කෝණ මාසයට ඇයි මෙතරම් බය | Page 2 | සිළුමිණ

කෝණ මාසයට ඇයි මෙතරම් බය

සර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් ඇති අපගේ හෙළ සංස්කෘතියට ඇති ගෞරවණීය තැන හෙළයාගේ කෙත, බත, ජීවිතය හා තදින් බැදී ඇති ජ්‍යොතිෂ විද්‍යාව, එසේ නොමැති නම් තාරකා විද්‍යාව නැකත් ශාස්ත්‍රයට ඇත්තේ මූලික ස්ථානයකි. මෙම නැකත් ශාස්ත්‍රය පිළිබඳව වඩාත් ඇල්මක් ඇතිව කටයුතු කරනු ලබන කාලය වන්නේ ද අප්‍රියෙල් මාසයයි. එසේ නොමැති නම් අවුරුදු මාසයයි.

වර්ෂයක් පුරාවට සූර්යා රාශි දොළහේ ගමන් කොට නැවත අලුත් ගමනකට මුල පුරන කාලය හෙවත් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගෝචරවීම ගමන් කිරීම මේ නමින් හඳුන්වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙයි.

මෙය නිවැරැදි නොවේ. දෝෂ සහිත අදහස් සමාජගත වීම මහා භයානක ක්‍රියාවලි සිදුවන්නට පුළුවනි. වර්තමානයේ සිදුවී ඇත්තේ ද එයයි.

කිසිසේත්ම සූර්යා පෘථිවිය වටා ගමන් නොකරයි. කිසිසේත්ම සූර්යා රාශි දොළහේ ගමන් නොකරයි.

ජ්‍යෝතිෂයේදී සිද්ධාන්තවලට ඇතුළත් කොට තිබීම හේතුවෙන් එය එසේ වන බව ජ්‍යෝතිෂ විශ්වාස කරන, ඉගෙන ගන්නා ඒ අනුව පිළිපදින අය පිළිගනී. එය එසේ විශ්වාස කළ ද සත්‍ය වශයෙන් ම සිදුවන්නේ පෘථිවිය තම කක්ෂය දිගේ තමා වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමයි.

සූර්යාගේ හෙවත් හිරු ගේ ගමන හෙවත් ගෝචරය හේතුවෙන් ක්‍රාන්ති මාර්ගයන් නිරක්ෂ රේඛීයව සමකයක් පදනම් කරගනිමින් කෝණ මාස නිර්මාණය වේ. මෙහි ක්‍රාන්ති මාර්ගය යනුවෙන් දක්වා ඇත්තේ ඉහත සඳහන් කළ සාධකයයි.

ජ්‍යෝතිෂයේදී රවි හෙවත් සූර්යා මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. කෝණ මාස අශුභ අගුණ වන්නේ. රවිගේ හෙවත් සූර්යාගේ අශුභ කිරණ (දෘෂ්ටිය) පෘථිවියට මෙකී කාලවලදී එල වන බැවිනි.

අවම වශයෙන් කෝණය පවතින්නේ දින 2 ක කාලයක් පමණි. එසේ නම් වර්ෂයකට දින 8 ක කාලයක් පමණි. එසේ වුවත් ඉපැරණි ගැමියන් එම දින යෙදෙන මාසයට කෝණ මාස ලෙස අත්හරී.

අශුභ කෝණ දෘෂ්ටිය යෙදෙන දින කාල වකවානු නිශ්චිත ලෙස දැන සොයා ගත හැකි නම් එම දින 2 හා දින 8 කාලය මගහැර අනිකුත් දින කාලවලදී තමන්ගේ ඕනෑම ශුභ කටයුත්තක් සඳහා නැකත් හෝරා දින වෙන්කර ගෙන කටයුතු කළ හැකි ය.

පාපී අශුභ දෘෂ්ටි යෙදෙන දින සොයා ගනු ලබන්නේ රවි ග්‍රහයාගේ ග්‍රහස්ථුටය අනුවයි. එතැනදී රවි ග්‍රහයා අංශක 7 හි ගමන් කරන දින අනුව මෙම අශුභ කෝණ දෘෂ්ටිය යෙදෙන දින දැන ගත හැකිවෙයි.

