අද බඳින ගොඩක් අය බැඳිලා නැහැ | සිළුමිණ

අද බඳින ගොඩක් අය බැඳිලා නැහැ

අද බොහෝ දෙනෙක් විවාහ වෙද්දි බලන්නෙ ගුණ ධර්ම ගැන නොවෙයි; පිට පොත්ත සහ මිල මුදල් ගැන පම­ණයි

විවාහ දිවි­යට ඇතු­ළත් වන සෑම ගැහැනු දරු­වකු ම ගෙදර සියලුදෙනා සමඟ සම­ගි­යෙන් ජීවත් වීමට තරම් දක්ෂ විය යුතුය

විවා­හයේ වග­කීම තමාට දැරී­මට පුළු­වන් නම් පම­ණක් කසාද බඳින්න

 

විවා­හය යනු ඇතැ­ම­කුට ඉතා මිහිරි අත්දැ­කී­මකි. තවෙ­ක­කුට අමි­හිරි සිහි­න­යකි. එමෙන් ම විවා­හය යනු ඉතා සුවි­ශේෂී සමාජ පැති­ක­ඩකි. මේ වන විටත් විවාහ දිවි­යට ඇතු­ළත් වී සිටින ඔබට මෙන් ම ඉදි­රියේ දී විවාහ ජීවි­ත­යට ඇතු­ළත් වීමට බලා­පො­රො­ත්තු­වෙන් සිටි­න්නන්ට ද වැද­ගත් වන තොර­තුරු මේ ලිපි මාලාව ඔස්සේ සිළු­මිණ රස­ඳුන වෙතින් ඔබ වෙතට ගෙන එන්නට අප සූදා­නම් ය. බෞද්ධ සංකල්ප ඇසු­රින් විවා­හය අරු­ත්බර ගන්වා ගන්නේ කෙසේද යන්න ගැන පූජ්‍ය, මහා­චාර්ය, පාතේ­ගම ඤාණි­ස්සර ස්වාමීන් වහන්සේ සමඟ කළ සාක­ච්ඡාව ඇසු­රෙන් පහත ලිපිය සැක­සිණි.

 

මුලින් ම විවා­හය යන සංක­ල්පය පිළි­බ­ඳව සවි­ස්ත­රා­ත්ම­කව අව­ධා­නය යොමු කිරීම වැද­ගත්ය. විවා­හය යනු අද­හ­ස්ව­ලින් වෙනස් දෙදෙ­නකු සහ හතර වරි­ග­යක ඥාතීන් එක්වන ඉතා සුවි­ශේෂී ජීවන කඩ­ඉ­මකි. එමෙන් ම විවා­හය, යම් දෙදෙ­නකු ලිංගික ජීවි­තය සඳහා නීති­මය වශ­යෙන් මෙන් ම සාමා­ජීය වශ­යෙන් ද අව­සර ගැනී­මක් ලෙස හඳුන්වා දිය හැකිය. බුදු දහ­මට අනුව විවාහ ජීවි­ත­යට ගැහැනු ළම­යකු හෝ පිරිමි ළම­යකු සූදා­නම් විය යුත්තේ වැඩි­වි­යට පත්වුණු දා සිට­මය. එමෙන් ම දෙමා­පි­යන් ඇතුළු අනෙ­කුත් වැඩි­හි­ටි­යන්, ඔවුන් ඒ සඳහා සූදා­නම් කර­විය යුතුය. නමුදු වර්ත­මා­නයේ දී සිදු­ව­නුයේ ඊට හාත්ප­සින් ම වෙනස් වූවකි. අද සැම­දෙනා සූදා­නම් වන්නේ විවාහ ජීවි­ත­යට නොව, විවාහ මංග­ලෝ­ත්ස­ව­යට පම­ණක් වීම කන­ගා­ටු­වට කරු­ණකි. යහ­පත් විවාහ ජීවි­ත­යක් ගත කිරී­මට සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම ශක්ති­මත් මන­ස­කින් යුක්ත විය යුතුය. විවා­හයේ දී එකි­නෙ­කාට වෙනස් අද­හස් තිබෙන දෙදෙ­නකු එක්ව ජීවත් වීම ආරම්භ කරන නිසා ම අද­හස් නොගැ­ළ­පීම, එකි­නෙ­කාගේ විවිධ පුරුදු නොගැ­ළ­පීම වැනි කරුණු නිසා විවිධ ගැටුම් ඇති­විය හැකිය. එවැනි අව­ස්ථා­ව­ලදී උපේක්ෂා සහ­ග­තව ඒ සඳහා මුහුණ දී, එම ගැටලු නිවැ­ර­දිව නිරා­ක­ර­ණය කර­ග­නි­මින් ඉදි­රි­යට යාම සඳහා බුදු දහම තුළ විස­ඳුම් හා පිළි­වෙත් ගණ­නා­වක් ඉදි­රි­පත් වී තිබේ. මේ නිසා ම බුදු දහ­මට අනු­ගත වී ජීවත් වන කෙන­කුට යහ­පත් විවාහ ජීවි­ත­යක් ගත කිරීම අප­හසු නොවන බව අව­ධා­ර­ණය කළ යුතුය.

