කතුර | Page 2 | සිළුමිණ

කතුර

වෙනදට නැති මොකක්දෝ නුපුරුදු කලබලයක් පාලම උඩ. මේ වගේ හවස් වෙලාවට වෙනදා නැති සෙනඟක් පාලම උඩ සිටගෙන ගඟ දිහා බලාගෙන. පාර අයිනෙ තැනින් තැන අපිළිවෙළට කලබලෙන් වගේ නවත්තලා තිබුණු මෝටර් සයිකල් ත්‍රීවීල් අස්සෙ ඉඩක් හොයාගන්න බැරි නිසාම පාලම පහු කරගෙන ටික දුරක් ගිහින් කාර් එක නවත්වපු මම පාලම උඩට ආවෙ හිතේ නොසන්සුන්කමෙන්.

“මොකද වෙලා තියෙන්නෙ“

පාලම් ඇන්දට බර දීලා පහළ වතුර දිහාට නෙත් යොමුකරගෙන හිටපු මනුස්සයෙකුගෙන් ඇහුවා.

“කව්දෝ මනුස්සයෙක් පාළමෙන් පහළට පැනලා.. නේවි එකෙන් පැය දෙකක් විතර තිස්සෙ සර්ච් කරලා දැන් තමයි බොඩි එක හොයාගත්තේ“.

“අපරාදේ විහින් ජීවිතේ නැති කරගන්නවා“

“පුදුම පවුකාරයො“

“ ජීවිතේ අගයක් දන්නෙ නැති හැටි අනිවාර්යයෙන් ගෑනියෙක් හින්දා වෙන්න ඇති.“

වටේ හිටපු මිනිස්සු එක එක වචන වලින් ඒ අහිංසක ජීවිතේට ලන්සු තියත්දි මට ඇතිවුණේ කෝපයක් වගේම කළකිරීමක්. හැමෝගෙම ජීවිතවල නොදන්න පැති, නොදන්න කතා ගොඩක් තියෙනවා. හැම මනුස්සයම තමන්ට ආවේණික ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නෙ. හැබැයි තමන්ට හිතෙන තමන්ගෙ මතයෙන් අනුන්ගෙ ජීවිත ගැන අල්පමාත්‍රයක් නොදන්න උන් හරි පුදුම විදියට චරිත සහතික දෙනවා.

“අන්න... අන්න මිනිය ගොඩට ගන්නව ,

කවුදෝ කියනවත් එක්කම පාලම උඩ පොරකකා ඉඳපු උන් ටික ඉවුර දිහාවට දුවන්න ගත්තා. පල්ලෙහා ගං ඉවුරෙ ඉඳන් උඩට ගේන මිනිය බලන්න තරම් මට කිසිම ඕනෑකමක් තිබුණේ නැහැ. මැරිල ඉන්නෙ නොදන්න, ජීවිතේ කවදාවත්ම නොදැක්ක නොහඳුනන මනුස්සයෙක් වෙන්න ඇති. ඒ වුණත් මනුස්ස ජීවිතයක අහිමිවීම ගැන කම්පනයෙන් මම හොඳටම අවුල් වෙලා හිටියෙ.

මළ සිරුර පාරට ගන්න තැන පහු කරගෙන යන්න වෙන විදියටයි මම කාර් එක නවත්තලා තිබුණෙ.

“කෝ පොඩ්ඩක් අයින් වෙනවලා අපිට මෙතන රාජකාරියක් කරන්න තියෙනවා.“

සෙනඟ මැද්දෙන් ඇහුණු ගාම්භීර කටහඬ එතනට හිටපු පොලිස් නිලධාරියෙක්ගෙ වෙන්න ඕනෑ. ඒ විධානාත්මක හඬත් එක්කම එක පොදියට හිටපු මිනිස්සු ටික ටික එහෙට මෙහෙට වෙලා පස්සට වෙනවාත්, අර කටහඬ හින්දම ඒ පැත්තට යොමුවුණ මගේ ඇස් වලට පෙනුණා. පොලිස් අණට කීකරුව එහා මෙහා වෙමින් තිබුණු මිනිසුන්ගෙ කකුල් අතරින් ඈත්වෙමින් නැතිවෙමින් ගිය පුංචි ඉඩකින් මම පළමු වරට මැරිලා හිටපු මනුස්සයගෙ ඡායාවක් යාන්තමට දැක්කා. මිය ගිය මිනිසාගේ ඇඟේ රැඳිලා තිබුණු කමිසයෙ මොකක්දෝ හුරු බවක් මට යාන්තමට වගේ දැනුණා. ඒ හුරුව මොකද්ද කියන්න තරම් නිච්චියක් නොතිබුණත් මට පොඩි අමුත්තක් දැනුණා.

