පුත්‍ර සෙනෙහස | Page 2 | සිළුමිණ

පුත්‍ර සෙනෙහස

සිය නිවස ඉදිරිපස වූ දර කොටයක් මත වාඩි වී සිටි ගුණවතී, යාබද නිවස ඉදිරියේ නවත්වා තිබූ මෝටර් රිය දෙස බලා සිටියේ, බලවත් විමතියකිනි. එබඳු මෝටර් රියක් එයින් පෙර කිසිදිනක එහි ආ ගිය බවක් ඇයට සිහිපත් වූයේ ද නැත. ගෙතුළින් ඇසෙන උස් සිනා හඬත්, කතා බහත් අනුව කිසියම් හිතවත් පිරිසක් එහි පැමිණ ඇතැයි ගුණවතීට සිතුණේ ය.

“කවුද බොලේ අර මාරිලාගේ ගෙදර කැකිරි පළන්නේ, බලන්න එපායැ අර වාහනේ උජාරුව විතරක්... කවුරු හරි කට්ටියක් එහෙට ඇවිත් වගේ“ ඇය ගෙතුළට හැරී, දියණියට ඇසෙන්නට කීවා ය. නිතරම අනුන්ගේ ඕපාදූප කතා කරන සිය මවගේ, ගති සිරිත් මනාව හඳුනන චාන්දනී, එක් වරක් පමණක් හිස ඔසවා බලා, යළිත් බීරළු රේන්දය ගොතන්නට වූවා ය.

“මාරි නැන්දාගේ බාල දුව අනෝමා ගෙදර ඇවිත්. මම හිතන්නේ, ඒ කාර් එක එයාගෙ මහත්තයාගෙ,“ චාන්දනී එසේ කීවේ, මෑණියන්ගේ නොඉවසිලිමත් බව හඳුනා ගනිමිනි.

“මොනවා!“ ගුණවතී සිය දියණිය දෙස බැලුවේ, පුදුමයෙන් දෑස් විවර කරගෙන ය.

“වෙන්න බෑ. අනෝමා කෙල්ල කසාද බැඳ ගත්තේ, ඉස්කෝලෙක ගුරෙක්ව“

“ඉතින් ඒ මහත්තයාට කාර් එකක් ගන්න බැරියැ. ලොකු පඩියකුත් නැතැ‘යි චාන්දනී කීවේ, කෝපය හා කලකිරීම මුසු හඬකිනි.

“පුළුවන් තමයි. මොකද බැරි ගෙවන්න ගන්න ඇති. දැන් කාර් නැත්තේ කාටද බන්“

“ඉතින් මොකද අම්මේ ගෙවන්න ගත්තත්, ඒ ණය ගෙවන්නේ, ඒ මහත්තයා මිසක් අපි නෙවෙයිනෙ“ චාන්දනීට මව කෙරෙහි අප්‍රසාදයක් ඇති විය.

“තියන මිනිස්සු කාර් ගත්තාම අපිට මොකෝ?“

ගුණවතීට දියණිය කෙරෙහි කෝපයක් ඇති වූයේ නිතැතිනි.

“අඩු තරමින් කර උස්සලාවත් ඒ පැත්ත බැලුවාද?“ ඇය සිතුවේ අමනාපයෙනි.

“උඹ දන්නෙ කොහොමද ඒක අනෝමාගෙ මිනිහාගෙ කාර් එක බව“ ඇය විමසුවේ කේන්තියටත් එක්කය.

“ඇයි, පොඩි අයියා කියාගෙන ගියේ. කඩේ ළඟ මිනිස්සු කතා වුණාලු.“

“මොනවා! ඉතින් උඹලා දෙන්නා කතා වුණා මිස මට කිව්වේ නැත්තේ. මම පිළිකන්නේ ඉන්න කොට එයා කොහේද යනවාය කියලා ගියේ. උඹලා ඔක්කොම එකයි.“

ඒ අසා, චාන්දනී සාවඥ ලෙස සිනාසුණා ය.

