
සුබසාධන රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක වන රටක් තුළ එම අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විවිධ විසංවාද තිබිය හැකිය. සුබසාධන සමාජ සංකල්පය අර්ථාන්විතව මේ පොළොවේ ස්ථාපිත කළ ආයතන අතර ප්‍රමුඛස්ථානයක සිටින ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සිය විසිපස් වැනි වර්ෂ පූර්ණය සමරන්නේය. මෙම කෙටි විමසුමට නිමිති සපයන්නේ ඒ සැමරුම ය.
රාජ්‍ය සේවයට එක් නොවූ, පෞද්ගලික අංශයේ ප්‍රතිලාභ සහිත රැකියාවකට සම්බන්ධ නොවූ, තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසය තබමින් ජීවිත අරගලයේ යෙදෙන කිසිම සමාජ රැකවරණයක් සම්බන්ධ සහතිකයක් නැති මිනිසුන්ගේ විශ්‍රාමික ජීවිතවලට විශ්වාසනීය රැකවරණයක් සලසන, වියපත් ජනගහනය වැඩිවෙමින් යන රටක මිනිස්සුන්ට සමාජ ආර්ථික සුබසාධනය තහවුරු කරන විශ්වාසනීය පදනම් ආයතනය සමාජ ආරක්ෂණ මණ්ඩලය යි.
සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථාපිත වන්නේ වර්ෂ 1996දී පාර්ලිමේන්තුවේ සම්මත කළ වර්ෂ 1996 අංක 17 දරන පනත මඟිනි. පසුව වර්ෂ 1999 අංක 33 දරන පනත මඟින් එම මුල් පනත සංශෝධනයට ලක් විය. මෙම පනත මඟින් ස්වයං රැකියාවල නියතවූවන්, අවිධිමත් රැකියාවන්හි නියුතු වූවන් සහ අනෙකුත් අංශවල සේවයේ නියුතු රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති අය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථාපිත කෙරිණ.
ආයතනය පිහිටුවීමේ සමාජ පරමාර්ථ රැසක් අතර, ස්වයංරැකියාවල නියුතු තැනැත්තන්ට වයෝවෘධ කාලයේදී හෝ යම් දුබලතාවකට පත්වු විට එම කාලයේදී සමාජ රක්ෂණය සැලසීම, ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මියගිය විට ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම, ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයන්හි යෙදීමට විශ්වාසනීයව දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියා හා දක්ෂතා වැඩිදියුණු කිරීම යනාදි අරමුණු ප්‍රධාන වේ. හැකියා හා දක්ෂතා තීව්‍ර කරමින් තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා දිරිමත් කිරීම, සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්‍රතිලාභ පිළිබඳ ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුම්වත්කිරීම ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ද මෙම ආයතනය පිහිටුවීමේ අරමුණු තුළ විය.
රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම නොමැති විවිධ ඉලක්කගත කණ්ඩායම් සඳහා විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම ස්වකීය ප්‍රධානම සේවාව කරගත් ආයතනය මේ වනවිට ‘සුරැකුම’ විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය, ‘ආරස්සාව’ පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය බල ගන්වා ඇත. මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සමාජ සුබ සාධන අර්ථයෙන්ම සකස් වූ රාජ්‍ය රැකවරණයක් සහිත ඒවා ය. උදාහරණයක් ලෙස සුරැකුම යෝජනා ක්‍රමය සලකා බැලුවහොත් වයස අවුරුදු 18 -59 දක්වා ශ්‍රී ලංකා පුරවැසියකුට තමන්ට කැමති ආකාරයට තමන්ගේම සැලසුමකට විශ්‍රාම වැටුපක් සකස් කරගත හැකිය. ඒ සඳහා දායක මුදල මාසිකව ගිවිස ගනු ලැබූ නිශ්චිත ක්‍රමවේදයකට ලබා දිය හැකිය. ලබා දෙන දායක මුදලට වඩා බෙහෙවින්ම වැඩි මුදලක් වසර හැට පිරුණු පසු මාසික විශ්‍රාම වැටුපක් සේ ජීවිතාන්තය තෙක් දායකයාට ලැබේ. සාමාජිකයා මිය ගියහොත් ඔහුගේ කාලත්‍රයාට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප හිමි වේ. එසේ නොමැති වුවහොත් ඔවුන් නම් කරන පුද්ගලයකු හට සාමාජිකයාට 80 විය පිරෙන තෙක් අදාළ ප්‍රතිලාභ ලබා ගත හැකිය. සාමාජිකයා වසර 60ට පෙර මිය ගියහොත් ඔහු තැන්පත් කළ සියලුම මුදල් පොලිය සමඟ පසු උරුමකරුට හිමි වේ.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මඟින්, ග්‍රාම නිලධාරී මඟින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල හෝ ප්‍රධාන කාර්යාලය මඟින්, බලය ලත් අලෙවි නියෝජිතයන් මඟින් හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා මඟින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට බැඳෙන්නට හැකිය.