එකපාරටම පාරෙ අනිත් පැත්තට මගේ කකුල් එසවුණේ මටත් නොදැනීමයි. තෙත කෙස් වලින් මුහුණ වැහිලා තිබුණත් මියගොස් සිටින්නේ මැදිවිය පහුකරමින් හිටපු පිරිමියෙක් බව බැලූ බැල්මට අඳුන ගන්න පුළුවන් වුණා. පැත්තට හැරිලා තිබුණු සිරුර පොලිස් නිලධාරියෙක් උඩුබැලි අතට හැරෙව්වෙ ඒ වෙලාවෙ. මූණට වැටිලා තිබුණු කෙස් ටික ඒ ඇසිල්ලෙන් පැත්තට වෙද්දි ක්ෂණිකවම නිරාවරණය වුණ මුහුණ දුටු සැණින් ගතට දැනුණේ පුදුමාකාර අප්‍රාණික බවක්.

“ඇයි මහත්තයා මොකද?“ 

එහෙට මෙහෙට පැද්දෙමින් සිටි මා තවත් කෙනෙකුගේ සිරුරේ ගැටනවාත් ඒ කෙනා මා අල්ලා ගන්නා බවත් දැනුණේ සිහිනෙන් වගේ.

“පව් ඒ මනුස්සයා. මහත්තයා ඔහොම දෙයක් දැක්කාම වෙන්නැති.“

වැටෙන්නට ගිය මා අල්ලා ගත් මැදිවියේ මිනිසා කීවේ මගෙ හිතට ශක්තියක් වෙමින්.

“ඔව්.. මම මෙහෙම මරණයක් දැක්කාමයි.“

කුමක් කරන්නදැයි සිතා ගන්නට බැරි මම අසල තිබූ ගසකට වාරු වුයෙමි.

“සර් අන්න... සර්ට මානවඩු බොස් එන්න කිව්ව,

අතේ තිබුණු ෆයිල් එක පැත්තකට දාපු මම පියන් කොලුවගෙ වචනත් එක්කම නැගිටලා කාමරෙන් එළියට ආවා.

හේතුවක් හිතාගන්න බැරි වුණත් මම බොස්ගෙ කාමරේට ගියා.

“අද මොන වගේ ගිනි ගෙඩියක්ද දන්නෙ නෑ“.

“මොකෝ දන්නෙ නෑ ලොක්ක උදේ පාන්දරම කතා කළේ“ මම සෙකට්ට්‍රිගෙන් ඇහුවා.

“අනේ මන්දා සර් ... දැන් ටිකකට කලින් රවී සර් ඇවිත් ලොකු සර්ගෙ කණට මොනවදෝ කුටු කුටු ගාලා ගියා. ඊට පස්සෙ තමයි සර්ට එන්න කිව්වෙ ,

නිරාශගෙ වචනවල මම හොයපු උත්තරේ තිබුණා. එහෙනම් අදත් මොකක්හරි කේලමක් පත්තු කරලා කාට හරි වැඩක් දීලා ඇති.

එහෙම හිතමික් මම දොරට තට්ටුවක් දැම්මා.

රාමනායක ඊයෙ ෆැක්ට්‍රි එකේ මුකුත් ප්‍රශ්නයක් එහෙම වුණාද.

“ප්‍රශ්නයක් කිව්වෙ බොස්“ ,

“අයිසෙ රාමනායක තමුන් මේ කොම්පැනියෙ එච්.ආර් එකේ ලොක්කා. එහෙම එකේ මේගැන නොදැන ඉන්න විදියක් නෑනෙ,

මුවින් නොබැණ මම අහගෙන හිටියෙ ඊළඟට ලොක්කගෙ කටින් පිටවෙන වචන ටික අහුලගන්න නොඉවසිල්ලෙන්.

