
සයිබර් අවකාශයේ වීරයන් සේම දුෂ්ටයන්ද බිහිවී අවසන්ය. මේ වීරයන් වරෙක දුෂ්ටයන්ද, දුෂ්ටයන් වරෙක වීරයන්ද වන්නේ ලෝක ස්වභාවය මොනවට ඔප්පු කරමිනි. එබැවින් ඇනෝනිමස් වරුන්ගේ හෙට දවසේ භූමිකාව කෙසේ වේ දැයි දන්නේ ඔවුන්ම පමණක් විය හැකිය.
පසුගිය දින කිහිපයේදී අපේ රටේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් වූයේ ‘ඇනෝනිමස්‘ හැකර් කණ්ඩායමයි. මේ හැකර් කණ්ඩායමට හෑෂ් ටැග් දමමින් රට බේරා ගන්නට ඉල්ලා සිටි ඉල්ලීම් ද දක්නට ලැබිණි. එමෙන්ම හැකර් කණ්ඩායම් රටේ සිදුවූයේ යැයි පැවසෙන අයථා මූල්‍ය ගනුදෙනු ලොවට හෙළි කරනු ඇති බවට විශ්වාස කළ පිරිස්ද දක්නට ලැබිණි. පසුව මේ හැකර්වරුන් විසින් එම අයථා ගනුදෙනු හෙළි කිරීමට දින දා හතරක කාලයක් ලබා දුන් බව පැවසුණු අතර ඒවා විශ්වාස කළ පිරිස්ද දක්නට ලැබිණි. සියල්ල අවසානයේ මේ හැකර්වරුන් විසින් මුදාහරින ලද ලේඛනයක් ලෙස සකස් කරන ලද ලේඛනයක් සමාජ ජාලාවල හුවමරු වනු දැක ගත හැකි විය. එහෙත් නිරීක්ෂණාත්මක ඇසින් බලන විට පෙනී යන්නේ මේ සියල්ල තවදුරටත් සමාජ ජාලා ඇස් බැන්දුම් පමණක්ම බවයි.
තමන් සතුව ඡන්ද අයිතිය තිබියදී ජනතාව හැකර්වරැන් කෙරෙහි විශ්වාසය තැබීම සැබවින්ම විහිළුවට කරුණකි. එයට හේතුව හැකර්වරුන් යනුද එක් අතකින් වංචාකරුවන්ම වන බැවිනි.
හැකර්වරුන් යන නාමයද තවමත් අපේ සමාජයේ බහුතරයකට ආගන්තුකය. එයට හේතුව හැකර්වරුන් බිහිවන්නේද සයිබර් සංස්කෘතිය ලොව පුරා පැතිර යෑමෙන් පසුව වීමෙනි. ලොව පුරා පරිගණක භාවිතය ප්‍රචලිත වූ පසු රටරටවල මෙන්ම පෞද්ගලිකවද වැදගත් දත්ත පරිගණක පද්ධතිවලට ඇතුළත් කර ආරක්ෂීත කරනු ලැබීය. එමඟින් දත්ත ආරක්ෂා වූ අතර පහසුවෙන් යාවත්කාලීන කිරීම ඇතුළු වාසි රැසක්ද විය. මෙලෙස රහසිගත දත්ත පරිගණක ගත කිරීමෙන් පසුව මේ දත්ත අයථා ලෙස ලබා ගැනීම ඉතා අපහසු විය. එයට හේතු වූයේ දත්ත ඇතුළත් පරිගණක මෙන්ම ජාල ද ආරක්ෂිත මුර වදන් මඟින් ආරක්ෂා කර තිබීමයි.
නමුත් කල් ගත වන විට මේ පද්ධතිවල ආරක්ෂිත මුර වදන් පසු කරමින් පද්ධති තුළට ඇතුළත් වීමේ හැකියාව ලබා ගැනීමට පරිගණක භාවිතයේ කෙළ පැමිණි පුද්ගලයන්ට හැකියාව ලැබිණි. එමගින් ඔවුන් පද්ධති තුළට ඇතුළත්ව ඒවායේ අන්තර්ගත රහසිගත තොරතුරු මේ තොරුතුරු අවශ්‍ය අයට ලබා දීමට කටයුතු කළහ. ඔවුන් එම තොරුතරු ලබා දුන්නේද අති විශාල මිල ගණන්වලටය.