“මොනවටද අම්මේ අපි ඔක්කොම එකතු වෙලා, අනුන්ගේ කාර් එකක් ගැන කතා කරන්නේ.“

“ඔව් ඉතින්, උඹලා දෙන්නා විතරක් කතා වුණාම මදැයි. උන් ඔක්කොම අඩව් අල්ලන්නේ අපිට පේන්න. ඒක උඹලාට තේරෙන්නේ නෑ.“

ගුණවතී නැවතත් නිහඬව, යාබද නිවසෙන් ඇසෙන උස් සිනාවටත්, කතාවටත් සවන් දීගෙන සිටියාය. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ, ඒ ගෙදර සියලු දෙනා මහත්වූ ප්‍රීති ප්‍රමෝදයකින් හා සැහැල්ලුවකින් පසුවන බවය.

“එහෙම නම් ඉතින් හෙට අනිද්දා ලොකු දුවත් මිනිහා එක්ක කාර් එකකින් එන්නේ නැතැයි“ ගුණවතීට කියැවුණේ ය.

හිස නමාගෙන, බීරලු ගොතන චාන්දනීට, මව කෙරෙහි මහත්වූ අනුකම්පාවක් හා දුකක් ඇති වූයේ, නිරායාසයෙනි. නැති බැරි කමින් බොහෝ පීඩා විඳිමින්, ජීවිතයේ දහසක් දුක් අඳෝනාවන් ඉවසා ගනිමින්, ජීවත්වන්නට වෙහෙසෙන සිය මවගේ සිතේ, යාබද නිවසේ උදවිය කෙරෙහි ඇතිවී තිබෙන ඊර්ෂ්‍යාව මුසුවූ දොම්නස් සහගත බව, සාධාරණ යැයි ඇයට සිතුණේ ය.

“මොකද අම්මේ දැන් දිනූෂාට, එයාගෙ මහත්තයා එක්ක කාර් එකකින් එන්න බැරි. දැන් එයාට කළුතර කච්චේරියේ උසස් වීමකුත් ලැබිලා“ චාන්දනී කියන්නට වූයේ එක්තරා ආකාරයක ආත්ම අනුකම්පාවක් ද ඇතිවය. තමා සමඟ එකට පාසල් ගිය, යාබද නිවසේ දැරියන් දෙදෙන‍ා, හොඳින් ඉගෙන ගෙන, රැකියාවන්හි යෙදී, විවාහ වී, දරුවන් ලබා, වාසනාවන්ත ජීවිත ගත කරති. එහෙත් චාන්දනීට, එබඳු වාසනාවක් වූයේ නැත!

“මට ඉස්කෝලෙ ගිය කාලෙ හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒත් හුඟක් දවස්වලට මම පොඩි මල්ලිලා බලාගන්න ගෙදර නැවතුණා. ඉස්කෝලෙ පොත් ගන්නවත් පුළුවන් කමක් තිබුණෙ නෑ. හරහට හිටියේ, අපේ දුප්පත්කම “ඇය සිතන්නට වූයේ බලවත් දුකකිනි.

“මාරි ගෑනිත් ඉතින් බෑණලා නිසා බබළනවා“ ගුණවතී කියන්නට වූවා ය.

“ඒත් ඉතින් ලස්සෙට කොඩි දැම්මත්, එක පුතෙක්වත් ඉන්න එකක් යැ. එයාගෙ දරුවෝ දෙන්නාම ගෑනු“ ඇය එසේ කීවේ අවඥානයෙන් සිනාසෙමිනි.

“මාරියාට දැන් මුල මතක නෑ. අපි දෙන්නාම වැඩ කෙරුවෙ වත්තෙ. අපි අතට ගත්තු තුට්ටු දෙකෙන් ළමයි හතර පස් දෙනෙකුගෙ වැඩ. එයාට එහෙමයැ කෙල්ලෝම දෙන්නෙක් විතරයි. මොකෝ එක පුතෙකුගෙවත් සුවඳක් දැනුණු ගෑනියෙක් ද?“

චාන්දනී මව දෙස විමසිලිමත්ව බලා සිටියාය. කවර දුක් දෝමනස්සයක් වුවද, ඇය පුතුන්ගේ මන්තරය ජප කරන බව චාන්දනී දනියි.

