පවතින අර්බුදය හමුවේ රට අරාජික නොවීමට නම් | Page 2 | සිළුමිණ

පවතින අර්බුදය හමුවේ රට අරාජික නොවීමට නම්

පෙළපාළි මඟින් පාලකයන් ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදි නැහැ 
- මහාචාර්ය ගාමිණි සමරනායක

ජනතා අවශ්‍යතා සපිරීමට රජය අපොහොසත් වෙලා
- මහාචාර්ය සුමනසිරි ලියනගේ

මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ ව්‍යවස්ථා රාමුව ඇතුළෙ 
- මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

ගෝල්ෆේස් අරගලයට ආණ්ඩුව පරාජය කරන්න බැහැ
- දේශපාලන විශ්ලේෂක සිරිමල් විජේසිංහ

ඇත්ත යටපත් කරගෙන බොරුව ඉස්මතු වෙනවා
- නීතිඥ සාගලා කාරියවසම්

පිරිසකට බදු සහන දීලා ජනතාවට අඳුරේ ඉන්න කියන එක වැරදියි
- ජ්‍යෙෂ්ඨ නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම

“ජන අරගලය“ අද දවසේ පොදු මාතෘකාවක් බවට පත් වී තිබේ. පුවත්පත්, රූපවාහිනි වැනි මාධ්‍ය පමණක් නොව මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය ජාලා තුළ පවා ප්‍රධාන පුවත බවට පත් වී තිබෙන්නේ ජන අරගලයයි. ගාලු මුවදොර පිටියෙන් පටන්ගත් මෙම ජන අරගලයට සහාය දැක්වීම පිණිස දැන් රට පුරා හර්තාල් ආරම්භ වී තිබේ. රඹුක්කන පැවැති විරෝධතාව අතරතුර පොලිස් වෙඩි තැබීමකින් තරුණයකු මරුමුවට පත් වූයේ පසුගිය අඟහරුවාදා (19) ය.

රඹුක්කන විරෝධතාවට පිරිස එකතු වූයේ ඉන්ධන ප්‍රශ්නය මුල් කර ගනිමිනි. තෙල් ඉල්ලා, ගෑස් ඉල්ලා පාරට බැස හඬ නඟන ජනතාව අද සුලබ දසුනක් වී තිබේ. ඒ අතරවාරයේදී පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් ඊට සම්බන්ධ වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව පවසා විරෝධතාවේ නිරත වූ අය ද පසුගිය 22 වැනිදා දැක ගත හැකිය. රැකියාවට යෑමට පාසල් යෑමට මහමඟට පැමිණෙන අයට ගමන් කිරීමට බස්රථ නැත. පෞද්ගලික බස් රථ වර්ජනයේය. වදෙන් පොරෙන් ලංගම බස් රථයකට ගොඩ වුවත් නිශ්චිත වේලාවකට ගමනාන්තය කරා ළඟා විය හැකිවේදැයි නිශ්චිතව කිව නොහැක්කේ මහමඟ පැවැත්වෙන උද්ඝෝෂණ, පෙළපාළි හා මාර්ග අවහිර කිරීම් නිසා ය.

"රටේ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඒ තුළින් අරාජික තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. නීතිය හා සාමය නැතිවෙලා. නීතිය හා සාමය ගැන ජනතාවට විශ්වාසය නැතිවෙලා." යනුවෙන් අදහස් පළ කළේ මහාචාර්ය ගාමිණි සමරනායක ය.

මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේ මේ වන විට රට අරාජික වී ඇති බවය. හමුදාව, පොලිසිය හැර රට පාලනය කරන කෙනෙක් දක්නට නොලැබෙන බව ඔහුගේ අදහස විය.

"රටේ පුරවැසියෙක් හැටියට මම රජයකින් බලාපොරොත්තු වන දේවල් තියෙනවා. විදුලිය, ඉන්ධන, ගෑස්, වෛද්‍ය සේවාව, ආර්ථිකය, අධ්‍යාපනය යන දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ රජයෙන්. මොකද මේ දේවල්වල ඒකාධිකාරය තියෙන්නේ රජයට. ඒත් මට අවශ්‍ය ගෑස්, ඉන්ධන නැතිනම් විදුලිය නැතිව අඳුරේ ඉන්න වෙනවා නම් සෞඛ්‍ය සේවාව ඖෂධ හිඟ නම් විභාග පවත්වන්න කඩදාසි නැතිනම් එතනදි කියන්න සිද්ධ වෙන්නේ අරාජිකයි කියලා තමයි. රජය අපොහොසත් වී තිබෙනවා ජනතාවගේ අවශ්‍යතා සපුරන්න." යනුවෙන් පැවසුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රමණි මුත්තෙට්ටුවේගමය.

වර්තමානයේ රටේ අර්බුදයක් හටගෙන ඇති බව සැඟවිය හැක්කක් නොවේ. රටේ මතු වී තිබෙන ඩොලර් හිඟය නිසා ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමේ ගැටලු තිබේ. මහාචාර්ය ගාමිණි සමරනායක සඳහන් කළේ ලෝකය ගිල ගත් කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය පමණක් නොව ලෝකයම ආර්ථික වශයෙන් දරුණු කඩා වැටීමකට ලක් වී ඇති බවයි.

