පෑනෙන් සටන් කළ අදීන ලේඛකයා හේමපාල මුණිදාස | Page 2 | සිළුමිණ

පෑනෙන් සටන් කළ අදීන ලේඛකයා හේමපාල මුණිදාස

ක්තරා තුරුණු ලේඛකයෙක් පත්තර කන්තෝරුවකට අලුතෙන් බැඳුණේ ය. නමෝ විත්තියෙන් පත්තර කන්තෝරුවට ගිය ඔහු ගැන එතෙක් ඒ පුවත්පතේ වැඩ කරමින් සිටි පුවත්පත් කලාවේදියෙක් අන් අය සමඟ මෙසේ කීවේලු.

“ඔන්න ආවා ලියන්න දෙයියා. පුතයා දෙයි නරක්කාරයන්ගෙ පළු පැළෙන්න”

බැලූ බැල්මට ඒ කියමන වියත් නැත. එහෙත් එය අව්‍යාජ කියමනකි. ලේඛකයකුට ලියන්නට පුළුවන් යැයි සමාජයෙන් කියන්නේ නම් ඒ තරම් වටිනා අන් යමක් නැත. මේ ලියන්න දෙයියා හේමපාල මුණිදාස ය. සිය සමයෙහි ඉතාමත් දක්ෂයකු වූත් මේ සමයෙහිත් සොය සොයා කියවන්නට තරම් වටිනා ලේඛන ඉතිරි කළා වූත් මේ ලේඛකයා ලේඛනයෙහි කීර්තිමත් නාමයක් ඉසුළුවෙකි.

හේමපාල මුණිදාස ලේඛකයා නියෝජනය කරන විසිවන සියවසෙහි මුල් යුගය සාහිත්‍යකරණයෙන් ගත් කල කැපී පෙනෙන අවදියකි. පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ල්යූ. ඒ. සිල්වා, කුමාරතුංග මුනිදාස වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයන් අතර මේ නම ද සමාන්තර ව කියැවීමට තරම් හේ නිපුණයෙකි. මේ සියල්ලන්ට සේ ම හේමපාල මුණිදාසයන්ට ද ස්වකීය අනන්‍ය ලේඛන ශෛලියක් තිබිණි. ඒ ඒ අනන්‍යතා අතර හේමපාල ලේඛකයාට තිබුණේ සංස්කෘතයට බර සංස්කෘත තත්සමය බෙහෙවින් යෙදූ බසකි. ඔහුගේ බස නිරවුල් හා ඍජු විණි. ඔහුගෙන් ලියැවුණේ පාඨක සාරාර්ථය ගැබ් වෙන්නක් ම පමණකි. ඒ පිළිබඳ ඔහුට ප්‍රබල විශ්වාසයක් විණි. පාඨකයන් ද ඔහුගේ ලේඛනයට ප්‍රිය කළේ ය. එහි අරුත ගෙන ස්වබුද්ධියෙන් ඒවා විමසා බලන්නට පාඨකයාට ලේඛනයෙන් ඉඩ සලසා තිබේ. එය ලේඛන ආධිපත්‍යයකි. එවැනි උපක්‍රමයක් භාවිත කරන්නට නම් ලේඛකයා බස හැසිරවීමෙහි මනා සුරු වූවෙක් මෙන්ම අසීමිත පාඨක ආකර්ෂණයක් ලද්දෙක් විය යුතු වෙයි. පුවත්පත ඇතුළත ඔහුගේ මෙහෙය අප කියවා ගන්නේ මේ ලේඛන රීති පිළිබඳ මනා අවබෝධයෙන් යුතු ව ය.