මේ අන්දමින් ආරම්භ වූ හැකරුවරුන්ගේ කාර්ය භාරය මේ වන විට ලෝකයේ බොහෝ ඉල්ලුම සහිත නිල නොවන රැකියාවක් තරමට ජනප්‍රිය වී තිබේ. අද බොහෝ තරුණයන් තම පරිගණක දැනුම ඔප්පු කොට පෙන්වන්නේද රජයේ කිසියම් වෙබ් අඩවියකට ප්‍රවිෂ්ට වීමෙනි. ලෝකයේ බොහෝ ආයතනවල පරිගණක ඉංජිනේරුවන්ට ඉතා ආයාසයෙන් කටයුතු කිරීමට සිදු වන්නේ හැකර්වරුන්ට තම පරිගණක පද්ධතිවලට ප්‍රවිෂ්ට වීමට ඇති ඉඩකඩ ආවරණය කිරීමට සිදු වන බැවිනි. එහෙත් වරින්වර මේ සුරක්ෂිත පරිගණක පද්ධතිවලට කඩා පනින හැකර්වරුන් තොරතුරු සහ දත්ත ලබා ගනිමින්, එසේත් නැතහොත් පද්ධතිවලට බාධා කරමින්, අක්‍රිය කරමින් යකා නටති. මේ පද්ධති නැවත වරක් යථා තත්ත්වයට පත් කිරීමට පරිගණක ඉංජිනේරුවන්ට මුල සිට කටයුතු කිරීමට සිදු වේ.
මේ අනුව බලන විට පෙනී යන්නේ හැකර්වරුන් යනු මුහුදු කොල්ලකරුවන් හා සමාන පිරිසක් බවයි. ඔවුන් සිදු කරන්නේ අනීතික ක්‍රියාවලියකි. එහෙත් ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ඔවුන් ‘සරදියෙල්‘ පන්නයේ වීර ක්‍රියාවන්හි නිරත වී ඇති බවද අමතක කළ යුතු නොවේ. ඇතැම් විට අපේ රටේ සමාජ ජාලා භාවිත කරමින් අරගලයට දායක වන ඇතැම් දෙනා ඇනෝනිමස්ලාගෙන් උදව් ඉල්ලනට ඇත්තේද එබැවින් විය හැකිය.
මේ ‘ඇනෝනිමස්‘ ලා යනු ද එවැනිම මුහුදු මංකොල්ලකාර වර්ගයේ හැකර් කණ්ඩායමකි. මේ හැකර් කණ්ඩායම 2003 වසරේ සිට ක්‍රියාත්මක තලයේ පසුවේ. මේ කණ්ඩායමේ සාමාජිකයන් ලොව පුරා විසිරී සිටින අතර ඔවුන් ‘ඇනොන්ස්‘යන පොදු නාමයෙන්ද හැඳින්වේ. ඔවුන් ඇතැම් අවස්ථාවල ප්‍රසිද්ධියේ පෙනී සිටියදී තම සැබෑ මුහුණ හඳුනා ගැනීමෙන් වැළකීමට යෙදු වෙස් මුහුණ පසුකාලීනව ඔවුන්ගේ අනන්‍යතාව බවට පත් විය. මේ වෙස් මුහුණ ‘හිස රහිත මිනිසා‘ යනුවෙන්ද හඳුන්වයි. එමෙන්ම මේ කණ්ඩායමේ සාමාජිකයන් සමාජය ඇමතීමේදී තම හඬ වෙනස් කිරීමටද කටයුතු කරති. ඔවුන් තම අනන්‍යතාව දැඩි සේ සඟවා කටයුතු කරන අතර වරින්වර ඔවුන් විවිධ රටවල රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට, රාජ්‍ය ආයතන සහ සමාගම්වල වෙබ් අඩවිවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ඇමරිකානු රජයට අවස්ථා කිහිපයකදීම ඇනෝනිමස්ලාගේ හැකර් ප්රහාරයන්ට ලක් වීමට සිදු විය. මේ ප්‍රහාර කැපී පෙනෙන පරිදි සිදුවීම ආරම්භ වූයේ 2010න් පසුවය. ප්‍රථමයෙන්ම නොයෙක් ආයතනවල වෙබ් අඩවිවලට ප්‍රහාර එල්ල කර එනම් බලයෙන් ඇතුළු වී ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට ඇනොන්ස්ලා හෙවත් ඇනෝනිමස් සාමාජිකයෝ කටයුතු කළහ. මෙලෙස ආරම්භක අවදියේදී ඇනෝනිමස් සාමාජිකයන්ගේ ප්‍රහාරවලට ලක් වූ වෙබ් අඩවි අතර බ්‍රිතාන්‍ය සමාජ ශාලාවක් වූ මිනිස්ට්‍රි ඔෆ් සවුන්ඩ් හි වෙබ් අඩවිය, ඕස්ට්‍රේලියානු, ස්පාඤ්ඤ සහ ඇමරිකානු කර්තෘ හිමිකම් කාර්යාල යනාදිය දැක්විය හැකිය.
