සුමිත්‍රා පීරිස්ගේ සිනමාවට බලපෑවේ ලෙස්ටර් ද? පිලිප් ගුණවර්ධන ද? | Page 2 | සිළුමිණ

සුමිත්‍රා පීරිස්ගේ සිනමාවට බලපෑවේ ලෙස්ටර් ද? පිලිප් ගුණවර්ධන ද?

ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් පීරිස්, පිලිප් ගුණවර්ධන , සුමිත්‍රා පීරිස්, (1963 දෙසැම්බර් 20 ) කොළඹ රීගල් සිනමා ශාලාවේ ගම්පෙරළිය මංගල දර්ශනය පැවැත් වූ දා

එංගලන්තයේදී සිනමාව පිළිබඳව හදාරා එරට සිට මෙහි චිත්‍රපට තනන්නටම ආ සිනමාකරුවකුගේ චිත්‍රපටයකට සම්බන්ධවූ සුමිත්‍රා පීරිස් පසුව එම ලෝ ප්‍රකට ලාංකික සිනමාකරුගේ ජීවිතය ම හා බැඳුණා ය. ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටයේ හතර වැනි සහාය අධ්‍යක්ෂවරිය වූ ඇය එවක එම චිත්‍රපට කණ්ඩායමේ සිටි එකම තරුණිය වූවා ය. නිෂ්පාදකවරියක හා සංස්කරණ ශිල්පිනියක වූ මෙම සිනමාවේදිනිය මෙරට දීර්ඝතම කාලයක් සිනමා මාධ්‍යයෙහි නියැළී සිටින්නී ය.

සුමිත්‍රා ‘ගම්පෙරළිය,දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, අහසින් පොළවට, මඩොල්දූව‘ වැනි ලෙස්ටර්ගේ විශිෂ්ටතම සිනමා කෘති පෙළකම සංස්කරණ ශිල්පිනියයි. ඊට අමතරව ‘‘බක්මහ දීගේ හා කළුදිය දහර‘ යන චිත්‍රපට ද ඇයගේ සංස්කරණ රිද්මයෙන් සිනමාරූපී විය. මෙරට සිනමා අධ්‍යක්ෂණයට පිවිසි සිවුවන කාන්තාව වනුයේ සුමිත්‍රා ය. මෙරට සිනමාවේදිනියන් හය දෙනා අතරින් වැඩිම චිත්‍රපට ගණනක් නිර්මාණය කළ ඇයගේ සිනමා රීතිය සිය සැමියා වන ලෙස්ටර්ගේ සිනමා විලාසයට වෙනස් වූ අනන්‍ය ස්වභා දක්වයි.

සුමිත්‍රාගේ සිනමා භාවිතාවේ ප්‍රධාන අනන්‍ය ලක්ෂණයක් වන්නේ සිය සිනමා කෘති සියල්ලෙහිම පොදු වස්තු විෂය පීඩිත ස්ත්‍රිය වීමයි. ඇගේ බහුතරයක් කෘති සාහිත්‍ය කෘති මත තිර රචනය වූ ඒවා වීම ද විශේෂ ලකුණකි.

මෙරට විවිධ සමාජ ස්ථිර නියෝජනය කරන ස්ත්‍රී චරිත මුහුණදෙන ගැටලු, අසාධාරණකම්, දුක් පීඩන ආදිය ඇය විෂය කරගෙන ඇත. එසේම ඇගේ සිනමාව බුද්ධිමය කම්පනයකටත් වඩා හෘදයාංගම සසල කිරීමක් බඳු ය. ලෙස්ටර්ගේ සිනමාවට වඩා ඇගේ සිනමාව වෙනස් වන ලක්ෂණ අතර එය ද ප්‍රධාන ලක්ෂණයකි. නමුත් මැය සම්බන්ධව වඩාත් ප්‍රකට කාරණයක් වනුයේ මැය ලෙස්ටර්ගේ බිරිඳ යන සුලභ හැඳුනුම යි. ලෙස්ටර්ගේ රශ්මි ජාලාව තුළ ඇයගේ අනන්‍ය විශේෂතා යටපත්ව හෝ නිසි විපරමකට ලක්ව නැත. ඇයගේ සිනමා අපූර්වතාවට සහ ඊට බලපෑ සිය පරිකල්පනයට බලපෑ ඇගේ ජීවිතය, පවුල් පසුබිම හා එහි ප්‍රබල චරිත පිළිබඳ සෙවිල්ලකටත් වඩා මේ රටේ සිනමාව ගැන ලියන ශාස්ත්‍රාචාර්යවරු වඩාත් උනන්දු වූයේ ‘ලෙස්ටර්ගේ සුමිත්‍රා‘ ගැන නොවේද?

