
මා අත මාහැඟි පරිවර්තනයක් තිබේ. බොහෝ දෙනකුගේ ආදරයට ගෞරවයට හා විචාරයට ලක් වූ ඒ කෘතියේ පරිවර්තකයන් දෙපළකි. ඒ ඌරාපොල හේමාලෝක හිමියන් සහ හේමපාල විජයවර්ධන ය. කෘතිය සාරභූමි ය. එය නොකියවා ඇත්තකු වෙත්නම් ඒ පුදුමයෙක් තරමට ජන හද ඇද බැඳ ගත්තකි. සුප්‍රකට ඇමෙරිකානු නවකතාකාරිනියක වන පර්ල් එස්. බක් විසින් රචිත Good Earth නම් නොබෙල් ත්‍යාගය හිමි වූ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය පිළිබඳ හෙළු ගැඹුරු විචාරාක්ෂියකි. එය පෙරළා කියන්නේ අපේ ම ගොවි ජීවිතයෙහි තොරතුරු ද යන්න කියවද්දී සිතට නැඟේ. ජීවිතයේ සෑම අංශයක් ම බුදු දහමේ හරයත් සමඟ එකට කැලතෙන්නේ යම් සේ ද මේ කෘතියේ එකී ලක්ෂණය මැනවින් විදාරණය වේ. සිංහල පාඨකයන් වන අපට එහි රස නුසුන් නොකොට සංක්ෂිප්ත පරිවර්තනයක ඇරුමය ගෙන එ්මේ ගෞරවය හිමි වන්නන් අතර මහාචාර්ය හේමපාල විජයවර්ධනයෝ ද වෙති.
එය පාඨක දෝතට පිරිනැමෙන්නේ ‘ චීනය වැනි සාර භූමියක මෙන්ම ලංකාව වැනි සාර භූමියක ද වං ලූං හා ඕලෑං වැනි සුරුබුහුටි ගොවියෝ හා ගෙවිලියෝ එදා මෙන් ම අද හෝ හෙට ද උපදිත්වා යි ප්‍රාර්ථනය කරමිනි.
එතැනින් නොනවතින හේ ඌරාපොල හේමාලෝක හිමියන් හා එක්ව තවත් මාහැඟි කෘතියක් පරිවර්තනය කරයි. ඒ විකී බෝම් නම් ඉංග්‍රීසි ලේඛිකාවගේ THE WEEPING WOOD නම් නවකතාව ගසක කඳුළු නමිනි. එහි පිළිගැනුම මෙසේ කියවා ගන්නට ඔබට ඇරයුම් කරන්නේ එහි වන මානව දයාවේ ලකුණු හඳුනා ගැනීම පිණිස ය.
අදත් කඳුළු හෙළන ගස යට
ස්වකීය ශ්‍රම ශක්තිය වැය කරමින්
දිනපතා දුකින් මිරිකෙන කම්කරුවාට ය....
මේ පොත් දෙක ම නිකුත් වෙන්නේ සමන් ප්‍රකාශන ලෙස ය. එකල හොඳ පොතක ලකුණ සමන් ප්‍රකාශන ලකුණ වන සමන් පිච්ච මල ය.
භාරතීය විචාර සිද්ධාන්ත පිළිබඳ අධ්‍යයනය කරන්නකුට අවශ්‍යයෙන් ම කියවා ගත යුතු පොතක් වේ. ඒ මහාචාර්ය විජයවර්ධනගේ සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම කෘතියයි. මේ විෂයය පථය පිළිබඳ ව සිංහලෙන් ලියැවුණු විශිෂ්ටත ම ග්‍රන්ථය මෙය බැව් බොහෝ ප්‍රමාණික විද්වතුන්ගේ මතයයි. දහස් ගණන් පහන් දල්වා දීප්ත කර නික්ම ගිය සඳක් සේ හේ ගැන මතකය අවදි කරන සඳ මේ කෘතිය ප්‍රදීපස්ථම්භයකි. කාව්‍ය විචාර සාහිත්‍යයෙහි ලා ඒසා මහාර්ඝ ග්‍රන්ථ රත්නයක් නොවන්නේ යැයි කීමට එහි ඵල ලැබූවෝ දෙවරක් නොසිතති. මේ කෘතියෙන් විවිධ යුගවලදී ඉන්දියාවේ පහළ වූ අලංකාර වාදය, රස වාදය, ධ්වනි වාදය, රීති වාදය, වක්‍රොක්ති වාදය හා ඖචිත්‍ය වාදය වැනි කාව්‍ය විචාර විධික්‍රම සරල ව හා කෙටියෙන් හඳුන්වා දෙයි.