පේෂකර්ම ගුරුවරයකු වශයෙන් හේමපාල මුණිදාස ජීවිතය අරඹන්නේ මඩකලපුවේ කාන්තන්කුඩි පේෂකර්ම විද්‍යාලයෙනි. ඒ වෘත්තීය නිපුණත්වය ඔහු සිය ජීවිතයට ළං කරගන්නේ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයෙන් පේෂකර්මය විෂයයක් ලෙස හදාරමිනි. එහෙත් ඒ කිසිවක් ඔහුගේ ජීවන ලාලසාව හා සමපාත වූයේ නැත. පේෂකර්ම පුහුණු ගුරුවරයකු ලෙස කෙටි කලක් සේවය කළ ඔහු ඉනික්බිති පුවත්පත් කලාව තෝරා ගන්නේ මේ නිසා ය.

1924 දී ඒ.ඩී.ඩබ්. වික්‍රමාරච්චිගේ ස්වදේශ මිත්‍රයා පුවත්පතට හේ එකතු වෙන්නේ පුවත්පත් කලාවට අතපොත් තබමිනි. අනතුරුව සිංහල බෞද්ධයා, ලක්මිණ, සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, ලක්මිණ හා සීදේවි පුවත්පත් ඔහුගේ පුවත්පත් කලාවේ මංසලකුණු වන්නේ ය. 1931 දී පිටපත් 800 කට සීමා වී තිබූ සිංහල බෞද්ධයා පුවත්පතේ අලෙවිය ඔහුගේ රචනා ශෛලියෙහි විශේෂත්වය නිසා 16,000 දක්වා වැඩි වූ බව කියැවේ.

පුවත්පත් කලාවෙහි වෘත්තීය වශයෙන් නිමග්න වූවකු සම කෙරෙන්නේ අබිං කෑවකු කියා ය. එයට හේතුව පත්තර කලාවට යොමු වෙන බහුතරයකට කුමන වාසිදායක දේ ලැබුණ ද එකී වෘත්තිය අත් හරින්නට හිත හදා ගත නොහැකි නිසා ය. හේමපාල ලේඛකයා පුවත්පත් කලාවේදියකු වශයෙන් මහත්මා ගතිගුණ පිහිටියෙකි. ආත්ම ලාභය උදෙසා ඔහුගේ පෑනෙන් කිසිවක් ලියැවුණේ නැත. තමන්ගේ ම නැගිටීම විනා අන් යමක් නොසිතූ බහුතර ලේඛකයෝ අතර පුවත්පත් කලාවේ ඊට සපුරා ම වෙනස් මඟක ගිය ලේඛකයෙක් ලෙස හෙතෙම සැමගේ සම්භාවනාවට පාත්‍ර වෙන්නේ ය.

හේමපාල මුණිදාස 1935 දී සිංහල බෞද්ධයා පුවත්පතේ කර්තෘ ධූරයට පත් වෙයි. වසර පහකට පසුව එයින් ඉවත් වෙන ඔහු සිංහල මහා සභාව වෙනුවෙන් සිංහල බලය පුවත්පත ආරම්භ කරයි. දේශපාලනික අරමුණු වෙනුවෙන් මෙකී පුවත්පත් ක්‍රියාත්මක වුව ද තම අනන්‍යතාව රැකගෙන විවේචනාත්මක සහයක් එකී පාර්ශ්වවලට ලබා දීම ඔහුගේ අරමුණ විය. එබැවින් දේශපාලන නායකයන් හා ඔහු අතර යම් අවස්ථාවල ගැටුම් ද වාර්තා වී තිබේ.

බණ්ඩාරනායක ඝාතන නඩුවේ නඩු වාර්තා ඇසුරෙන් සකස් කළ කෘතියක් තිබේ. බොහෝවිට ඔබ එය කියවා ඇතුවාට ද සැක නැත. මේ කෘතිය සකස් කර ඇත්තේ පී. මලල්ගොඩ හා නීතිඥවරුන් අතර ඇතිවන දෙබස් ද ඇසුරු කර ගනිමිනි. ඊ.ඩී.ඇස්. හේනේ‍‍ගොඩ විසින් සංස්කරණය කළ බණ්ඩාරනායක නඩුව හා මලල්ගොඩගේ සාක්කිය නම් මේ කෘතියේ සඳහන් වැකි කිහිපයක් මේ ලේඛකයාගේ දිවිසැරිය හඳුනා ගනු මට ඔබට ඉදිරිපත් කිරීමට අවැසි ය.

