පාල්සාමීගේ ලෝකය | Page 2 | සිළුමිණ

පාල්සාමීගේ ලෝකය

කෝසල තිලකරත්න

කැලණියේ පන්සල ට මඳක් එපිට ට වෙන්ඩ බඩහැල ගොඩේ මායිමේ සුන්දර වෙල් එළියක් අද්දර ගමේ එකම වළං මඩුව පිහිටල තිබුණ. එක් විශාල මඩුවකුත් වළං පුච්චන පෝරණුවකුත්, හොඳින් ඉර එලිය වැටෙන විවෘත ලොකු මිදුලකුත් එයට අයත් වුණා.

ඉඩමේ කොනක හොඳින් සෙවණ දෙන ලෙස වැවී තිබුණු පිහිඹියා ගස පැත්තට වෙන්ඩ තියන කොටස එහි නිත්‍ය පදංචි කරුවන් සඳහා වූ අතර කෑලි ගණනට වළං තලන බඩහැල ගොඩේ ගැහැනුන් මිදුලට කිට්ටු කොටසේ වැඩ කෙරුවා.

අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරාම හවස් වෙනකම්ම වෙහෙස වී වැඩ කරන මේ කඩිසර මිනිසුන්ගේ නායකයා වන පෙරි අයියා ඇඳිරි වැටෙනකම්ම වැඩ කරනවා. වැඩ ඇරිල ඇඟපත හෝදගෙන වාසුගී අම්මා ගේ බත ඉදෙනකම් ඔහු වෙල අද්දර කොට්ටං ගහ මුල ඇන තියාගෙන වෙලෙන් එහා වන රොදේ නෙල්සන් පෙරල ගෙනත් දෙන ‘අවුෂදේ’ මවන සුරපුරයෙ ගිලෙමින් බීඩියක් උරනව.

වාසුගී අම්මා දඩි බිඩි ගාල බත ලෑස්ති කරන්නේ පමා වෙන්ඩ වෙන්ඩ පෙරි අයියා පාලනයෙන් ගිලිහී යන බව දන්න නිසා.

උදේ පාන්දරම මුළු මඬුවටම සුවඳ දුම් අල්ලා මහා හඬින් සිව දෙවියන් වෙනුවෙන් ස්තෝත්‍ර කියන ඔහුගේ නඩය උන්ගේ පරපුරේ එක්තරා මට්ටමක උසස් ගෝත්‍රයකට උරුම කියනව ඒ මඩුවේ විසුවන් අතර මොන ප්‍රශ්නයක් ඇති වුණත් අවසන් තීරණය සර්ව බලධාරී පෙරි අයිය සතු වුණා. ඔහු ගේ තීරණයට

පිටින් කිසිවෙක් කිසිවක් කෙරුවේ නැහැ.

පෙරි අයියාට දාව වාසුගී අම්මා දරුවන් නම දෙනෙක් වැදුවත් උණ සන්නිපාතය කක්කල් කැස්ස වලිප්පුව වගේ දේවල් ඉන් හතර දෙනෙක් ම ගිල ගත්ත. ඉතිරි වුවන් ගෙන් පෘෂ්ටිමත් මිටි සිරුරක් සහ අසාමාන්‍ය සුදු දත් දෙපළක් සහිත මඳක් වපර දෑසින් අහිංසක ලෙස හිනැහෙන ‘පාල්සාමි’ වාසුගී අම්මා ගේ ප්‍රාණය වුණා.

ඇයගේ දරුවන් තනන ක්‍රියාදාමය ක්‍රියා විරහිත කර පැමිණි පාල්සාමි පවුලේ බඩ පිස්සා ට හිමි වරප්‍රසාදයන් නිරතුරුව ම අත් වින්ද. ඔක්කොටම ඇති වෙන්ඩ බෙදන්ඩ මදිවන පරිප්පු හොද්ද, සාම්බාරුව, ගොඩහොද්ද වගේ දේවල් විතරක් නෙමෙයි ඉඳල හිටල පිඟානට එන මාළු කෑල්ලක් බිත්තරයක් වගේ දෙවල් අනිත් අයට කොහොම වෙතත් පාල්සාමි ට නම් වැරදුණේ නැහැ.

වාසුගී අම්මාගේ මේ අසීමිත දාරක ප්‍රේමය නිසා ම පාල්සාමි වළං මඩුවේ අන් අයට වැඩිය හොඳින් හැදී වැඩී කැපී පෙනුණා.