මහාචාර්ය විජයවර්ධන විශ්ව කීර්තියට පත් භාරතීය පඬිරුවනක් වූ ආචාර්ය ඒ. ශංකරන් විද්වතාගේ ශිෂ්‍යයෙකි. කලක් මදුරාසී විශ්වවිද්‍යාලයෙහි සංස්කෘත මහාචාර්ය පදවිය ද හෙබවූ ආචාර්ය ශංකරන් සංස්කෘත අලංකාර සාහිත්‍ය පිළිබඳ අග්‍රගණ්‍ය ප්‍රාමාණිකයෙකි. ඔහුගේ ගමන්මෙඟහි සුවිශේෂි ලකුණක් සටහන් කළ මේ ගුරුවරයා පිළිබඳ ව හේ නිරන්තර භක්තිමත් විය. දෑඅවුරුද්දකටත් වැඩි කාලයක් ඔහු යටතේ අලංකාර ශාස්ත්‍රය හැදෑරූ විජයවර්ධන මෙය සිංහල කාව්‍ය කෙරේ බලපෑ අන්දම ගැන විමර්ශනය කළේ ය. අනතුරු ව සිය ආචාර්ය උපාධි නිබන්ධය සඳහා The Influence Of Sanskrit Alamkara Sastra On Early Sinhaleese Poetry නමින් නිබන්ධනයක් සම්පාදනය කරයි. මේ පශ්චාද් උපාධි නිබන්ධය පළ කිරීමට ඉන්දීය ප්‍රකාශන සමාගමක් කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව චෞකම්බා නම් ග්‍රන්ථ මාලාවේ එක් කාණ්ඩයක් වශයෙන් මේ කෘතිය පළ වී තිබේ. එය ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙනදුන් බව සටහන් කළ යුතු ම ය.
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, හින්දි, මරාඨි, දෙමළ ආදී භාෂා විසල් ප්‍රමාණයක් දැන සිටි මහාචාර්ය විජයවර්ධන භාෂා විශේෂඥයකු, සංස්කෘත සාහිත්‍ය ප්‍රවීණයකු, ග්‍රන්ථ පරිවර්තකයකු මතු නොව සුභාවිත සංගීතඥයකු ද විය. ඒ සියල්ලට එහා ගිය විද්‍යාර්ථීන්ගේ අපමණ ප්‍රසාදයට ලක් වූ ගුරු තරුවක් විණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ගුවනට මුසු කළ ‘රස වින්දන‘ නැමැති සංගීත වැඩසටහන මෙහෙයවන ලද්දේ ද ඔහු විසිනි. මද්දලය වාදනයට මෙන්ම රාගධාරී සංගීතය වින්දනය ද ඔහුගේ රසභාව කැලැත්තූ අතර එය රසික ප්‍රේක්ෂක ජනතාවට ආනන්දය අත්කර දුන්නේ ය. ඔහුගේ වාද්‍ය හැකියාව හඳුනා ගත් මහැදුරු සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය වෘන්දයට ඔහු තෝරා ගන්නේ එකී හැකියාවට කරන ගෞරවයක් වශයෙනි. ඒ අනුව මනමේ ප්‍රථම නිෂ්පාදනයට දායක වීමේ අවස්ථාව විජයවර්ධනට හිමි වෙයි. එනයින් අනතුරුව ඔහු මනමේ වාද්‍ය වෘන්දයෙහි මද්දල වාදනයෙන් නාට්‍ය වාර විසිපහකට පමණ සිය දායකත්වය ලබා දී තිබේ. ඒ කාලයේ පේරාදෙණියට එන ඇතැම් සංගීතඥයන්ට නවාතැන් පහසුකම් සපයා දෙන ලද්දේ ද මහාචාර්ය විජයවර්ධන විසිනි. එය ඔහුගේ මානවහිතවාදීත්වයේ මෙන් ම නොතිත් සංගීතාදී සෞන්දර්යන්ගේ ඵලයකි. මෙනයින් බලන කල සුවිසෙස් නෙක හැකියා රැසක සංකලනයක් වූ මහාචාර්ය විජයවර්ධන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පඬිරුවනක් විණි.