නීතිඥ - ඇත්ත වශයෙන් ඔබ කවි ලිව්වේ ‘සිංහලේ’ පත්‍රයටයි. එහෙත් එයින් ඔබට මුදල් ලැබුණේ නැහැ? 

මලල්ගොඩ - එක් වකවානුවක වැඩි ම වශයෙන් කවි හා ලිපි ලීවේ හේමපාල මුනිදාස මහතාගේ සිංහලේ පත්‍රයටයි.

නීතිඥ - හේමපාල මුනිදාස හැමදාම බංකොලොත් කාරයෙක්?

මලල්ගොඩ - මළවුන්ට නින්දා කිරීම කැත වැඩක්. ඒ උත්තමයට අපහාස කරන්න මා කොහෙත්ම කැමැති නෑ.

නීතිඥ - මුනිදාස බංකොලොත්කාරයෙක් ද? නැද්ද? දේශනාව නවත්වා උත්තර දෙනවා.

මලල්ගොඩ - මා දන්නේ නෑ. මා දන්නේ ඔහු ඉතා පොහොසත් කෙනෙකු බවයි.

නීතිඥ - ඔහුට මුදල් තිබුණ ද?

මලල්ගොඩ - ඒක මා දන්නෙ නෑ.

නීතිඥ - එහෙනම් ඔහු පොහොසත් යයි කීවේ?

මලල්ගොඩ - හේමපාල මුනිදාස මහතා මනින්නේ රුපියල් සතවලින් නොවේ. ඔහු බුද්ධිය අතින් මහා පොහොසතෙකි.

හේමපාල මුනිදාස ධනයට, බලයට, කීර්තියට වඩා ස්වකීය අනන්‍යතාව හා ලකුණ වැදගත් කොට සැලකූ ලේඛකයකු බව බණ්ඩාරනායක ඝාතන නඩුවේ මෙකී මලල්ගොඩ සාක්කියෙන් ද පෙනේ.

පුවත්පත් කලාවේදීන් බහුතරයක් විවිධ කරුණු නිසා නිර්මාණාත්මක පාර්ශ්වයට අත නොතබති. එය අධික කාර්යබහුලත්වය සේ ම පුවත්පත් ලේඛනයේදී බස සම්බන්ධ වෙනස්කම් නිසා ද සිදුවන්නකි. සංස්කරණයේ යෙදී සිටීම ද නිර්මාණාත්මක ලේඛනයට බාධාවක් යැයි කියනු ඇසී තිබේ. එහි ඇත්තක් නැතිවාම නොවේ. නමුත් මේ සියල්ල ම එකට කරගෙන යන ලේඛකයන් ද වේ. හේමපාල මුණිදාස, මාර්ටින් වික්‍රමසිංහ, දයාසේන ගුණසිංහ, ධර්මසිරි ගමගේ වැනි නිර්මාණකරුවන් වැටෙන්නේ ඒ ගොඩට ය.

