නව කැබිනට්ටුවේ වගතුග මෙන්න | සිළුමිණ

නව කැබිනට්ටුවේ වගතුග මෙන්න

කැබිනට්ටුව 21 දෙනයි. නව කැබිනට්ටුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරු 10 ක් - පසුපෙළ මන්ත්‍රින් 2 ක් සහ අලුත්ම මුහුණු 12 ක්.

රාජ්‍ය ඇමැති ධූර 30 යි. ජ්‍යෙෂ්ඨයින් 14 කට කැබිනට් ඇමැති ධූර අහිමියි මෛත්‍රිපාලගේ ශ්‍රිලනිපයේ මන්ත්‍රි 14 න් ආචාර්ය සුරේන් රාඝවන්ටත් සහ ශාන්ත බණ්ඩාරටත් රාජ්‍ය ඇමැතිකම් ‘පක්ෂ 11 එකමුතුවේ‘ වාසුදේව පිලේ මොනරාගල දිස්ත්‍රීක් මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දටත් සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ධූරයක් ඇමැතිවරු අතර කාන්තාවන් නැහැ. එහෙත් සීතාට, ගීතාට සහ ඩයනාට රාජ්‍ය ඇමැතිකම් මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්ට පරිසර ඇමැතිකම

 නව කැබිනට් ඇමැතිවරු 17 දෙනෙක් අප්‍රේල් 18 දා ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්හ. දිවුරුම් දුන් ඇමැතිවරු කිහිප දෙනකු හැර ඉන් බොහෝමයක්ම තරුණ ඇමැතිවරු වශයෙන් මෙවර කැබිනට්ටුවට එක්වීම විශේෂත්වයකි. මේ 17 දෙනාට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් - ආරක්ෂක ඇමැති ලෙසත්, අගමැති මහින්ද රාජපක්ෂයන් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ලෙසත්, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්, මුදල් ඇමැති අලි සබ්රි දැරූ ධුරවල කිසිදු සංශෝධනයන් සිදු නොවිණි. කැබිනට්ටුවට පත්වූ එම ඇමැතිවරු 19 ගේ වගතුග මෙසේ ය.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්

1946 අගෝස්තු 13 වැනි දින උපත ලැබූ ඇමැති ජී. ඇල්. පීරිස්ගේ මවුපියන් වූයේ ග්ලැන්විල් පීරිස් හා ලක්‍ෂ්මී චන්ද්‍රිකා පීරිස්ය. පානදුර ශ්‍රී සුමංගල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව මුඩ්ලියර් එඩ්මන්ඩ් පීරිස් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට එක් දියණියක් වෙයි.

ඇමැති ජී. ඇල්. නීතිවේදියකු, ගත් කතුවරයකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. දේශපාලනයට ඒමට පෙර නීතිය පිළිබඳ මහාචාර්ය, නීති පීඨයේ පීඨාධිපති හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති විය. ඔක්ස්ෆර්ඩ් සහ කොළඹ විශ්වවිද්‍යාල දෙකෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ වයස අවුරුදු 28 දීය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රෝඩ්ස් විශාරදයකු විය.

ඇමැති ජී. ඇල්. 1994 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ නියෝජ්‍ය මුදල් ඇමති විය. ඔහු අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කාලයේ යුගයේ අවශ්‍යතාවන්ට සරිලන නව නීති 30 කට වැඩි ප්‍රමාණයක් ගෙන ආවේය. ඔහු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අයවැය පහක් ඉදිරිපත් කළේය. 2016 නොවැම්බර් 1 දින ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති විය.