පෙරි අයියාට වැඳල වැඳලා වික්ටරි බේකරිය ළඟ තියෙන ටේලර් සාප්පුවේ එක ඇහක් කන ටේලර්ගෙන් නිල් කොට කලිසමකුයි සුදු කමිසෙකුයි මහල දීල මුළු වළං මඩුවෙන් ම පාල්සාමිව පමණක් වාසුගී අම්මා ඉස්කෝලෙකට යැවුවා.

නුංගමුගොඩ රජයෙ පාසැලේ කරුණාවන්ත මුල් ගුරුවරයාට පිං සිදු වෙන්ඩ ලිපි ලේඛන වල අඩු පාඩු කීපයක් තිබිලත් පාල්සාමි සිංහල හෝඩියේ පංතියට ඇතුළු වුණා.

තම වයසේ ම සිංහල දරුවන් හා එක්වීමට තියෙන අහිංසක ආශාව සහ රසම රස සීනි බනිස් ගෙඩියට තියෙන පෙරේතකම නිසා ඔහු හැමදා ම හෝඩියෙ පංතියට ගියා. පළවෙනි පේලියේ ම ඉඳ ගත්ත ඔහු තුන්වනි පංතිය වෙකොට ඉඳගෙන හිටියෙ පංතියේ අන්ති ම පේළියේ කොනේම පුටුවෙ. ඒ වෙකොට අකුරු කරනය තමාට කල නොහැකි වික්‍රමයක් බව ඔහු දැන සිටියා.

එදත් වෙනද වගේම පාල්සාමි ඉස්කෝලෙ ගියා. ඇතුළට යන්නෙ නැතුව ගේට්ටුව ළඟ ටිකක් වෙලා බලන් හිටියා. ආපහු මඩුවට ඇවිල්ල සරං කොටේ ඇඳ ගත්තා. අඹරාදි නැන්දා වැඩ කරන අතන් මැටි පුරවල තිබුණු සකපෝරුව කරකවන්ඩ ගත්තා.

හිටි අඩියෙ ම ඒ අසලට පැමිණ ඔහු දෙස රවා බලන අප්පා ගේ ඊළඟ පිම්මට සූදානමින් පාල්සාමි බිමබලා ගෙන සකපෝරුව කරකවගෙන කරකවගෙන ගියා. කන හරහා වදින පහරින් විසිවන තරු ගනින්ඩ සූදානම් වුණා.

නැහැ. ඒත් මුකුත් වුණේ නැහැ.

හිමීට ඇස් උස්සා බලද්දී අප්පා අතින් පිලිස්සීමට සදානම් වෙන පෝරණුවට දර දමමින් හිටියා. එදයින් පසු යළි කිසි දවසක පාල්සාමි එක අහැක් කන ටේලර්ගෙන් මහ ගත්තු ඇඳුම් වලට අත තිබ්බේ නැහැ.

කලක් යනකොට නිත්‍ය පඩියක් කියල දෙයක් නැති උනත් අප්පා ඔහුට මුදල් ටිකක් දෙන සිරිතක් ඇති උනා-

එසේ ලැබුණු මුදිලින් සත විස්සක් දීල පො ය දාට පන්සල ළඟට එන වෙළන්දෙක් ගෙන් ලස්සන මල් රටා කොටල තියෙන ලොකු කැටයක් මිලදී ගත්ත.

එළිමහන් මිදුල අද්දර ට වෙන්ඩ මඩුවේ බිත්තිය අයිනෙ ම පරාල කෑලි දෙකක් උඩින් ලෑල්ලක් දාල” ඒ මතට පන් පැදුරක් එළල ඔහු සිය ‘සුව යහන’ තනා ගෙන තිබුණා. හිස තියන පැත්තට මදක් එපිටින් මැටි පෙළොවෙ හාර ගත්ත වලක ඔහු කැටය පරිස්සම් කර ගත්තා.

ලැබෙන ලැබෙන හැටියටල පුළුවන් විදිහට ඔහු ඒකට සල්ලි දැම්මා.

ඒ ආර්ථික අසමානකම් මිසක් ජාතීන් අතර ඇනකොටා ගැනීම් වලින් තොරවූ, ඒ හැටි ජනාකීර්ණ නොවුණු පිරිසිඳු වට පිටාවකින් යුත් එක්තරා සෞභාග්‍යමත් කාලයක්. හාල් සලාකය නොමිලේ ලැබුණා. කාල සටහනකට බස් කොච්චි ධාවනය වුණා. කුලියක් මලියක් කරල ජීවිතේ ගැට ගහ ගන්ඩ කෙනෙක්ට පුළුවන් කමක් තිබුණ.

