
රවිගේ හා සඳුගේ වැඩිමහල් පුතනුවන් වන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා, තිස් වසරකට පසු තම ස්වක්ෂේත්‍ර හා මූල ත්‍රිකෝණ රාශිය වන කුම්භයට පිවිසෙයි. 2022 අප්‍රේල් 29 වැනිදා පෙරවරු 07.52ට කුම්භයට ඇතුළුවන සෙනසුරු ග්‍රහයා, 2025 අප්‍රේල් 01 වැනිදා දක්වා කුම්භ රාශිය තුළ ගමන් කිරීමට නියමිතය.
තිස් වසරකට වරක් සිදුවන සෙනසුරුගේ මෙම කුම්භ රාශි ගෝචරය අඩුවෙන් තක්සේරු කළ හැක්කක් නොවේ. මීට වසර 30 කට පෙර එනම්; 1993 දී සිදුවූ සෙනසුරුගේ කුම්භ රාශි ගමන පිළිබඳව විමසා බැලීමේදී ඒ බව මනාව වැටහෙනු ඇත.
එහිදී දේශපාලන අලකලංචි වලට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට සෙනසුරු පිඹුරු පත් සකසන ලද අතර විධායකය හා ව්‍යවස්ථාදායකය අතර වාදභේද හා විරසක කර වීමේ ක්‍රියාදාමයක් සෙනසුරු ක්‍රියාත්මක කරවිය. වර්තමානයේදීත් එවැනිදේ සිදුවෙමින් පවති. සෙනසුරු අංශක 360 ග්‍රහ වළල්ල වටා යෑමට වසර 30ක් ගතවන අතර එක් රාශියක් පසුකර යෑමට ගත වනුයේ වසර දෙකහාමාරකි. ඒ අනුව මෙවර කුම්භ රාශියට පිවිසෙන සෙනසුරු ග්‍රහයා ද කුම්භයේ ගත කරන කාලය තුළ එක් එක් ලග්නයට කෙලෙස බලපානු ඇත් දැයි මෙලෙස විමසා බලමු. මෙහි දක්වා ඇත්තේ සෙනසුරු මාරුව පිළිබඳ පොදු පලාපල විස්තරයකි. ඔබේ පෞද්ගලික කේන්දරයන්හි උපතින් පිහිටා ඇති ග්‍රහයින්ගේ බල දුබලකම් මත මෙම පලාපලයේ සුබ, අසුබ පල අඩු වැඩි වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකනු මැනවි.
මේෂ ලග්නය
- ගෘහ ජීවිතය සාර්ථක වේ
ඔබේ කේන්දරයේ 11 වැන්නට සෙනසුරු පැමිණෙයි. එය යහපත් ගෝචරයකි. බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත කාලයකි. තම බලය පෙන්වීමට අවස්ථාව උදාවන අතර අයිතිවාසිකම් දිනා ගැන්මට හැකිවනු ඇත. ආගිය තැන ප්‍රධානත්වය හිමිවේ. විශේෂ දියුණුවකට මඟ පෑදෙන අතර රැකී රක්ෂා, වෙළ හෙළඳාම් හා ගොවිතැන් වැඩවලින් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. දේශපාලනයෙහි යෙදී සිටින ඔබට, ශුභවාදී බවක් ගෙන දෙන අතර තනතුරුවලින් උසස් කිරීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය සාර්ථක වේ.
වෘෂභ ලග්නය
- හදිසි ධන ලාභ
ඔබේ කේන්දරයේ 10 වැන්නට සෙනසුරුගේ පැමිණීම අයහපත් නැත. කිසිම දෙයක ලොකු හොඳක් හෝ ලොකු නරකක් හෝ ඇතිවීමට ඉඩ නැත. සැලසුම් කරන ලද සමහර දේවල් වැරදී යෑමට ඉඩ ඇති අතර බලාපොරොත්තු නොවූ අවස්ථාවලදී යහපත් දේ සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
අසරණයන් හා දුගී අය වෙනුවෙන් වැඩි කාලයක් හා වැඩි වෙහෙසක් දරන්නට ඔබට සිදුවනු ඇත. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට මතුවන බාධා මැඬ පවත්වා ගත හැකි අතර මෙම කාලයේ අනවශ්‍ය වියදම් පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ. වරින් වර හදිසි ධන ලාභ හිමිවීමේ ප්‍රවණතාවක්.