සුමිත්‍රා තුළ සිටින සත්‍ය චරිතය ගවේෂණය කිරීමට එම ජනප්‍රිය ලියැවිලි බාධා විය.

සුමිත්‍රාගේ චරිතය කියැවීමේදී කියැවිය යුතුම චරිතයක් ඇත. එය මැයගේ චරිතයට බලපෑ තවත් දැවැන්ත චරිතයකි. එම සුවිශේෂ චරිතය සොයා අපි අතීත ගත වෙමු.

අශ්ව කරත්තයක් ඉතා වේගයෙන් පෙරට ඇදෙයි. මවක සහ එඩිතර පුතකු රැගත් මෙම අශ්ව කරත්තය මේ හඹා යන්නේ ඉතා තීරණාත්මක බලවත් පුද්ගලයකු වෙතය. සුදු අධිරාජ්‍යවාදීන්ගේ නීතිය ක්‍රියාත්මක වූ සමයකි. ‘මාෂල් ලෝ‘ බලතල මත මේ අභීත පුතුගේ ප්‍රතාපවත් පියා අත්අඩංගුවට ගෙන ඇත.

“කොහෙවත් ඉඳල අපේ රටට ඇවිත් අපේ රටේ පාලනය බලෙන් ඩැහැගෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ට වද හිංසා කරන මේ අධිරාජ්‍යවාදීන්ව මේ ලංකා පොළොවෙන් අතුගා දමන්න ඕනෑ.“

යුද ආණ්ඩුවක් මඟින් සිරබාරයට ගෙන යුද්ධාධිකරණයකින් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබූ ජාකෝලිස් ගුණවර්ධනගේ දහ හතර හැවිරිදි පුත් පිලිප් ගුණවර්ධන දත්මිටි කාගෙන, දෙ අත් මිට මොලවාගෙන සුදු පාලකයින්ට එසේ බැණ වැදුණේ ය. පිලිප් යනු සුමිත්‍රාගේ බාප්පා ය. එනම් තම පියාගේ බාල සොහොයුරා ය.

“කවද හරි මං මේ දුෂ්ඨ බ්‍රිතාන්‍ය පාලනය ලංකාවෙන් අතුගා දමනවා“ කුඩා පිලිප් තමාට ම කියා ගත්තේ ය. කෙසේ හෝ තම පියා මරණයෙන් සහ අත්අඩංගුවෙන් බේරා ගැනීමට කුඩා පිලිප් තම මෑණියන් ද පෙරටු කොටගෙන ඉදිරිපත් වූයේ ය. පිලිප්ගේ සොහොයුරාගේ දියණියක වන සුමිත්‍රා ද මෙබඳු වූ නිර්භීත තීන්දු ගත් අවස්ථා සිය ජීවන මග තුළ බෙහෙවින් ඇත.

අශ්ව කරත්තය වේගයෙන් පෙරට ඇදෙයි. එය ගමන් අරඹන්නට පෙර පිලිප් විසින් කරත්ත කරුට අණ කළේ කිසිදු හේතුවක් නිසා හෝ අතරමඟ නතර නොකරන ලෙසයි. පිලිප් තම මවත් සමඟ ආණ්ඩුකාරතුමා හමුවී පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කළහ. මරණීය දණ්ඩනයට නියම කෙරුණු තම පියා කෙසේ හෝ නිදහස් කර ගැනීම මෙම ගමනෙහි අරමුණ විය. අශ්ව කරත්තය රජ ගෙදර දොරටුවෙන් හැරෙනවාත් සමඟම සුදු සොල්දාදුවෝ තුවක්කු දික් කරමින් ‘හෝල්ට්‘ කියා කෑ ගසමින් විධානය කළේ ය. එහෙත් කරත්තය නොනැවතිනි. එය කෙලින්ම ගොස් නතර කෙරුණේ රජ ගෙදර පෝටිකෝව යටය. තම සැමියා නිදහස් කරන ලෙස බොරලුගොඩ රාළහාමිගේ ප්‍රිය භාර්යාව ආණ්ඩුකාර තුමාගෙන් ඉල්ලා සිටියාය‍. ඒ අනුව සුමිත්‍රාගේ සීයා මරණ දණ්ඩනයෙන් ගැලවිණි. හැරී පිලිප් සහ රොබට් යන තිදරුවන්ට යළි පිය සෙනෙහස උරුම විය.

තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට බොරළුගොඩ රාළහාමි අධිෂ්ඨානශීලීව වෙහෙසුණේ එකම එක අරමුණක් සිත්හි දරාගෙන ය. එනම් තම දරුවන් රටටත්, ජනතාවටත් වැඩදායක, ඵලදායි පුරවැසියන් බවට පත් කිරීමයි. රාළහාමි කිසිදු විටෙක තම දරුවන්ව දරදඬු නීතිරීතිවලින් පාලනය කිරීමට නොපෙළඹුණේ ය. රාළහාමිගේ සිරිත වූයේ බරපතළ ගැටලුවකදී පමණක් මැදහත්ව තම දරුවන්ට නිසිමඟ පෙන්වීම ය. දරුවෝ අත්වින්දේ ‘වගකිව යුතු නිදහස‘ කි. පසු කලක බොරලුගොඩ රාළහාමිගේ දරුවන්ගේ දරුවෝ ද (එනම් සුමිත්‍රා) නිදහසත්, වගකීමත් ඉසිලුවෝය.

රාළහාමි කැමැති වූයේ තම දරුවන් නීතිය හදාරනවාට ය. ලොකු පුතා, හැරී නීතිය තෝරා ගත්තේ ය. නමුත් පිලිප් තෝරාගත්තේ දේශපාලනයයි. රාළහාමි ඊට එරෙහි වූයේ නැත. බලපෑම් කළේද නැත. සිංහල මෙන් ම ඉංග්‍රීසි ද උගන්වා තම දරුවන් සන්නද්ධ කිරීමට ඔහු දූරදර්ශී විය. සුමිත්‍රා ද ද්විභාෂික ද්වි සංස්කෘතික දැනවන්තියකි. බොරලුගොඩ නිවසට නුදුරේ පිහිටි කළුඅග්ගල පන්සලේ හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගෙන සිංහල ඉගෙන ගැනීම සඳහා පිලිප් ගියේ කළුඅග්ගල සිද්ධාර්ථ බෞද්ධ පාසලටය. එය තම පියා විසින් තනන ලද පාසලකි. දෙකේ පන්තියේ සිට හතර වැනි පන්තිය දක්වා පිලිප් ගියේ හංවැල්ල සිංහල පාසලට ය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුමට පිලිප්ව ඇතුළත් කෙරුණේ මොරටුව වේල්ස්කුමර විදුහලට ය. අනතුරුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු කරන ලදී. එතැනින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වූ අතර එහිදී ඔහු අර්ථ ශාස්ත්‍රය හදාළේ ය.

සුමිත්‍රාගේ බාප්පා පිටරට යැවීමට සිය සීයා කල්පනා කළේ එකල ඉහළ පැළැන්තියේ ප්‍රභූවරයන් තම දරුවන්ව එංගලන්තයට යවා දොස්තරවරුන්, බැරිස්ටර්වරුන් හා ඉංජිනේරුවරුන් ලෙස සිය රටට යළි ගෙන්වා ගැනීමේ සිරිතට අනුව යමිනි. එහෙත් පිලිප් කල්පනා කළේ තම පියා කල්පනා කළ අයුරින් නොවේ. පිලිප් සිය රට ගැන සිතුවේය. තමා ගැන නොසිතා රට ගැන සිතුවේ ය. සුමිත්‍රා තමාට බලපෑ චරිතය ගැන මෙසේ කියයි.

