
තාත්තා
167 බසයේ නැගී
බේක්හවුස් එක ළඟින් බැස
ඇස් වාට්ටුව පසුකර
ඇවිද ගියා නවසිය අසූහයේ
ෆොස්ටර් පටුමඟට
ඔබ මා කැටුව ආවා පාසල
මහබෝධිය වෙත
කලින්දා මහවැහි වැහැලා
ජලයෙන් යටවී තිබුණි
ෆොස්ටර් පටුමඟ
අද යන්නට ඕනේ නැහැ පාසල් අපි
යමු තාත්තෙ ආපහු ගෙදර
මා කිව් නමුත් ඔබ නැහැ ඇසුවේ
එම බස
කලිසම නමා ගත්තා ඔබ දණහිස
තෙක්ම
ඉන්පසු මා වඩා ගත්තා ඔබ දැඩිව
තරණයකර ජලය මා කැටුව
ඇරලුව පාසල වෙත ඔබ
සෙනෙහසින
ගංවතුරෙන් නොවේ ඔබ මා
එතෙර කළේ
ඒ අවදියේ නැහැ මසිතට හැඟී ගියේ
සිප් සයුරින් එතරට මා
රැගෙන ගියේ
හැඟුණේ අදයි ආදර බර පියාණනී
ජයනාත් ඉන්ද්‍රජිත්
---------------------
දුදන ගති එපා!
ඉරිසියාව වයිරය ක්‍රෝධයෙන් පිරී
නිසි මඟ නොදැන වල්මත් වී නොගෙන දිරී
කාලය ගෙවා දැමුවත් අගතියට හැරී
නොමළත් මැරුණු මිනිසෙකි ඔහු වැඩක් බැරී
පින පව කියා කිසිවක් හඳුනන්නෙ නැතී
සුගතිය නොවේ, අගතියටම නිතර ගැතී
දිව රෑ දෙකෙහි කෙනෙකුට මර උගුල් ලතී
මේ වැනි අයට වැහි නැති හෙන පාත් වෙතී
හොඳ වැඩවලට හිත යොදනා අය අඩුය
සිටිනා අයත් ගිනිගෙඩි දෙන රජ බඩුය
පෑගෙන එකා ගෙලවට ගෑවෙන කඩුය
වැරදුණු තැනදි අධිකරණයෙ මහ නඩුය
ගතු කිය කියා මිනිසුන් එකිනෙක කොටන
මියගිය විටදි අඬ අඬ කඳුළැලි පෙරණ
මේ වැනි අයට උපමාවක් ඇත පොරණ
කහඹිලියා වගෙයි ගෑවුණ තැන කසන
පෙනුමට කතාවට කෙනෙකුව මනිනු එපා
ගමනට ලතාවට රැවටී සිටිනු එපා
මුදලට බලේකට උඩඟුව සිටිනු එපා
මිනිහට නිගාවට කටයුතු කරනු එපා!
එස්. සමරනායක
----------------------
වියෝවේ ආවර්ජනය
ඇසුවෙමි උදෑසන පැතිරෙන කටින් කට
දුටුවෙමි ඒ වදන් සැකහැර දෙනෙත් පිට
සිතුවෙමි නොපමාව කිමදැයි විටින් විට
දිව යමි අතීතෙට සිතිවිලි මෙනෙහි කොට
දසමස කුසදරා මෙලොවට බිහිකෙරුවා
රුධිරය කිරට හරවා කුසගිනි නිමුවා
දින සති මාස ගෙවමින් හැඩි දැඩි කෙරුවා
අම්මා මගේ මා වෙත සෙනෙහස පිදුවා
පියවර ඔසවමින් දුව අගු පිල ගාව
යනවිට පසුපසින් අල්ලා ගෙන මාව
යන්නට එපා කබරය ඇත ළිඳ ගාව
කියමින් බත් කැව්වෙ සනසවමින් මාව
ගෙවමින් ළදරු විය පසුකර ළමා විය
එලඹුණු විලස සිප් ලැබගනු පිණිස සිය
දෙගුරුන් සමඟ එක්වී දෙන දැනුම් ලය
ජයගන්නට පාර සැදුවා ජීවිතය
පෙරදා උදෑසන අවදිව හිමිදිරියේ
වරදා නොගෙන පාඩම් කර ලහි ලහියේ
වැරදා නැගී සිටිනට දෙපයින් දිරියේ
පරදා ජයගන්න බාධක එන දිවියේ
දිනයක මාව පාසල වෙත ගොස් ඇරලා
එනවිට මඟ දුවන බස් රියකට හැපිලා
දැනගන්නට ලැබුණි පාසල වෙත හැරිලා