මිථුන ලග්නය
- හිතවතුන්ගෙන් උපකාර
ඔබේ කේන්දරයේ 09 වැන්නවූ පුණ්‍ය ස්ථානයට සෙනසුරු පැමිණෙයි. මිශ්‍රඵල උදා කරන කාලයකි. කරගෙන ආ කටයුතු වලදි වරින්වර බාධා පැමිණෙන අතර රැකියා ස්ථානයේ හෝ පදිංචියේ වෙනසක් සිදුවීමට ඉඩ තිබේ. මේ අතර හිතවතුන්ගේ උදව් උපකාර ද, හදිසි ධන වාසනාව ද හිමි වීමේ ප්‍රවණතාවක් ඇති කෙරේ. නමුත් ධනය ලැබුණ ද, වහා ඒවා නැති වීමට ඉඩ ඇති බවක් පෙනේ. දේව භක්තිය වඩවා ගැනීම තුළින් ඇති විය හැකි අපල සමනය කර ගැනීමට උත්සහ කරන්න.
කටක ලග්නය
- සතුරු කරදර ඇතිවේ
ඔබේ කේන්දරයේ 08 වැන්නට සෙනසුරු පැමිණීමෙන් ගමන් බිමන් වැඩිවේ. සතුරු කරදර සමඟ නඩු හබවලට පැටලීමට ද සිදුවිය හැකිය. රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වලට බාධා හිරිහැර ඇතිවන අතර තදින්ම කේන්ති යන කාලයක් ලෙස පෙන්වා දිය හැකිය. තනිව හුදකලාව විසීමට කැමැත්තක් දක්වන අතර සිතේ සැනසීම අඩුවීම නිසා ගන්නා සමහර තීරණ වරින්වර වෙනස් කිරීමට සිදුවේ. පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් හෝ අසනීපයක් නියමයි. කෙසේ වෙතත් මෙම කාලය ඔබට යහපත් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
සිංහ ලග්නය
- සිතේ සැනසීම නැතිවන ලකුණූ
ඔබේ කේන්දරයට 07 වැන්නට සෙනසුරුගේ පැමිණිම තුළින් ඉදිරි කාලය මිශ්‍ර ඵලදායක වන්නට ඉඩ තිබේ. නිතර යෙදෙන ගමන් බිමන් හේතුවෙන් කරගෙන යන වැඩකටයුතුවලට බාධා පැමිණෙන අතර සැලසුම් කරන ලද දේවල් ප්‍රමාද වනු ඇත. මෙය විවාහ දිවියට හා විවාහකයින්ට යහපත් නොවේ.
අමුතු හෝ වෙනත් කම් සැප සොයා යෑමෙන් ගෘහ ජීවිතයේ ගැටලු සහගත අවස්ථාවන් උදාවීමට ඉඩ තිබේ. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු අඩාළ වන අතර බලාපොරොත්තු බිඳ වැටෙන කාලයකි. සිතේ සැනසීම අඩුවන අතර වෙහෙස කර දුර ගමන් යෑමට ද සිදුවේ. බිරිඳට හෝ සැමියාට රෝගාබාධ ඇතිවන්නට බොහෝදුරට ඉඩ ඇත.
කන්‍යා ලග්නය
- නඩුහබවලින් ජය අත්වේ
ඔබේ කේන්දරයේ 06 වැන්නට සෙනසුරුගේ පැමිණීම යහපත් වන අතර වාසනාවන්ත කාලයක උදාවක් සනිටුහන් කරවයි. නඩු හබවලින් හා සතුරන්ගෙන් ජය ලැබේ. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් වැඩවලින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැක.