"ලෝකයේ බොහෝ රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. දියුණු රටවල් ඉක්මනින් ගොඩ ආවා. ඒත් අපේ රට දියුණු වෙමින් පවතින රටක් නිසා අපි තවමත් අර්බුදයේ ඉන්නවා. කොරෝනා වසංගතය එක්ක අපේ රට වැහුවා. සංචාරකයන් පැමිණියේ නැහැ. අපනයන ආදායම අඩු වුණා. රටේ තිබුණු මුදල් ජනතා ශුභ සාධනයට යෙදෙව්වා. කොවිඩ් එන්නත්කරණයට වියදම් වුණා. ඒනිසා අපිට ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදු වී තිබෙනවා. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු මේ වන විට බිඳවැටී තිබෙනවා. මේ අර්බුදය මධ්‍යම පාංතිකයන්ට බලපානවා. දැන් මිල පාලනයක් නැහැ. කළුකඩ බිහිවෙලා තියෙනවා. ඉහළ යන ජීවන වියදම දරා ගන්න බැරිව ජනතාව පාරට බැහැලා තියෙනවා." යනුවෙන් පැවසුවේ මහාචාර්ය ගාමිණී සමරනායකය.

රටේ ආර්ථික අර්බුදයක් තිබෙන බව දැන දැනත් එක්තරා පිරිසකට පමණක් බදු සහන ලබා දී ජනතාවට ලයිට් නිවාගෙන සිටින ලෙස උපදෙස් දීම අයුක්ති සහගත බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම, එකී බදු සහන ලබා ගත් අයගෙන් මුදල් අය කරගෙන එය රටේ ආර්ථිකයට එකතු කළ යුතු බව ද අවධාරණය කළාය.

"අර්බුදය පටන් ගත්තේ බඩු හිඟය නිසා ඇති වූ පීඩනයකින්. ඒනිසා මම කැමතියි මේ අරගලය පාරිභෝගිකයන්ගේ අරගලයක් හැටියට හඳුන්වන්න. ගෝල්ෆේස් පිට්ටනියේ අරගලය පටන් ගත්තාට එතන ඉන්නේ මධ්‍යම පාන්තිකයන්. පීඩිත පාන්තියකයින් නොවෙයි මේ අරගලය පටන් ගත්තේ. අද එතනට වාහනවලින් කට්ටිය ඇවිත් සෙල්ෆි ගහලා ෆොටෝ දාන කලාවක් තියෙන්නේ. ගෝල්ෆේස් අරගලයට බැහැ ආණ්ඩුවක් පරාජය කරන්න." යනුවෙන් පැවසුවේ දේශපාලන විශ්ලේෂක සිරිමල් විජේසිංහ ය.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩුව පරාජය කිරීමට ක්‍රම 2ක් පවතින බවයි. පළමුවැනි ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව තුළින් බලය හුවමාරු කර ගැනීමයි. දෙවැනි ක්‍රමය වන්නේ සමස්ත වැඩ වර්ජනයකට යෑමයි.

"ආණ්ඩුව බලය හුවමාරු කිරීමට සූදානම් වුණත් විපක්ෂය ඊට එකඟ වුණේ නැහැ. ඔවුන් කිව්වෙ ජනාධිපති ඉවත්වෙන තුරු එන්නෙ නැහැ කියලා. ඒක කිව්වෙ ගැලවිජ්ජාවට. මොකද මේ ආර්ථිකය බාර ගත්තාට කරගන්න බැහැ. 80 වැඩ වර්ජනය වගේ වැඩ වර්ජනයක් පටන් ගත්තත් රාජ්‍ය සේවයේ අය විතරයි එන්නේ. පුද්ගලික අංශයේ අය එන්නේ නැහැ. ලක්ෂ 80ක් විතර ඉන්නේ එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන අය. පාරවල් වහගෙන රට අකර්මණ්‍ය වුණොත් ලක්ෂ 80ක ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැතිවෙලා ඒ අය වර්ජකයන්ට විරුද්ධව අරගල කරනවා. වැඩ කරන ජනතාව එක්කෝටි විසි ලක්ෂයක් හිටියාට පාරට බහින්නේ කීයෙන් කීදෙනාද? එවැනි අවස්ථාවක මර්දනය කිරීම් ඇති වෙන්න පුළුවන්." යනුවෙන් දේශපාලන විශ්ලේෂක සිරිමල් විජේසිංහ පැහැදිලි කළේය.

"රටේ ජනාධිපතිගේ ගෙදර ළඟට ගිහින් උද්ඝෝෂණය කරපු අයට පිළිතුරු නොදුන් එක ගැන මම අදටත් කම්පා වෙනවා. හැබැයි මම පිළිගන්නවා රටේ අර්බුදයක් තිබෙන බව. ඒත් මගේ රටේ විතරක් තිබෙන බවට හුවා දක්වන අවස්ථාවාදි දේශපාලනයට මම විරුද්ධයි. ඇත්ත යටපත් කරගෙන බොරුව ඉස්මතු වූ අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ අස්වීම අනුමත කරන්න බැහැ. මගේ වෘත්තීය සගයන් තමයි ගිනි තිබ්බෙ." යනුවෙන් සඳහන් කළේ නීතිඥ සාගලා කාරියවසම් ය.