මහජන ආරක්ෂක හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග

දේශපාලන පවුලකට හිමිකම් කියන ඇමැති ප්‍රසන්න උපන්නේ 1967 ජනවාරි 1 දා උඩුගම්පලදීය. ඔහුගේ පියා ප්‍රසිද්ධ දේශපාලඥයකු වූ රෙජී රණතුංග හා මව නන්දනී රණතුංගය. අර්ජුන, නිශාන්ත, ධම්මික, සංජීව හා රුවන් ඇතුළු සහෝදරයන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ එක් සහෝදරයකු වූ ප්‍රසන්නගේ බිරිඳ මොරින්ය. ඔහු අර්චනා, පවිත්‍රා හා උදාර යන දරුවන්ගේ පියාය. කොළඹ අශෝක විදුහලෙන් හා අනතුරුව කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු දේශපාලන විද්‍යා උපාධිය ලැබූයේ ඔස්ට්‍රේලියාවේදීය.

ඇමැති ප්‍රසන්න බස්නාහිර පළාතේ 7 වැනි මහ ඇමැතිවරයා වූ අතර, ළාබාලම පළාත් සභා මන්ත්‍රිවරයා විය. ඇමැති ප්‍රසන්න 2015 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙසය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 384,448කි. ඔහු 2019 දි සංචාරක, ගුවන්සේවා හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමැති වූ අතර ඉන් අනතුරුව සංචාරක කැබිනට් ඇමැති විය. එසේම මේ වන විට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ද වෙයි.

කම්කරු ඇමැති විදුර වික්‍රමනායක

1959 ජූලි 11 වැනිදා උපන් ඇමැති විදුර හිටපු අගමැතිවරයකු වූ රත්නසිරි වික්‍රමනායකයන්ගේ සහ කුසුම් වික්‍රමනායකගේ පුතෙකි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පිලිපීනයේ කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලැබීය.

විදුර වික්‍රමනායක 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, අනතුරුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්විය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර ආසනයෙන් මනාප 147,958කින් නැවත තේරී පත් වූ ඔහු ජාතික උරුම, ග්‍රාමීය කලා රාජ්‍ය ඇමැති විය. ඔහු අවසාන වරට දරමින් සිටියේ ජාතික උරුමයන්, ග්‍රාමීය කලා රාජ්‍ය ඇමැති තනතුරය.

අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

1969 දෙසැම්බර් 5 වැනිදා උපත ලැබූ රමේෂ් පතිරණ වෛද්‍යවරයෙකි. ඇමැති රමේෂ් හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයකු වූ රිචඩ් පතිරණ ගේ හා විජිතා පතිරණගේ එක් දරුවෙකි. ඉරෝමි හා දිනුෂා ඇමැති රමේෂ්ගේ සහෝදරියන්ය. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරූයේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනි.

ඇමැති රමේෂ් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරී පත්වූයේ 2010 දිය. 2020 මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ 2 ඉක්මවු ඔහු පොදු පෙරමුණු රජයේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා විය. ඒ අතරම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරද දැරූ ඔහු මීට පෙර වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැතිවරයාය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ඇමැති දිනේෂ් ගුණවර්ධන

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් චන්ද්‍රා රූපසිංහ ගුණවර්ධන උපත ලැබුවේ 1949 මාර්තු 2 දා ය. ‘බොරළුගොඩගේ සිංහයා’නමින් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන සහ කුසුමා අමරසිංහ ඔහුගේ මවුපිය දෙපොළය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලද ඔහු පසුව නෙදර්ලන්ත ව්‍යාපාර විද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, ඔරිගන් විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධියක්ද ලබා ගත්තේය.

ඇමැති දිනේෂ් විවාහ වූයේ රමණි වත්සලා කොතලාවල සමඟ ය. ඇය 1980 දශකයේ මැද භාගයේදී හදිස්සියේ මිය යෑමත් සමඟ ඔහුගේ ජීවිතයට ශක්තියක් ගෙන දුන්නේ ඔහුගේ දරු දෙදෙනා යදමිණි හා සංඛපාලි ය. 1973 අගෝස්තු මාසයේදී ඔහු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත් වන අතර 1977 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1983 අතුරු මැතිවරණයේදීය. 1989 කොළඹ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු ලෙසත්, 2000 කොළඹ දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණේ අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තරග වැදුණේය. අනතුරුව ප්‍රවාහන ඇමතිවරයා විය. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වී පාර්ලිමේන්තුවට පැමිණෙන ඔහු නාගරික සංවර්ධන හා ජල සම්පාදන හා නියෝජ්‍ය ඇමැති ද, 2010 ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යවරයාද වූ අතර අවසානයට ඔහු අධ්‍යාපන කැබිනට් ඇමැතිවරයා විය.

සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

1980.8.1 දින උපන් ඔහු පදිංචි අනුරාධපුරයේ ය. ඇමැති චන්න රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් MBBS උපාධියත්, California රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිය ලබා ඇත.

ඔහු පානීය ජලය, වෘත්තීයමය වශයෙන් පළිබෝධනාශකවලට නිරාවරණය වීම සහ ග්‍රාමීය ගොවි ප්‍රජාවන්හි බහුලව පවතින නිදන්ගත වකුගඩු රෝගය සමඟ සම්බන්ධ වීම පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු කර ඇත. 2019 වසරේ විද්‍යාත්මක නිදහස සහ වගකීම සඳහා වූ AAAS සම්මානය ඔහු විසින් දිනාගෙන ඇත. එපමණක් නොව ඇමැති චන්න ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පෙළ පොතේ පරිච්ඡේදයක කතුවරයා වේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ඔහු 2020 දී ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්විය.

කර්මාන්ත හා ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම

1981 මැයි මස 9 වැනිදා උපන් දිලුම් අමුණුගම හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ සරත් අමුණුගමගේ ඥාති පුත්‍රෙයකි. මහනුවර උපන් ඔහුගේ මව ෂර්ලි අමුණුගම වන අතර පියා අශෝකා අමුණුගමය. ඇමැති දිලුම් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලෙනි. උසස් අධ්‍යාපනය ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ පශ්චාද් උපාධිය එක්සත් රාජධානියේ Cardiff Metropolitan විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය. ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2010 වසරේදි පැවැති මහා මැතිවරණයෙන් අනතුරුවය. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙනි. එතැන් සිට දිගටම පාර්ලිමේන්තුවේ රැදි සිට ඔහු ප්‍රවාහන රාජ්‍ය ඇමැති, ප්‍රජා පොලිස් රාජ්‍ය ඇමැති මෙන්ම ප්‍රවාහන ඇමැතිද විය.

ජනමාධ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා

1965. ජූනි 7 දා අම්බලන්ගොඩ උපන් නාලක ගොඩහේවාගේ පියා වෙත්තසිංහ ගොඩහේවා වන වතර මව කළ්‍යාණි ගොඩහේවාය. ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගොඩහේවා 1986 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ අතර ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc ගෞරව උපාධියක් ලබා ගත්තේය. යුනිලීවර් හි සේවය කරන අතරතුර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.අයි. එම්. වෙතින් MBA උපාධියක් හැදෑරීය. ඔහු 2008 වසරේ දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. ගොඩහේවා වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙක්, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙක් සහ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (ඕස්ට්‍රේලියාවේ) සාමාජිකයෙකි. ඉංජිනේරුවරියක් වන මනෝරි ගොඩහේවා ඔහුගේ බිරිය වන අතර දියණිය පාසල් අධ්‍යාපනය ලබයි. ඔහුගේ අවසන් රාජ්‍ය අංශයේ මැදිහත්වීම වූයේ 2012 - 2015 කාලය තුළ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසය.

ඇමැති නාලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේ 2020 වන අතර අනතුරුව ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති වෙයි. 2020 මහ මැතිවරණයේදී අපේක්ෂකයකු ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔහු මුළු රටේම 3 වැනි ස්ථානයට පත්විය.