ජයග්‍රහණය පතා කරන කටයුතුවලින් නිසැකව ජය අත්වන අතර හදිසි ධන ලාභ සඳහා හිතකර කාලයකි. ණය තුරුස්වලින් නිදහස ලැබේ. ලැබෙන්නට ප්‍රමාදවෙමින් තිබූ ණය ගනුදෙනුවක් හෝ ණය මුදලක් ඔබේ වාසියට විසඳෙනු ඇත. නම ප්‍රසිද්ධ වන අතර හොඳ නමක් සමාජයේ ඇතිවේ. බලාපොරොත්තු ඉටුවන සමෘද්ධිමත් කාලයකි. ගෘහ ජීවිතය සතුටින් හා සාමයෙන් ගතවේ.
තුලා ලග්නය
- උපේක්ෂාවෙන් වැඩ කළයුතු කාලයකි
ඔබේ කේන්දරයේ 05 වැන්නවූ පූර්ව පුණ්‍ය ස්ථානයට සෙනසුරු පැමිණෙයි. මිශ්‍ර පලදායක කාලයක උදාවකි. බලාපොරොත්තු හා අදහස් ද වෙනස්වීම් වලට භාජනය වන අතර පහසුවෙන් බේරුම් කරගැනීමට හැකිවන දේවල් අවුල් වියවුල් බවට පත්වීමට ඉඩ ඇත. සුළු දේ ලොකුවට පත්කර ගැනීමෙන් කරදර වලට මුහුණ පෑම සිදුවිය හැකි බව අමතක නොකරන්න. රැකීරක්ෂා කරන ස්ථානයේ ප්‍රධානීන් හා ගැටුම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් හා උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යවේ. අධික වියදම් යෙදෙන අතර ආදායම් තත්ත්වය ද පහළ බැසීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතයේ කරදර කම්කටොලු මතුවන දුක්බර කාලයකි. අඹු දරුවන්ට රෝග පීඩා ඇති වේ.
වෘශ්චික ලග්නය
- කාලය යහපත් නොවේ
ඔබේ කේන්දරයේ 04 වැන්නට සෙනසුරු පැමිණේ. මෙය යහපත් කාලයක් නොවේ. වාත රෝග වැනි අසනීප වැලඳෙන අතර ඒ සඳහා නොසිතූ අන්දමේ මුදලක් වියදම් කිරීමට ද සිදුවනු ඇත. තමාට හිමි වියයුතු දේපළක් වෙනත් අයකුට හිමිවීමට ඉඩ තිබේ.
කරන කියන කටයුතු පවා සැකයට තුඩු දෙයි. මෙතෙක් ගොඩනඟාගෙන තිබූ හොඳ නම වෙනුවට සමාජයේ අගෞරවයට භාජනය වන්නට සිදු වේ. රැකියාව එපා වීමට ඉඩ ඇති අතර එයින් අස්වීමට හෝ විශ්‍රාම යෑමට සිතෙනු ඇත. නරක වැඩවලට සම්බන්ධ වීමට හා එවැනි නරක මිනිසුන් ආශ්‍රයට ද යොමුවීමෙන් නින්දාවට භාජනය වනු ඇත.
ධනු ලග්නය
- විශේෂ වාසි ලැබෙන සමයකි
ඔබේ කේන්දරයේ 03 වැන්න වූ වික්‍රමස්ථානයට සෙනසුරුගේ පැමිණීම ඉතා යහපත් ය. පෙර පින් ක්‍රියාත්මක වන අතර වාසනාවන්ත කාලයක උදාවක් සනිටුහන් කරවයි. සිතට සැනසීමත්, ප්‍රීතියත් දැනෙනු ඇත. තත්ත්වයෙන් උසස් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ.