මහාචාර්ය විජයවර්ධන ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් අරඹා තිබුණු සිංහල හා ශ්‍රී ලංකා අධ්‍යයන විෂයය මාලාව බාරව කටයුතු කිරීමට මුලපිරීම නිසා එකී සේවාව යළි ලංකාවට ලබා ගැනීමේ මාර්ගය විවර විණි. ලක්දිවෙන් බැහැර ව සිංහල පාඨමාලාවක් විශ්වවිද්‍යාල මට්ටමෙන් පැවැත්වෙන ලෝකයේ දෙතැනක් තිබේ. එකක් ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ය; අනෙක ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයේ ය. ලන්ඩන්හි දශක ගණනාවක් ඒ විශ්වවිද්‍යාලය විසින් පවත්වා ගෙන ආ මේ සිංහල ආචාර්ය පදවිය විවිධ හේතු හා හැලහැප්පීම් නිසා නැවැත්වීමට නියමිත ව තිබිණි. යළිත් එය 1980 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා රජය යන දෙපාර්ශ්වය හවුලේ වියදම් දරා ගැනීම යන පදනම මත යළි ස්ථාපිත වූයේය. එය මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මහඟු සේවාවක් විණි. මහාචාර්ය විජයවර්ධන ඇතුළු සිංහල අධ්‍යයන අංශ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ගණනාවක් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි ඇති ඒ පදවියෙහි සේවය කරමින් රටට බුද්ධිමතුන් බිහි කිරීමේ සක්‍රිය සේවාවක් කළේ ය. එසේ නොවන්නට එය එතැන ම නැවැත්වීමට කරුණු යෙදෙන්නට තිබුණු ඉඩකඩ බොහෝ ය. මහාචාර්ය විජයවර්ධනගේ මැදිහත් වීම වටින්නේ ඒ නිසා ය.
මහාචාර්ය විජයවර්ධනගේ සුවිසෙස් ලක්ෂණයක් විණි. ඒ සාමූහික ව වැඩ කිරීමේ අසාමාන්‍ය හැකියාවයි. ඔහුගේ බොහෝ කටයුතු සිදු කෙරුණේ තවත් බොහෝ අය සම්බන්ධ කරගනිමිනි. විශිෂ්ටතම පරිවර්තන සේ සැලකෙන සාරභූමි මෙන් ම ගසක කඳුළු ද ඔහු පරිවර්තනය කරන්නේ ඌරාපොල හේමාලෝක හිමියන් හා එක් ව ය. සියම් ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා - 18 සියවස කෘතිය ලියැවෙන්නේ මහාචාර්ය පී. බී. මීගස්කුඹුර හා එක් ව ය. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙහි තෙවැනි සංස්කරණය සඳහා වචන 5,000ක් පමණ අලුතෙන් ඇතුළත් කිරීමත්, සිවුවැනි සංස්කරණය සඳහා වචන 10,000ක් පමණ ඇතුළත් කිරීමත් ඔහු අතින් සිදු විය. ඒ සංස්කරණ ද්විත්වයෙහි කටයුතු සඳහා මහාචාර්ය හේමපාල විජයවර්ධනට නන්ද මලලසේකර, ඩී. ආර්. වෝල්ටර්, මහාචාර්ය මර්ලින් පීරිස්, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, පියදාස හෙට්ටිහේවා, අතුල මංචනායක හා පර්සි ජයමාන්න යන අය ද සහභාගී වූහ. මහාචාර්ය ජේ. බී. දිසානායකයන් හා එක්ව මාලදිවයින් භාෂාවෙන් ලියූ ඉස්දු ලෝමාෆානු හෙවත් ලෝහ මහා පර්ණය නම් වැදගත් තඹ සන්නසක් සංස්කරණය කර පළ කළේ ය. එය වැදගත් වූයේ ඒ ඔස්සේ මුලින් බෞද්ධ ව පැවැති මාලදිවයින ඉස්ලාම් වීමට අදාළ විස්තරය ඇතුළත් වීම ය.