මහා මාර්ග ඇමැති කනක හේරත්

1976.4.29 වැනිදා කැගල්ලේ උපන් ඔහු අධ්‍යාපනය ලැබූවේ මහනුවර ත්‍රිත්ව විදුහලෙනි. ඇමැති කනකගේ පියා ප්‍රවිණ දේශපාලඥයකු වූ මහීපාල හේරත් හා මව අජන්තා හේරත්ය. ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයෙන් Aerospace Engineering විද්‍යාව ප්‍රථම උපාධිය වශයෙන් සම්පූර්ණ කරන්නේය. පශ්චාද් උපාධිය නිව් සවුත් වේල්ස් හි UNSW හිදි සම්පූර්ණ කර ගන්නා අතර මොරටුව විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගන්නනේය. අමෝදනි හේරත් ඔහුගේ බිරිය වන අතර, ඔහු පාසල් යන වයසේ දරුවන් සතර දෙනෙකුගේ පියෙකි.

කනක හේරත් කැගල්ල මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2010 වසරේ මනාප 67,000 ක් ලබා ගනිමිනි. අනතුරුව කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2015 මනාප 98,000 ක්ද, 2020 දී මනාප 1,28 000 ක්ද ලබා ගන්නා අතර වැවිලි රාජ්‍ය ඇමැතිද විය.

මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

1970 මැයි මස 1 වැනිදා කළුතර කටුකුරුන්දේ දී උපත ලද ඇමැති අලි සබ්රිගේ පියා මොහොමඩ් මරික්කාර් සාලි මොහොමඩ්උවයින්ය. මව ෆාතිමා සරිනාඋවයින්ය. කළුතර මුස්ලිම් මහ විදුහලෙනුත් අනතුරුව කොළඹ සහීරා විදුහලෙනුත් අධ්‍යාපනය ලද ඔහුට පුතණුවන් තිදෙනෙකි. එයින් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය හදාරන අතර එක් පුතෙක් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබයි. ඔහුගේ බිරිය සාරා සබ්රිය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියද, නීති විදුහලින් නීතිඥවරයකු වශයෙන් සේවයට එක්වූ ඔහු ලංකාවේ බිහිවු ළාබාලතම ජනාධිපති නිතීඥයා වන අතර උප සභාපති සේවයේ සිටි ළාබාලතම පුද්ගලයාද වෙයි. ඔහු නීති ක්ෂේත්‍රයට 1994 දි පිවිසෙන අතර ජනාධිපති නිතීඥයකු වන්නේ 2012 දිය. නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමයට බැඳී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු හිටපු අධිකරණ ඇමැතිවරයා වෙයි.

වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ෂෙහාන් සේමසිංහ

ඇමැති ෂෙහාන් උපන්නේ 1976.11.13 දාය. අනුරාධපුරය උපන් ගම වන අතර පියා එච්. බි. සේමසිංහ හා මව ධම්මිකා සකුන්තලා රත්නායකය. අනුරාධපුරය ශාන්ත ජෝෂප් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇමැති ෂෙහාන් අනතුරුව උසස් අධ්‍යාපනය ලබන්නට ඇතුළු වන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලටය. ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන්ද අනතුරුව පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය ලබන ඇමැති ෂෙහාන් පාසල් වයසේ පසුවන දියණියකගේ හා පුතකුගේ පියෙකි. ඔහුගේ බිරිය පිංකි මහකුමාරගේය.

දේශපාලනයට පිවිසීමට ප්‍රථම ඔහු එයිට්කන් ස්පෙන්ස්, කොළඹ ටාජ් ඇතුළු සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කළ අත,ර 2010 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය. ව්‍යාපාර සංවර්ධන, සංවර්ධන බැංකු, මෙන්ම සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ධූර දරා ඇත. එසේම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල කටයුතු කර ඇත.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද

කදිරවේලූ නිතියානන්ද දේවානන්ද හෙවත් ඩග්ලස් දේවානන්ද 1957 නොවැම්බර් 10 වැනිදා උපන්නේ යාපනයේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයකු වූ සුබ්‍රමනියම් කදිරවේලූ සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක වූ මහේස්වරී යන දෙපළගේ දරුවන් පස් දෙනෙකුගෙන් (පුතුන් සිවුදෙනකු සහ දියණියක) යුත් පවුලේ ඔහු දෙවැන්නා ය. යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කොළඹ හින්දු විද්‍යාලයෙන් ඔහු අධ්‍යාපනය ලැබුවේය. ඩග්ලස් ගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ අතර ඔහුගේ මාමා ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නියෝජිතයෙකි.

යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඔහු ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායකයා ය. 2002 පුනරුත්ථාපන ඇමැති තනතුරද, 2004 කෘෂිකර්ම ඇමැති තනතුර ද, අනතුරුව හින්දු හා සංස්කෘතික කටයුතු ඇතුළු ඇමැති තනතුරු රැසක් හෙඹවීය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති විමලවීර දිසානායක

1954 ජූනි 30 වැනිදා කෑගල්ලේ උපන් ඇමැති විමලවීරගේ මව පොඩි නෝනා සහ පියා තිස්‌ස දිසාන­ායකය. සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ විමලවීර දිසානායක ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදෙයියාව කනිෂ්ඨ විද්‍යාලයටය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හා පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධිය ලබා ගත්තේය. ආර්ථික අපහසුකම් පැවතුණ හෙයින් වයස අවුරුදු 16 දී හිඟුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙසින් රැකියාවට එකතුවන අතර අනතුරුව ඔහු අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක්‌ද වෙයි. උපමා ජයන්ති මෙන්ඩිස් සිය බිරිය වන අතර සුපුන් උදාර හා පියුමි අංජන ඔහුගේ දරු දෙදෙනා වෙයි.

වයස අවුරුදු 16 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයකු වූ ඔහු අම්පාර දමන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ද විය. 2000 වසරේ නැගෙනහිර පළාත් සභාවේ පළමු අධ්‍යාපන ඇමැති, ඉඩම් සංස්කෘතික ඇමැතිවරයා වන අතර පාර්ලිමේන්තුවට පත් වන්නේ 2015 මහා මැතිවරණයෙන්ය. අනතුරුව වනජීවී රාජ්‍ය ඇමැති, ආපදා කළමනාකරණ ඇමැති තනතුරු කිහිපයක් ඔහු විසින් හොබවා ඇත.

බලශක්ති හා විදුලිබල ඇමැති කංචන විජේසේකර

1982 අප්‍රේල් 27 උපත ලද කංචන විජේසේකර හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයාය.

ඔහු ප්‍රාථමික අධ්‍යාපනය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර මලල ක්‍රීඩා, පිහිනුම් සහ රග්බි යන අංශයන්ගෙන් පාසල නියෝජනය කළේය. ඉන්පසුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී අ.පො.ස. සා/පෙළ දක්වා අවුරුදු 15න් පහළ සහ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය. අනතුරුව කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. උසස් අධ්‍යාපනයට මෙල්බර්න් හි මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.

මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු 2008 දී දෙවිනුවර පූජනීය ශ්‍රී විෂ්ණු දේවාලයේ ලංකාවේ ළාබාලතම බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් විය. ඔහු 2009 දී දකුණු පළාත් සභාවට ද මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අතර 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන තෙක් 2009 සිට 2014 දක්වා සහ 2014 සිට 2015 දක්වා වාර දෙකක් සේවය කළේය. ඔහු 2010 සිට 2014 දක්වා දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර ඇත.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති තේනුක විදානගමගේ

1973.03.23 දි උපන් ඇමැති තේනුකගේ පියා ගුණපාල විදානගමගේ හා මව ප්‍රේමා විදානගමගේය. මහියංගණයේ උපන් ඔහු පාසල් යන්නේ මහියංගණ ජාතික පාසලට හා මහනුවර ත්‍රිත්ව විදුහල්වලටය‍. තරංගා විදානගමගේ සිය බිරිය වන අතර ඔහු පාසල් යන වයසේ දියණියකගේ හා පුතෙකුගේ පියෙකි.