මහාචාර්ය ගාමිණි සමරනායක පැවසුවේ ඇවිළෙන ගින්නට පිදුරු නොදැමිය යුතු බවය. ලංකාවෙ අධිකරණ පද්ධතිය ස්වාධීන යැයි හඬ ගා කීවද අධිකරණ කටයුතුවල සිදුවන අධික ප්‍රමාදය ජනතාව දරුණු ආකාරයට පීඩාවට පත් කෙරෙන බව ඔහුගේ අදහසය. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පිරිස ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධි ආකාරයට හැසිරීම කනගාටුවට කරුණක් බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ නීතිය ආපසු කැඳවීමේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රට තුළ ස්ථාපිත වී නොතිබීම නිසා ජනතාවට මහමඟට පැමිණීමට සිදු වී තිබෙන බව ය. මේ වන විට ජනවරම අභියෝගයට ලක් වී ඇති බැවින් මෙම අර්බුදය ළිහා ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ඔහුගේ අදහස විය.

මේ වන විට කතා කරන කවුරුත් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පිළිගනිති. අර්බුදය ඇති වීමට බලපෑ හේතු ද ඔවුහු ගෙනහැර පාති. එවැනි අර්බුදකාරි අවස්ථාවක රට අරාජික නොවී පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි වෙනමම විමසා බැලිය යුත්තකි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම සඳහන් කළේ අත්‍යවශ්‍ය දේවල් ජනතාවට ලබාදීමෙන් අරාජික තත්ත්වයෙන් රට මුදා ගත හැකි බවයි.

"අද ජනතා අදහස් පිළිබිඹු කරන රාජ්‍ය පාලනයක් රටට අවශ්‍යයි. ඒනිසා ජනතාවගේ නියෝජිතයින් කැඳවා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හදා ගන්නවා නම් හොඳයි. එහෙම නැතිව දැඩි මතවාදයකට ගියොත් බරපතළ විදිහට අරාජික බව වැඩිවේවි." යනුවෙන් සඳහන් කළේ මහාචාර්ය සුමනසිරි ලියනගේ ය.

ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ව්‍යවස්ථාවේ ජනපති ඉවත් කළ යුතු ආකාරය සඳහන් වී ඇති බව පැවසූ මහාචාර්ය ගාමිණි සමරනායක, පෙළපාළි මගින් පාලකයන් ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව පැවසුවේය. අද ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් එදා ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති සකස් කිරීමට දායක වූ බව පෙන්වා දුන් ඔහු, බලය පමණක් අපේක්ෂා නොකර සාමූහිකව කටයුතු කළ යුතු බවත් රාජ්‍ය දේශපාලනය ස්ථාවරව පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් පැහැදිලි කළේය.

"මට පෙනෙන විදිහට මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ මේ රාමුව ඇතුළේ. අද තරුණයන් කියන්නේ පාර්ලිමේන්තුව එපා කියලා. අද රටේ අරාජික බව ඇති වෙලා තියෙන්නේ ජනතාවගේ ඉල්ලීම් නිසා නොවෙයි. සියලුම දේශපාලන නායකයන් නෑසූ කන් ඇතිව සිටින නිසා. මෙය විසඳිය හැකි වෙන්නේ ජනපති සහ පාර්ලිමේන්තුවේ සිටින 225ම අවංකවම මේ ඉල්ලීම්වලට සවන් දුන්නොත් විතරයි. අපි ජනවරමක් ලැබිලා තියෙනවා කිය කියා හිටියොත් තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. සියලුම දේශපාලන නායකයන් මේ ගැන අවධානය යොමු කරලා අන්තර් පාලනයකට යා යුතුයි." යනුවෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

සමාජයේ දුර්වලතා ගැන තරුණ තරුණියන්ට දැනෙන ආකාරයට යම් පණිවිඩයක් ඇති බැවින් එම පණිවිඩය සාධනීය ලෙස රජය විසින් බාරගත යුතු බව මහාචාර්ය ගාමිණි සමරනායකගේ අදහස විය.

"මේ තත්ත්වය වෙනස් වෙන්න නම් පාර්ලිමේන්තුව ඉල්ලා අස් විය යුතුයි. ඒත් ඒ අය යන්නේ නැහැ. එහෙම නැතිනම් ජනතාව සටන් නොකර සිටිය යුතුයි. මේ දෙකෙන් එකක්වත් සිද්ධ නොවන තාක් මේ රට අරාජිකයි. ඒනිසා හොඳම දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඉදිරියටත් රට කරගෙන යෑමට ඉඩදීලා මැතිවරණයකින් පරාජය කිරීම." යනුවෙන් අදහස් පළ කළේ දේශපාලන විශ්ලේෂක සිරිමල් විජේසිංහ ය.

Comments