එනවිට දැකගන්න මගෙ මව මිය ඇදිලා
ඊ. සී. අමරසේන ප්‍රනාන්දු
--------------------------------
මුනුබුරාටයි
හෙළු දහදිය කඳුළු මේ මහ පොළොව මත
දලු ලා වැඩෙන ගහ කොළ වැල කියනු ඇත
වලු බරවෙලා කොස්, දෙල්, පොල් හතර ඇත
කුළුඳුල් මුනුපුුරුට කිසිවක් අඩුව නැත
ඉටු කොට වගකීම පැවැරුණු තිඹිරි ගෙයින්
කටුමැටි ගෙපැල පුරවා ඇත අවැසි දෙයින්
කොටු කර බැඳුණු වැට කටු බිඳ කළෙමි අයින්
දෙටු පුත් වඩා හිඳුවමි එහි රජෙකු සෙයින්
ඉහළට නගිනු දැක දෙපයින් ඇදපු අයත්
මහගෙට ඇවිත් අද නුඹේ දුක සැපත සොයත්
පිහ පිහ තුටු කඳුළු උන්ගෙන් පිටව ගියත්
බහතෝරන පුතුට ලොකු අපලයක් එයත්
දුන්හිඳ වගේ මුව පුරවා සිනාසෙන
හන් කිති කවා නුඹ සිප සනසවාලන
වං හුං සොයා එන නෑකම කියාගෙන
උන්ගෙනි පරිස්සම් විය යුතු ළඟාවෙන
ලේ උරුමයේ කෙනෙහිලි දඬුවලින් තැනූ
ප්රාසාදයකි නුඹෙ අතුපැල රජුන් දිනූ
මායිම් වැටෙන් පැන එන ගෙට අරන් කුණු
නෑයින් ගැන පුතුනි හෙට විපරමෙන් ඉනූ
මහ පුරපුරේ සම් මස් ඇට පොහොර වුන
බිම මගෙ පුතුට දෙනු ඇත ජව සවිය නැණ
ගන්නට නොදී භුක්තිය පිට උනට පැන
තර කොට හතර මායිම වැට බඳිනු මැන
ඇති හැකි දාට දෙති සමහරු පණට පණ
වැතිරුණු දාට කිසිවකු නැත ළඟට එන
රුති හැම දේම විය නොහැකිය ඇඟට ගුණ
පැතිරෙනු ඇත සුවඳ මිනිසුන් වෙසෙන තැන
තල්ගම්පල ගුණසේන
පසු සටහන - (තල්ගම්පල ගුණසේන
කිවිඳුන්ගේ පුතු හා මුනුපුරා පසුගියදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. මේ කවියා විසින් සිය මුනුපුරා උපන්දා ලියන ලද පැදි පෙළකි)
------------------------------------
හද සෝ සුසුම්
ආදර රුව ඔබගෙ දුටුවා මඟ තොටින
හෙළුවා සුසුම් ගලනා කඳුළින් සැලෙන
පිරිමදිමින් හිස සිඹිමින් දෙකොපුල් ඇයගේ
පෙරදා සෙනෙහෙ සිහිවීම හිමි ඉකි බිඳින
දිසුනා ගිලන් වූ ඇගෙ ගත නෙතිනේ
වැඩුවා සෝ සුසුම් දකිමින් රුව සයනේ
පැතුවා මුණ ගැසෙන්නට මතු අත් භවයේ
සිතුවා නිදන්නට මොහොතක් ඇගෙ තුරුලේ
සුපිපි කුසුම ඇයයි සසර දිවි ගමනේ
පැතුමත් මතු භවයෙදි ඇයමයි හිමි සඳුගේ
මහමෙරකට සමයි සෙනෙහස සිත ඇතුළේ
ඉඩකඩ මදිද ම‘වෙනුවෙන් ඔබෙ මනසේ
කණ වැකුණත් ඔබගේ පෙර පෙම් පුවත
පැතුවේ නැත මෙවැන්නක් කිසි දවස
සකසනු කෙලෙස මෙමාගේ බිඳුණු සිත
දවයි සියොළඟම නඟමින් සෝ සුසුම
අශෝකා මලවිආරච්චි
----------------------------
සිනහ අරන් මං එනතුරු
කඳුළු සඟවනා ඇස් යට තියා සුසුම් කැට
හැම හවසක පාර බලන බලාපොරොත්තුව
රෑ කළුවර ගෙට ඇවිදින් කඩා දමන විට