කොළඹ විශ්විවිද්‍යාල භූමියේදී ද මේ ශාස්ත්‍රීය දානමය ප්‍රවේශය මහාචාර්ය විජයවර්ධන වෙනස් නොකළේ ය. සද්ධර්මාලංකාරය, අමාවතුර, සිඛවළඳ හා සිඛවළඳ විනිස ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහා සංස්කරණය කළ කමිටුවේ බෙහෙවින් ක්‍රියාකාරී සාමාජිකයකු වූයේ ද මහාචාර්ය විජයවර්ධන ය. ශාස්ත්‍රීය සේවාව දානයක් සේ කළ පසු පරම්පරාවට දායාද කිරීමේ නොතිත් ආශාවකින් හා පැවැත්මකින් යුතු ව හේ ක්‍රියා කළේ ය. දැනුමෙන් සන්නද්ධ වුව ද ඔහු තමන් විසින් ම සියලු දේ නොකළ අතර ඊට වඩා වෙහෙස වූයේ පසු පරම්පරාවක් නිර්මාණය කිරීමට ය.
නිහතමානීත්වය සිය ජීවිතයේ කොටසක් වූ ඔහුගේ පැවැත්ම ඉතා අල්පේච්ඡ විය. කෙතරම් ඉහළ ට ගියේ වුව, කෙතරම් දැනුමෙන් සන්නද්ධ වුව හේ සාමාන්‍ය ගැමියකු සේ හැසිරුණේ ය; ක්‍රියා කළේ ය. ඉන්දියාවේදී හේ ගාන්ධිතුමා අනුදකිමින් කදාර් රෙද්දෙන් කළ ඇඳුම් පාවිච්චි කළ බව අප අසා තිබේ. තම අධ්‍යයනාංශයේ සිටි කනිෂ්ඨ ආචාර්යවරුන්ගේ පශ්චාත් උපාධි සඳහා සිය උපරිම සහයෝගය දැක්වීම හේ සිතුවේ තමා පිට පැටවුණු වගකීමක් ලෙස ය. මෙය ඔහු අතින් නිශ්ශරණාධ්‍යාශයෙන් කෙරුණු මෙහෙවරක් විණි. කිසිදු මමත්වයක් හෝ පෞද්ගලිකත්වයක් පිළිබඳ හැඟීමක් ඔහුට නොවී ය. සම්භාව්‍යත්වයට මෙන් ම සෞන්දර්යයට ද එකසේ පෙම් බැඳි මේ මහාචාර්යවරයා මිනිසකු සතු විය යුතු උත්තම ගුණාංග පිළිබඳ සනිදර්ශනයකි. ඒවා කුෂාග්‍ර බුද්ධිමතකුට වුව ලෙහෙසියෙන් පිළිපැදිය නොහැකි තරම් උත්තුංග ගුණයෝ වූහ. තමන් සතු ඥානය ශාස්ත්‍රාභිලාෂීන් වෙත නොමසුරුව දායාද කිරීමේ ලා හැර වෙන යම් ආධ්‍යාශයක් ඔහු ජීවිතයේ නොවුණු තරම් ය. නිවුණු මිනිසුන් අතර ද කැපී පෙනෙන තරම් නිවුණු හේ බුද්ධිමතකු යන්නට දිය හැකි ආදර්ශය වූයේ ය.
