රඹුක්කන මොකද වුණේ | සිළුමිණ

රඹුක්කන මොකද වුණේ

උද්ඝෝෂකයෝ රඹුක්කන දුම්රිය මාර්ගය අවහිර කරමින්

- මිය ගිය පුද්ගලයා දෙදරු පියෙක්
 - වැඩි කළ මිලට ඉන්ධන නිකුත් කරන්න බවුසරය පරක්කු කළා යැයි ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

ගෑස්, කිරිපිටි, ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණන් දිගුවෙද්දී ඒවායේ මිල ද ජනතාවට දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ යන්නේ ජනතා කෝපය දෙගුණ තෙගුණ කරමිනි. විශේෂයෙන් ඉන්ධන මිල ද නොසිතූ විරු ලෙස දවසට දෙකට ඉහළ දැමීමට අයි.ඕ.සී ය සහ සිපෙට්කෝව පියවරගෙන තිබුණේ ඉන්ධන සඳහා අති විශාල මුදලක් ගෙවීමට සිදුව තිබීම නිසා වුවත් මහජනතාවට ඒ නිදහසට කරුණු දැක්වීම සත පහකටවත් මායිම් කළ බවක් දක්නට තිබුණේ නැත. ඉන්ධන හිඟයත් දවසට දෙකට එකවර ලොකු මුදලකින් ඉන්ධන මිල වැඩි කිරීමත් නිසා පාරිභෝගික ජනතාව සිටියේ ලොකු පීඩනයකිනි. ඒ පීඩනය පුපුරා යන්නේ රඹුක්කන ප්‍රදේශයෙනි. ඒ පුද්ගලයකුට සිය දිවි අහිමි කරමින් සහ දේපළ විනාශයක් ද සමඟ රටට කළු පැල්ලමක් ද ඇති කිරීමෙනි. 

රටේ අනෙක් ප්‍රදේශවල වාගේම රඹුක්කන ප්‍රදේශවාසිහු ද ඉන්ධන හිඟයෙන් බැටකන්නේ සෑහෙන දවසක සිටය. රඹුක්කන නගරයේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි වාහන පෝලිම දක්නට ලැබුණේ දින කිහිපයක සිටය.

රඹුක්කන ඉන්ධන පෝලිම එසේම තිබියදි පසුගිය 18 වැනිදා රාත්‍රි ඉන්ධන මිල නැවත ඉහළ ගොස් තිබිණි. 18 වැනිදා පස්වරුවේ රඹුක්කන ඉන්ධන පෝලිමට පැමිණි රථ වාහන හිමියන්ට දැන ගැනීමට ලැබුණේ එදින සවස අදාළ ඉන්ධන බවුසරය කොළොන්නාවේ සිට පැමිණෙන බවය. ඒ නිසා වාහන අයිතිකරුවන්, රියැදුරන්, වාහනවලටම වී සිටියේ අඩුම ගණනේ රාත්‍රියේදී හෝ ඉන්ධන බවුසරය එහි පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. පස්වරු 6.30ට පමණ පිරිස දැනගෙන ඇත්තේ ඉන්ධන බවුසරය එම වේලාවට නිට්ටඹුවෙන් පිටත්ව ඇති බවය. රාත්‍රි 8.30 පමණ වන විට බවුසරය වරකාපොළට පැමිණීමට ඉඩ ඇති නිසා වාහන හිමියන් රියැදුරන් බලාපොරොත්තු සහගත වූහ.

එහෙත් එදින රාත්‍රි ඉන්ධන මිල වැඩි කැරුණේ ලොකු ගණනකිනි. නිට්ටඹුවෙන් පිටත් වූවා යැයි කී බවුසරය ද තවමත් නැත. බවුසරය වරකාපොළ නවත්වා රාත්‍රි 12ට නැවත ගමන් ආරම්භ කළ බව ද ඊට හේතුව වැඩි කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට හැකිවීම බවට ද දුෂ්‍යමාන ආරංචි රඹුක්කන ඉන්ධන පෝලිම පුරා පැතිර යන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. ඉන්ධන පෝලිමට ‘ගිනි ඇවිළෙන්නේ’ මේ ආරංචියත් සමඟය. ඒ අලුයම 1ට පමණය.

රඹුක්කන ඉන්ධන පිරවුම්හල අසලින් පටන් ගත් මේ විරෝධතාව නගරය පුරා විහිදී පැතිරි යන්නට එතරම් වේලාවක් ගතවූයේ නැත. විශාල පිරිසක් ද මේ වන විට විරෝධතාවට එක්ව සිටියේ සටන් පාඨ ද කියමිනි.