ඇයි හලන්න හිතුනෙ නැත්තෙ නෙතින් හිතක බර
ගනින්න තව පුංචි ඇඟිලි මදි කොට පොඩි අතේ
කොහොමද ඉවසන් ඉන්නට පුරුදු වුණේ පුතේ
තනි නොතනිය පවරාදී අත්තම්මට නුඹේ
අම්මගේ උණුහුම හෙව්වේ චීත්තෙන් ද මගේ
දින දෙකකට පවරාදුන් උරුමය යළි ගෙන
පිටවෙන විට මම ගෙදරින් තව සති දෙකකට
සිත් බැම්මෙන් වාන් දමන සැඩ දිය රැලි කඳ
හැංඟුවේ නුඹ වසාගෙන ද දෑස් පියන් යට
මුළු සක්වල ඇති ගිනිකඳු පුපුරද්දී ළයේ
නිහඬව නුඹෙ හිස පිරිමැද පිටවෙමි මම උදේ
දහඩිය කාසියක ඔතා සිතේ පුරා සෙනේ
එනතුරු සිනහත් අරගෙන මඟ බලපන් පුතේ
මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
--------------------------
පොප්ලර් ගස් අසල
වියළි ගොම
උණුසුමට පිලිස්සෙන
පිදුරු මිටි
සෙවණ දෙන අහස යට
ගල් කූරු, ගල් ලෑලි
එකතු කර
සොඳුරුතම ශිල්ප සැදූ
ආදරණීය දුයිෂෙන්ලා
මතක පද මුසුකරගත්
වාතලය සිසාරා
හාද බසම ඇමතූ
ආදරණීය හඬම විය
පියෙන් පිය ඉහළටම
ගොඩනැඟූ සිත සවිය
ජීවිතේ හිනි පෙත්තටම
පිය නැඟූ මාවතම විය
ආදරණීය ජීවිතය
අකුරු කළ
තක්සලා බිම
අයිලයේ කඳු අතර
මිහිරිතම මතක විය
අතීතයෙ ගලා ගිය
යළි කවදාවත් ම හමුනොවන
නයන්ත ජගත් පුංචිහේව
------------------------
උඹ නිසා දුවේ මං
දෑතෙ දසැඟිලි අතර කරගැට
දෑස් යුග යට උණු කඳුළු කැට
දාහෙ උතුරන චණ්ඩ හිරු යට
කුසගින්න ඔච්චම් කළා මට
රිදුම් දෙන මගෙ දෑත දෙපයට
වාරු නැතිවී ඇස් පියෙන විට
ඇඳුණු නුඹෙ රුව ඇස් පනා පිට
දිරිය දුන්නා නැගිට ගන්නට
යස ඉසුරු මහ ගොඩක් නැතුවට
අකුරු අමුණ දිනන තරගෙට
සිදාදියෙ ලොකු තක් සලාවට
උඹව යැව්වේ හිතේ හැටියට
දිවිසැරිය නිමවෙන්න ළඟ මට
කාරි නැහැ මහ කාසි නැතුවට
දුවේ නුඹ කී ඇඳුම ගන්නට
හැකිවේද මට ලැබෙන පනමට
උදේ බිව් එක කහට උගුරට
බැරිම නැහැ තව පැයක් ඉන්නට
වෙහෙස නොබලා මෙහෙම කෙරුවට
හැකිවෙයිද දිවි මඟ දිනන්නට
විරාජ් හෙට්ටිආරච්චි
--------------------------
කෙකටිය මල ගංදිය ඇමතීම
නිමිත්ත - දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් නිසා ගංදියට සිදුවන අහිතකර බලපෑම)
පෙර එ‘දවස ඔබ සමඟින
හාදු දී රහස් මුමුණමින
සෙනෙහෙ කවි ගොතමින
සියොළඟ දැවටුණි සතොසින
මෙ‘දවස ඔබ ගතින
අහිමිය සුවඳ කැටිවුණ
ගතවත මැලවී ගොසින
කිම ද ප්‍රිය ගංදිය සොවින
යායක් සේ විකසිතව දිලිහුන
කෙකටිය සහෘද සැඟවුණ
මියැදිලාය... වැනසිලාය
ගංදිය හදවත සොව පිරුණ
අප වටා නිරතුරු වෙසුන
බිගු කැළ කොහේ නැත කළණ
පාසි පෙද සැඟව වරල් ගසමින
මින් රැළ නැත නෙතු දකින
