
අද බොහෝ දෙනෙක් විවාහ වෙද්දි බලන්නෙ ගුණ ධර්ම ගැන නොවෙයි; පිට පොත්ත සහ මිල මුදල් ගැන පමණයි
විවාහ දිවියට ඇතුළත් වන සෑම ගැහැනු දරුවකු ම ගෙදර සියලුදෙනා සමඟ සමගියෙන් ජීවත් වීමට තරම් දක්ෂ විය යුතුය
විවාහයේ වගකීම තමාට දැරීමට පුළුවන් නම් පමණක් කසාද බඳින්න
විවාහය යනු ඇතැමකුට ඉතා මිහිරි අත්දැකීමකි. තවෙකකුට අමිහිරි සිහිනයකි. එමෙන් ම විවාහය යනු ඉතා සුවිශේෂී සමාජ පැතිකඩකි. මේ වන විටත් විවාහ දිවියට ඇතුළත් වී සිටින ඔබට මෙන් ම ඉදිරියේ දී විවාහ ජීවිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට ද වැදගත් වන තොරතුරු මේ ලිපි මාලාව ඔස්සේ සිළුමිණ රසඳුන වෙතින් ඔබ වෙතට ගෙන එන්නට අප සූදානම් ය. බෞද්ධ සංකල්ප ඇසුරින් විවාහය අරුත්බර ගන්වා ගන්නේ කෙසේද යන්න ගැන පූජ්‍ය, මහාචාර්ය, පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් පහත ලිපිය සැකසිණි.
මුලින් ම විවාහය යන සංකල්පය පිළිබඳව සවිස්තරාත්මකව අවධානය යොමු කිරීම වැදගත්ය. විවාහය යනු අදහස්වලින් වෙනස් දෙදෙනකු සහ හතර වරිගයක ඥාතීන් එක්වන ඉතා සුවිශේෂී ජීවන කඩඉමකි. එමෙන් ම විවාහය, යම් දෙදෙනකු ලිංගික ජීවිතය සඳහා නීතිමය වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද අවසර ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. බුදු දහමට අනුව විවාහ ජීවිතයට ගැහැනු ළමයකු හෝ පිරිමි ළමයකු සූදානම් විය යුත්තේ වැඩිවියට පත්වුණු දා සිටමය. එමෙන් ම දෙමාපියන් ඇතුළු අනෙකුත් වැඩිහිටියන්, ඔවුන් ඒ සඳහා සූදානම් කරවිය යුතුය. නමුදු වර්තමානයේ දී සිදුවනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූවකි. අද සැමදෙනා සූදානම් වන්නේ විවාහ ජීවිතයට නොව, විවාහ මංගලෝත්සවයට පමණක් වීම කනගාටුවට කරුණකි. යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම ශක්තිමත් මනසකින් යුක්ත විය යුතුය. විවාහයේ දී එකිනෙකාට වෙනස් අදහස් තිබෙන දෙදෙනකු එක්ව ජීවත් වීම ආරම්භ කරන නිසා ම අදහස් නොගැළපීම, එකිනෙකාගේ විවිධ පුරුදු නොගැළපීම වැනි කරුණු නිසා විවිධ ගැටුම් ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවලදී උපේක්ෂා සහගතව ඒ සඳහා මුහුණ දී, එම ගැටලු නිවැරදිව නිරාකරණය කරගනිමින් ඉදිරියට යාම සඳහා බුදු දහම තුළ විසඳුම් හා පිළිවෙත් ගණනාවක් ඉදිරිපත් වී තිබේ. මේ නිසා ම බුදු දහමට අනුගත වී ජීවත් වන කෙනකුට යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම අපහසු නොවන බව අවධාරණය කළ යුතුය.