“තමුන්ටනෙ මේ කම්පැනි එකේ සික්‍යුරිටි එක රිපෝට් කරන්නෙ. එහෙව් එකේ මෙච්චර වෙලා තමුන් මේක නොදැන ඉන්න එක කොහොමවත් වෙන්න බැරි වැඩක්නේ.“

ඔහු කියන්නට යන්නේ කුමක්දැයි තේරුණේ එවිටය.

“රවී ඇවිත් නොකියන්න මම මේ කම්පැනියෙ මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නෑ. ඊයෙ මුකුත් හොරකමක් එහෙම සිද්ද වුණේ නැද්ද.“ ලොක්කා එක දිගට කියවගෙන ගියේ කේන්තියෙන්.

“රාමනායක දැනගන්න මට නොදැනෙන්න මේක උඩින් කාක්කෙක්ටවත් පියාඹන්න බෑ කියලා. අනික එහෙම පියාඹන්න පටන් ගන්නකොටම මට ඇවිත් කියන්න තරම් හිතවත් මිනිස්සු ටිකක් මේකෙ ඉන්නව.“ බොස් ඒ ටික කිව්වෙ ටිකක් උජාරුවෙන්.

ඒක හරියට අනුම්පදයක් වගේ.

කොම්පැණිය උඩින් පියාඹන කපුටො ගැන හොයනවට වඩා දෙයක් කම්පැනියෙ ලොක්කට කරන්න තියෙනව කියලා මම නම් හිතාගෙන හිටියෙ. අනික ලොක්කට අවංක ළැදි මිනිස්සු ටික කට්ට කාගෙන කම්පැනිය ටාර්ගට් ටික ගහන්න මැරෙනව මිසක් උන්ට කපුටො පියාඹන ඒවා ගැන ඇවිත් කියව කියව ඉන්න වෙලාවක් නෑ කියලා කියන්න හිතුණත් මම නිහඬව හිටියා.

“හ්ම්... ඉස්සෙල්ලම කියමු බලන්න ඊයෙ මොකද වුණේ. තමුන් මොනවද ගත්ත ඇක්ෂන් කියලා.“

“ඊයෙ හවස වැඩ ඉවරවෙලා සිකුරිටි එකෙන් චෙක් කරද්දි අර ස්ටෝස් එකේ වැඩ කරන සෝමෙ ගාව පරණ කතුරක් තිබිල අහුවෙලා තියෙනවා. ගේට් පාස් එකක් දාලා තිබිලා නෑ. පස්සෙ සිකුරිටි එකෙන් මට කිව්වහම මම එවෙලෙම මිනිහව ගෙන්නලා ප්‍රශ්න කළා. මිනිහා වැරැද්දක් කළා. ඒකට සමාවෙන්න කියලා කියනවා ඇරුණම කොච්චර ප්‍රශ්න ඇහුවත් එතනින් එහාට මුකුත් කිව්වෙම නෑ. පස්සෙ මම ප්‍රකාශයක් අරගෙන අද දහයට එන්න කියලා ගෙදර යැව්වා. ඒ කතුර මගෙ කැබින් එකේ.“ එච්චරයි සර් වුණේ.

“මොන එහෙකටද දැන් එතකොට අද දහයට එන්න කිව්වෙ“ ලොක්ක එකපාරටම මහ සද්දෙන් ඇහුවා.

“කරපු වැරැද්දට අවවාදයක් දීලා දවස් දෙකක් විතර වැඩ තහනම් කරන්න. ඒකයි මම අද එන්න කිව්වේ.“

මිනිහට වෝනින් ලෙටර් එකක් දීලා වැඩට යවනව මිසක් වැඩ තහනම් කරන්න අදහසක් හිතට ආවේ නැත්තේ මිනිහගෙ අතීතය ගැන වගේම තියෙන ප්‍රශ්න ගැනත් මම වෙන කාටවත් වඩා හොඳින් දැනගෙන හිටපු නිසයි. නමුත් ලොක්කගෙ සද්දෙ එච්චර හොඳ නැති නිසා මම දවස් දෙකකට වැඩ තහනම් කරන කතාවත් කියලා දැම්මා.