රඹුක්කන නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග ද විරෝධතාකරුවන් විසින් හරස්කරන ලද්දේ ඉන් අනතුරුවය. උඩරට දුම්රිය මාර්ගය ද රේල්පීලි සිල්්‍පර කොට දමා අවහිර කැරිණි. මේ වන විට 19 වැනිදාට පහන් වී තිබූ අතර පුද්ගලයන් දෙදහසක් පමණ මේ විරෝධතාවට සහභාගි වී සිටියහ.

රඹුක්කන පොලිසියට තත්ත්වය පාලනය කිරීමට අපහසු වූ නිසා කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවලින් අතිරේක පොලිස් කණ්ඩායම් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් රඹුක්කනට පැමිණෙන්නේ ඔය අතරය.

කොළඹ කොටුවේ සිට මහනුවර බදුල්ල නානුඔය බලා ධාවනය වූ දුම්රියන් සහ බදුල්ල මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියන් රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් නවතා තිබුණේ රේල්පීලි සහ සිල්පර කොට දමා උඩරට දුම්රිය මාර්ගය විරෝධතාකරුවන් විසින් අවහිර කර තිබූ බැවිනි. මේ වන විට විරෝධතාව ආරම්භ වී පැය 12ක් පමණ ගතවී තිබිණි. පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ, බැටන් පොලු, ගිනි අවි සහිතව සීරුවෙන් සිටියේ එන විදියකට මුහුණ දීම සඳහාය. ටී56 තුවක්කුවලින් සන්නද්ධ පොලිස් නිලධාරින් විශාල පිරිසක් ද රඹුක්කන නගරයේ ආරක්ෂාවට යොදවා සිටියහ.

විරෝධතාව ආරම්භ වී පැය 12 – 13 ක් ගතවෙද්දී නගරයේ රථවාහන පෝලිම කිලෝමීටර් ගණනක් ඈතට දිස්වූ අතර පාසල් සිසුන්, රෝගීන්, රඹුක්කන නගරයට පැමිණෙන මගීන් ඇතුළු අතිවිශාල පිරිසක් මහත් දුෂ්කරතාවට පත්ව සිටියේ ය.

මේ අව් අස්සේ රඹුක්කන නගරයට පැමිණෙමින් තිබුණු ලීටර් තිස්තුන්දහසක් අඩංගු ඉන්ධන බවුසරය විරෝධතාකරුවන් විසින් රඳවාගෙන එය උඩරට දුම්රිය මඟ හරස්වනසේ ධාවනය කර නතර කරන්නට පියවර ගන්නේ මිනිත්තු කිහිපයක් ඇතුළතදීය.

විරෝධතාකරුවන් එසේ රඳවාගත් ඉන්ධන බවුසරයේ රෝදවල හුළං යවා එතැනට එක්රොක්ව සිටියදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට සූදානමක් ඇතැයි පොලිසියට සැලවෙන්නේ ඒ අතරතුරදීය.

පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නේ පිරිස එතැනින් විසුරුවා හැරීමට වුවත් තත්ත්වය නරක අතට හැරෙන්නේ එතැන් සිටය. විරෝධතාකරුවන් කඳුළු ගෑස් ප්‍රහාරය මධ්‍යයේ රේල්පාරට එකතුවී ගල්මුල්වලින් පොලිස් නිලධරයන්ට ප්‍රහාරයක් එල්ල කරන්නේ ඉන්පසුවය. ඒ අතරතුරේ ත්‍රිරෝද රථයකට ද ගිනි තැබිණි. එය කෙළේ පොලිස් නිලධාරියකු බව කියමින් විරෝධතාකරුවෝ පොලිසියට චෝදනා කෙළේ ගල්මුල්වලින් පහර දෙන අතරේදීය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම ක්‍රමක්‍රමයෙන් වඩාත් නරක අතට හැරෙද්දී පොලිස් නිලධාරීන් විසි දෙනෙකු පමණ තුවාල ලබා සිටියහ. විරෝධතාකරුවන් දහ අට දෙනෙකු පමණ ද ලේ ගලන තුවාල සහිතව සිටි අතර දෙපිරිස ම ගිලන් රථ සහ වාහනවලින් ප්‍රතිකාර පිණිස ඇතුළත් කැරුණේ කෑගල්ල මූලික රෝහලටය. බවුසරයට ගිනි තැබීම වැළැක්වීම සඳහා පොලිසිය විරෝධතාකරුවන් දෙසට වෙඩි පහර එල්ල කරන්නේ ඔය අතරේදීය. ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවකු මිය ගිය බව දැන ගැනීමත් සමඟ තත්ත්වය වඩාත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා රඹුක්කන පොලිස්බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවෙන්නේ පස්වරුවේ සිටය.