"බුදු දහමට අනුව සිත ශක්තිමත් කිරීමේ අභ්‍යාසය තමයි සිව් බඹ විහරණය. ඒක අපි සතර බ්‍රහ්ම විහරණ කියලත් හඳුන්වනවා. ඒ කියන්නෙ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා කියන ගුණාංගයි. මේ ගුණාංග සිත තුළ පුහුණු කළොත්, විවාහ ජීවිතය ඉතා සතුටින් වගේ ම සාර්ථකව ගත කරන්න පුළුවන්. මෙත්තා කියන්නෙ මෛත්‍රියයි. මෛත්‍රිය පුහුණු කරපු කෙනකුට හිතේ සැහැල්ලුවෙන් වගේ ම හිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ ම කරුණාව පුහුණු කළ කෙනකුට අනෙකාගේ මානසික ස්වභාවය නිවැරදිව අවබෝධ කරගෙන ඉතා සමගියෙන් ජීවත් වීමට හැකියාව ලැබෙනවා. මුදිතාව කියන්නේ අනෙකාගේ සැපේදි, ජයග්‍රහණවලදි සතුටෙන් ඒක විඳදරා ගැනීමේ හැකියාවයි. උපේක්ෂාව පුහුණු කළ කෙනකුට යම් සිදුවීමක් දෙස නිදහස් මනසකින් බැලීමට පුළුවන්. අද බොහෝ දෙනෙක් හැම දෙයක් දිහා ම බලන්නෙ සංසන්දනාත්මකවයි. ඒ මානසිකත්වයෙන් මිදිල යම් සිදුවීමක් දිහා හුදෙකලාව බැලීමේ හැකියාව උපේක්ෂා ගුණයෙන් වඩවනවා. මේ සිව් බඹ විහරණ සිත තුළ ගොඩනඟා ගන්නා කෙනකුට ඕනෑ ම තැනක, ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදශීලිව, ආදරයෙන් ජීවත් වීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ම විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අරමුණින් සිටින ඕනෑ ම කෙනෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන් පුහුණු කළ යුතුමයි"
බුදු දහමට අනුව බිරියකගේ භූමිකාව ඉතා වැදගත්ය. ජයමංගල ගාථා කියා, පෝරුවට නැඟි පමණින් විවාහයක් සාර්ථක නොවේ. විවාහ දිවියට ඇතුළත් වන සෑම ගැහැනු දරුවකු ම, සියලු දෙනා සමඟ සමගියෙන් ජීවත් වීමට තරම් දක්ෂ විය යුතුය. තමන්ගේ මෙන් ම තම ස්වාමි පුරුෂයාගේ ද ඥාතීන් සමඟ, විශේෂයෙන් ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් සමඟ සුහදශීලීව, සමගියෙන් ජීවත් වීමේ හැකියාව ඔවුන් සතු විය යුතුමය. එමෙන් ම පවුල දියුණුව කරා ගෙන යාමට ඇයට ශක්තිය සහ හොඳ දැක්මක් තිබිය යුතුය. පවුලක බිරිය කම්මැළි නැති, කඩිසර කෙනකු වීම අනිවාර්ය ය. පවුලක් දියුණුවෙන් දියුණුව කරා ගෙන යාමට හැකි වන්නේ එවිටය. පවුලේ ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ බිරියයි. කලින් සඳහන් කළ ගුණාංග නොමැති වුවහොත් එම පවුල අගතියට යාම වැළැක්විය නොහැකිය. එමනිසා ම පවුලක බිරිය සැම විට ම ඉවසීමෙන් කටයුතු කළහොත් ජයග්‍රහණය කරා යාමට ඉතා පහසුය.
පවුල් සංස්ථාව තුළ ස්වාමි පුරුෂයාගේ කාර්යභාරය පිළිබඳව ද බුදු දහමට අනුව විමසා බැලීම වටී. පවුලක ප්‍රධානතම චරිතය වන්නේ ස්වාමි පුරුෂයායි. ඔහු නිරන්තරයෙන් ම උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ යුතුය. නිවසේ සියලු ම සාමාජිකයන්ගේ අවශ්‍යතා සොයා බලා, ඒ වෙනුවෙන් මුදල් ඉපයීමේ වගකීම මෙන් ම නිවසේ සහ නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ පුරුෂයාටයි. එයින් ම අපට පුරුෂයාට පවුල තුළ පැවරී ඇති වගකීම පිළිබඳව අවබෝධ කරගත හැකිය. මේ නිසා ම සාධාරණ ලෙස මුදල් උපයා, අඹුදරුවන් පෝෂණය කරමින්, සුරා සූදුවෙන් තොරව, යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා ස්වාමිපුරුෂයා නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. එමෙන් ම යහපත් ස්වාමි පුරුෂයකුට තම බිරියගේ ස්වභාවය සහ සිතුම් පැතුම් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. එසේ වුවහොත් පවුල් ඒකකය සතුටින් පිරුණු තැනක් බවට පත්වනු නොඅනුමානය.