“පිලිප් බාප්පා කල්පනා කරපු විදියට මම හරි කැමැතියි. එයාගේ තරුණ කාලේ එයා හිතුවෙ වෙනස් විදියට. ලොකු රස්සාවක් කරල, මහ විශාලෙට සල්ලි හම්බ කරලා ඉහළ ජීවිතයක් ගත කරන්න නෙවෙයි එයාට ඕනෑ වුණේ. පිලිප් බාප්පාගේ ඇහැ ගැටුණෙ දුප්පත් ගැමි ජනතාව. ඔහු බලාගෙන හිටියෙ මේ අසරණ දුප්පතුන් දිහා. බැලූ බැලූ අත පෙනුණේ මන්ද පෝෂණය සහ මැලේරියාව. මේ දුප්පත් ගෑනු පිරිමි සහ පොඩි වුන් ඇට කෝටු බවට පත්වෙලා. කිසිම අනුකම්පාවක් නැති රදළයින්ගේ සහ හිතුවක්කාර නිලධාරීන්ගේ වද හිංසාවලට මේ ගැමියෝ ගොදුරුවෙලා හිටියා. සුද්දන්ගේ යකඩ සපත්තුවලට මේ අහිංසක සිංහලයෝ පෑගී යට වෙලා දුක් විඳිනවා. පිලිප් බාප්පා මේවා දැක්කා.“

දුප්පත් අහිංසක ගැමි මිනිසුන්ගේ අසරණ දුක්ඛිත මුහුණු දකින පිලිප් සිතින් හඬා වැටුණේ ය. අපේ රටේ මිනිසුන්ගේ හා පොළොවේ සාරය සුරාගෙන ස්වරාජ්‍යයට අද්දවන සුදු අධිරාජ්‍යවාදීන් ගැන ඔහු කෝපයෙන් සැලුණේ ය. අවුරුදු දහස් ගණනක් පුරා තම දිවි නොතකා සිංහලුන් විසින් ආරක්ෂා කරන ලද සිංහල බස, බුදු දහම, සිංහල සංස්කෘතිය හා එහි වටිනාකම් ආදිය ඉංග්‍රීසින් විසින් ස්ව පාලනයට ගෙන විනාශ කරමින් ඔවුනගේ බටහිර ගති සිරිත් මෙහි පතුරුවන අයුරු දැක පිලිප් නිතර කම්පා විය. පිලිප් එංගලන්තයට යවා බැරිස්ටර් කෙනෙකු බවට පත් කොට යළි මෙබිමට ගෙන්වා ගැනීමේ සිහිනය බොරලුගොඩ රාළහාමිගේ සිත් හි තදින්ම විය. එහෙත් පිලිප් එංගලන්තයට නොව ඇමෙරිකාවට ගියේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට පිලිප් තුළ කැකෑරෙමින් පැසවමින් තිබුණු සිහිනය තුරුල් කරගෙනය.

ඊට බොහෝ කලකට පසු දිනෙක තරුණ සුමිත්‍රා ද තනිවම ප්‍රංශය බලා පියාසර කිරීම ද මෙබඳුම වූ තීරණාත්මක ගමනකි.

“ඒ වෙනකොට මට අවුරුදු විස්සක් විතර ඇති. පිටිසර උපන්න පුංචි කෙල්ලෙක් වූ මම ඒ වගේ හිතුවක්කාර තීරණයක් ගත්තු එක ඒ කාලෙ හැටියට මහා පුදුමයක්. මං ගියේ මගේ අයියව සොයාගෙන. අයියා ප්‍රංශ මිනිස්සු කණ්ඩායමක් එක්ක ප්‍රංශයේ මෝල්ට් දූපතේ බෝට්ටුවක ජිවත්වන බව ඔහු මට ලියා එව්වාට පස්සේ මං ඔහු වෙත යන්නට මං තීරණය කළා. අම්මාගේ මරණින් පස්සෙ අයියා එක්වරම අතුරුදහන් වුණා. අයියාගේ වෙන්වීම මට ඒ කාලෙ දරාගන්න බැරි කම්පනයක් වුණා. දුක් අඳෝනා වැලපුම් මැද්දේ මං ගෙදරින් පිට වුණා. ඒත් මං ඒ ගමන ගියේ දැඩි ආත්ම විශ්වාසයෙන්...“