පොලිස් කැරලි මර්දන අංශය රඹුක්කන ‘ඉන්ධන කැරැල්ල’ පාලනය කරන විට සවස් වී තිබිණි. ඒ අතරේ රඹුක්කන නගරය ද පාළුවට ගොස් තිබූ අතර ගැටුම පැවැති ස්ථානය, දුම්රිය ස්ථානය, ඉන්ධන පිරවුම්හල අසල යුද පිටියක වෙස් ගෙන තිබිණි.

පොලිස් නිලධාරින් විසි දෙනෙකු සහ විරෝධතාකරුවන් ඇතුළු තිස් හතරදෙනෙක් ඒ වන විට කෑගල්ල රෝහලේම ප්‍රතිකාර ලැබූ අතර සහකාර පොලිස් අධිකාරිවරයකු ද ඒ අතර සිටියේය. 

රඹුක්කන ඉන්ධන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව දැන ගැනීමට ලැබීමත් සමඟ රට පුරා උද්ඝෝෂණ රැල්ල ශීඝ්‍රයෙන් වැඩි විය. 19 වැනිදා පමණක් රටපුරා උද්ඝෝෂණ 55ක් පැවැත්විණි. පොලිස් වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා රඹුක්කන නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි දොන් චමින්ද ලක්ෂාන් නමැති අයකු බවට හඳුනා ගැනිණි. චමින්ද පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් සඳහා ඔහුගේ බට්ටා ලොරිය උපයෝගි කරගෙන ආහාර සැපයූ අයකු බව හෙළිවිය. ඔහුට දරුවන් දෙදෙනෙකි. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ චමින්ද අපරාධ නඩු දෙකක චුදිතයකු බව ද හෙළි විය.

මේ විරෝධතාව අතරතුර ඉන්ධන පිරවුම්හලේ තිබුණු ඉන්ධන පුරවන යන්ත්‍රයකට ද කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබීම ද සුවිශේෂය. රඹුක්කන ‘ඉන්ධන කැරැල්ල’ පිළිබඳ සහ පොලිසිය එය මැඬ පැවැත්වීමට ගත් උත්සාහය ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජනතාවට කරුණු පැහැදිලි කළේ මේ අතරතුරදීය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ ගැන විමර්ශන සී.අයි.ඩී. යට පැවරිණි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ ය.

“මෙම අවාසනාවන්ත සිදුවීමේදී පොලිසිය විසින් කලහකාරී පිරිසට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට කටයුතු කරන අවස්ථාවේදී ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරී තිබෙන බවත් කලහකාරී පිරිස ඉන්ධන ලීටර් තිස්තුන් දහසකට අධික ප්‍රමාණයක් අඩංගු බවුසරයට ගිනි තැබුවා නම් ප්‍රදේශයට විශාල හානියක් සිදුවීමට ඉඩ තිබුණ බවත් එය වැළැක්වීමට ක්‍රියා කළ පොලිස් නිලධාරීන්ට වටකර, කළ පහරදීමේදී ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීමට පොලිස් නිලධාරින් වෙඩි තැබීමක් සිදුකර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මේ සිද්ධිය ගැන රඹුක්කන පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේ කරුණු වාර්තා කරන්නේ ඉන් අනතුරුවය.

චමින්ද ලක්ෂාන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ ස්ථානය ද මහේස්ත්‍රාත්වරිය පරීක්ෂා කළාය.

"දෙපැත්තෙන්ම ගල් පහරවල් එල්ල වුණා. මම ළඟ හිටපු සුද්දාට කිව්වා ඈතට දුවලා යන්න කියලා. ඔහු එලෙස ඈතට දුවලා යද්දී වෙඩි පහරවලට ඉලක්ක වුණා" යැයි මේ සිද්ධිය ඇසින් දුටු අයෙක් එහිදී සාක්ෂි දෙමින් සඳහන් කෙළේය.

සිවිල් වැසියන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයන් විශාල පිරිසක් ඇඳිරි නීතිය ද නොතකා රඹුක්කනට පැමිණ සිටීම සුවිශේෂී විය.

දේපළ අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයකු කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතිඥයන් බොහෝ පිරිසක් ඉදිරිපත් වූහ. කෑගල්ල මහරෝහලේ තැන්පත් කර තිබූ චමින්ද ලක්ෂාන් ගේ දේහය ද නිරීක්ෂණය කළ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිසියට නියෝග කළේ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමන්ත විජේරත්න වෙත දේහය යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ගැටුමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් 20 දෙනා මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබූ අතර සිවිල් වැසියන් දහඅට දෙනා කෑගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

ගැටුම සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කෙළේ පොලිස් නිලධරයකු ත්‍රිරෝද රථයකට ගිනි තැබීයැයි එල්ල වී ඇති චෝදනාව ගැන ද විමර්ශනය කරන බවය. මේ අවස්ථාවේදී එතැන සිටි නීතිඥයින් සහ පොලිස් නිලධාරින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. නීතිඥවරු ප්‍රශ්න කෙළේ විරෝධතාකරුවන් පසුබැස සිටියදී පොලිසිය ඔවුන්ට වෙඩි තැබුවේ ඇයිද යන්නය.