"බුදු දහ­මට අනුව සිත ශක්ති­මත් කිරීමේ අභ්‍යා­සය තමයි සිව් බඹ විහ­ර­ණය. ඒක අපි සතර බ්‍රහ්ම විහ­රණ කිය­ලත් හඳු­න්ව­නවා. ඒ කියන්නෙ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා කියන ගුණාං­ගයි. මේ ගුණාංග සිත තුළ පුහුණු කළොත්, විවාහ ජීවි­තය ඉතා සතු­ටින් වගේ ම සාර්ථ­කව ගත කරන්න පුළු­වන්. මෙත්තා කියන්නෙ මෛත්‍රි­යයි. මෛත්‍රිය පුහුණු කරපු කෙන­කුට හිතේ සැහැ­ල්ලු­වෙන් වගේ ම හිතේ සතු­ටින් ජීවත් වෙන්න පුළු­වන්. ඒ වගේ ම කරු­ණාව පුහුණු කළ කෙන­කුට අනෙ­කාගේ මාන­සික ස්වභා­වය නිවැ­ර­දිව අව­බෝධ කර­ගෙන ඉතා සම­ගි­යෙන් ජීවත් වීමට හැකි­යාව ලැබෙ­නවා. මුදි­තාව කියන්නේ අනෙ­කාගේ සැපේදි, ජය­ග්‍ර­හ­ණ­ව­ලදි සතු­ටෙන් ඒක විඳ­දරා ගැනීමේ හැකි­යා­වයි. උපේ­ක්ෂාව පුහුණු කළ කෙන­කුට යම් සිදු­වී­මක් දෙස නිද­හස් මන­ස­කින් බැලී­මට පුළු­වන්. අද බොහෝ දෙනෙක් හැම දෙයක් දිහා ම බලන්නෙ සංස­න්ද­නා­ත්ම­ක­වයි. ඒ මාන­සි­ක­ත්ව­යෙන් මිදිල යම් සිදු­වී­මක් දිහා හුදෙ­ක­ලාව බැලීමේ හැකි­යාව උපේක්ෂා ගුණ­යෙන් වඩ­ව­නවා. මේ සිව් බඹ විහ­රණ සිත තුළ ගොඩ­නඟා ගන්නා කෙන­කුට ඕනෑ ම තැනක, ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහ­ද­ශී­ලිව, ආද­ර­යෙන් ජීවත් වීමේ හැකි­යාව තිබෙ­නවා. මේ නිසා ම විවාහ ජීවි­ත­යට ඇතු­ළත් වීමේ අර­මු­ණින් සිටින ඕනෑ ම කෙනෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ­යන් පුහුණු කළ යුතු­මයි"