හේමපාල මුණිදාස ලේඛකයා ද නවකතා, කෙටිකතා ඈ නන්විධ ක්ෂේත්‍රවල නිමග්න වූවෙකි. සමාජ ගවේෂකයකු ලෙස සමකාලීන සිංහල පාඨකයන්ගේ ප්‍රසාදය දිනා ගත් ඔහු සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සිය අනන්‍යතාව තහවුරු කර ගත්තේ කෙටිකතාකරුවකු ලෙසට ය. බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රකට ලේඛකයන් වූ එඩ්ගාර් ඇලන්පෝ, ගී ද මෝපසාං, ඇන්ටන් චෙකෝෆ් බඳු ලේඛකයන්ගේ උසස් කෙටිකතා විමර්ශනය කිරීමෙන් උකහා ගත් අවබෝධයෙන් යුතුව නිතර කෙටිකතා රචනා කිරීමෙන් ලද අභ්‍යාසය පසු කාලයේදී කුසලතා පූර්ණ කෙටිකතා කරුවකු බවට පත්වීමට ඔහුට බලපෑවේ ය. ජීවිතයේ පාදඩ ජඩ තත්ත්වය කලා විඥානයකින් යුතුව නිර්දය ලෙස විචාරය කළ හේමපාල මුණිදාස කෙටිකතා කරණයේ යෙදුණේ හුදෙක් සමාජ ශෝධන අරමුණකින් නොවේ. සමකාලීන පුද්ගල හා සමාජ ජීවිතයෙහි දක්නට ලැබුණු අඩුපාඩු හා දුර්වලතා විවරණය කිරීමට ඔහු ප්‍රමුඛත්වය දී තිබේ. ඔහු මුද්‍රණාද්වාරයෙන් නිකුත් කළ සම්පූර්ණ කෙටිකතා සංග්‍රහ ගණන 8කි. මනාලිය, වහල් වෙන්දේසිය, ස්ත්‍රී රත්නය, යකාබාස්, නාරිගැටය, කිණ්ණර පිස්සුව, රතු කැට හා සැකය ඒ කෙටිකතා සංග්‍රහ අටයි.

ඔහුගේ කෙටිකතා ඇසුරේ පැහැදිලි ව පෙනෙන ලක්ෂණ කිහිපයක් වේ. හේ යථාර්ථවාදී රීතිය මෙන් ම අත්භූතවාදී රීතිය ද එකසේ අනුගමනය කරන්නෙක් වන අතර, කෙටිකතාකරණයේ ශිල්පීය ලක්ෂණ ගැන මනා අවබෝධයකින් යුක්ත වූවෙකි. එමෙන්ම ඔහු ජීවත් වීමෙන් උකහාගත් විවිධ අත්දැකීම් සිය කෙටිකතා සඳහා පාදක කර ගැනීම ද වැදගත් ය. ඒවා අපට අපේ කතා සේ හැඟෙන්නේ ඒ නිසා ය. එමෙන්ම ඔහුගේ කෙටිකතාවල භික්ෂූ සමාජය දෙස බලන විවේචනාත්මක දෑස ද, ලිංගික ජීවිතය විවරණය කිරීමට ගන්නා උත්සාහය ද සමාජයේ දුර්වලතා තියුණු ලෙස උපහාසයට ලක් කිරීම ද වැදගත් වේ. ඒවායෙහි අප පෙර කියූ සකු භාෂාවට වන නෑදෑකම අඩු ය. නිර්මාණාත්මක බස් වහරෙන් පෝෂිත ය. කතාවෙන් කතාවට ආකෘතිකම ය හැඩතල මවන්නට ගත් උත්සාහය අනර්ඝ ය. උසස් ගණයේ කලාත්මක පක්ෂයට නොවැටෙන්නේ යැයි විචාරකයන් විසින් හැඳින්වුව ද ඒවා ජනතා ආකර්ෂණයට ලක් වූ එ්වා යැයි නොකියා බැරි ය. අව්‍යාජ ලෙස කට වහර භාවිත කරන්නට මුනිදාස ලේඛකයා සමත්ව ඇත.

හේ නවකතාකරුවකු වශයෙන් ද ස්වකීය නාමය රැඳවූවෙකි. වන චාරිකාව නම් නවකතාව ලිවීමෙන් ඉනික්බිති හේ 1922 දී ප්‍රසාද්සිංහ නම් නවකතාවත්, පළමු ලෝක මහා සංග්‍රාමය පසුබිම් කරගෙන වර්ෂ 1923 දී වයලා නම් නවකතාවත්, 1928 දී මළවුන් අතර ජීවිතය නම් අත්භූත ශෛලියේ නවකතාවත්, ඒ වසරේ ම පුනරාලෝකය නවකතාවත් ලියා නවකතා කතුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය. 1955 වසරේදී විෂ්ණු ශර්මන් පඬිවරයාගේ පංචතන්ත්‍රය රස නුසුන් නොකොට රසාලිප්ත ව පරිවර්තනය කරන්නේ ද හේමපාල මුණිදාස ලේඛකයා ය. එකල සිටි ලේඛකයන් අතර බහුතරයක් මෙන් ස්ත්‍රිය දෙස ගතානුගතික හා උපහාසාත්මක බැල්මෙන් ඔහු නොබැලුවේ ය. පොදුජන හිතකාමී හා මානවවාදී දෘෂ්ටියකින් යුතු ව හේ සමාජය කියවා ගන්නට උත්සාහ කළේ ය.