(මුළු ගෙදරම හඬා වැලපෙද්දී සුමිත්‍රා අයියා සොයා යයි. සිත්සර 1981 - 1 - 22)

මරණ දණ්ඩනය නියම කරනු ලැබ සුදු අධිරාජ්‍යවාදීන්ගේ අත්අඩංගුවේ පසුවූ තම පියාව සොයා ආණ්ඩුකාරතුමා සොයා රජගෙදර බලා අශ්ව කරත්තයෙන් ගිය නව යොවුන් පිලිප්ව එදා කිසිවකුට නතර කළ හැකි නොවී ය. සියලු නිවැසියන්ගේ බලවත් විරෝධය, දොස් පරොස් බස්, හැඬුම් වැලපුම් කිසිවක් නොතකා සුමිත්‍රා තනිපංගලමේම ප්‍රංශය බලා පියාසර කරන්නට සිත දැඩි කරගත්තාය.

එකල විශාඛා විදුහලේ ශිෂ්‍යාවකව සිටියදී සුමිත්‍රා ගුණවර්ධන නම් සිසුවිය මුහුණ දුන් එක්තරා සුළු සිද්ධියක් අදටත් ඇයට මතකය. පන්ති භාරව සිටියේ රත්නාවලී ගුරුතුමිය ය. එකිනෙක සිසුවියෝ ගාථා කට පාඩමින් හඬ නඟා කියති. අවාසනාවට සුමිත්‍රාට කිව හැකි වූයේ ගාථාවෙන් අඩක් පමණි.

“සුමිත්‍රාට ගාථා බැරි වුණාට සමසමාජ සටන් පාඨ නම් හොඳට කටපාඩම් නේද?“

ගුරුතුමිය කීවාය. සුමිත්‍රාගේ සිත රිදුණි. මෙබඳු සිත් රිදීම්වලට තම පාසලේදී මුහුණදුන් අවස්ථා කටුක අමිහිරි මතකයක් බව අද ද සුමිත්‍රා සිහිපත් කරන්නීය.

සිය බාප්පා මෙබිමට ගෙනා මාක්ස්වාදී දර්ශනය පිළිබඳව සුමිත්‍රා බැලුවේ කෙතරම් මධ්‍යස්ථ දැනුවත් බවකින් දැයි ඇය සැදූ පළමු චිත්‍රපටයෙන් ම වුව ද අපට වටහා ගත හැකි ය. සුමිත්‍රා සිටියේ න්‍යාය අභිභවන තැනකය.

සුමිත්‍රාගේ සීයා ද, බාප්පා ද එකල මෙහි වූ සුදු අධිරාජ්‍යවාදයට තදින්ම විරුද්ධ වූවෝ වෙති. ලෝක ඉතිහාසයේ අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව එල්ල කළ පළමු වැනි මහා ප්‍රහාරය ගොඩනැඟුවේ කාල් මාක්ස් ය. ලංකාවේදී “මාක්ස්වාදයේ පියා“ ලෙස හැඳින්වෙන්නේ සුමිත්‍රාගේ බාප්පා ය. ඇයම පවසන ආකාරයට ඇගේ ජීවිතයට එනම් ඇගේ චින්තනයට ප්‍රබල බලපෑමක් කළ චරිතයක් ලෙස ද පිලිප් ගුණවර්ධන චරිතය මෙහිදී අපට ඈඳාගත හැකි ය. සුමිත්‍රා සහ මාක්ස්වාදය අතර සබැඳියාව ඇගේ සිනමාව තුළ ද වෙයි. මහජනතාව දුක් විඳින්නේ සමාජ ක්‍රමය හැඩ ගැසී ඇති විෂම ක්‍රමය හේතුවෙනි. නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකමින් ධනවාදය ගොඩනැඟී ඇත.