හේමපාල විජයවර්ධන මහාචාර්යතුමා මට භෞතික ව හමු වී නැත. බොහෝ මිනිස්සු භෞතික රූපකායෙන් අපට හමු වෙති. ඔවුන්ගේ ඡායාමාත්‍රයක් අප සිතෙහි ඇත. පසුව අපි ඔවුහු ඇසුරු කරමු. සමහරු අපේ සිතේ ඉඩක් වෙන් කර ගනිති. සමහරුන්ගේ ඡායාව පවා කලෙකදී මැකී යයි. එය අප සිතෙහි ඔවුුහු වෙනුවෙන් වෙන්වන සහෘදත්වයේ බර කොතරම් ද යන්න මත තීරණය වෙති. සමහර භෞතික හමුවීම්හි ආධ්‍යාත්මික හමුවීමක් ගොඩනැඟෙන්නේ නැත. එය සිදුවන්නේ සහකම්පනයේ ප්‍රමාණය අනුව ය.
සමහර චරිත අපට කිසිදා හමු වෙන්නේ නැත. ඔවුහු කරන, කියන හා ලියන දෑ ඔස්සේ අපි ඔවුහු හඳුනා ගන්නෙමු. සමහර භෞතික හමුවීම්වලට වඩා මේ හමුවීම ප්‍රබල විය හැකිය. නිබඳ හමු වුව ද හමු නොවුණා සේ දැනෙන බොහොමයකට වඩා මේ ආධ්‍යාත්මික හමු වීම් ස්ථිරසාර ය. ඒවා භාව ප්‍රකෝපය වෙනුවට භාව සංතර්පණය කරන්නේ ය.
මහාචාර්ය විජයවර්ධන ගැන මා මුලින් ම දැනගන්නේ සාරභූමි කියැවූ පසු ය. ගුණසේන සමාගමෙන් ගත් ඒ කුඩා පොත අත්පොතක් සේ පරිශීලනය කළ කාලයක් අපට තිබිණි. වංලුං ලා ඕලෑං ලා නිසා නෙතඟ නැඟි කඳුළු බර අදටත් බර මතකයෙකි. ගසක කඳුළු ඊළඟ හමුවීමයි. ඒ ප්‍රථම ආධ්‍යාත්මික හමුවීම් අදට ද මහාචාර්ය විජයවර්ධනගේ ආධ්‍යාත්මික සුන්දරත්වය හදවතට දනවයි. මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මෙන් ම මහාචාර්ය ඒ. වී. සුරවීර වැනි ගුරු සුධීමතුන් එතුමන් ගැන කියූ දෑ සාකල්‍යයෙන් ම සත්‍යයක් බැව් චරිතය හදාරද්දි දැනෙයි. ඒ දැනුම ද ආධ්‍යාත්මික දැනීමකි. හමුවන රූපකාය අබිබවා ගිය ගෞරවනීය ආදරයකින් මහාචාර්ය විජයවර්ධන කියවා ගැනීමට හැකි වූයේ ඒ නිසා ය. ගුරු තරුවකට දිය හැකි උත්තමාචාර ආදරය කොපමණක් ද එහි සාකල්‍ය අර්ථයෙන් ම මහාචාර්ය විජයවර්ධනට ඒ බුහුමන පුදන්නේ දෙවරක් නොසිතා ය. භෞතික හමුවීම්වලට වඩා ආධ්‍යාත්මික හමුවීම් ප්‍රබල බැව් ඔබ කොහොමත් දනියි.