හේමපාල මුණිදාස චරිතය හා පුවත්පත් කලාව අතර පැවැති අවියෝජනීය සම්බන්ධය විචිත්‍රවත් වූවකි. ඔහු විසින් ලියන ලද ‘අධිකරණ ප්‍රවෘත්ති’ නම් වූ සමකාලීන අපරාධ පිළිබඳ විචිත්‍ර ලිපිය නිසා හේමපාල මුනිදාස නාමය පාඨක ලෝකයෙහි බැබළුණේ ය. එය ඔහු ලියූයේ සූර විනෝද නම් අන්වර්ත නාමයෙනි. අර්ථපූර්ණ හා විචිත්‍රවත් සිරස්තල යෙදීම අතින් හේ පුවත්පත් කලාව ඇතුළත සිය නාමය අනන්‍යකරණය කරගෙන තිබිණි. සිංහල පුවත්පත් ඉතිහාසයෙහි වෙසක් පත්‍රයක් පළමු වරට 1926 දී නිකුත් කරන්නේ ද, 1927 දී සම්බුද්ධ මංගල්‍යය නිමිත්තෙන් පළමු වරට වෙසක් කලාපයක් ප්‍රසිද්ධියට පත් කරන්නේ ද හේමපාල මුණිදාස පුවත්පත් කලාවේදියා විසිනි. ස්වදේශීය මිත්‍රයා පත්‍රය ඒ සඳහා ඔහුට ඉවහල් වෙයි.

අටලෝ දහම ජීවිතයේ චක්‍රයක් සේ ඕනෑ ම කෙනකුගේ ජීවන ගමන් මඟේ විවිධ ඉසව් නිරූපණය කරයි. ප්‍රශංසාව, කීර්තිය බෙහෙවින් ලද හේමපාල මුණිදාස ලේඛකයාට ද මෙය පොදු ය. ගම්පහ ජයකොඩි නම් රදල වලව්කාරයෙක් සම්බන්ධ ලූනූ තොගයක් නිසා ඔහුට වසර එකහමාරක සිර දඩුවමක් විඳින්නට සිදු වූයේ ය. කිසි දිනෙක වංචා දූෂණ නොකළ ඔහු හිරබත් කෑවේ ද අනුන් ට උදව් කරන්නට ගොස් ය. රිය සක සේ අටලෝ දහම ජිවිත පුරා වියමන් වන්නේ එපරිද්දෙනි.

විවිධ ඉසව් ගණනාවක සුරු ව සැරූ ඔහු සිය ජීවිතය සේ සැලකුවේ පුවත්පත් කලාව ය. එයත් පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමේ ලා යම්කිසි දායකත්වයක් ඉන් ලබාදීමේ අපේක්ෂාවෙනි. ඕනෑ ම නිර්මාණකරුවකු අප කියවා ගත යුත්තේ ද ඒ සමයට සාපේක්ෂ ව ය. නිර්මාණ සර්වකාලීන හා සර්ව භෞමික බව සත්‍යයකි. එහෙත් කාලානුරූපී කියවීම සැමට හසු නොවේ. හේමපාල මුණිදාස වැනි පුවත්පත් කලාවේදීන්ගේ දිවිසැරිය හා ලිවිසැරිය අප කියවා ගන්නේ එකී චින්තනය පෙරදැරිව ය.

Comments