එහෙත් මේ හැකර්වරුන් ගැන මුළු ලෝකයම දැනුම්වත් වීමට ගත්තේ විකිලීක්ස් ක්‍රියාත්මක වීමෙන් පසුවය. විකිලීක්ස් මඟින් හැකර්වරුන් සිදු කර සිටියේ ලොව විවිධ රටවල රාජ්‍යයන් මෙන්ම ආයතන මඟින්ද සිදු කරන වංචා, දූෂණ සහ නිත්‍යනුකූල නොවන ක්‍රියා හෙළිදරව් කිරීමය. මේ විකිලීක්ස් ප්‍රහාරයෙන් වැඩිපුරම බැට කෑවේ ඇමරිකානු රාජ්‍ය යන්ත්රනයයි. විකිලීක්ස් වෙබ් අඩවියට ඇමරිකාව විසින් ඉරාක යුද්ධයට කළ මැදිහත්වීම් ඇතුළුව මහා පරිමාණ නිත්‍යනුකූල නොවන කටයුතු පිළිබඳ සිදු කළ හෙළිදරව් ලොවම කම්පනයට ලක් කිරිමට සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස විකිලීක්ස් වෙබ් අඩවියේ හිමිකරු ලෙස කටයුතු කළ ජුලියන් අසාන්ජ් සිර ගත වූයේය. එහෙත් ඒ වසර ගණනාවක් තිස්සේ ඇමරිකානු රජය දරන ලද උත්සාහයන් රැසක ප්‍රතිඵලය වශයෙනි. ඒ වන විට ජුලියන් අසාන්ජ් ඇතුළු පිරිස විසින් ඇමරිකා දේශපාලනඥයන් නිරුවත් කොට අවසන්ය.
යළිත් වරක් ඇනෝනිමස් හැකර්වරුන් ලෝකයේ අවධානයට පාත්‍ර වන්නේ ටියුනීසියාවට සිදු කළ මැදිහත්වීමත් සමඟිනි. ටියුනීසියාව යනු අරාබි වසන්තය හෙවත් දේදුණූ විප්ලවයේ ආරම්භය සිදුවූ රටයි. ටියුනීසියාවේ දීර්ඝකාලීන පාලකයා වූ බෙන් අලි සිදු කළ වංචා දූෂණවලට සහ රට අගාධයට දැමීමට එරෙහිව ජනතාව පෙරට පැමිණි අතර පාලකයන් සිදු කළ මුල්‍ය අක්‍රමිකතා සෙවීමේ දී හැකර්වරුන්ගේ සහයෝගයක් ටියුනීසියානු ජනතාවට අවශ්‍ය විය. එහිදී ටියුනීසියානු ජනතාවගේ සහයට පැමිණියේ ඇනෝනිමස් හැකර්වරුන්ය. එහිදී මේ හැකර්වරුන් ටියුනීසියානු රජයේ වෙබ් අඩවිවලට පිවිස ඒවා අවහිර කරමින් ඒවායේ දත්ත ලබාගෙන ජනතාවට ලබා දුන්හ. ඔවුන් ටියුනීසියානු අගමැතිවරයාගේ වෙබ් අඩවියට පිවිස එහි ඇනෝනිමස්වරුන්ගේ පණිවිඩයක් ඇතුළත් කළහ. එමෙන්ම පාලකයන්ට එරෙහිව ටියුනීසියානු ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ප්‍රචාරණ ව්‍යාපාර රජය විසින් අවහිර කරනු වැළැක්වීමට ද ඇනොනිමස් සාමාජිකයන් විසින් කටයුතු කරනු ලැබීය. මීට අමතරව බහරේනයේ, ජෝර්දානයේ, ඊජිප්තුවේ, ලිබියාවේ සහ සිම්බාබ්වේ හි රජයේ වෙබ් අඩවිවලට පිවිස ඒවායේ තොරතුරු ලබාගෙන ජනතාව අතට පත් කිරීමටද ඇනෝනිමස්වරු කටයුතු කළහ.