පසුගිය වසර හතහාමාරක් මුළුල්ලේ ඇති කළ පීඩනය වෙනුවට ජයග්‍රාහී කාලයක් ඇරඹෙන අතර කරන කියන කටයුතු වලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනු ඇත. ආදායම් තත්ත්වය ඉහළ යයි. ලොකු ලොකු ලාභ ලැබෙන අසිරිමත් කාලයකි. බලාපොරොත්තු නැති වාසි සහගත තත්ත්වයක් උදාවන අතර රැකියාවෙන් උසස්වීම් ලැබේ.
මකර ලග්නය
- මුදල් හිඟපාඩු ඇතිවේ
ඔබේ කේන්දරයේ 02 වැන්න වූ ධනස්ථානයට සෙනසුරුගේ පැමිණීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙය යහපත් ග්‍රහ ගෝචරයක් ලෙස පෙන්වා දිය නොහැකිය. තම බලය හීන වන අතර සතුරන්ගේ බලය වැඩි වර්ධනය වනු ඇත.
රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වලින් අලාභ හා පාඩු සිදුවිය හැක. මිල මුදල් අගහිඟතා ඇති වන අතර කරන කියන කටයුතු ද අවුල්ව යෑමට ඉඩ ඇත. පවුලේ අඹුදරුවන්ට අසනීප ලෙඩ දුක් සැදීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර එම තත්ත්වය වරින්වර පැන නැඟීමට ඉඩ තිබේ.
කුම්භ ලග්නය
- කල්පනාවෙන් වැඩකළ යුතු කාලයක්
ඔබේ කේන්දරයේ ලග්න භාවයට 30 වසරකට පසු සෙනසුරු පැමිණෙයි. සෙනසුරු ලග්නයේ ගමන් කරන වසර දෙකහමාරක කාලය අපලදායකය.
බලාපොරොත්තු රහිත අධික වියදම් යෙදෙන අතර ආදායම් තත්ත්වයට ද බාධා ගෙන දෙයි.
දැඩි මානසික පීඩා ඇතිවන දුක්බර කාලයක් ලෙස සෙනසුරු කුම්භයේ ගමන් කරන කාලය පෙන්වා දිය හැකි අතර සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ දෙවන අවුරුදු දෙකහාමාරේ ආරම්භය ද අප්‍රේල් 29 වැනිදා සිදු වේ. කනගාටුදායක කාලයකි. රැකීරක්ෂා කටයුතු අවුල් වන අතර ව්‍යාපාර කටයුතු වලට ද බාධා පැමිණෙයි. හිතවතුන් හා ඥාතී මිත්‍රාදීන් විරසක වන කාලයකි.
මීන ලග්නය
- ඉවසීම ප්‍රගුණ කරන්න
ඔබේ කේන්දරයේ 12 වැන්නට සෙනසුරු පැමිණෙයි. මෙම කාලය එතරම් යහපත් යැයි කිව නොහැකිය. සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ පළමු අවුරුදු දෙකහමාරේ අපලය ද මෙදින ආරම්භ වන අතර බලාපොරොත්තු සඵල වන්නේ නැති ග්‍රහ ගෝචරයකි.
ආදායමට වඩා වියදම් තත්ත්වය ඉහළ යනු ඇත.
රැකීරක්ෂා, වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක නොවන අතර දැඩි සිත් කළකිරීම්වලට මුහුණ පෑමට සිදුවේ. ප්‍රධානීන් සමඟ සිත් නො හොඳකම් ඇති කෙරෙනු ඇත. ජයග්‍රහණයට වඩා පරාජය හිමිවීමේ සම්භාවිතාව වැඩිය. දුෂ්ඨ මිනිසුන්ගේ ඇසුර හේතුවෙන් නින්දා අපහාස විඳීමට සිදුවේ.
ජ්‍යොතිෂවේදී, කොටදෙනියාවේ ඩග්ලස් ගුණවර්ධන