මෙබඳු දුෂ්ඨ ධනවාදයත්, එයට රැකවරණ සලසන රාජ්‍ය ක්‍රමයත් විනාශ කොට රාජ්‍ය පාලනයත්, දේශපාලන උරුමයත් නිර්ධන පන්තියට පැවරෙන විප්ලවයත් අවශ්‍යය ය. සමාජවාදය ගොඩනැඟිය යුත්තේ එම විප්ලවය තුළින් යැයි මාක්ස්වාදයෙන් ඉගැන්වෙයි. මෙරට මාක්ස්වාදී විචාරකයින් අපේක්ෂා කළේ සුමිත්‍රා තිරයේ මැවූ ස්ත්‍රී චරිත කාන්තා විමුක්තිය හා ස්ත්‍රීවාදය වෙනුවෙන් අරගල කරන විප්ලවීය වීරවරියන් ලෙස දැකීමට ය. එහෙත් සුමිත්‍රාගේ අපේක්ෂාව වූයේ සැබෑ ස්ත්‍රිය, ස්ත්‍රියට උරුම වූ සැබෑව හා සත්‍ය යථා තත්ත්වය පෙන්වීමට පමණි. ඇය නිරතවූ සිනමා විප්ලවයේ දේශපාලනය එබඳු විය. 

සුමිත්‍රා සිය සිනමා විප්ලවය අරඹන්නේ ‘සංදේශය‘ චිත්‍රපටයෙනි. පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව දේශමාමක සිංහල සටන්කාමීන් නිරතවූ විප්ලවීය අරගලය ‘සංදේශය‘ චිත්‍රපටයට පසුබිම් විය. සුමිත්‍රා සිය සිනමා ව්‍යාපාරය අරඹන්නේ එතැනිනි. බොදු ගාථා පාඨ කටපාඩමින් කිව නොහැකි වූ සුළු වරදකට සමාජවාදී දේශපාලන සටන් මතු කොට විශාකාවේ ගුරුවරියක සුමිත්‍රාට දොස් නැඟූ අතීතය සමඟ ඈ තම සිනමා සටන ඇරඹූ ‘සංදේශය‘ හා ගැහැනු ළමයි වැනි අතීත මූලාරම්භක සංධිස්ථාන සැසඳිය හැකි ය.

සුමිත්‍රා ‘රේඛාව‘ චිත්‍රපටය නිසාවෙන් දැන හඳුනාගත් ලෙස්ටර්ගේ දෙවන චිත්‍රපටයට සම්බන්ධ වූවා ය. ‘සංදේශය‘ අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකම ප්‍රදර්ශනය කෙරිණ. චෙකොස්ලෝවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙළ ඉන් එකකි. එම උලෙළේදී ‘සංදේශය‘ තිරගත කොට ඇත්තේ සංස්කරණය කොට ය. එනම් ඇතැම් කොටස් කප්පාදු කරමිනි. මෙය සමාජවාදී දේශපාලන පරමාර්ථවලට අනුව සිදු කෙරුණු කප්පාදුවක් බව පසුව වැටහිණි. මෙම අනවසර සංස්කරණයට විරෝධය පාමින් ලෙස්ටර් එම උලෙළින් ඉවත්ව ගොස් ඇත.

(‘සිංහල සිනමා සිහිවටන‘, සුනිල් මිහිඳුකුල ගොඩගේ ප්‍රකාශන 1999 පිටුව 57)

‘සංදේශය‘ චිත්‍රපටයේ 24 ක්වූ කාර්මික ශිල්පී කණ්ඩායමෙහි සිටි එකම තරුණිය වූ සුමිත්‍රා ගුණවර්ධන පසු කලක එහි අධ්‍යක්ෂවරයාගේ ප්‍රිය භාර්යාව බවට පත්වන්නීය. සමාජවාදී දේශපාලන අභිමතාර්ථ මත තම චිත්‍රපටයේ ඇතැම් කොටස් කප්පාදු කිරීමට එරෙහිව ලෙස්ටර් තම විරෝධය පෑවේය. සමාජවාදයේ පතාක යෝධයින්ගේ නිජබිම වූ බොරළුගොඩ උපන් සුමිත්‍රා එබඳු වූ ලෙස්ටර් සමඟ විවාහ වන්නේ 1964 ජූනි 14 වැනිදා ය. ‘සංදේශය‘ මහජන ප්‍රදර්ශනයට පැමිණෙන්නේ 1960 මාර්තු 30 වැනිදා ය. මේ සියල්ල සිදුවී අඩසියවසරක් ගෙවී අහවර ය.

අජිත් ගලප්පත්ති

Comments