විමස - විමසා මෙ බස උගනිමු | සිළුමිණ

විමස - විමසා මෙ බස උගනිමු

ලොවෙහි සියලු ජනයාට භේදයෙකින් තොර වැ එක සේ ප්‍රයෝජනවත් වන දේ අතුරෙහි භාෂාව ද ප්‍රමුඛ වේ ජනතාව පවත්නේ භාෂාව උදෙසා නොවුව ද භාෂාව පවත්නේ ජනතාව උදෙසා ය. භාෂාවෙන් තොර වැ ජනතාවට කුමක් නම් කළ හැකි ද? අනෙකක් තබා අද හැම තැන ම කැරෙන උද්ඝෝෂණ ද කැරෙන්නේ භාෂාව පිහිට කොටගෙන ය. අර මිරිහානේ දී කරන ලද්දාක් වැනි ප්‍රබල උද්ඝෝෂණ මතු නො ව, හන්දියක් හන්දියක් ගණනේ නිකම් කොල්ලන් කුරුට්ටන් එකතු වැ විනෝදයට මෙන් කැරෙන ‘උද්ඝෝෂණ’ ද කැරෙන්නේ භාෂාවෙන් ම ය.

භාෂාවත් ජනයාත් අතර අවියෝජනීය සම්බන්ධය ගැන මෙ බන්දක් ලියැවුණේ හරි වහරිනුදු නිතර ම ජනයා ගේ ගැටලුවලට පිළිතුරු දීමට තැත් දැරෙන නිසා ය. අද දු එ බඳු ගැටලුවෙකින් ම හරි වහර අරඹිමු. එයට පෙර ද කිව යුත්තක් ඇත. සමාජ මාධ්‍ය නමින් දන්නා ලැබෙන මාධ්‍යවල සිංහල භාෂාව පිළිබඳ නොයෙක් ගැටලු පළ වන බව ද නොයෙක් දෙනා නොයෙක් ලෙසින්, තම තම නැණ පමණින් ඒ ගැටලු විසඳන බව ද පෙන්වා දෙන කෙනෙක් හරි වහරින් එ බඳු ගැටලු සඳහා නිසි පිළිතුරු සැපැයීම නොමැනැවි දැ යි අසති.

මැනැවි. එ වුව ද එ බඳු ගැටලු සොයා ගොස් ගෙවන්නට කාලයක් නැති බැවින් යමකු එ බඳු ගැටලු ඉදිරිපත් කළ හොත් හරි වහරින් ඒ විමසා බලා විසැඳිය හැකි ය. එ කියන සමාජ මාධ්‍ය දන්නන් ගේ ද නොදන්නන් ගේ ද හිසට එන එන දෙයක් ලියන ‘සාර්ව භෞම පණ්ඩිතයන්’ගේ කෙළිමඬලක් වැ ඇතැ යි ද ඇතැම්හු කියති.

ඒ යේ වා. එළැඹුණු ගැටලුව ගනිමු. ඇත්තට ම මේ ගැටලුවක් නොව ඉල්ලීමෙකි. නිතර හරි වහර කියවත් බස ගැන මහත් ඇල්මක් දක්වන භවතැණ කෙනකු විසින් ඒ කැරිණ. ඉල්ලීම නම් ශ්‍රී, සිරි යන වදන් නිවැරැදි වැ යෙදෙන්නේ කෙසේ ද යනු පහදා දෙන ලෙස යි. ශ්‍රී යනු සංස්කෘත තත්සමයෙකි. එ හෙයින් ශ්‍රී යනු යෙදෙන්නේ සංස්කෘත තත්සම ශබ්ද සමඟ ම ය. ශ්‍රී යන්නෙහි අතිබහුල අර්ථ ඇත්තේ ය. ඉතා ප්‍රකට අර්ථය වනුයේ සම්පත, සෞභාග්‍යය යනු යි.

සියලු යහපත් දෙය පිළිබඳ වැ ශ්‍රී යනු යෙදේ. විශේෂයෙන් බුදුන් හා සම්බන්ධ බොහෝ තන්හි ශ්‍රී යනු සාම්ප්‍රදායික වැ යෙදේ. ශ්‍රී ඝන, ශ්‍රී මුඛ දේශනාව, ශ්‍රී පාදය, ශ්‍රී මහා බෝධිය ආදි තන් හි වෙති. ලක්ෂ්මිය ද ශ්‍රී (ශ්‍රී කාන්තා) නමින් ගැනේ. ශ්‍රී යන්නෙහි ඇති තව ද බොහෝ අරුත් ශබ්ද කෝෂයක් බැලීමෙන් දත හැකි ය.