සිය පියා ඌව පළාත් සභාවේ ඇමැතිවරයකු වු අතර සහෝදරයා වූ අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2010 පාර්ලිමේන්තුවට තේරී පත්වන අතර, 2015 මනාප 49,000 ක් ලබා ගන්නේය. 2020 ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වන අතර තරුණ කටයුතු හා ක්‍රිඩා රාජ්‍ය ඇමැතිවරයාද විය.

පරිසර ඇමැති නසීර් අහමද්

ඇමැති නසීර් 1961 අප්‍රේල් 16 වැනිදා එරාවූර් හි උපන් අතර ඔහුගේ මව ආමිනා උම්මා වන අතර පියා සෙයිනුල් ආබ්ඩීන් ආලිම් ය. එරාවුර් හි අලිජාන් පාසලෙන් හා කොළඹ රාජකිය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති ඔහු මේ වන විට මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායකයාය. ෆාතිමා ෆයිසා ඔහුගේ බිරිය වන අතර ඔහු උසස් අධ්‍යාපනය හදාරන දියණියකගේ හා පුතෙකුගේ පියෙකි.

1994 මහ මැතිවරණයට ඉදිරිපත් වුවද ඔහු එහිදි පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ නැත. 2011 වසරේදි නැඟෙනහිර පළාත් සභාවට තේරී පත්වන ඔහු අනතුරුව එහි කෘෂිකර්ම ඇමැතිවරයා වන්නේය. 2015-2018 දක්වා නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා වන අතර 2020 පාර්ලිමේන්තුවට ඔහු තේරි පත් වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි.

ජල සම්පාදන ඇමැති මොහාන් ප්‍රියදර්ශනද සිල්වා

1966.12.23 උපන් ඇමැති මොහාන්ද සිල්වා ඉපදී ඇත්තේ රත්ගමය. ඔහුගේ පියා ගම්පුලි කරුණාසේනද සිල්වා වන අතර මව ආරියවති හලුදේවය. රත්ගම ශ්‍රී සුමන විදුහලෙන් හා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රී ලංකා නීති විදුහලෙන් නීති උපාධිය ලබා ගත් අතර වෘත්තියෙන් නීතිඥවරයෙකි. අශිකා ද සිල්වා සිය බිරිය වන අතර දරු දෙදෙනෙකුගේ පියෙකි.

1996 රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ද, 1997 හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ද, 1999 සිට 2009 දක්වා දකුණු පළාත් සභාවේ සභාපති ලෙසද පත් වූ ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ගාල්ල රත්ගම අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2010 දීය. අනතුරුව ඔහු පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමැති නීති ප්‍රතිපත්ති හා මානව හිමිකම් රාජ්‍ය ඇමැති මෙන්ම වෙරළ සංරක්ෂණ, හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය ඇමැතිද විය.

කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර

1967.12.15 දින ඇලපාත රත්නපුර උපන් ඇමැති ජානකගේ පියා වක්කුඹුරගේ සෙනෙවිරත්නය. මව චිත්‍රානන්ද කුමාරිහාමිය. වක්කුඹුර ශාන්ත ඇලෝසියස් විදුහලෙන් අධ්‍යාපනය ලැබු ඔහු සදනි වක්කුඹුර දියණියගේ හා සමිරු වක්කුඹුර පුතුගේ පියාය. බිරිය කාංචනා ජයසේකරය.

1997 වසරේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති වූ ඇමැති ජානක වක්කුඹුර 2000 වසරේ සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වෙයි. 2004 වසරේ එම පළාත් සභාවේ උප සභපති වන අතර, 2008 එහි මහාමාර්ග හා සංචාරක ඇමැති වෙයි. රත්නපුර අසුන නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2010 වසරේය. අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මෙන්ම කුඩා වැවිලි භෝග රාජ්‍ය ඇමැති තනතුරු කලින් දරා ඇත.

