ණය නැති ව, නය නොබිඳ බස රකිමු | සිළුමිණ

ණය නැති ව, නය නොබිඳ බස රකිමු

බසෙහි හරි වහර - නිවැරැදි වහර - පවත්නේ එය මැනැවින් දැන, අනුනුදු දන්වමින්, ඉදිරියට ගෙන යන්නන් නිසා බව මෙහි නොයක් වර කියැවිණ. එ බන්දන් ගේ වියොව ගැන ද ‘හරි වහරින්’ නොයෙක් වර කියැවිණ. යළි දු එ වන් වියොවක් ගැන කියන්නට වීම දුක් උපදවයි. ඒ පණ්ඩිත අශෝක කරුණාරත්නයන් ගේ වියොව යි.

පණ්ඩිත් අශෝක කරුණාරත්නයෝ වනාහි සිංහලයෙහි මතු නො ව සංස්කෘත, පාලි, හින්දි ආදියෙහි දු බැසගත් දැනුමෙන් හොබනා, සාහිත්‍ය කලාවෙහි චිර රාත්‍රඥ වූ ශ්‍රේෂ්ඨ විද්වතෙක් වූ හ. ඔවුන් ගේ හැම ලියැවිල්ලක් ම ඉතා නිවැරැදි, නිරවුල් බසින් රැසැයුණේ ය. තෙ විසි වසෙහි සිටි භද්‍ර යෞවනයකු වැ ලියූ සුප්‍රකට ‘සාහිත්‍ය විවේචනයෙහි’ පවා යෙදුණේ එ බඳු බස් වහරෙනි. එ වන් වියතුන් ඉතා දුලබ කලෙක්හි පණ්ඩිත කරුණාරත්නයන් ගේ වියොව භාෂා සාහිත්‍ය සේවීනට මහත් ශෝක උපදවනු පුදුමයක් නො වේ. කාව්‍ය නිර්මාණයෙහි දු කෘතහස්තයකු වූ එ තුමෝ හින්දි සාහිත්‍ය නිර්මාණ පරිවර්තනයෙන් සිංහල සාහිත්‍යය පෝෂණය කළ හ.

දැන් මේ උද්ඝෝෂණ වැසි වස්නා කාලය යි. කලින් ම උද්ඝෝෂණ ගැන කථා කෙළෙන් යළි දු එ ගැන ලිවිය යුතු නො වේ. උද්ඝෝෂණ කෙ සේ වුව ද උද්ඝෝෂණ කාරයන් එ වදන නිවැරැදි වැ ලියන සැටි නම් පෙනේ. එ ද සැනැසීමෙකි. කවර දාත් ‘හරි වහරින්’ උද්ඝෝෂණ කැරෙන්නේ නිවැරැදි බස රැකගැන්ම පිණිස යි. එ හෙයින් දැන් හැරෙමු හරි වහරට.

ණ - න අකුරු නිවැරැදි වැ යෙදුම ගැන කරුණු විමැසූ පින්වතෙක් (මූර්ධජ) ‘ණ’ අකුරින් ඇරැඹෙන එක ම හෙළ වදන ‘ණය’ යනු හැබෑ දැ යි අසයි. එ හෙයින් එ ගැන කෙටියෙන් හෝ පැහැදිලි කළ යුතු ය.

‘ණ’ යනුවෙන් ඇරැඹෙන එක ම හෙළ වදන ‘ණය’ යනු ඉඳුරා සැබෑවක් නො වේ. අද ද වහරෙහි යෙදෙන එ බඳු එක ම හෙළ වදන එය බව නම් සැබෑ ය. පාලියෙහි ඉණ (සංස්කෘතයෙහි ඍණ) යන්න හා ඒ අනුරූප වේ. මේ ණය පැරැණි සෙල්ලිපි බසෙහි ද යෙදුණු වදනෙකි. මෙහි (මූර්ධජ) ණ ම යෙදෙන බව

ඉඳිමි යි නො වී ණය 
දක්වා සිල්ප වීණාය 
රැගෙන උප වීණාය 
සමඟ දැඩි නොවැ සදා වීණාය

යනු ගුත්තිල පැදියෙන් මනා වැ තහවුරු වේ.

මතු නො වේ (දන්තජ) ‘න’ යනුවෙන් ඇරැඹෙන ‘නය’ යන්නක් ද සිංහලයෙහි යෙදේ. ක්‍රමය, පිළිවෙළ ආදි අර්ථවල යෙදෙන ඒ න්‍යාය යන්න හා අනුරූප වෙයි. එ ද පුරාතන ව්‍යවහාරයෙහි යෙදුණු වදනෙකි.