බුදු දහ­මට අනුව බිරි­ය­කගේ භූමි­කාව ඉතා වැද­ගත්ය. ජය­මං­ගල ගාථා කියා, පෝරු­වට නැඟි පම­ණින් විවා­හ­යක් සාර්ථක නොවේ. විවාහ දිවි­යට ඇතු­ළත් වන සෑම ගැහැනු දරු­වකු ම, සියලු දෙනා සමඟ සම­ගි­යෙන් ජීවත් වීමට තරම් දක්ෂ විය යුතුය. තමන්ගේ මෙන් ම තම ස්වාමි පුරු­ෂ­යාගේ ද ඥාතීන් සමඟ, විශේ­ෂ­යෙන් ස්වාමි පුරු­ෂ­යාගේ දෙම­ව්පි­යන් සමඟ සුහ­ද­ශී­ලීව, සම­ගි­යෙන් ජීවත් වීමේ හැකි­යාව ඔවුන් සතු විය යුතු­මය. එමෙන් ම පවුල දියු­ණුව කරා ගෙන යාමට ඇයට ශක්තිය සහ හොඳ දැක්මක් තිබිය යුතුය. පවු­ලක බිරිය කම්මැළි නැති, කඩි­සර කෙනකු වීම අනි­වාර්ය ය. පවු­ලක් දියු­ණු­වෙන් දියු­ණුව කරා ගෙන යාමට හැකි වන්නේ එවි­ටය. පවුලේ ආර්ථි­කය කළ­ම­නා­ක­ර­ණය කළ යුත්තේ බිරි­යයි. කලින් සඳ­හන් කළ ගුණාංග නොමැති වුව­හොත් එම පවුල අග­ති­යට යාම වැළැ­ක්විය නොහැ­කිය. එම­නිසා ම පවු­ලක බිරිය සැම විට ම ඉව­සී­මෙන් කට­යුතු කළ­හොත් ජය­ග්‍ර­හ­ණය කරා යාමට ඉතා පහ­සුය.

පවුල් සංස්ථාව තුළ ස්වාමි පුරු­ෂ­යාගේ කාර්ය­භා­රය පිළි­බ­ඳව ද බුදු දහ­මට අනුව විමසා බැලීම වටී. පවු­ලක ප්‍රධා­න­තම චරි­තය වන්නේ ස්වාමි පුරු­ෂ­යායි. ඔහු නිර­න්ත­ර­යෙන් ම උට්ඨාන වීර්ය­යෙන් කට­යුතු කළ යුතුය. නිවසේ සියලු ම සාමා­ජි­ක­යන්ගේ අව­ශ්‍යතා සොයා බලා, ඒ වෙනු­වෙන් මුදල් ඉප­යීමේ වග­කීම මෙන් ම නිවසේ සහ නිවැ­සි­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීමේ වග­කීම පැවරී ඇත්තේ පුරු­ෂ­යා­ටයි. එයින් ම අපට පුරු­ෂ­යාට පවුල තුළ පැවරී ඇති වග­කීම පිළි­බ­ඳව අව­බෝධ කර­ගත හැකිය. මේ නිසා ම සාධා­රණ ලෙස මුදල් උපයා, අඹු­ද­රු­වන් පෝෂ­ණය කර­මින්, සුරා සූදු­වෙන් තොරව, යහ­පත් පවුල් ජීවි­ත­යක් ගත කිරීම සඳහා ස්වාමි­පු­රු­ෂයා නිර­න්ත­ර­යෙන් අව­ධා­නය යොමු කළ යුතුය. එමෙන් ම යහ­පත් ස්වාමි පුරු­ෂ­ය­කුට තම බිරි­යගේ ස්වභා­වය සහ සිතුම් පැතුම් පිළි­බ­ඳව හොඳ අව­බෝ­ධ­යක් තිබිය යුතුය. එසේ වුව­හොත් පවුල් ඒක­කය සතු­ටින් පිරුණු තැනක් බවට පත්වනු නොඅ­නු­මා­නය.