කරත්ත පුරා අත් මැටි වළං මඩුවට ආව. කරත්ත පුරා නැවුම් වළං මඩුවෙන් පිට වුණා. නිරෝගී ප්‍රීතිමත් දරුවෙකු වූ පාල්සාමි ගේ 14 වෙනි උපන් දිනය පැමිනුණා.

එදා උදේ පෙරි අයියා ස්තෝත්‍ර කියල ඉවර වෙනකුට ම පල්සාමි නැගිට්ට- බාගයකට පොඩ්ඩක් වැඩිය පිරිල තිබුණු කැටේ ගෙඩ අරගෙන මිදුලේ කොනකට ගිහින් බිඳල සීරුවට සල්ලි ගනින්ඩ ගත්තා.

ඔලුව අවුල් වන තරමේ ප්‍රීතියක් ඇති වුණා. උඩ පැනල නටන්ඩ හිතුණා. මේ තරම් කාසි ගොඩක්. පරණ සරං කෑල්ලකින් ඉරා ගත් රෙදි පටියක රුපියල් දහයක් වෙනම ගැට ගහල ඉතුරු සල්ලි තවත් රෙදි පටියක ගැට ගහල ඉවර වෙනකොට ම අම්ම ආවා. රුපියල් දහයේ කාසි මිටිය පරිස්සම ට අම්මා අතට දුන් ඔහු ඉතිරිය ඉනේ ගසා ගත්තා.

‘කෝවිල් ගිහිල්ල සාමිට දානව’

ප්‍රශ්නාර්ථය පිරී බැල්මකින් ඔහු දෙස බලා සිටින අම්මා හට පෑවසුවා.

‘ෂරි’

සිය පුත්‍රයාගේ කෝවිල් ගමනට වාසුගී අම්මා ගේ පූර්ණ අවසරය ලැබුණා.

ලොකු අඟුරු කෑල්ලක් හපල හොඳට දත මැදල” කෝවිලට අඳින සුදු සරමයි දීපවාලී එකට මහපු රතු කමිසෙයි ඇඳල හොඳ ගමනක් යනකොට විතරන් දාන අප්ප ගේ බාට දෙකත් දාගෙන පාල්සාමි ගමනට ලෑස්ති වුණා. සකපෝරුව ළඟ තියෙන බල්දියෙන් තෙමා ගත් ඇඟිලි වලින් දිගු කොන්ඩය පස්සට වෙන්ඩ තද කරල පීරගත්තා.

එක රුපියලේ කාසියක් උඩ සාක්කුවේ දාගෙන ඉතුරුවා ඉනේ ගහගෙන කැදැල්ලෙන් පිටව පියඹා යන කුරුලු පැටවකු සේ විසිල් එකක් ගහගෙන ඔහු පාරට ආවා.

මරදාන ඉස්ටේසමෙන් බැහැල ‘කැප්ටන් ගාඩන්’ කෝවිල ට පයින්ම ගියා. සත දහයක් කැටයට දාල කෝවිල වටේ ඇවිද්දා. දෙවියන් ගෙන් ඉල්ලන්ඩ තරම් දෙයක් ඔහුට තිබුණේ නැතත් කෝවිලටත් ඒ අවට වට පිටාවටත් ඔහු කවදත් කැමති ය.

වැඩියෙන් සෙනග නොසිටිය ඒ උදයේ මුළු කෝවිල් පරිසරය ම සුවදායක වුණා. කාල වර්ණ නළල් තලයේ යහමින් විභූති තවර ගෙනල ඉන්න තරම් දෙවිවරු ඔක්කොටම වැඳල ඔහු ගෙදර එන්ඩ පිටත වුණා.

‘මලර් කැෆේ’ එකෙන් ප්ලේන්ටියක් ගහල රාජ බීඩියක් පත්තු කරගෙන පුරුදු කාරයෙක් වගේ පුෆ් පුෆ් ගාල එහාට මෙහාට පිඹ පිඹ ඔහු ඉස්ටේසම ළඟට ම ආවා.

‘ගෙදර යනඩ බෑ වගේ‘.