(මූර්ධජ) ‘ණ’ යනුවෙන් ඇරැඹි තව ද වදන් අද වහරෙහි නොයෙදුණ ද ඉතා පැරැණි වහරෙහි යෙදුණු බව ධම්පියා අටුවාවේ එන ‘ණහ’ යන වදනින් පෙනේ. ණහ යනු යෙදුනේ බල්ලා යන අරුතිනි. පාලියෙහි සාණ යනු ඒ හා අනුරූප වෙයි. ලේළිය හඳුන්වනු පිණිස පාලියෙහි යෙදෙන සුණි‍යා යන්න හා අනුරූප වූ ‘ණිහි’ යැ යි වදනක් ද ධම්පියා අටුවාවේ යෙදේ. එහි ම, (‘සණිත’ යනු හා අනුරූප වූ) ‘ණිහිය’ යනු ඉක්මන් බව හැඟැවීම පිණිස යෙදී ඇත. මෙ අනුව, අද වහරෙහි නො යෙදුණ ද (මූර්ධජ) ණ යනු මුල් කොට ඇරැඹෙන වදන් කිහිපයක් පුරාතන සිංහලයෙහි යෙදුණු බව කිය හැකි ය.

බලනු - බැලුණු වැනි තන්හි (මූර්ධජ) ‘ණු’ – (දන්තජ) ‘නු’ යෙදුම නිශ්චය කැරගන්නේ කෙසේ දැ යි තවත් කෙනෙක් විමසති. මේ හා සබැඳි ඇතැම් කරුණු කලිනුදු වරක් දක්වන ලද නමුත් දැන් යළිත් එ ගැන විමසා බලමු.

එ කියන ලද පද දෙ වග ම (දෙ වර්ගය ම) වැටෙනුයේ කෘදන්ත ගණයට යි. කෘදන්ත නම් ධාතුවකට - ක්‍රියා මූලයකට ප්‍රත්‍යය යෙදී නිපැදී නාම වර නැඟෙන අයුරින් වර නැඟෙන්නක් බව හරි වහර කියවන්නෝ මැනැවින් දනිති. ‘බල’ (බැලීමෙහි) ධාතුව ම නිදසුන් කොට ගත හැකි ය. එයට ‘නු’ යන ප්‍රත්‍යයය එක් වීමෙන් ‘බලනු’ යන කෘදන්තය ඇති වේ.

එය ‘බැලීම’ යන ක්‍රියා මාත්‍රය ම හඟවන කෘදන්තයකි. එයට අ, ඒ, ඕ ආදි ප්‍රත්‍යය හා එක් වූ තන්හි නාමයක් ලෙස වර නැඟේ. බලනු + අ = බලන්න, බලනු + ඒ = බලන්නේ, බලනු + ඕ = බලන්නෝ ආදි වශයෙනි. මෙ බඳු කෘදන්ත සෑදීමෙහි දී යෙදෙනුයේ (දන්තජ) ‘නු’ යි. එයට පෙර (ධාතුවෙහි අග) ඊ කාරයක් යෙදුණ ද එය වෙනස් නො වේ.

එ හෙයින් කරනු, සරනු, ඉරනු ආදිය ම නිවැරැදි ය. කරුණු, සරණු, ඉරණු ආදිය වැරැදි ය.

ධාතුවකට ‘උණු’ ප්‍රත්‍යයය එක් වීමෙන් අතීත කෘදන්ත පද සෑදේ. බල + උණු = බැලුණු වන්නාක් මෙනි. එහි යෙදෙනුයේ (මූර්ධජ) ‘ණු’ යි. එද බැලුණේ (බැලුණු + ඒ), බැලුණෝ (බැලුණු + ඕ) ආදි වශයෙන් වර නැඟේ. අතීත කෘදන්ත පද සාධනයෙහි දී (දන්තජ) ‘නු’ නොයෙදෙන හෙයින් බැලුනු, යැවුනු, සැලුනු, ඉරුනු ආදිය වැරැදි වේ.

යළිදු බැලුව මැනැවි. ක්‍රියා මාත්‍රය ම පමණක් හඟවන කෘදන්තයෙක දී (දන්තජ) ‘නු’ යෙදේ. අතීත කෘදන්තයෙක දී (මූර්ධජ) ‘ණු’ යෙදේ.

Comments