වර්ෂ 1996 දී ආයතනය ආරම්භ වන්නේ මහා භාණ්ඩාගාරයෙන් ආයෝජනය කළ ශක්තිමත් මූල්‍ය පදනමක් සහිත අරමුදලකිනි. වසර විසිපහකට පසු වර්ෂ 2021.12.31 වනවිට සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සමස්ත සාමාජික සංඛ්‍යාව අට ලක්ෂ තිස් හතර දහස් හත්සිය අනූ හය (8,34 796) කි. විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන් සංඛ්‍යාව තිස් දෙදහස් නවසිය හැත්තෑ හය (32, 976)කි. ඔවුන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති මුළු මුදල් ප්‍රමාණය දෙසීය හැට දෙකෝටි තිස් දෙලක්ෂ, හැත්තෑ තුන් දහස් හත්සිය පනස් අට ( 262, 32, 73,758.00) කි. අර්ධ දුබලතා සහිත ප්‍රතිලාභීන් ගණන 75කි. ඔවුන් වෙනුවෙන් ගෙවා ඇති මුළු මුදල 11, 80, 241 කි. පූර්ණ දුබලතා සහිත පුද්ගලයන් 35කි. ඔවුන් වෙනුවෙන් ලබා දී ඇති ප්‍රතිලාභ 10,65,862.95 කි.
පූර්ණ ආබාධිතයන් ලෙස 27 දෙනෙක් මාසික දීමනා ලබති. ඔවුන් වෙනුවෙන් රුපියල් 81,59,726.67ක මුදලක් ගෙවා තිබේ. මරණ පාරිතෝෂික ලෙස 2,293 දෙනෙක් වෙනුවෙන් රුපියල් 4,11,37,354.01ක මුදලක් ගෙවා ඇත. වෙනත් අතිරේක ප්‍රතිලාභ ලැබූ 1,577 දෙනෙක් වෙනුවෙන් රුපියල් 1,58,46,040.10ක් ලබා දී ඇත.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් සඳරාගම ආයතනය සම්බන්ධයෙන් අපට පැවසුවේ මෙවැන්නකි. " අපේ සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවන්නේ වර්ෂ 1996 දි.
ඒත් ලෝකයේ මේ අදහස හැදී වැඩී ගොඩනැඟෙන්නෙ පසුගිය සියවසේ තිස් වෙනි දශකයේදී. අපේ ප්‍රජා විද්‍යාඥයන් හඳුනාගත් දෙයක් තමයි රටේ ජනගහන සංයුතියෙ වයස්ගත ජනගහනය වැඩිවීම.
නිශ්චිත විශ්‍රාම වැටුපක හෝ වෙනයම් අරමුදලක රැකවරණයක් නැති ක්ෂේත්‍රවල රැකියා කරන ජනතාව වයස් ගත වනවිට රටේ ආණ්ඩුවට සුබ සාධනය සඳහා වියදම් ප්‍රමාණය වැඩි වෙනවා. යැපීම් අනුපාතකිය වැඩි වෙනවා. ඔවුන් ශ්‍රම බළකායේ සාමාජිකයන් වන අවධියේදී උපයන මුදලින් දායකත්වය අරගෙන රජයට පවුලට බරක් නොවී ජීවත් විය හැකි සමාජ රැකවරණයක් සැපයීමේ පදනම මතයි ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ.
සමාජ සුබසාධනය කියන අර්ථයෙන්ම සැකසුණු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් තමයි මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් පසුගිය කොවිඩ් ව්‍යසනය වකවානුවෙදිත් අපි අපේ ප්‍රතිලාභීන්ට මාසිකව රුපියල් මිලියන 32ක් බෙදුවා. "
මෙම ශක්තිමත් අරමුදල බිහිවී කළමනාකරණය වන්නේ කෙසේදැයි අප ඔහුගෙන් විමසුවෙමු. “මෙම අරමුදල ආරම්භ කරන්නේ පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදලක් එක්ක. පසුව මේ අරමුදලට දායකත්ව මුදලක් එකතු වෙනවා. සාමාජික මුදලට ලබා දෙන දායකත්ව මුදලින් තමයි අරමුදල තරවෙන්නේ. ඒ වගේම මේ අරමුදලේ මුදල් ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාරය නිර්දේශ කර තිබෙන මූල්‍ය ආයතනවල.