“එක දුවට, පුත්තු හතරක්“ පුතුන් පිළිබඳ මහත්වූ කිසියම් අභිමානයක් මව තුළ පවතින අතර, අහල පහල කිසිවෙකු සමඟ රණ්ඩු දබර කරගන්නා අවස්ථාවලදී මෙම ‘අභිමානය‘ ඇය අතට පත්වන ශක්තිමත් ආයුධයක් බව චාන්දනී දනී. චාන්දනීගේ සිත මවගැන අනුකම්පාවෙන් පිරිණි.

“අනිත් ගෑනු වගේ නෙවෙයි. මම පුත්තු හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්,“ ඇය එසේ කියා සිටින්නේ, පුතුන්ගේ ලෝකයේ ජයග්‍රාහීව සක්මන් කරමිනි.

ගුණවතී නිහඬව යාබද නිවස දෙස බලා සිටියාය. කලකට පෙර කුඩා පැල්පතක් බඳුව තිබූ මාරිගේ නිවස, දැන් දැකුම්කලුය. එහෙත් එදා කෑලි තුනකින් සමන්විතව තිබූ ඇගේ නිවස, ගරා වැටෙමින් ඇතැයි ඇයට සිතිණ. මාරිගේ දියණියන්ට රැකියාවන්හි නිරතව, අලුතෙන් ගෙය සාදාගැනීමට හැකිවූ අතර, තමාට පුතුන් සිටියද, ඔවුන්ට ගෙයක් දොරක් සාදාගැනීමට වුවමනාවක් හෝ හැකියාවක් නොවී ය.

“ගෙවල් දොරවල් හදාගන්නෙ නැතුවාට, මම මගේ දරුවන් ලොකු කරගත්තා මදැයි! තමා හා මාරි අතර වෙනස දකින ගුණවතී සිත සනසාගත්තේ, එලෙස සිතමිනි.

“එයා ළමයි දෙන්නෙක්ව හදන කොට, මම ළමයි හතරපස් දෙනෙක් මත්තෙ නැහුණා.“

ගුණවතී සිය මිය ගිය සැමියා ගැන සිතුවේ බලවත් කෝපයකිනි.

“ඒ දවස්වල මිනිහයි කියල එකෙක් නම් හිටියා නේන්නම්. ඌ බාල කොල්ලා බහ තෝරන සන්දියේම මක බෑවුණා.“

සිරිසේන අකාලයේ මිය ගිය අයුරු, ගුණවතී සිහිපත් කෙළේ බලවත් කෝපයකින් යුතුව ය. ඇය වත්තේ වැඩට ගියේ, දරුවන් පස් දෙනෙකු ලොකු මහත් කරගැනීමට, අන් මඟක් නොවූ හෙයිනි. එක හොද්දක් හා බතක් පිළියෙළ කොට තබා ඇය වත්තේ වැඩට ගියේ, දහසක් දුෂ්කරතාවන් මැද ය. දෙවැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටි, වැඩිමහල් පුතු පියදාස පාසල් ගියේ ඉඳහිට දවසක ය.

“පුතේ, උඹ අද ඉස්කෝලෙන් නැවතිලා, මල්ලිලාවයි, නංගිවයි බලාගෙන ඉඳින්,“ ගුණවතී එසේ කියන්නේ, නිවසේ ඇති එකම ඇ‍දේ දිගාවී සිටින සිරිසේනට ඇසෙන්නට ය. රේල් පාරේ කුලී කරුවෙකු වශයෙන් සේවය කරන ඔහුට, පවුලේ වගකීම් ගැන කිසිදු වුවමනාවක් නොවීය. නිතර බීමත්ව සිටි ඔහු, ගෙදරට අඩුපාඩු කිසිවක් රැගෙන ආවේ, කලාතුරකිනි. බොහෝ දිනවල, ඔහු ගෙදරට විත් බිරිය සමඟ දබර කරයි. ඔහුට දරුවන් ගැන වගක්වත් නැත. ගුණවතීගේ කුඩා දරුවෝ, පියා එලෙස හැසිරෙන විට, බියපත්ව ඒ මේ අත දිව යති.