කෙකටිය මල් නෙළන්නට පිහිනමින
ඕලු මානෙල් පුදන්නට ඔරු වෙතින
ගංදිය හා මිතුරුව සිටි සහෝදර දන
පෙර දසුන පමණකිය අද දින
නිසලව වසවිස ගත පුරෝගෙන
නිබද ගමට සෙත ගෙන දුන්න
ආදර නදී නෙතු වසාගෙන
මියැදෙන නුඹ සමඟ මාද පණ අදින
ජේ. එච්. සමන් අතුල කුමාර
-------------------------
ඔබ
නොඉවසිලි හැඟුමන්
පොපියන රෑ මැදියම
නුරා සුසුමන් සුවබර
දැවටේය මා සියොළඟ
සවන් සනසන පෙම් බස්
පවන් සලනා මොහොතක
ලවන් පෙති මත තෙරපුණු
හසුන් යුවළක් හති ලන
නිල් වරල ළය අතුරා
සිහින දකිනා රෑ යම
උයන් තෙර පිපි මලකට
පිනි ඉසියි නල නලඟන
විගස එනු මැන කියමින්
බැතින් පා යුග නමදින
වෙතින් ගිලිහුණු කඳුළක්
පතිත වෙයි බොල් පොළොවට
තිස්ස නිහාල් වික්‍රමසිංහ
-------------------
ධීවරියගේ අරුණැල්ල
සඳ දිය ගලනා ගොම්මන් වේලේ
බකමූණන්ගෙන් පාර අසා
ලන්තෑරුම හා මා දැල අරගෙන
වෙරළට පිය නගනා
හිත බර බව දනිමී..
කටුමැටි ගෙපැළේ පොල් අතු අස්සෙන්
සුදු වෙළපෙති පාවී
මට පණිවුඩ දේවී
සෙනෙහස සිහිවේවි
සැක බිය දුරුවේවි
අරුණලු ඇතිරෙන සීතල හිමිදිරියේ
ගත සවි කරනා
සිත සුව සඳහා
දෙවිඳුන් පිළිගනිමී
කුසුමා වර්ණසූරිය
-------------------
අම්මේ
අහස් කුස අඳුරු වී
රැහැයි හඬ ඇසෙනවා
පාළු මූසල බවක්
හිත පුරා දැනෙනවා
ඉකි ගසන දිගු රැයම
මතක තුළ සරනවා
මල් ඇතුරු සයනයේ
නුඹ සුවෙන් නිදනවා
දරු සෙනෙහේ පෙර දිනයේ
බැදුණු හැටි දැනෙනවා
මිලින වත ඒ වගක්
නොදැන මෙන් ඉන්නවා
සොබා දහමට නතුව
නොඑන බව දන්නවා
අම්මෙ යළි නුඹට මම
නිවන් සුවය පතනවා!
කාන්ති කණ්ඩම්බි
------------------
ජීවිතය
වැලි කතරේ
කටු පදුරේ
මල් කැකුළක්
ඔහේ තිබේ
වන වදුලේ
තුරු ගොමුවේ
මල් කැකුළක්
පිපී සැලේ
උයන් තෙරේ
මෑත ඉමේ
මල් කැකුළක්
සැලී දිලේ
සොහොන් බිමේ
ඈත ඉමේ
මල් ගොන්නක්
පරව වැටේ
උපුල් වික්‍රමනායක
------------------
තනිවූ පඹයා
පරණ කොහු මිටක්
බිඳී ගිය ලෑල්ලක්
එපමණකින් නිමැවුණ
කඩමළු අත්වැසුම් වෙළා ඇති
මගේ ඇටසැකිල්ල
කැතයි පිළිකුලයි
එක පයකින් ගිලී සුසානයේ වෙසෙන්නෙමි
කම්කරුවෙකුට එපා වී අත්හල
කබා, කමිස, කලිසම් ඈ ඇඟලන්නෙමි
අව්වට වේළි වේළී
වැස්සට තෙමි තෙමී
වට හිමවලින් දිලිසෙමින්
කුරුසියට අනු රූ රැකිල්ල දරා
කඳු ශිඛරයේ වෙසෙන්නෙමි
අපුල මගෙ පෙනුම
ලකළ කර ගන්නට
නෑනි, මට හැකියාවක්
මගේ හිස් වැසුමත්
පිදුරුවලින් පිරිලා
වනගැබේ සියොතුනි එන්න
ඇවිත්, මට තුරුලු වී
බඳිනු මැන කැදලි
නිරතුරුව ඇයි, ඉවත බලා
ඉගිළ යන්නේ?