වරාය හා නාවික ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

1978 සැප්තැම්බර් 11 වැනිදා මහනුවර උපන් ඇමැති ප්‍රමිත බණ්ඩාර ගේ පියා ප්‍රවිණ දේශපාලඥයෙකු හා හිටපු ඇමැතිවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. මව ලසිතා තෙන්නකෝන්ය. කොළඹ ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එංගලන්තයේ බකින්හැම් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ඇත. එසේම ඔස්ට්‍රේලියාවේ La Trobe විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ පශ්චාද් උපාධිය ලබා ඇත. ගයනි තෙන්නකෝන් ඔහුගේ බිරිය වන අතර ගෞරව හා ගරුක නමින් පාසල් යන වයසේ පුතුන් දෙදෙනෙකි.

2009 පළාත් සභ මැතිවරණයේදි මධ්‍යම පළාතේ වැඩිම මනාප ලබා ගන්නට ඇමැති ප්‍රමිතට හැකිවිය. 2013 එම පළාත් සභාවේ ක්‍රීඩා,වනිතා, තරුණ හා ග්‍රාම සංවර්ධන ඇමැති විය. ඉන් අනතුරුව ඊජිප්තුවේ තානාපති නිලධාරියෙකු විය. 2020 මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරි පත් වන්නේය.


නව රාජ්‍ය ඇමැතිවරු 30 යි

නව රාජ්‍ය ඇමැතිවරු පසුගිය 18 හා 19 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුහු මෙසේය. 1) මහාචාර්ය ජී.එල්. පීරිස් - ආරක්ෂක 2) රෝහණ දිසානායක - පළාත් සභා සහ පළාත් පාලන 3) අරුන්දික ප්‍රනාන්දු - වැවිලි 4) ලොහාන් රත්වත්තේ - නාගරික සංවර්ධන 5) තාරක බාලසූරිය - විදේශ කටයුතු 6) ඉන්දික අනුරුද්ධ - නිවාස 7) සනත් නිශාන්ත - ජලසම්පාදන 8) සිරිපාල ගම්ලත් - මහවැලි 9) අනුරාධ ජයරත්න - වාරිමාර්ග 10) සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය 11) ප්‍රසන්න රණවීර - කර්මාන්ත 12) ඩී.වී. චානක - සංචාරක සහ ධීවර 13) ඩී.බී. හේරත් - පශු සම්පත් 14) කාදර් කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන 15) අශෝක ප්‍රියන්ත - වෙළෙඳ 16) අරවින්ද් කුමාර් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් 17) ගීතා කුමාරසිංහ - සංස්කෘතික හා ප්‍රසාංගික කලා 18) ගුණපාල රත්නසේකර - සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ 19) කපිල නුවන් අතුකෝරල - සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන, 20) වෛද්‍ය ගයාෂාන් නවනන්ද - සෞඛ්‍ය 21) ආචාර්ය සුරේන් රාඝවන් - උසස් අධ්‍යාපන 22) ඩයනා ගමගේ - ප්‍රවාහන 23) විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ - අධ්‍යාපන හා තාක්ෂණ 24) විජිත බේරුගොඩ - මහාමාර්ග 25) ශාන්ත බණ්ඩාර - කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනූ හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම 26) සදාසිවම් වියාලේන්ද්‍රන් - තරුණ හා ක්‍රීඩා 27) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - ග්‍රාමීය මාර්ග සංවර්ධන 28) මොහොමඩ් මුෂාරෆ් - පේෂ කර්මාන්ත හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධන 29) පියල් නිශාන්ත කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ලෙසද, 30) විදේශ රැකියා රාජ්‍ය ඇමැති ලෙස ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමැති ධූරවල කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

Comments