් නැති නායකයෝ, වගකීමක් නැති පක්ෂයක් වුණාම කවදාවත් මේ රටේ ආණ්ඩු බලයට එන්නේ නැති නිසා ඕන බොරුවක් කියන්න පුළුවන්.


ආණ්ඩුවේ සමස්ත මූල්‍ය ප්‍රතිපත්තියම වැරදියි
- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

1 ආණ්ඩුවට එරෙහිව කවුරු විශ්වාසභංගයක් ගෙනාවත් ඒ යෝජනාවට අපි ඡන්දය දෙනවා කියලා අපි කලිනුත් කිව්වා. විස්වාසභංග යෝජනාවට පක්‍ෂව ආණ්ඩුවට විරුද්ධව අපි ඡන්දය දෙනවා. මේ ආණ්ඩුවට අපි විරුද්ධයි. මේ ආණ්ඩුව ඉවත්වෙන්න ඕන කියන පදනමේ ඉඳලා අපි ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ. නමුත් එයින් අදහස් කරන්නේ නෑ ඊට පස්සේ හදන ආණ්ඩුව සම්බන්ධයෙන් අපි ගන්නා පියවර මොකක්ද කියලා. ඒක අපි ඒ වෙලාවට බලන්න ඕන. නමුත් මේ ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා මේ අවස්ථාවේදී සහයෝගය දෙනවා.

2 රට පුරාම විශාල මෙන්ම ගාලු මුවදොර අඛණ්ඩ උද්ඝෝෂණයක් තියෙනවා. ඒ උද්ඝෝෂණවල දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස්, දේශපාලන පක්‍ෂ නියෝජනය නොකරන සාමාන්‍ය සිවිල් පුරවැසියන්, කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ ඉල්ලීම ජනාධිපති සහ ආණ්ඩුව අයින් වෙන්න ඕන කියන කරුණයි. ඒ ඉල්ලීම් කරන්නෙත් ඉතාමත් සාධාරණ විදිහට. මීට කලින් මිනිස්සු ඉල්ලුවේ අපිට ගෑස්, විදුලිය,තෙල් දෙන්න, බඩුමිල අඩු කරන්න. මිනිස්සු අවසානයේදී තීරණය කළා; මේ ආණ්ඩුවට ඒවා දෙන්න බැහැ. කිසිම දෙයක් දෙන්න බැරි ආණ්ඩුව අයින් කරන්න ඕන කියලා. ජනතාව දැන් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. බඩු මිල අඩු කරන්න ඉල්ලන්නේ නෑහැ. ඒ වෙනුවට ආණ්ඩුවට යන්න කියලා කියනවා. මේ මහා දැවැන්ත උද්ඝෝෂණදීත් ආණ්ඩුව ඇහුම්කන් දෙන බවක් පේන්නේ නැහැ. මේ අයට මුදල් ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේ කිව්වා ඒගොල්ලෝ අතින් වැරදි වුණා කියලා බදු ප්‍රතිපත්තිය වැරදුණා කිව්වා. කෘෂීකර්මාන්ත ප්‍රතිපත්ති, සල්ලි අච්චු ගහපු එක වරදක් බව පිළිගන්න වුණා. ඩොලර් එක රුපියල් 200 තියන් ඉදලා මුදා හැරිය එක වැරදියි කිව්වා. ආණ්ඩුවේ ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්තිය වැරදියි. එහෙම නම් ආණ්ඩුව වැරදි පිළි අරන් අයින් වෙන්න ඕන. ඒගොල්ලෝ වැරදි කළාම ඒකට වන්දි ගෙවන්න ඕන මුළු රටක්.

3 මේ උද්ඝෝෂණය කිරීම සඳහා. අපිට ව්‍යවස්ථාවෙන් අයිතියක් තියෙනවා. ජනතාවට ඒ අයිතිය තියෙන බව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රකාශ කරලත් තියෙනවා. මේ තාක්කල් උද්ඝෝෂණ වලදි උද්ඝෝෂ්‍කයන්ගේ හැසිරීම ඉතාමත් හොඳයි. සටන්කාමිත්වය සංයමය තිබුණා. මේ අතරට තියෙනවා. උද්ඝොෂකයන්ගෙන් කඩාකප්පල්කාරී ක්‍රියා මොකුත් සිදුවෙලා නැහැ . එසේ කළා නම් උද්ඝෝෂකයන් නෙවෙයි. උද්ඝෝෂකයන් අතරට රිංගා ගත්තු ආණ්ඩුවේ හෙංචයියෝ කඩාකප්පල් කරන්න හැදුවා. ඒ අය ආණ්ඩුවට සම්බන්ධ අය කියලා අපි කියන්නේ. ඒ නිසා උද්ඝෝෂකයන් පැත්තෙන් උද්ඝෝෂකයෝ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉතාමත් හොඳ සීමාවක තමන්ගේ සාධාරණ ඉල්ලිම් කරමින් ඉන්නවා. සමස්ත පොලිසියේ හැසිරීම ගැන අපිට ලොකු විවේචනයක්‌ නැහැ.පොලිසියත් තේරුම් අරගනිමින් ඒගොල්ලන්ගේ රාජකාරියත් කරමින් උද්ඝෝෂකයන්ගේ උද්ඝෝෂණ අයිතිය පිළිගනිමින් ඉන්නවා. නමුත් සමහර තැන්වල සමහර වෙනස්කම් සහිත නිලධාරීන් යම් සීමා ඉක්මව වැඩකරපු අවස්ථා තියෙනවා. රබුක්කන සිද්ධිය එවැන්නක්. ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ කිරීමේ අයිතිය තියෙනවා.

