බණ්ඩාගේ චිත්‍රපටිය! | සිළුමිණ

බණ්ඩාගේ චිත්‍රපටිය!

 

බණ්ඩා සෑහෙන තරමේ මනමාලයෙකි. මනමාලකම කෙතරම්දයත්; තමන් ගැහැනුන් සියයක් සමඟ නිදි යහනට ගොස් ඇතැ’යි තෙමේ ම පුරසාරම් දොඩයි. ගම ඇත්තෝ එය ගෙඩිය පිටින් පිළි නො ගත්තේ වුව බණ්ඩා සෑහෙන ගැහැනු ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැ’යි විශ්වාස කරති. ආවාහයක් සඳහා තරුණියක සොයා ගත නො හැකි තැනැත්තකු දුටුවිට මේ මං වගේ හිටපල්ලා යැයි බණ්ඩා ඔවුනට උපදේශන සපයයි. ඕකා ගෙදරකට වැද්දගන්නට එපා යැයි සමහර වැඩිහිටියෝ අනතුරු හඟවති. කෙසේ වුව පිරිමින් බණ්ඩාට අකැමැති ය. ගැහැනුන් බණ්ඩාට කැමැති ය.

 

ඉතා සාමකාමී නිරවුල් පවුල් ජීවිතයක් ගත කළ ගුණසේනගේ ගෙදර අවුල් කළේ බණ්ඩා යැයි කියති. ගුණසේනගේ තරුණ බිරිය වූ සඳා බණ්ඩා සමඟ අයථා සම්බන්ධයක් ඇති කර ගත් අතර එය අතට ම හසුවීමෙන් පසු ගුණසේන සිය බිරිද අත් හළේ ය. එහෙත් බණ්ඩාට සඳා භාර ගැනීමේ හැකියාවක් නැත. ඒ වන විටත් අක්කා හා නංගී යනුවෙන් ගැහැනු දෙදෙනෙක් ඔහුට අඹුකම් කළහ. සඳා ගම හැර ගිය අතර යළි කිසි දිනෙක ගුණසේනගේ ගෙදරට පැමිණියේ නැත.

බණ්ඩා සෑම දිනක ම හැන්දෑවේ කඩපොළට පැමිණ පොඩි පහේ කයිවාරුවක් ගසයි. ඔහුට සවන් දෙන්නට බොහෝ පිරිසක් බලා උන්හ. බණ්ඩා වැඩිපුර ම කතා කරන්නේ ස්ත්‍රීන් ගැන ය. ස්ත්‍රීන්ගේ චර්යාවන් ගැන ය. ඔහුගේ හොඳ ම මිතුරා උක්කුවා වුව දෙදෙනා නිතර දබර කර ගනිති. කඩමණ්ඩියේ දී ඔව්හු එකිනෙකාට ඇණුම් පද කියා ගනිති.

“ඈ උක්කුවො,

උඹහැ කසාද ගෑනි ඇරෙන්ට

වෙන ඉස්තිරියාවක් ආශ්‍රය

කරල නැද්ද?”

“යකෝ මං වැදගත් මිනිහෙක්!

උඹැහැ වගේ වලත්තයෙක් නෙවී!”

“ඈ යකෝ!

එතකොට අන්තඃපුරයක්

තියාගෙන හිටපු රජ්ජුරුවො

වලත්තයෙක් ද?”

“අනේ ගස් බණ්ඩො!

උඹැහැ රජ කෙනෙක් ද?”

“උඹැහැ දන්න කෙන්ගෙඩිය!

රාජකුමාරවරු දාල හොරුත් එක්ක

පැනල යන කුමාරිකාවො හිටියා!

වැඩේ තියෙන්නෙ උඹල ඒ කලාව

දන්නෙ නැති එකයි!”

කුමන වාද - විවාද පැවැතිය ද අවසන් ලෙස ජයග්‍රහණය අත්වන්නේ බණ්ඩාට ය. ඔහු පරදින්නට කැමැති නැත. තමන්ට ප්‍රිය ගැහැනියක දුටුවහොත් ඇය කෙසේ හෝ රවටාගැනීම බණ්ඩාගේ ක්‍රමය වෙයි. ඔහුට කඩවසම් ශරීරයක් නොතිබුණේ වුව කතාවෙන් හා ඉඟියෙන් ස්ත්‍රියක මුළා කර ගැනීමේ උපාය බණ්ඩා දනී.

අලුත් අවුරුදු සමයේ නාන තොට ළඟදී අලුත් ම ගැටිස්සියක් ඔහු නෙත ගැටිණි. ඇය ගමේ එකියක නොවන බව බණ්ඩාට වැටහිණි. කොණ්ඩය අලුත් තාලයකට හැඩගස්වා තිබූ අතර ඇඟ ද හැඩ ය. බණ්ඩා බොහෝ වේලා ඇය දෙස බලා සිටියේ ය. තරුණිය කිසිදු ලැජ්ජාවකින් තොර ව ඔහු හා සිනාසුණා ය.

“මේ නංගි අපේ ගම් පළාතෙ

කෙනෙක් නෙවෙයි වෙන්ටැ!”