“නොදකින් මෙහෙම මූසලයෙක්. පොඩි එකෙකුටවත් ඉන්න නෑ“ යි ගුණවතී බෙරිහන් දෙන්නේ, කුඩා එවුන් වට කරගෙන ය. සිය අපිරිසිදු රෙදි පොටේ එල්ලී හඬන කුඩාම දරුවා වඩා ගන්නා ගුණවතී, සිරිසේනට දෙස් දෙවොල් තබන්නට පටන් ගන්නා නමුත්, බීමත්ව, වෙරිවී සිටින ඔහුට ඒ කිසිවක් නෑසෙයි.

“මේ පොඩි එවුන්ට හරියකට කන්නත් නෑ. අඳින්නත් නෑ. ඒ මදිවාට මේ යකාගෙ කරච්චලේ නිසා ඉන්නත් නෑ“ සෑම සැඳෑවකම ඇගෙන් කියැවෙන්නේ එකම වචන මාලාවකි.

දරුවන් කවා පොවා නිදිකරවන ගුණවතී‍, පැදුරක් හෝ මල්ලක් වියන්නට පටන් ගන්නේ මොහොතකට පෙර සිය නිවසේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි. සෙනසුරාදා හවසට පොළට ගොස්, පැදුරු මලු විකුණා ගැනීමෙන් ලබාගන්නා මුදල් සියල්ලම වැය වන්නේ, ගෙදර ඕනෑ එපාකම් වලට ය.

බොහෝ වේලා නිදාගෙන සිට, වෙරි සිඳුණු පසුව, සිරිසේන මුළුතැන්ගෙයට වැදී වළං හූරමින් බත් කන හඬ ඇසුනද, ගුණවතී එහි යන්නේ නැත. කොතරම් අඩ දබර සිදු වුව ද, සිරිසේනගේ බත් පංගුව හැලි වළං වල ඉතිරිකර දැමීමට, ඇය පුරුදුව සිටියාය. තමා මුහුණ දෙන, කවර දුක් වේදනාවක් වුවද, විඳ දරා ගැනීමේ පුදුම ශක්තියක් උපතින් ම දායාද කරගෙන සිටි ගුණවතීට අවශ්‍ය වූයේ කෙලෙස හෝ දරුවන් හදා වඩා ගැනීමට ය. එහෙයින් ඕ කිසිවිටෙක, ඒ සඳහා සිරිසේනගේ සහායක් බලා සිටියේ නැත.

කන බොන පිඟන් කෝප්ප, හැලි වළං කීපයක්, මිරිස් ගලක්, හිරමනයක්, පුටුවක් දෙකක්, දිරා ගිය ඇඳක් හා මේසයක් ද, කොට්ට පැදුරු ද හැරුණු විට, ගුණවතීගේ නිවසේ ඇත්තේ, ඇඳුම් පැලඳුම් ස්වල්පයක් පමණි. ඇඳුම් අල්මාරියක් නොවූ අතර, කුඩා කාමරයේ වූ වැලක ඇඳුම් එල්ලා තිබිණ. එහෙයින් ආයාසයෙන් රැකගත යුතු අගනා කිසිවක් ගෙතුළ නොවූ හෙයින්, ඔවුන්ගේ දිවි පෙවෙත සැහැල්ලු විය.

“ගුණවතීට දැන් පුත්තු දෙන්නෙක් ම ඉන්නේ. දැන් ඔය මදැයි. ළමයි වැඩි වුණාම කරදර වැඩියි“ දෙවැනි පුතා ඉපදුණු අලුත, වත්තේ වැඩ කරන ගැහැනු ගුණවතීට කීහ.

ඒ දිනවල සිරිසේන බීමට ඇබ්බැහිව සිටියේ නැත. “මගේ ළමයි හදාගන්න මම කාටවත් අත පාන්නේ නෑ. ඒ වුණත් ඒකෙ අමාරුව, අහක ඉන්න ගෑනුන්ට නෙ,“ ගුණවතී තමාටම කියාගත්තේ, බලවත් කෝපයකිනි.

සිරිසේන අකාලයේ, අවාසනාවන්ත ලෙස මිය යෑම, ගුණවතීගේ බලවත් ශෝකයකට හෝ කම්පාවකට හේතු වූයේ නැත.