“අස්කරලා දානවා ඔය මනුස්සයව. ඔහොම චාන්ස් එකක් ආවාම අස්නොකර තව හුරතල් කරන්න තමුන්ට පිස්සුද.“

“බොස් මොකක්හරි හේතුවකට ඊයෙ මිනිහා ඔය දේ කළා තමයි. ඒත් මිනිහගෙ සර්විස් එකම අවුරුදු දහ අටක්. මේ අවුරුදු දහ අටටම මිනිහ ගැන කිසි කම්ප්ලේන් එකක් නෑ. පුදුම කැපවීමකින් වැඩ කරන්නෙ. අනික හිත හොඳ මනුස්සයා“

කවදත් කියන වචනයක් අහක නොදාපු සෝමෙ ගැන තිබුණු විශ්වාසෙන් මම එහෙම සහතිකයක් දුන්නා.

“තමුන් ඌ ගැන හොඳට දන්නවා වගේ. ඒක තමයි එහෙනම් බේරගන්න දඟලන්නෙ“ ලොක්ක අල්ලගත්තෙ වැරදි පොටක්.

“මම හොඳට දන්නවා, මිනිහගෙ පවුල් පසුබිම, මිනිහගෙ වැඩ කරන විදිය, ඒක සෝමෙ ගැන විතරක් නෙමෙයි මේකෙ වැඩ කරන මගෙ ඔක්කොම කෙල්ලො කොල්ලො ගැන එහෙම තමයි.“ මම කියලා දැම්මෙ ටිකක් ආවේගයෙන්.

“නෑ නෑ ඔය ගැන මීට වඩා කතා කරන්න ඕනෙ නෑ. මිනිහව අස්කරල දානවා. එච්චරයි.“

මටත් පොඩ්ඩක් කේන්ති ගිය බව තේරුණ නිසාද කොහෙද බොසා ඉක්මනටම කතාව ඉවර කරන්න හැදුවා.

“බොස් අපි එක පාරක් සමාව දෙමු“

“රාමනායක මම සැරයක් කිව්වනෙ. මිනිහා ඔය හිතන් ඉන්න ජාතියෙ එකෙක් නෙමෙයි. ඔය යකා තැන තැන මටත් බැණලා තියෙනවා. මට රවී කිව්වෙ නැත්නම් මම දන්නෙත් නෑ“

රවි රවුම් කරලා ගානට වැඩේ පත්තු කරලා. රවී කතුරෙ කතාව කියනවට අමතරව තව බේගල් ටිකකුත් ලොක්කගෙ ඔළුවට ඔබලා. මට කේන්තියකට වඩා ආවෙ හිරිකිතයක්.

“බොස්, ඔයා කම්පැනියට ආදරේ කරනවා කියලා කියන්නෙ ඔයාට කේලම් කියන එකනම් ඔයා ඕනෑ මඟුලක් හිතාගන්න.“ එහෙම කියන්න කටට ආවත් මම නිහඬව හිටියා.

“බොස් අපි සෝමෙව අස් නොකර වෙන දඬුවමක් දෙමු.“

සෝමේව රස්සාවෙන් අස්කරනවා කියන තීරණය අසාධාරණයි කියලා හිතුන නිසා එය වෙනස් කරගන්නෙ නැතුව එතැනින් යන්න හිතුනෙම නෑ.

“අයිසෙ රාමනායක මම තමුසෙට කිව්වනෙ මගෙ යකා අවුස්සගන්නෙ නැතුව මෙතනින් යනවා.“

කවදාවත් කතා නොකරපු ස්වරයකින් මානවඩු ලොක්කා මගෙ ඇඟට ගොඩ වෙද්දි මම කාමරෙන් එළියට ගියා.

එතන ඉදන් මුළු දවසම මම ට්‍රයි කළේ මේ ප්‍රශ්නෙ වෙන විදියකට ඉවර කරන්න. උදේ 10ට ආපු සෝමෙව එක පාර යවන්නෙ නැතුව හවස හතර විතර වෙනකන්ම තියාගෙන මම හැදුවා මේ තීරණේ වෙනස් කරගන්න. මම මානවඩු බොස් ගාවට ආයිත් තුන් පාරක්ම ගියා. මම කියලා හරියන්නෙ නැති පාර මානවඩු බොස්ගෙ ළඟම හිතවතා වුණ රූපසිංහ මහත්තයාට කියලත් කියන්න හැදුවා. කරන්න පුලුවන් උපරිමය කළා. මේ ඔක්කොම දිහා පැත්තක් ඉඳන් බලාහිටපු රවී මම සෝමෙගෙ රස්සාව බේරගන්න දරන උත්සාහය හොඳටම දැක්කා. නිරාශා කියපු විදියට මම තුන් වෙනි පාර මානවඩු බොස්ව හම්බවෙන්න යනකොට රවී පැය භාගයක් විතර බොස් එක්ක කියව කියවා ඉඳලා ගිහින් තියෙන්නෙ.