James KirkUp
James KirkUp ගේ 'The Lonely Scare Crow' නම් පද්‍ය යේ සිංහල අනුවාදය
James Harold kirkup 1918 අප්‍රේල් 23 එංගලන්තයේ උපත ලැබී ය. ඔහු කවියෙකි, භාෂා පරිවර්තකයෙකි. ලේඛකයෙකි. 2009 මැයි 15 මිය ගියේ ය.
ජේ. ජී. රණතුංග
------------------------
අබිසරු ලියක් නොව
හත්අට වරක් බලමින් දුන් මුදල වෙත
අවිහිංසක බැල්ම ම‘දෙසට හැරුණ නෙත
පපුවට තියා හිස මුඳුනෙහි බැඳුණි අත
එම සුළු මොහොත තවමත් මතකයෙහි ඇත
ඔත්පල පිය සබඳ ලෙඩ ඇඳ මතට විණී
අග හිඟකම් එකින් එක ගෙය තුළට පනී
ඇය මහොසද පඬිඳු අතගත් බිරිඳ වැනී
නිවුනේ වෙහෙස මත දරු පැටවුනගෙ ගිනි
පිට මැද සැලෙන කෙහෙරැළි නොතිබුණි පීරා
අඩ සඳ නළලතින් එයි දහදිය දාරා
නිලුපුල් නයනයුග දෙකොපුල මුතු රූරා
ඉඳහිට පතිත වෙයි ගතහැකි වෙද තෝරා
අවිහිංසකය නෙතු මුවසිරි නයන කලු
හුරු වී තිබුණි එන දුක සැප දෙකම රළු
කහවණු සොයා ගතහැකිමුත් පිරෙන මලු
අබිසරු ලියක් නොවුනා මුදලකට සුළු
විහිදෙන දිවි සුවඳ දුකකිය ගැටෙන පැහැ
රොන්සුණු නිරස විණි බිඟු කැළ එතන නැහැ
උන් මන්මත්ව යොමු කළමුත් නිතර ඇහැ
මෙම සඳකිඳුරියගෙ හිත ඩැහැ ගැනුම බැහැ
බොරුවෙන් මුළා කොට මැසිවිලි දෙඩ වීම
සමහරු කරනමුත් බොරුවට රඟ පෑම
දෙන දේ තුටින් ගෙන වෙන තැනකට යාම
දුටුවෙමි ඇගේ යහපත්කම ඉවසීම
බුළුතොට පියසේන හේවගේ
**********************
සතියේ කවිපොත
කවි පොත - තිත් සහ කොමා
කර්තෘ - මංජුලා පියුමාලි
මිල - රුපියල් 300/= පිටු 60
විමසිම් - 0772632528
රීඩින් ප්ලැනට් පබ්ලිෂර්ස ප්රකාශනයකි
වෘත්තියෙන් වෛද්‍යවරියක වන මංජුලා පියුමාලි ද සොයිසාගේ කාර්යයබහුල ජීවිතයෙන් ලද මඳ අස්වැසිල්ල මේ යැයි කියන්නක් බඳුය ‘තිත් සහ කොමා‘.
ඇගේ කවි අපූරුය. ඒ කවි වල වචන හුරුබුහුටිය. ඇතැම් කවියක එන අදහස ද හුරුබුහුටිය නමුදු ඒ වචන වල අරුත සොයා යන විට එහි හමුවන ගැඹුර විශාලය.