2012 වසරේදී ඇනෝනිමස්වරු චීන රජයේ වෙබ් අඩවි 485කට ප්‍රහාර එල්ල කරමින් එරට ජනතාවට බල කර සිටියේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය උදෙසා නැඟී සිටින ලෙසයි. එම වසරේදීම ඊශ්‍රායලයට එරෙහිව ගාසා තීරයේ යම් යම් සයිබර් තොරතුරු මුදා හැරීම් කිහිපයක්ද ඇනෝනිමස්වරු විසින් සිදු කර තිබිණි.
2013 වසරේදී ලොව පුරා ඇනෝනිමස්වරු නගර 400කදී මිලියන් මාස්ක් මාර්ච් නමින් එක් රැස් වූහ.
2020 වසරේදී ඇනෝනිමස්වරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය හැක් කරමින් එහි තායිවානය වෙනුවෙන් වෙබ් පිටුවක් නිර්මාණය කර සිටියේය. එහිදී ඔවුන් අරමුණු කර සිටියේ චීනයේ බලපෑමෙන් බැහැරව තායිවානය ස්වාධීන රටක් ලෙස නැඟී සිටීමේ සටනට සහයෝගය ලබා දීමයි. 2022 වසරේදී යුක්රේන - රුසියා සටන් ආරම්භ වීමත් සමඟ රුසියානු රජයේ රහස් සොයමින් සිටින බවද ඇනෝනිමස්වරු ප්‍රකාශ කර සිටියහ. එහිදී ඔවුහු රුසියානු රජයේ වෙබ් අඩවි රැසක් අවහිර කළ අතර බෙලෝරුසියාව සමඟ සිදු කළ අවි ගනුදෙනු රැසක තොරතුරුද හෙළිදරව් කළහ. රුසියානු රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකා රැසක්ම හැක් කරමින් ඒවායේ යුක්රේන ජාතික ගීය වාදනය කිරීමටද ඇනෝනිමස් හැකර්වරු කටයුතු කළහ.
මේ ඇනෝනිමස්වරුන්ගේ අතීත ක්‍රියාකාරකම්වලින් බිඳකි. අද වන විට මිනිස් ජීවිතයෙන් වැඩි ඉඩක් සයිබර් අවකාශය විසින් දිනාගෙන අවසන්ය. මිනිස් ජීවිතවල බොහෝ ඉසවු තීරණය කිරීමේ හැකියාවද සයිබර් අවකාශය විසින් ලබාගෙන අවසන්ය. එබැවින් සයිබර් අවකාශයේ වීරයන් සේම දුෂ්ටයන්ද බිහිවී අවසන්ය. මේ වීරයන් වරෙක දුෂ්ටයන්ද, දුෂ්ටයන් වරෙක වීරයන්ද වන්නේ ලෝක ස්වභාවය මොනවට ඔප්පු කරමිනි. එබැවින් ඇනෝනිමස්වරුන්ගේ හෙට දවසේ භූමිකාව කෙසේ වේ දැයි දන්නේ ඔවුන්ම පමණක් විය හැකිය.