වර්තමානය වන විට විවාහ ආශ්‍රිතව දක්නට ලැබෙන බොහෝ ගැටලුවල දී දැඩි ලෙස අපහසුතාවන්ට පත් වන්නේ, මානසික ව්‍යාකූලතාවන්ට පත් වන්නේ කුඩා දරුවන්ය. එම නිසා අප දරුවන් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුය. විවාහ ජීවිතයක් යහපත්ව පවත්වාගෙන යන්නේ නම් දරුවන් සැමවිට ම සතුටිනි. ඔබ හොඳින් ම අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ දරුවන් ඔබට අතහැරුණු ඉලක්ක සම්පූර්ණ කළ යුතු පිරිසක් නොවන බවයි. එනිසා දරුවන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ සැලසීම මෙන් ම ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරීම ද ඉතා වැදගත්ය. අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින්, දෙමාපියන්ගේ ඉලක්ක දරුවන් ලවා සපුරා ගැනීමට යාම ඔවුන්ගේ ජීවිත කඩා බිඳ දැමීමකි. දරුවන්ට ආදරය කිරීම, කරුණාව දැක්වීම මෙන් ම, ඔවුන්ට ස්වාධීනව ගොඩ නැඟීමට ඉඩ හැරිය යුතුය.
"උපන්නාට මේ ලොව වැඩෙනවා විනා
ලෝ සිරිතට අඹු දරු රකිනවා විනා
කියල කියමනක් තිබෙනවා. අද බඳින ගොඩක් අය බැඳිල නැහැ. ඒ නිසා තමයි දික්කසාද වැඩි. මොකද විවාහය කියන්නෙ තමාට අවශ්‍ය නම් පමණක් කර ගත යුතු දෙයක් මිස ගෙදර අම්මලා තාත්තලාට, නෑදෑයන්ට, සමාජයට අවශ්‍ය නිසා කරගත යුත්තක් නොවෙයි. ඒ වගකීම තමාට දැරීමට පුළුවන් නම් පමණක් කසාද බඳින්න ඕන.
අද ගොඩක් දෙනෙක් විවාහයේ නියම අර්ථය හෝ වගකීම හරියට තේරුම් අරගෙන නැහැ කියලයි මම හිතන්නෙ. වර්තමානයේ සිදුවෙන බහුතරයක් දික්කසාදවලට හේතුව දිහා බලද්දි බොහෝ විට එය ඉතා සුළු හේතුවක්. ගැටලුව කතා කරල විසඳගන්න පුළුවන් වුණත්, ඉවසීමක් නැතිකම නිසා ම ඒ පොඩි ගැටලුව දික්කසාදය දක්වා වර්ධනය වෙන අවස්ථා ඕනෑ තරම්. අද බොහෝ දෙනෙක් පන්සලෙන් ඈත් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාල තිබෙනව. පන්සලේ හාමුදුරුවොන්ට විවාහ ජීවිතය ගැන අත්දැකීම් නැති වුණත්, ඒ සම්බන්ධ ගැටලුවල දී බුදු දහම ඇසුරෙන් හොඳ විසඳුම් ලබාදීමේ හැකියාව උන්වහන්සේට තිබෙනවා.
නමුත් අද දරුවො පන්සලෙන් ඈත් වීම නිසා ඔවුන්ට මේ දේවල් කියල දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා මට මේ රටේ තරුණ දරුවන්ට කියන්න තියෙන්නෙ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරන්න. ඉවසීම නිතර ම ප්‍රගුණ කරන්න. ඒ වගේ ම තමන්ට අවශ්‍ය නම් පමණක්, වගකීම් දරන්න පුළුවන් නම් පමණක් විවාහ වෙන්න. එවිට ඔබට ඉතා යහපත් වගේ ම සතුටුදායක ජීවිතයක් ගත කිරීමට පුළුවන් වේවි." යනුවෙන් පාතේගම හිමියෝ සාකච්ඡාව අවසන් කරමින් වදාළහ.