“අයිය කොහොම ද

දැනගත්තෙ?”

“නෑ! ඔච්චර ලස්සන කට්ටිය

අපේ ගමේ නෑ!”

“මං ලස්සන ද අයියා!?

තැන්ක් යූ!”

තරුණිය අප්පුහාමි මාමාගේ බිරියගේ ඥාති දියණියකි. ඇය කඩවත හැදුණු - වැඩුණු නාගරික පන්නයේ තැනැත්තියකි. කොළඹ පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා සිටි තරුණිය රැකියාවක් අපේක්ෂාවෙන් සිටියා ය. ගෙදර දී ඇති වූ පෙම් පලහිලව් කිහිපයක් නිසා ඇගේ මවුපියන් ඇය අප්පුහාමිගේ නිවසට එවා තිබිණි. ඒ ටික කාලයකට ය. අප්පුහාමි රූලට වැඩ කරන කේන්තිකාරයකු නිසා තම දියණියට රැකවරණයක් ඇතැ’යි තරුණියගේ මාපියෝ කල්පනා කළහ.

බණ්ඩාගේ හිත වෙන කවදාටත් වඩා ප්‍රේමයෙන් මුසපත් වී තිබූ අතර ඔහු නිතර අප්පුහාමිගේ නිවස අසල රැඳුණේ ය. මේ තත්ත්වය ඉව වැටුණු බණ්ඩාගේ ඇඹේණියෝ දෙදෙනා අප්පුහාමිගේ ඥාති දියණියට බැණ වදින්නට පටන් ගත්හ. එහෙත් බණ්ඩාගේ උත්සාහය නැවතුණේ නැත.

“මේ නංගිට මං නිසා

කරදරයි නේද?”

“අපොයි ඕක මොකක් ද?

මං ඕවට බය නෑ!”

“ඒ කියන්නෙ

නංගි හරි එඩිතරයි!”

“නැතිව, නැතිව!

හෙට මගේ බර්ත් ඩේ එක

තෑග්ගක් ඕනෑ! හරි ද?”

බණ්ඩාට තෑගි ගන්නට සල්ලි නැත. ඔහු එක් ඇඹේනියක ගේ මාලය හොරකම් කොට එය උගස් තැබුවේ ය. අලුත් පෙම්වතියට තෑගි ගෙනත් දුන්නේ ය. බණ්ඩාගේ ඊළඟ කල්පනාව වූයේ පෙම්වතිය කැටුව සිනමා සිත්තමක් නැරඹීමට යෑම ය. ඔහු ඒ සඳහා නොයෙක් උපාය මාර්ග කල්පනා කළේ ය.

“නංගි අපි ටවුම පැත්තෙ ගිහින්

ටිකක් ඇවිදල එමු. හොඳ හෝටලේකින්

කෑම ටිකක් කාල නිදහසේ

කතා කරන්ටත් පුළුවන්!”

“හරි අයියෙ මං අනිද්ද

කඩවත යනවා! ඔයත්

එන්ඩ මාත් එක්ක!

හරි ෂෝක්!”

බණ්ඩා අනිද්දා වන තුරු පැය, විනාඩි, තත්පර ගණන් කළේ ය. කළිසම් මැද්දේ ය. කමිස මාරු කළේ ය. හොඳින් නා කියා ගත්තේ ය. සපත්තු පොලිෂ් කළේ ය. ඇඹේණියෝ මේ විපර්යාසය දෙස නිහඬ ව බලා උන් හ. බණ්ඩා එම නිහඬබවෙන් තවදුරටත් ප්‍රයෝජන ගත්තේ ය. නියමිත දිනයේ නියමිත වේලාවේ දී ඔව්හු සම්මුඛ වූහ. බසයක නැඟී එක අසුනේ සිට කඩවත බලා ගියහ.

බසයෙන් බැසගත් ඔව්හු කෙළින් ම සිනමා ශාලාව වෙත ඇවිද ගියහ. සිනමා ශාලාව ඉදිරිපිට තිදෙනෙක් ඔවුන් දෙස බලා උන්හ. ඒ බණ්ඩාගේ ඇඹේණියන් දෙදෙනා හා අප්පුහාමිගේ ඥාති දියණියගේ පෙම්වතා ය.

තිදෙනා දුටු කල බණ්ඩාට හීන් දාඩිය දැම්මේ ය. බණ්ඩා වෙතින් දුරස් වූ තරුණිය සිය පෙම්වතාට බණ්ඩා හඳුන්වා දුන්නා ය.

“මේ බණ්ඩයියා! බණ්ඩයිය

කීවට එයා අන්කල් කෙනෙක්

මට හරියට උදව් කළා!”

පෙම්වතා බණ්ඩාට ස්තුති කළ අතර සිය පෙම්වතිය කැටුව සිනමා ශාලාවට ඇතුළු වූහ. මෙතෙක් පුපුරමින් බලා සිටි ඇඹේණියෝ බණ්ඩාගේ දෑතින් අල්ලා ගත්හ. ඉන් එකියක් මෙසේ කීවා ය.

හ්ම් දැන් ඉතින් අපිටත්

චිත්තරපටිය පෙන්නනවා!

Comments