මිදුල හැඩ වැඩ කිරිමට ඇතැමුන් නොයෙක් දෑ කරති. විශේෂයෙන්ම මල් ගස් වලට කැමැති අය මල් සිටුවති. ඇතැමුන් කැමති විසිතුරු පත්‍ර ඇති ශාඛයන්ටය. මිදුලේ බොහෝ වෙහෙස මහන්සි වි හිටවූ මල් බදුන් වල නොව වෙනත් කොහෝ හෝ අහුමුල්ලක ඉබේ හැඳුනු ගසක මල් පිපුණු විට එය අපුරුය. වෙහෙස මහන්සි වී කරන කටයුතු වලින් නොව බලාපොරොන්තු රහිතව කරන වැඩවලින් සිතුවාටත් වඩා යහපතක් සිදුවන විට එහි දැනෙන මිහිරි බව අගේය. කියන්නේ මල් ගැන වුවද එහි ඇති ගැඹූර ඊටත් වඩාය. මේ කවිය ද එවැන්නකි. මාතෘකාව ‘මලු සහ මුලු‘.
ලස්සන ම
මල් ගෙනත්
සිටෙව්වත්
මලුවල...
රොන් පිරුණු
මල් පිපුණෙ
නොහිතපුම
මුලුවල
අතහැරීම ජීවිතයට වටින්නේ එහි සැහැල්ලුව සිතෙට දැනෙ විටය. තදින් අල්ලාගෙන සිටි යමක් හිතින් අත්හැර දෑමු විට දැනෙන සැහැල්ලුව අමුතුවෙන් කිවයුතු නැත අත්හැරිම ජීවිතය විදීමට සැහැල්ලුවකි. මේ එවන් නිදහස පිළිබඳ කිවිඳියගේ අදහසයි.
මාතෘකාව ‘අත හැරීම‘
අල්ලා තදින්
උන් හැම දේම
යන්නට හරිමි
දැන් සුව දේ...
බුදුන් දවස රා කළ පොවා බුදුන් යන මඟ ඉදිරියට යැවු ඇතා නාලාගිරිය. මේ නාලාගිරි එදවස සිට අද දක්වාම අපේ මිනිසුන් අතර ප්‍රසිද්ධය. තම තරම නොදැන බීමත්ව කළහා කරන්නෝ නම් කරන්නේ නාලාගිරි කියාය. එදත් අදත් හෙටත් අපේ සමාජයේ නාලාගිරිලා ඕනෑතරම් වේ. තරම නොදැන බීමත්ව තම පවුලට, දරුවන්ට විනාශ කරන්නෝ, අඩම්තේට්ටම් කරන්නෝ ගැනය මේ කෙටි කවිය. ඒ වචන කෙටිය. නමුදු ඒ ඔස්සේ අපට යා හැකි දුර බොහෝය මාතෘකාව ‘නාලාගිරිලා‘.
මලින් සරසා
තිප්පොළ
දමති වනසා
සිය පැල
ආදරයෙන් බැදී කුළගෙට පැමිණි පසු, එහෙමත් නැති නම් ආදරයෙන් බැඳුණ දෙදෙනෙකු අතර ආදරය සදා කාලික වන්නට නම් ඔවුනොවුන් අතර බැදීම, අවබෝධය මෙන්ම විශ්වාසය ද තිබිය යුතුය. නමුදු කුමක් හෝ දෙයක් පලුදු වූ විට ඒ බැදිමේ ඇත්තේ කවර නම් විශ්වාසයක් ද? විශ්වාසය නැති වු විට සියල්ලම අවසානය. ඇය ලියන්නේ එවන් බැදිමක් යැයි හැඟෙන්නේ මේ කෙටි කවිය ගැන නැවත නැවතත් සිතන විටය. ඇය ඊට නිදසුන් සොයා අපේ බෞද්ධ සාහිත්යෙයනි. අවධානය පිණිසය. මාතෘකාව ‘අවධානය පිණිසය‘.
තත් සිඳුණ
වීණාව
වයන්නට
මා,
ගුත්තිල
නොවෙමි..
‘තිත් සහ කොමා‘ අතර මෙවැනි කවි බොහෝමයක් අපට හමුවේ. මංජුලා පියුමාලි කෙටි පද වලින් බෝ අරුත් ගෙන දක්වන්නට උත්සාහ දරා ඇත.
ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.
කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10. දුරකථනය 011 2429265