4පළවෙනි කාරණය මුළු රටේම ඉල්ලීම මේ ආණ්ඩුවටම ඉවත්වෙන්න කියන එකයි. මේ ජනාධිපති යටතේ ආණ්ඩුව තියෙද්දී හදන අන්තර්කාලීන ආණ්ඩුවක් කිසිම තේරුමක් නෑ. මේ ආණ්ඩුවටම වෙන නමක් දාලා මේ ආණ්ඩුව පවත්වාගෙන යයි ඒකයි වෙන්නේ. මේ මාස දෙක තුනක් තිස්සෙම කරන අරගලය පාවා දුන්නා වෙනවා. ඒ නිසා අන්තර්කාලීන ආණ්ඩුවක් හැදීම කිසිම තේරුමක් නැහැ. මේ ආණ්ඩුව අයින් වුණාම අලුතෙන් ආණ්ඩුවක් පත්කර ගන්නා තුරු කිසියම් කාලයකට මාස කිහිපයකට අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න පුළුවන්. එවැනි අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිගන්න අපි ලෑස්තියි. හැබැයි ඒක විය යුත්තේ මේ ආණ්ඩුව යටතේ නෙවෙයි; ආණ්ඩුව අයින් වෙලා, අලුත් ආණ්ඩුවක් පත්කර ගන්නතුරු කාලයක් යනවා නම් ඒ කෙටි මාස කිහිපයට අන්තර්කාලීන ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන්.ඒකට අපි ලෑස්තියි.

ඒවගේම කවුරු අකමැති වුණත් මේ ආණ්ඩුව අයින් කළාම ආණ්ඩුවක් ඕන. තුනෙන් දෙකක් අයිති මේ ආණ්ඩුවට. එහෙම නම් මේ ආණ්ඩුව අයින් වුණාම කිසියම් කාලයක් තුළ ජනතාවට අවස්ථාවක් ලැබෙන්න ඕන; තමන් කැමති පාලනයක් හදාගන්න.මේ රට හදනවානම් ජනතාව කැපකිරීම් කරන්න අවශ්‍යයි. එසේ නම් ජනතාවට තමන් විශ්වාස කරන ආණ්ඩුවක් තියෙන්න ඕන. පරමාධිපත්‍ය බලය තියෙන්නේ මිනිස්සු අතේ. වැඩ කරන ජනතාවම වැඩ වර්ජනයක් කරලා පෙන්නුවා; හර්තාලයක් පැවැත්වුණා. ඒ කියන්නේ මුළු ජනතාවක් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කිසියම් කාලයකට අන්තර්කාලීන පාලනයක් හදාගත්ත නම් ඒක ගැටලුවක් නෙවෙයි. ඒකට අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්.

5 අපි කළ හෙළිදරව්ව අවුරුදු දහයකට ආසන්න කාලයක් තිස්සේ අපි එකතු කරපු හොයාගත්තු තොරතුරු ගොඩාක් අපි ළඟ තියෙනවා. මීට කලිනුත් පාර්ලිමේන්තුවේ සහ එළියේ ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. ඊට අමතරව අපි වසන්ත සමරසිංහ හා හඳුන්නෙත්ති සහෝදරයා මුලිකත්වයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ පැමිණිලි සමහර ඒවා පරීක්ෂණ කරලා නඩු පවරලා තියෙනවා. අපි සතුව තියෙන වංචා දුෂණ තොරතුරුවලින් ටිකක් තමයි අපි ඔය ඉදිරිපත් කළේ. කවුරු හරි කියනවා නම් ඒ ගොල්ලෝ ඒකට අයිති නැහැ කියලා; අපි කියන්නේ නීතිය ඉස්සරහට එන්න කියලා; අධිකරණයට යන්න. එහිදි පැහැදිලියි කිව්ව දේවල් අපිට තහවුරු කරන්න හැකිවෙයි. අපිට ඉතාමත් පැහැදිලිව පරීක්ෂණයකින් ඔප්පු කළ හැකියි. ඒ නිසා ඒගොල්ලෝ අධිකරණයට එනවා නම් අපිත් කැමැත්තෙන් ඉන්නවා.

Comments