රජයේ බැංකුවල ස්ථාවර තැන්පතු දමා තිබෙනවා. මාසිකව වාර්ෂිකව අරමුදලට පොලී මුදල් ලැබෙනවා. පොලී මුදලුත් ප්‍රති ආයෝජන කරනවා. ඒ වගේම එම මුදලින් විශ්‍රාම වැටුප් ගෙවනවා. මේ වනවිට මේ ආයතනය සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන්නෙ. ආයතනයේ අරමුදල අභ්‍යන්තරව විගණනය වෙනවා. අමාත්‍යාංශයේ විගණන අංශයෙන්, රජයේ විගණන දෙපාර්තමේන්තුවෙන් විගණනය කරනවා. අරමුදල අවසන් වශයෙන් වගකියන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තු කෝප් සභාව අප අධීක්ෂණය කරනවා. උපමාන ලබා දෙනවා. මූලික වශයෙන් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයක ප්‍රතිලාභ ලබන්න සුදුසුකම වෙන්නෙ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක සාමාජිකයෙක් නොවීම සහ ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම. වයස සහ ශ්‍රී ලාංකේය පුරවැසියෙක් බව තහවුරු කරන උප්පැන්න සහතිකයේත් ජාතික හැඳුනුම්පතේත් පිටපත් පමණයි අයදුම්කරුවෙක්ට අවශ්‍ය වන්නේ. ඊට අමතරව නිවැරදිව පිරවූ අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතුයි. ”
කුමාරි දිසානායක රංගන ශිල්පිනියකි. ඇය කලාකරුවන් වෙනුවෙන් සැකසුණු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක් වන්නේ මීට දශයකකට පෙරය. දැන් ඇය හැට වයස් පිරුණු මිත්තණියකි. “මේ අපි වගේ වයසෙ අයට බලාපොරොත්තුවක්. අපි කලා ක්ෂේත්‍රයෙ නියතු අයට එයින් ආදායමක් නොලැබුණත් මේ ක්‍රමය යටතේ ස්ථිර මුදලක් මාසෙ නිශ්චිත දවසකට ලැබෙනවා. ඒක මොනතරම් සහනයක්ද කියලා තේරෙන්නෙ දැන්”
කලා කරුවන් සඳහා වූ දායක විශ්‍රාම වැටුපට එක් පුද්ගලයෙක් වෙත රුපියල් පනස් දහසක ස්ථාවර තැන්පතුවක් ලබා දුන්නේ රජයෙනි.
ඒ.ඒ.එස්. රෙක්සි මෝටර් කාර්මිකයෙකි. විදෙස්ගතව සිටි ඔහු ලංකාවට පැමිණ තිබුණේ මාස හයකට පෙරය. ඔහුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට සම්බන්ධ වන්නේ දශකයට එපිට කාලයක දී විදෙස් ගතව සිටි අවධියේය.
“මේක ඉතාම හොඳ ප්‍රතිලාභයක්. අපි තැන්පත් කළ මුදලට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ” ඔහු පැවසුවේ සතුටිනි. ඩී.පී.ඊ. ජයවර්ධන රූපලාවණ්‍යය ශිල්පියෙක් ලෙස කළුතර මොරන්තුඩුවේ කටයුතු කරන අවධියේදී සිය බිරියත් සමඟම මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක් වී සිටියේය. “අපිට දැන් වයස හැට පැනලා. දැන් මාසිකව අපට ප්‍රතිලාභ ලැබෙනවා. යම් ගානක් මාසෙකට බැංකුවට දැම්මත් මේක වෙන්නෙ නෑ. මේක හරිම වටිනවා. පුළුවන්තරම් මේකට සම්බන්ධ වෙන්න කියලා ඔබට කියන්නෙ අපේ අත්දැකීමෙන්.”
ඉන්ද්‍රප්‍රිය කෑරගල සෞඛ්‍ය සේවයේ යෙදි සිට සෞදි අරාබි රෝහලක රැකියාවකට ගියා ශ්‍රමිකයෙකි. ඔහු මෙම යෝජනා ක්‍රමය ගැන දැනගන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙනි.
“ මේ යෝජනා ක්‍රමයට බැඳිලා අවුරුදු 15ක් විතර ඇති. දැන් මට අවුරුදු 65යි. ගිය අවුරුද්දෙ මම ලංකාවට ආවෙ. පහුගිය අවුරුදු පහේ ඇරියස් එක හා වැඩිපුර ගෙවපු මුදලත් මට ලැබුණා.”ඔහු පවසන්නේ මෙවැනි සංකල්ප තුළ රට ඉදිරියට යනු ඇති බවය.
සමෘද්ධි හා වෙෙළඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමාජ ආරක්ෂණ මණ්ඩලය ලබා අති ප්‍රගතිය ගැන අදහස් පළ කළේ බලාපොරොත්තු සහගතවය.
“ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා 2021 දී නව සමාජිකයින් 56,196ක් බඳවාගෙන තිබෙනවා. එහි මූල්‍ය අගය රුපියල් මිලියන 139.62ක්. වසර 25ක ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහළම මූල්‍ය ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා.” ඔහු අපට කියන්නේ දුගී මිනිසුන්ගේ ජීවිත බලාපොරොත්තු ගන්වන ආයතනයක මුල් බැසගත් ස්ථාවර පදනම ගැනය. රටක් යහපත් තැනක් කිරීමට බොහෝ විසල් සාටෝප අනවශ්‍ය බව පමණක් මේ සියලු දේ අපට කියා දෙන්නේය.