සූර්යාගේ ගමන යෙදෙන කර්කටක නිවර්ථනය හා මකර නිවර්තනය යන දෙක අතර පෘථිවි ගෝලයෙ අංශක 23 1/2 ක ආලය හා ඍතු විපර්යාස අනුව ඉහත සඳහන් කෝණ මාසවල දින කාල වකවානු සුළු වශයෙන් වෙනස්කම් ඇතිවිය හැකිය. පෘථිවිය ගමන් කරන්නේ හරි කෙළින් අතට නොව ඇලයට බරව බව සත්‍ය වේ. මාස 6 උතුරට බරව ද මාස 6 ක් දකුණට බරව ද නිවර්තන දෙක අතර සූර්යා ගමන් කරයි. මේ ගමනට අනුව ඍතු විපර්යාස ඇතිවෙයි. මාස 6 කට වරක් උතුරු අර්ධගෝලයට හා දකුණු අර්ධ ගෝලයට මාරුවෙන් මාරුවට හිරු මුඳුන්වීම සිදුවෙයි. මෙයට අදාළව වසරක් තුළදී ඍතු 6 ක් නිර්මාණය වෙයි. සිසිර, වසන්ත, ග්‍රීස්ම, සරත්, හේමන්ත, වර්ෂා යනුවෙනි.

සිසිර - වසන්ත, ග්‍රීස්ම ඍතු - උත්තරායනයටත් උතුරට බරව හිරු ගමන් කරන හා උතුරට හිරු මුඳුන්වන කාලයට අයත් වේ.

වර්ෂා, සරත්, හේමන්ත ඍතු - දක්ෂිණායනයටත් දකුණට බරව ගමන් කරන හා දකුණට හිරු මුඳුන්වන කාලයට අයත්වේ.

හිරු කර්කටක නිවර්තනයට මුඳුන්වන ජූනි 21 දිනට උතුරු අර්ධගෝලයට දීර්ඝ තම දිවා කාලය ඇතිවෙයි. හිරු මකර නිවර්තනයට මුඳුන්වන දෙසැම්බර් 22 දින දකුණ අර්ධගෝලයට දීර්ඝතම දිවා කාලය ඇතිවෙයි. එම කාලයේදී උතුරු අර්ධගෝලයට දීර්ඝතම රාත්‍රි කාලය ඇතිවෙයි.

මෙසේ හඳුනාගන්නා විශේෂ ස්ථාන 4 ටම අදාළ දින හතර කෝණ මාස 4 තුළ පිහිටා ඇත. මෙසේ හඳුනා ගන්නා දින 4 කාලයක් ඇතුළත්වන මාසයන් හතරම සම්පූර්ණයෙන් ම කේන්ද්‍ර මාස ලෙස අත්හරී..

මෙයින් වඩාත් බියවන්නේ රවි මීනයේ ගෝචර කරන කාලයේ යෙදෙන කෝණ මාසයට වීම වඩාත් සැලකිල්ලට ගත යුතුයි.

විවාහ කටයුතු, නිවාස ඉදිකිරීම්, ව්‍යාපාර කටයුතු නොයෙක් ශුභ කටයුතු සඳහා මෙම මීන රවියේ ගෝචර කාලය අත්හැර දමයි. වර්ෂයක් පුරාවට හතර වරක් යෙදෙන කෝණ මාසවලට අධිපති රාශිවල අධිපති බුධ හා ගුරු ග්‍රහ දෙපළයි.

මීන කෝණය, මිථුන කෝණය, කන්‍යා කෝණය, ධනු කේන්ද්‍රය මෙම කෝණ මාසවලදී ශුභ කටයුතු අත්හරින්නේ ඇයි දැයි යන්න ඔබම විමර්ශනය කර බැලීම වටී. බොහෝ කෝණ මාසවල අධික වැසිබර කාලගුණයක් හා අඳුරු ස්වභාවයක් ඇතිවීම සිදුවෙයි.

වැසිබර කාලගුණයක් සහිත කාලවලදී කිසිදු නිවාස ඉදිකිරීමක් සිදු කළ නොහැකි අතර එසේ කිරීමෙන් අකාලයේ නිවාස දිරාපත්වීම, බිත්ති පුපුරා යෑම, ගිලා බැසීම ආදී විනාශයන් සිදුවිය හැකි ය.