පසුගිය 20 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්විය.

“රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන බවුසරයට ගිනි තැබුවා නම් සිදුවන හානිය ඉතා විශාලයි. එවැනි ක්‍රියාවක් වැළැක්වීමටයි පොලිසිය ක්‍රියාකර තිබෙන්නේ. එම පොලිස් නිලධාරින්ගේ ක්‍රියාව හරිද වැරදිද කියලා තීරණය කරනු ලබන්නේ ගරු අධිකරණය මඟින්. ඒ සඳහා සමාජ මාධ්‍ය ජාලාවල සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය දර්ශනත් උපයෝගී කරගන්නවා. මෙම සිද්ධියේදී මිය ගිය පුද්ගලයාට මීට පෙර අධිකරණයේ නඩු දෙකක් තිබූ බවට වාර්තා වෙනවා.” යැයි ඔහු පැවැසීය.

මෙම සිදුවීමේදී පොලිසිය විසින් බලය පාවිච්චි කිරීම නිත්‍යානුකූලව සිදුකර තිබේද යන්න අනාවරණය කරගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කර ඇත. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර,මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එස්.පී.සූරියප්පෙරුම සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඊ.එස්.ජයසිංහ එහි සාමාජිකයෝ වෙති. මෙම සිදුවීමට අදාළ ඉන්ධන පිරවුම්හල අයත් සීමාසහිත රඹුක්කන විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකු මෙසේ පැවසීය.

“සමුපකාර සමිතියේ බවුසරයෙන් ඉන්ධන ගෙනැවිත් එය සඟවා තබා වැඩි මිලට විකිණීමට පසුව ගෙන ආවා කියන කතාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපේ බවුසරය මාසයක් තිස්සේ වැඩ නැහැ. ඒ අලුත්වැඩියාවලින් පස්සේ අප්‍රේල් 18 තෙල් සංස්ථාවේ කොලොන්නාව ගරාජ් එකට යැවුවා. තවමත් එය එහි ආරක්ෂක අංශය භාරයේ තිබෙනවා. මේ සිද්ධිය වූ දවසේ ආවේ වෙනත් බවුසර් දෙකක්. ඒවා තෙල් සංස්ථාවේ කුලී පදනමට දුවන ඒවා. විරෝධතාවේ යෙදුණු අය හංගපු බවුසර් කියලා තෙල් බාන්න දුන්නේ නැහැ. පරණ මිලට දෙන්න කියලයි ඔවුන් උද්ඝෝෂණය කළේ. එහෙම දුන්නා නම් ලක්ෂ විසි හයක්, තිහක් විතර සමිතියට පාඩු වෙනවා.

රඹුක්කන උද්ඝෝෂකයන් ඉන්ධන ලීටර් තිස්තුන්දහසක් සහිත බවුසරයකට ගිනි තැබුවා නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණා යැයි මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වැනිදා සඳහන් කෙළේ මේ සිද්ධිය එහි රැව් පිළිරැව් දීමත් සමඟය. 

පොලිසිය මේ අවස්ථාවේදී කටයුතු කෙළේ පොලිස් ආඥා පනත සහ පොලිස් නියෝග මත යැයි ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලිසියට මේ සඳහා අවශ්‍ය බලය ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රඹුක්කන සිද්ධිය පිළිබඳ කරුණු විමසීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට පසුගිය 22 දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම මඟින් දැනුම් දී තිබිණි.

පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ කුරුවිටගේ දොන් චමින්ද ලක්ෂාන්ගේ දියණිය කියන්නේ මෙවැනි කතාවකි.

“තාත්තා අපිට එදා දවල් කියලා ගියේ පෙට්‍රල් ගහන්න ෂෙඩ් එකට යනවා කියලා. හවස බයික් එක ගන්න හදද්දී තමයි වෙඩි වැදිලා තියෙන්නේ. මේ සිද්ධිය එක මාමා කෙනෙක් දැකලා තියෙනවා. අපිට මේ ගැන සාධාරණයක් ඕනේ. මට මේ වෙනුවෙන් සල්ලි මිල මුදල් එපා. මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ.

මේ අතර කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි.


දීපාල් සමරසේකර

Comments