මානවඩු බොස් අන්තිම පාර මට බැන්නෙ සීනියර් මැනේජර් කෙනෙකුට බණින විදියට නෙමෙයි. වැසිකිළි හෝදන එකෙක් ගාණට දාලා.

“අයිසෙ රාමනායක මම තමුසෙට ආයි කියන්නෙ නෑ. තමුසෙ මේකෙ එච්අාර් මිසක් අයිතිකාරය නෙමෙයි. තමුසෙට පඩි ගෙවන්නෙ මම කියන දේ කරන්න මිසක් තමුසෙට ඕනෑ දේ කරන්න නෙමෙයි. තමුසෙට මම කියන දේ කරන්න බැරිනම් සෝමෙත් එක්ක තමුසෙත් අස්වෙලා යනවා. එකතුවෙලා හොරකම් කරලද මන්දා මෙච්චර මේ හොරෙකුට රස්සාව දෙන්න දඟලන්නෙ.“

මානවඩු බොස් දමලා ගහන්න පුළුවන් බරම ආයුධෙනුත් මට දමලා ගැහුවා.

කතන්දර ඔක්කොම අහගෙනත් උපරිම උත්සාහ කළේ මනුස්සයෙකුගෙ රස්සාව බේරන්න. එතැනින් එහාට මට කරන්න දෙයක් නෑ. මොනවා වුණත් සෝමෙ හොරකමක් කරපු නිසානෙ මේ ඔක්කොම වුණේ. එහෙම මම හිත හදාගන්න උත්සාහ කළා. ඒත් ආපහු මගෙ කාමරේට යන්න කලින් මම හොරණ ආයෝජන කලාපෙ කම්පැනියක එච්ආර් මැනේජර් වෙලා හිටපු මගෙ යාළුවෙකුට කෝල් එකක් ගත්තා. මගේ ඉල්ලීමට යාළුවගෙන් ලැබුනේ හොඳ ප්‍රතිචාරයක්. සෝමෙට රස්සාවක් දෙන්න ඔහු කැමති වුණා. සෝමෙට ඒ විස්තරත් කියන්නත් එක්කම මම ඔහුව මගෙ කාමරයට කැදෙව්වා.

කාමරේට ආපු සෝමෙ ඇස් දෙක බිමට හරවගෙන මගෙ ඉස්සරහ හිටගෙන ඉන්නවා. බිමට කඩා පනින්න ඔන්න මෙන්න කඳුළු. මගෙ ආත්මෙම කඩා වැටුණා. යාන්තමට ඔළුව උස්සලා බලපු සෝමෙගෙ ඇස් වල ලියවිලා තිබුණු අසරණකම මගෙ සර්වාන්ගෙම හිරි වට්ටලා දැම්මා.

“අපිට සෝමෙව අස්කරන්න වෙනවා“

මගෙ ජීවිතේ කියපු අමාරුම වචන ටික කියලා දැම්මා.

මම මේ ඔක්කොම කියනකම් සෝමෙ ඔහේ හැඟීමක් දැනීමක් නැති ගානට බිම බලාගෙන හිටියා.

අන්තිමට සෝමෙ ඔළුව ඉස්සුව. මේ වෙනකම් නිශ්ශබ්දව හිටපු සෝමෙ කතා කරයි කියලා මට හිතුණේ නෑ.

“මම හිතුවෙ නෑ සර් ඔය වගේ තීරණයක් ගනී කියලා. මම හිතුවා සර් මොන දඬුවමක් දුන්නත් මාව රස්සාවෙන් අස් කරන එකක් නෑ කියලා. මට අමතක නෑ සර් අනිත් අයට වගේම මටත් කරලා තියෙන උදව්. ඒත් සර් වෙනස් වෙලා. කාගෙ හරි කතාවකට සර් වෙනස් වෙලා. නැත්නම් මගෙන් පළිගන්න වගේ සර් මාව මේ විදියට රස්සාවෙන් අස් කරන්නෙ නෑ.