“මොනවද ඉතින්, නමට මිනිහෙක් කියලා තාත්තයි කියලා එකෙක් හිටියාට, මොකක්ද වුණු සෙතේ. හැන්දෑවට බීගෙන වෙරිවෙලා එනකොට, දරුවෝ බයේ හැංගෙනවා. රණ්ඩු කෝලාහල ඉවරයක් නෑ. හිටියයි, මැරුණයි කියලා මොකක්ද දෙකම එකයි.“

ළමා විය ඉක්ම යන්නට පෙර, නගරයේ කඩපොළක සුළු රැකියාවකට ගිය වැඩිමහල් පිරිමි දරුවා, පියෙකු අහිමි පවුලක මවගේ ජීවන බර ඉසිලීමට, යම් අයුරකින් සහාය විය. පියදාස සැඳෑවේ ගෙදර එන්නේ, පාන් ගෙඩි දෙකක් සහ තවත් සුළු කළමනා කීපයක් ම රැගෙන ය.

“හිටපල්ලා පුතේ, දැන් අයියා එනවා ඇති‘යි කියමින් ළිප මත ඉදෙන පරිප්පු හොද්ද හැඳිගාන ගුණවතී, කුසගින්නේ හඬන දරුවන් අස්වසාලන්නේ, මුළුතැන්ගෙයි දොරෙන් එබෙමින්, පාර දෙස බලමිනි.

ගුණවතී ගෙවී ගිය අතීතයේ සිදුවීම් ගැන සිතන්නට වූයේ, වරින් වර යාබද නිවස දෙස බලමිනි. තමා සමඟ එකට වත්තේ වැඩ කළ මාරි දැන් ඉතා සුව පහසු ජීවිතයක් ගත කරයි. එහෙත් තමා තවමත් බොහෝ සෙයින් දුක් විඳියි.

“දෙයියෝ දෙගොල්ලක් වෙන්න ඇති, “ඇය සිතන්නට වූයේ ආත්මානුකම්පාවෙනි.

ගුණවතීට හදිස්සියේ ම නාමවතී සිහිපත් විය. නාමවතීත්, මාරිත්, තමාත් ඒ දිනවල වත්තේ වැඩ කළ අයුරු ඇය සිහිපත් කෙළේ එක්තරා සතුටකිනි. නාමවතීට ද ගුණවතීට මෙන් ම දරුවන් කීප දෙනෙකු වූ අතර, ඇය ගේ සැමියා ද මිය ගොසිනි. ඇය ද බොහෝ දුක සේ දරුවන් ඇති දැඩි කළ මාතාවක් වූවා ය‍.

“කොහොමද ගුණවතී අක්කේ, හුඟක් කාලෙකින් දැක්කේ“ යැයි කියාගෙන, ඇය මඟ නතර වූයේ මුව පුරා සිනාසීගෙන ය.

“අපිත් ඉතින් තාම හිටපු තැනම තමයි නංගියේ. ඒත් කොහොම හරි ජීවත් වෙනවා.“ ගුණවතී කියා සිටියේ පැරණි හිතවතිය හමුවූ දඩි සොම්නසිනි.

“කොහොමද ඉතින් ළමයි හෙම“ නාමවතී සිරිසේන ගැන විමසුවේ නැත.

“උන් ඉතින් ඔහෙ ඉන්නේ. ලොකු එකා ඉස්සර හිටිය කඩේ තමයි තාම වැඩ. ඌට දැන් හොඳයි.“ ගුණවතී කීවේ සිනාසීගෙන ය.

“කෙල්ල කුලී මහනවා. බීරලු රේන්ද ගොතනවා. ලොකු එකා කෙල්ලට මැසින් එකක් අරගෙන දුන්නා ගෙවන්න. දැන් ගෙවලා ඉවරයි. දෙවැනි කොල්ලා දැන් යූ. සී. එකේ කුලී වැඩ. අනිත් එකා තමයි මට කරුමෙ. තාත්තා නවත්තලා ගිය තැනින් ඌ පටන් අරගෙන.“

“අනිච්චං! ඒක නේන්නම්. මටත් ආරංචියි,“ නාමවතීට සිය හිතවතිය ගැන දුක ය.