බස් එකේ යනව කියල හිතාගෙන පයින්ම ටෙක්නිකල් හන්දිය පැත්තට යන්ඩ ගත්තා එහෙම යනකොට දකුණු

අත පැත්තෙ මහ විශාල බෝඩ් එකක සිවාජි ගනේශන් ලස්සන ගෑනියෙකු ගේ කර වටේ අත දාගෙන හිටියා. පාල්සාමි සෙන්ට්‍රල් පිච්චර් හෝල් එකේ දහයෙ ෂෝ එකට රැස්වෙලා ඉන්න සෙනඟ ළඟට කිට්ටු වුණා.

‘තව පුදල්වන්’

කොල්ල සිවාජි. කෙල්ල කේ ආර්. විජය. සිංදු හතරයි. පයිට් පහයි. ඔහු දෙපාරක් නොහිතාම සත 55 හේ පෝලිම ට එකතු වුණා.

අම්මෝ කෙල්ලගෙ ලස්සන. අන්තිම පයිට් එකේ කොල්ල හතර දෙනෙකුට වැටෙන්ඩ ගහනවා. ඒ මෝහනීය දෙපැය පාල්සාමි ව වලං මඩුවෙන් බොහෝ ඈතට අරං ගියා.

දවල් දොළහට පායන කට්ට අව්වට ඇස් හුරු වෙන්ඩ දෙතුන් පාරක් ඇහි පිය ගහල ඔහු පයින් ම ආමර් වීදිය පැත්තට ඇවිද ගියා. ‘අම්බාල් කැෆේ’ එකට රිංගල බඩ පිරෙන්ඩ තෝසෙ කාල ගෙදර යන්ඩ හිතාගෙන එළියට බැස්සා. ඊට ටිකක් එහාට වෙන්ඩ මහ පත බෝඩ් එක්කල රතු වහලෙ ඇරපු කාර් එකක ඉඳගෙන අත වනන ඇම්. ජී. ආර්ව දැක්කේ එතකොටයි.

‘කැපිටෝල්’ පිච්චර් හෝල් එකේ දෙකේ ශෝ එකට සෙනඟ ඇදෙන්ඩ පටන් අරගෙන.

‘උලගම් සුට්ටුරම් වාලිගම්’

කොල්ල ඇම්. ජී. ආර් කෙල්ල ජයලලිත. ජෝකර් නම්බියාර්. ප්ලේන් වලයි, නැවු වලයි පයිට් තියෙනවලු.

සිංදුත් ගොඩයිලු. ලෝකෙ වටේම පිචර් අල්ලලු.

ටිකක් වෙලා කැරකි කැරකි ඉඳල ඉනේ ගයල තියන සල්ලි වලින් තවත් රුපියලක් උඩ සාක්කුවේ දාගෙන පාල්සාමි කෑකෝ ගහමින් කලහ කර ගන්නා කොල්ලන් ගෙන් පිරි ගැළරි පෝලිම ට එකතු වුණා.

ෂෝ එක ඉවරවෙලා ඔහු එළියට ආවෙ තනියම නෙමෙයි. එහා සීට් එකේ ඉඳගෙන හිටිය ගනේශ් එක්ක.

අලුත් යාළුවෝ දෙන්නා මරදාන පැත්තට ඇවිදගෙන ගිහින් ක්‍රවුන් පිච්චර් හෝල් එක ළඟ තියෙන පෙට්ටි කඩෙන් මස්කට් කෑලක් දෙකට කඩාගෙන කාලා ප්ලේන ටී දෙකක් බ්ව්වා. අලුත්ම දෙකේ කොළයකින් ගනේෂ් සල්ලි ගෙව්වා.

කොළඹ කාල වතුර බීල ඉන්න ගනේශ් ගේ වික්‍රමාන්විත කථා පාල්සාමි ට අදහ ගන්ඩත් බැරි වුණා. අමුතුම ඌරුවකින් දෙමළ බස හසුරුවන ගනේශ් ගේ සාක්කු සල්ලි වලින් පිරී තිබුණා.

‘තව ටිකකින් මේකෙ හයේ ශෝ එක පටන් ගන්නව’ ඔහු ක්‍රවුන් එක පෙන්නල කියවා

‘මේක ඇඩම්ස් ඔන්ලි. මම දෙපාරක් බැළුවා. දැන් ආයිත් බලනවා. උඹත් වරෙන්. මම ටිකට් ගන්නම්’

කොහොමටත් එකඟ නොවෙන්ඩ තීරණය වුණු මේ යෝජනවා ගනේශ් ගේ ඊළඟ වර්ණනාවෙන් වෙනස් වුණා.