අන්තිම ටික කියද්දි සෝමෙගෙ ඇස් වල තිබුණේ තරහක් කියලයි මට හිතුණේ.

“සර් මේ ටිකත් දැනගන්න මම අවුරුදු 18ක් තිස්සෙ මේ කොම්පැනියට ආදරෙන් වැඩ කළා. හම්බවුණ පඩියට අමතරව නූල් පටක දෙයක් හොරෙන් මේ කොම්පැණියෙන් අරන් ගිහින් නෑ. කාත් කවුරුවත් නැතුව මායි මගෙ නෝනයි කටු මැටි ගෙපළෙ ඉඳන් ළමයි දෙන්නෙක්වත් හදාගෙන ජීවත් වුණේ මහ ලොකුවට නැතත් මේ කම්පැනියෙන් හම්බ වුණ පනම් දෙකෙන්. සර් අද මට ඒකත් නැති කළා. මානවඩු සර් එහෙම දන්නවා නම් කවදාවත් මාව රස්සාවෙන් අස්කරන්න දෙන එකක් නෑ. කමක් නෑ... සර් තීරණේ අරගෙන ඉවරනෙ,

සෝමේ ඒ ටික කිව්වේ බොහෝම ආවේගෙන්.. සෝමෙට ආවේගය පිට කරන්න දීලා මාත් නිහඬව අහගෙන හිටියා. අනික පුරුද්දක් විදියට මගෙ ඉහළ කළමනාකාරීත්වය පාවා දෙන එක මම ඉගෙන ගෙන තිබුණු දෙයක් නෙමෙයි. පාවාදීම කියන්නෙ මගෙ ලේ වල තිබුණෙම නැති දෙයක්. රාජකාරී මට්ටමෙන් මේ තීරණය ගන්න වෙනවා කියන දේ ඇරුණම නිධාන කතා කිය කියා මගෙ ඇඟ බේරගෙන හොඳ මිනිහා වෙලා උඩ විවේචනය කරන පුරුද්ද මට තිබුණෙම නෑ.

“සර්ට හෙණ ගහනවා මේ වගේ තීරණයක් ගත්තට ,

හැබැයි සෝමෙ ඊළඟට කියපු වචන ටිකෙන් මගේ පපුව නැවතුණා.

“මට හොරකම් කරන්න ඕනෑ නෑ. හොරකම් කරන්න ඕනෑ නම් මීට වඩා ඕනෑ තරම් ලොකු දේවල් මට අරගෙන යන්න තිබුණා. මම ගත්තෙ පරණ කතුරක්. ලබන සතියෙ පඩි ගන්නකම් කීයක්වත්ම මගෙ අතේ නෑ. පෙරේදා මගෙ පොඩි එකී ඉස්කෝලෙන් ගුටි කාලා ඇවිත් තිබුණා, අත් වැඩ වලට කතුරක් ගෙනාවෙ නෑ කියලා. කතුරක් නැතුව ආයිත් පන්තියට එන්න එපා කියලා ටීචර් කියලා. ඊයෙ උදේ ඒකි මගෙ බෙල්ල බදාගෙන ඇඩුවා. මට ඉස්කෝලෙ යන්න බෑ... ගුටි කන්න වෙනවා කියලා.. කෙල්ල ඊයෙ ඉස්කෝලෙ ගියෙ නෑ... මගෙ කෙල්ල හපනි... මහත්තයො ඒකි හරි ආසයි ඉස්කෝලෙ යන්න. ඒත් ඒකි ගුටි කන්න වෙනවට හරි බයයි මහත්තයො. අදවත් ඒකිව ඉස්කෝලෙ යවන්න ඕනෑ නිසා තමයි වැඩකට ගන්නෙ නැතුව පැත්තකට දාලා තිබුණු කතුර මම අරගෙන යන්න හැදුවෙ.“

මගෙ හුස්ම එක පාරටම නතරවුණා.

“මට ලියුම් මුකුත් ඕනෑ නෑ. මම යනවා සර්. හෙට මගෙ කෙල්ලව ඉස්කෝලෙ යවන විදිය විතරක් නෙමෙයි ලබන සතියෙ මගෙ ගෑනිටයිල කෙල්ලො දෙන්නටයි කන්න දෙන විදියත් මම දන්නෙ නෑ. සර් සතුටින් ඉන්නකෝ. “

“සෝමේ“

මම අමාරුවෙන් කතා කළේ හෙට මම වෙන ජොබ් එකක් සෙට් කළා කියලා විස්තරේ කියන්න. ඒත් මගේ කට හඬ පිටවුණේ නෑ.