“ඕවා මම උඹගෙන් හංගන්නෙ මොකටද නංගියෙ. තාත්තාගෙ උරුමෙ ගෙනියන්න එකෙක් ඉන්නත් එපායැ“ ගුණවතී කියන්නට වූයේ බලවත් ශෝකයකිනි. “මගේ බාල එකාත් ඔය වගේ අක්කෙ. ළඟකදී හිරේ තැපලා ආවා. දැන් ගෙදර එන්නේ කලාතුරකින්. වැල්ලේ සුද්දො එක්ක ඇවිදිනවලු. මම නම් හොයන්නෙත් නෑ“

“අපි කාටත් එක වගෙයි. ඒ වුණාට බලාපල්ලකො මාරි. මිනිහත් නැතුව පවුල හදාගත්ත ලස්සන. දුවලා දෙන්නා රස්සාවල. ගේත් ලස්සනට හදාගෙන. “දැන් ළමාතැනී වගේ“

‘අම්මපා! නාමවතීට කියැවුණේ පුදුමයට පත්වෙමිනි. ඒ සමඟම මාරි විඳින සැප සම්පත් අසන ඇයගේ සිත කෙළවර ඊර්ෂාව ද ලැගුම් ගන්නට විය.

“ඒ දවස්වල ඒකි හිඟා නොකා හිඟා කෑවා. දවල්ට අපි තුන්දෙනාම කෑවෙ රොටී.“

“ඒක නෙවෙයිනෙ. ඒකිට හිටියෙ කෙල්ලෝ දෙන්නා විතරයි. අම්මා හිටියා ළමයි බලාගෙන. ඒ නිසා අපිට වගේ දුක් විඳින්න වුණේ නෑ.“ ගුණවතී කීවේ සුසුම් හෙළමිනි.

“අපි ළමයි කී දෙනෙකුගේ බඩ කටවල් පිරෙව්වාද. බේබදු මිනිස්සුන්ගෙන් මොනතරම් කරදර වින්දාද? මාරිට එහෙම කරදර තිබුණු එකක් යැ.“

“ළමයි වැඩි වුණාම දුක් වැඩි වෙනවාය කිව්වාට, මොනවා කරන්නද? හෙණ ගහන්නා වගේ ම දරුවෝ හතර පස් දෙනා හම්බුවුණා ම. දැන් කාලෙ අම්මලා වගේ ගඟට මූදට විසි කරන්නද බෙල්ල මිරිකලා කටු අකුල්වලට දාන්නද‍ ඉස්පිරිතාලෙ දාලා පැනලා යන්නද තියෙන හැටියකට හදාගන්නවා මිසක්.“ නාමවතී කීවේ සන්තාපයෙනි.

“මාරියාට හොඳට හිටියේ, දෙවැනි එකී උපන් අලුතම මිනිහා මැරුණු එක“

“ඒ මොනවා වුණත් පවුලකට කොල්ලෙක් එපායැ“ ගුණවතී කීවේ සිතේ කොනක තමා ගැන අහංකාර බවක් ඇති විය. මාරිට නැති කිසියම් අගනා වස්තුවක් තමා සතු නොවේ දැයි ඒ සමඟම ඇයට සිතිණ.

“පුත්තු එකෙක්ද, දෙන්නෙක් ද, හතරක්!“

“එක අතකට අක්කේ, අපිට පුත්තු ඉන්නවාය කියලා ඇති සෙතේ මොකක්ද“ නාමවතී එලෙස කියනු ඇසුණු ගුණවතී තිගැස්සුනා ය.

“පුතෙක් හරි දුවෙක් හරි, මොකා හරි හරියට හැදුණොත් අපිටයි රටටයි දෙකටම වාසනාවයි“

“ඒකත් ඇත්ත තමයි“ ගුණවතී එසේ කීවා නොව, කියැවුණා පමණි.

“අපි රාජ පරම්පරාවක උදවිය නොවෙයිනෙ. ඊළඟට රජ කරවන්න පුත්තු ඕනෑ රාජ පරම්පරාවලට එහෙම බැලුවාම අපි කව්ද?“

“හැබෑටම මේ ගෑනි මේ අභිධර්මෙ ඉගෙන ගත්තෙ කාගෙන් දැයි සිතූ ගුණවතීට, නාමවතී කෙරෙහි අප්‍රසන්න බවක් ඇති විය. එහෙත් එසැණින් ම සිය පුතණුවන් සිහිපත්වූ ඇයට, නාමවතී නිවැරැදි යැයි සිතුණේ ය.