ශ්‍රී යනු හා අනුරූප වැ පාලියෙහි ද සිංහලයෙහි ද සිරි යනු යෙදේ. ශ්‍රී යන්නෙන් යම් අරුතක් ගත හැකි ද එය සපුරා ම සිරි යන්නෙනුදු ගත හැකි ය.

සිරිපාද (පාලි) සිරිපා (සිංහල) යනු ම උදාහරණ වේ. මෙහි ලා දත යුත්තේ එකිනෙක ගැළැපෙන ලෙස, අනුරූප ලෙස මේ වදන් යෙදුම යි. තවත් භවතකු නඟන පැනයක් වේ. ‘ඉත’ ප්‍රත්‍යයය විනා ‘ත’ ප්‍රත්‍යයය යෙදෙන කල වදනෙහි මුල ඇති ස්වරය වෘද්ධි වීමත්, වර්ධනයක් නොවන බව කලින් ලිපියෙහි කියැවිණ.

එ සේ නම් ලිඛිත යන්නෙහි ‘ලි’ යෙදුමටත් ‘ලේඛක’ යන්නෙහි ‘ලේ’ යෙදුමටත් ‘මුදිත’ යන්නෙහි ‘මු’ යෙදුමටත් ‘’මෝදක’ යන්නෙහි ‘මෝ’ යෙදුමටත් හේතුව කිමෙක් ද යනු නැඟුණු පැනය යි.

පැනය එ තරම් විධිමත් නොවුණ ද අනුන් කියන්නක් ම නොපිළිගෙන විමැසුම් නුවණින් යුතු ව සිතන්නකු ගේ පැනයක් බව පෙනේ. භාෂා ඥානය වර්ධනය වීමට මෙ සේ විමර්ශනීය වැ සිතීම බෙහෙවින් වහල් වේ.

මෙහි යෙදෙන්නේ ‘ක’ ප්‍රත්‍යයය නොවන බව පළමු වැ කිය යුතු ය. මෙහි ඇත්තේ ‘අක’ ප්‍රත්‍යයය යි. එ ද එක් වන්නේ ධාතුවක් හෙවත් ක්‍රියා මූලයක් සමඟ යි. ‘ලිඛ්’ යන (ලේඛනයෙහි) ධාතුවට ‘අක’ ප්‍රත්‍යයය යෙදීමෙන් ‘ලේඛක’ යනු නිපැදේ. ‘මුද්’ ධාතුවට ‘අක’ ප්‍රත්‍යයය එක් වීමෙන් ‘මෝදක’ යනු නිපැදේ. සියලු තන්හි එ සේ නොවන බව ද මෙහි වන්නේ අක්ෂර වෘද්ධියක් නොවන බව ද සැලැකිය යුතු ය. එ ගැන වෙන ම ලිපියෙකින් ඉදිරියේ දී විමසා බලමු.

‘සංස්කෘතික’ යන්නෙහි යෙදුණු ‘ක’ ප්‍රත්‍යයය ගැන විමසන තවත් කෙනෙක් එ සේ යෙදෙන අනෙක් වදන් කවරේ දැ යි අසති. තවත් බොහෝ වදන්හි අස්ත්‍යර්ථයේ (‘ඇත’ යන අරුතෙහි) ‘ක’ ප්‍රත්‍යයය යෙදේ. නූතන ව්‍යවහාරයෙහි යෙදෙන එ බඳු වදන් කිහිපයක් නම් පද්ධතික (පද්ධති + ක), ස්ථිතික (ස්ථිති + ක), ද්විතීයක (ද්විතීය + ක), කෘතීයක (කෘතීය + ක), අංශක (අංශ + ක), දශමක (දශම + ක) ආදිය යි. ඇතැමුන් ද්විතීයික, තෘතීයික ආදිය ලියන නමුදු ඒ නිවරද නො වේ. එ සේ ‘ඉක’ ප්‍රත්‍යයය යෙදුව හොත් එ වදන්හි ආදි (මුල්) ස්වරය වෘද්ධි වීමේ න්‍යායය අනුව ද්වෛතීයික, කර්තීයික ආදි වශයෙන් විය යුතු ය. එ හෙ යින් සංස්කෘතයේ ව්‍යාකරණ රීත්‍යනුකූල වැ නිවැරැදි වනුයේ ද්විතීයක, තෘතීයක ආදිය ම ය. ඉදිරියේ දී තව ද දුරට මෙ බඳු යෙදුම් විමසමු.

Comments