, සෝමෙ ගාව ෆෝන් එකක් නැතත් අල්ලපු ගෙදර නම්බර් එක මට දීලා තිබුණේ. ඒ නොම්බරයට රෑ වෙලා කෝල් එකක් ගන්නවා කියලා මම හිතා ගත්තා.

“දෙයියනේ සෝමේ....අනේ මගෙ රත්තරනේ,“

ඒ හඬින් මට හිටපු තැන අමතක වුණා. විලාප දීගෙන දුවගෙන ආ කාන්තාවක් සෝමෙගෙ නිසල සිරුර උඩට කඩා වැටුණා. ගල්වෙලා තිබුණු සෝමෙගෙ සිරුර ඉවරයක් නැතුව හැම රෝම කූපයක් ගානෙම ඉඹගෙන ඉඹගෙන යන අතරෙ ඒ කටින් පිටවුණේ අහගෙන ඉන්න බැරි විලාපයක්. ඒ වචන වලට, හැසිරීමට මිනිස්සුන්ගෙ ඇස්වල කඳුළු පිරිලා. විනාඩි ගාණක් එක දිගට සිරුර බදාගෙන විලාප දුන් ගැහැනිය තවදුරටත් විලාප නඟන්න හයියක් නැති කමට දෝ නිහඬව මළ සිරුර දිහා බලාගෙන හූල්ලන්න වුණා. ඒ අවසරයෙන් එතන හිටපු පොලිස් නිලධාරියෙක් ඈ හා කතාකරන්නට වුණා.

“මහත්තය මෙහෙම කරගන්න හේතුවක් දන්නවද“, කියලා බොහොම හිමීට වචන තෝරා බේරගෙන ඇහුවා.

“ හීන් හීල්ලිල්ල පොඩි ඉකිගැහිල්ලක් බවට ආයිත් පත් වුණා. ඉකි ගහපු කාන්තාව ආයිත් නිසල මළ සිරුරෙ උණුසුම හොයන්න වගේ පපුව අස්සෙ ඔළුව ගහගෙන නිහඬ වුණා.

“මගෙ දෙයියා මට කතා කළා. මොක්ක්දෝ පුංචි වැරැද්දකට එච්ආර් එකෙන් රස්සාවෙන් අස් කළා කියලා කිව්වා. වාවන්නම බැරි එයා ගොඩාක් ගරු කරපු සර් ම එයාව වැරදිකාරයෙක් කරලා රස්සාවෙන් එළියට දාපු එක කිව්වා. වැරදිකාරයෙක් විදියට ඇවිත් දූලා දෙන්නගෙ මූණ බලන්න බෑ කිව්වා. රස්සාවක් නැතුව අපිට කන්න දෙන්නෙ කොහොමද ඇහුවා. අනේ දෙයියනේ ඔය ටික කියද්දි මම හිතුවෙ නෑ මගෙ පණ මේ වගේ දෙයක් කර ගනී කියලා. මම කිව්ව ගෙදර එන්න. අපි කතා කරලා ඊළඟට කරන්න පුළුවන් දෙයක් කරමු කියලා.

සෝමෙගෙ බිරිඳ සෝමේගෙ පපුව උඩ මූණ හංගගෙන කියපු දේවල් මට ඇහුණෙ හීනෙන් වගේ.......

, දෙයියනේ හිතක් පපුවක් නැති එකෙක් වගේ මගෙ මනුස්සයව රස්සාවෙන් එළවගෙන. මගෙ මනුස්සය ඔච්චර ආදරෙන් කට පුරා සර් කිව්ව... එහෙම කෙනෙකුත් අපිට පිටුපෑවනේ. කාටවත් වරදක් නොකළ මගෙ පණ.... අපි දැන් කාටද අපේ දුක කියන්නේ.“

දැන් සියල්ල සිදු වී හමාරය. මා කොතෙක් තැවුණ ද එවායි පලක් නැත. සෝමෙගෙ බිරිඳ කියන දේ අහගෙන ඉන්න ද මට හයියක් තිබුණේ නෑ.

• විරාජ් හෙට්ටිආරච්චි

Comments