වර්ත­මා­නය වන විට විවාහ ආශ්‍රි­තව දක්නට ලැබෙන බොහෝ ගැට­ලු­වල දී දැඩි ලෙස අප­හ­සු­තා­වන්ට පත් වන්නේ, මාන­සික ව්‍යාකූ­ල­තා­වන්ට පත් වන්නේ කුඩා දරු­වන්ය. එම නිසා අප දරු­වන් පිළි­බ­ඳව මීට වඩා අව­ධා­නය යොමු කළ යුතුය. විවාහ ජීවි­ත­යක් යහ­පත්ව පව­ත්වා­ගෙන යන්නේ නම් දරු­වන් සැම­විට ම සතු­ටිනි. ඔබ හොඳින් ම අව­බෝධ කර­ගත යුතු කරු­ණක් වන්නේ දරු­වන් ඔබට අත­හැ­රුණු ඉලක්ක සම්පූර්ණ කළ යුතු පිරි­සක් නොවන බවයි. එනිසා දරු­වන්ට නිද­හසේ ඉගෙ­නී­මට ඉඩ සැල­සීම මෙන් ම ඔවුන්ට නිද­හසේ ජීවත් වීමට ඉඩ හැරීම ද ඉතා වැද­ගත්ය. අන­වශ්‍ය පීඩ­න­යක් එල්ල කර­මින්, දෙමා­පි­යන්ගේ ඉලක්ක දරු­වන් ලවා සපුරා ගැනී­මට යාම ඔවුන්ගේ ජීවිත කඩා බිඳ දැමී­මකි. දරු­වන්ට ආද­රය කිරීම, කරු­ණාව දැක්වීම මෙන් ම, ඔවුන්ට ස්වාධී­නව ගොඩ නැඟී­මට ඉඩ හැරිය යුතුය.

 

"උප­න්නාට මේ ලොව වැඩෙ­නවා විනා

ලෝ සිරි­තට අඹු දරු රකි­නවා විනා


කියල කිය­ම­නක් තිබෙ­නවා. අද බඳින ගොඩක් අය බැඳිල නැහැ. ඒ නිසා තමයි දික්ක­සාද වැඩි. මොකද විවා­හය කියන්නෙ තමාට අවශ්‍ය නම් පම­ණක් කර ගත යුතු දෙයක් මිස ගෙදර අම්මලා තාත්ත­ලාට, නෑදෑ­යන්ට, සමා­ජ­යට අවශ්‍ය නිසා කර­ගත යුත්තක් නොවෙයි. ඒ වග­කීම තමාට දැරී­මට පුළු­වන් නම් පම­ණක් කසාද බඳින්න ඕන.
අද ගොඩක් දෙනෙක් විවා­හයේ නියම අර්ථය හෝ වග­කීම හරි­යට තේරුම් අර­ගෙන නැහැ කිය­ලයි මම හිතන්නෙ. වර්ත­මා­නයේ සිදු­වෙන බහු­ත­ර­යක් දික්ක­සා­ද­ව­ලට හේතුව දිහා බලද්දි බොහෝ විට එය ඉතා සුළු හේතු­වක්. ගැට­ලුව කතා කරල විස­ඳ­ගන්න පුළු­වන් වුණත්, ඉව­සී­මක් නැති­කම නිසා ම ඒ පොඩි ගැට­ලුව දික්ක­සා­දය දක්වා වර්ධ­නය වෙන අවස්ථා ඕනෑ තරම්. අද බොහෝ දෙනෙක් පන්ස­ලෙන් ඈත් වීම මේ සඳහා ප්‍රධාන වශ­යෙන් බල­පාල තිබෙ­නව. පන්සලේ හාමු­දු­රු­වොන්ට විවාහ ජීවි­තය ගැන අත්දැ­කීම් නැති වුණත්, ඒ සම්බන්ධ ගැට­ලු­වල දී බුදු දහම ඇසු­රෙන් හොඳ විස­ඳුම් ලබා­දීමේ හැකි­යාව උන්ව­හ­න්සේට තිබෙ­නවා.
නමුත් අද දරුවො පන්ස­ලෙන් ඈත් වීම නිසා ඔවුන්ට මේ දේවල් කියල දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා මට මේ රටේ තරුණ දරු­වන්ට කියන්න තියෙන්නෙ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහ­රණ පුරුදු පුහුණු කරන්න. ඉව­සීම නිතර ම ප්‍රගුණ කරන්න. ඒ වගේ ම තමන්ට අවශ්‍ය නම් පම­ණක්, වග­කීම් දරන්න පුළු­වන් නම් පම­ණක් විවාහ වෙන්න. එවිට ඔබට ඉතා යහ­පත් වගේ ම සතු­ටු­දා­යක ජීවි­ත­යක් ගත කිරී­මට පුළු­වන් වේවි." යනු­වෙන් පාතේ­ගම හිමියෝ සාක­ච්ඡාව අව­සන් කර­මින් වදා­ළහ.

Comments