වහලය සෑදීමේදී ලී, පරාල ආදී දේ ගෙවීමෙන් ගුල්ලන්, පණුවන් ඇතිවී ඉතා කෙටි කලකදී දිරාපත් විය හැකි ය. විවාහයක් යනු ජීවිතවලට විශේෂ අවස්ථාවක් වන අතර වර්ෂා අධික කාලවලදී එසේ කිරීම තුළින් නිදහසේ එම කටයුතු සිදුකර ගැනීමට බාධාවක් වන අතර වැසි, පිනි ආදියට ලක්වීම තුළින් ලෙඩ දුක් කරදර ඇතිවිය හැකි ය. මෙම කරුණ දෙස අවධානය යොමුකර බලන විට ඔබට සත්‍ය සොයාගත හැකි ය. මුල් මාසයක් පුරා මෙසේ අතහැර දැමිය යුතු නැති අතර කෝණ මාස තුළ ද හොඳ දවස්, ශුභ දවස් සොයා ගැනීම හා ඒ අනුව තමන්ගේ කටයුතු සැලසුම් කරගත හැකි බව දත යුතු යි.

සූර්යා යනු පෘථිවි වාසි අපට අත්‍යවශ්‍යම ජීවිතාංගයක් බවට තරයේ සිතට ගත යුතුයි. සියලු පරිසර සිද්ධාන්ත සැකසී ඇත්තේ ඒ අනුවයි. සූර්යා හෙවත් රවිගේ ගමන පිළිබඳව සුළු හෝ දැනීමක් ඇතිකර ගැනීම වටී.

සූර්යාගේ ගමන තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් භවබෝග අධිකව ලැබීම සැමට ධනය ලැබීම සියලු ශුභ කාර්යයන්ගෙන් ජය ලැබීම සිදුකර ගත හැකි ය. කෝණ මාසයකට බියවී සියල්ල අතහැර දැමිය යුතු නොවේ.

මාර්තු 14 සිට අප්‍රියෙල් 11 දක්වා කාලය මීන කෝණය මෙම දිනවල ඔබට දැක බලාගත හැකි ය. පරිසර පද්ධතිය කෙසේ දැයි ඔබව විමසා බලන්න.

මෙම කාලයේදී අලුත් අවුරුද්දට සූදානමක් ඇති කරගෙන කටයුතු කිරීම හැර ලාංකිකයන් වෙනත් දෙයකට යොමුවීම ඉතා අල්ප වේ. වර්ෂා, සුළං, ගංවතුර ආදී විපත් සහිත කාලයකි. ඊට අමතරව අප්‍රියෙල් 29 දින 2022 වසරේ ප්‍රබල සෙනසුරු මාරුවක් ද යෙදී ඇත.


විශේෂ උපදෙස්

කෝණ මාස ක්‍රමය අපට ලැබුණේ හින්දු ජ්‍යෝතිෂයෙන් බව තරයේ සිතට ගෙන කටයුතු කරන්න. මේ වනවිට එය අපට වෙනස් කළ නොහැකි ස්ථිරව පවතින නිර්ණායක බවට පත්වී ඇත.

සෑම වසරකදීම

(සමහර වර්ෂවල දිනක් හෝ දෙකක් වෙන්වේ. දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා මාර්තු 14 සිට අප්‍රියෙල් 13 දක්වා

ජූනි 15 සිට ජූලි 15 දක්වා

සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 දක්වා මෙම කාලයන් කෝණ මාසවලට වෙන් කොට ඇත.

ඉහත මාස 4 තුළ සෑම මසකම දින දෙක හමාරක් කෝණයට අසුවන අතර එම දින දෙක හමාර හෝ දෙපැත්තට දවස් 10 මග හැර ඉතිරි දින 20 ප්‍රයෝජනයට ගත හැකි ය.

මෙම දින 2 1/2 කාලය තුළ අසුබ දෘෂ්ටි හා විෂ නැකැත් යෙදී පවතින බැවින් අත්හල යුතුම වෙයි. මෙය ඉරු, සඳු හා පෘථිවියේ ඇතිවන ග්‍රහ කිරණ හා දෘෂ්ටිවල සංයෝගයක් හේතුවෙන් සිදුවන බව වටහා ගන්න.

කෝණ මාසය සියලු කටයුතු සඳහා අසුබ නොවන බව වටහා ගත යුතුයි.

Comments