‘කෙල්ල සරෝජ දේවි. අම්මෝ....ඒකිගේ ලස්සන....

ඒ ආනන්දජනක ජවනිකා ගනේශ් විස්තර කෙරුවෙ හරියට ඇස් දෙකෙන් දැක්ක වගේ.

අපොයි දෙවියනේ සරෝජා දේවි අහිංසක පාල්සාමි ට කරපු දෙයක්.

විසේකාර කාමුක ගැහැනියක ගේ චරිතයක් නිරුපණය කළ ඒ සුකුමාල නිළිය පාල්සාමි තුළ තද නිද්‍රවක ගැලී උන් සිය ශෘංගාරාත්මක ආශාවන් අවදි කර ගිනි දැල් කොල්ල කවුද? පයිට් කීයද කියන එක වැදගත වුණේ නැහැ.

ඇය සිනිදු කොට ගවුමක් වගේ එකක් ඇඳගෙන දිය නාන දර්ශනයක පාල්සාමි ගේ හද අභ්‍යන්තරයෙ ගාල් කර තිබුණු වල් අශ්වයා ඉස්තාලය කඩා ගෙන දුවන්ඩ ගත්ත.

නමය ට පිටකොටුවෙන් පිටත් වෙන අන්ති ම බස් එකෙන් කැලණිය හන්දියෙන් බහින කොටත් ‘සරෝජා දේවී’ ඇර වෙන කිසිවක් ඔහු ගේ සිතුවිලි පද්ධතියෙ තිබුණේ නැහැ.

මේ වෙනකුට වළං මඩුවේ තුන් වෙනි ලෝක යුද්ධය පටන් අරන්.

පාල්සාමි සොයා කෝවිල් ගිය උන් හිස් අතින් පැමිණි පසු පටන් ගත් වාසුගී අම්මා ගේ ළතෝනිය අහල ගම් හතකට ඇසුන අවසාන තුරුම්පුව ලෙස පෑලියගොඩ පොලීසිය ට යන්ඩ පෙරි අයියා පාරට බැස්ස.

මේ කිසි දෙයක වගක් නැතුව එන පාල්සාමි ට හොඳින් සලකන්ඩ පෙරිඅයියා දරට ගෙනාපු පොල්ලක් අතට ගත් නමුත් ඊට ඉස්සර උනු වාසුගී අම්මා ගේ දැඩි ග්‍රහණය නිසා කේන්තියෙන් පරල වෙලා හිටිය අප්පාගේ දඬුවමින් ඔහු ගැලවුණා.

කෑකො ගැහිලි බැණ අඬ ගැහිලි පැයකින් දෙකකින් ඉවර උනා- පාල්සාමි අඳුරේ ම ළිද වෙතට ඇදුණා.

ගතටත් සිතටත් වද දෙන මේ ව්‍යාකූල හැඟීම් සමුදායෙන් මිදෙනු සඳහා සීතල වතුර බාල්දි ගණනාවක් ඇදගෙන නෑවා.

අනතුරුව සිය සුව යහනේ උඩබැලි අතට ඇලවුණා. මේ වන විට සනසුන්ව නිශ්ශබ්දව පැවති මඩුවේ සියල්ලන් ම නිදි දෙවුදුව ගේ ඇරයුම පිළිගෙන තිබුණත් නින්ද ඔහු ගේ අහලකට වත් පැමිණියේ නැහැ.

ඇස් ඇරගෙන හිටියත් වහගෙන හිටියත් ‘සරොජා දේවී’ මයි..

ඇයගේ රත්තරන් පාට කකුල් දෙක තෙත සුදු රෙද්දෙන් වැසුණු කළුපාට පාට ලප දෙක යාන්තමට පේන දෙතන... ඔහුගේ සිතේ අමුතු සිතුවිලි මැව්වා.

ඔහු දෙසට වැටී ඇති මලානික කුප්පි එළියෙන් බේරෙනු සඳහා වම් ඇලයට හැරුණු පාල්සාමී ගත පුරා විසිර තමා දවාලන ගින්නෙන් මිදෙනු සඳහා අහිංසක ප්‍රයෝගයක නිරත වුණා.

 

 

Comments