“එක අතකට නාමවතී කියන්නෙත් ඇත්ත. රාජ පරම්පරාව නෙවෙයි, බේබදු පරම්පරාව ගෙනි යන්න පුතෙක්නෙ මට ඉන්නෙ.“

තවත් මඳ වේලාවක් කතා කරමින් සිට, නාමවතී නික්ම ගිය පසුව, ගුණවතී ආපසු ආවේ ඔවුන් දෙදෙනාටම සිටින පුතුන් ගැන සිතමිනි.

නාමවතී ගැන සිතමින් සිටි ගුණවතී හදිසියෙන් ම හුන් තැනින් නැගිට ගත්තේ, පාරේ වංගුව දෙසින් ඇසුණු ගී රාවයකට සවන් දෙමිනි.

“අන්න අර වසවර්ති මාරයා අදත් හොඳටම බීගෙන එනවා වගෙයි,“ ඇයට එක්වරටම කියැවිණ.

“අම්මා ඔන්න එයත් එක්ක කතාවට යන්න එපා“ යි චාන්දනී කීවේ කලකිරුණු හඬකිනි.

“කතාවට යන්න එපා! ඇයි ඌ මගෙ මහ එකාද මම බයේ ඉන්න“ ගුණවතී කෑගැසුවා ය.

“අර එහා ගෙදර මිනිස්සුත් ඉස්සරහ ඉන්නවා“ චාන්දනී සිහින් ස්වරයෙන් කීවාය.

“ඉතින් මොකද? ඒගොල්ලන් රාජවංසෙද? මාරියා මාත් එක්ක වත්තෙ වැඩ කරපු ගෑනියෙක්නෙ. එසේ කියන අතරම ගුණවතීට සිහිපත් වූයේ පෙරදිනක තමා මාරිට බැණ වැදුණු අයුරු ය.

“උඹට එක පුතෙක්වත් ඉන්නවාද උඹලගෙ පරම්පරාව ගෙනියන්න...“

“අනේ මට නෑ තමයි. ඒත් මේ කෙල්ලෝ දෙන්නා ඉගෙන ගෙන තැනකට ආ දාට මට පුත්තු නැති පාඩුවක් දැනෙන එකෙක් නෑ.“ මාරි ජයග්‍රාහී හඬකින් කියනු ඇයට යළි මතක් විය.

“ඇත්ත නේන්නම්! පුත්තු නැති වුණාට ඒ ගෑනි දැන් රජ සැප විඳිනවා. ඒත් මම!“

මාරිගේ බාල දියණියත්, බෑණාත්, දරුවනුත් රැගත් මෝටර් රිය නික්ම යත්ම සිය පුතුගේ ගී රාවය ළං ළංව ඇසෙන්නට වූ අතර, ගුණවතී නිහඬව ගෙතුළට ගියා ය.

“මදැයි අම්මාගෙ පුත්තු ගෙදර එන හැටි!“ චාන්දනීට කියැවුණේ මව කෙරෙහි උපන් බලවත් අනුකම්පාවකිනි.

“ඒ වුණත්, අම්මා තාමත් අතරමං වෙලා ඉන්නෙ පුත්තුන්ගෙ ලෝකෙ.

පුත්තු නැති මාරි නැන්දයි, අපේ අම්මායි අතර මොන තරම් වෙනසක් ද? අනෝමා අක්කායි මහත්තයායි කාර් එකෙන් යනවා දැක්කාම අම්මාට තවත් දුක හිතෙන්න ඇති.“ ඇය එසේ සිතනු සමඟම අප්මාගේ ආදරණීය පුත්‍රයා විසල් ගසක් මුලින් ඉදිරී බිම පතිත වන ලෙසින් ගෙය දොරකඩ ඇද වැටුණේ ය. ඒ හඬ අසා මවගේ හදවත කඳුළින් පිරී යන්නට වන. “අනේ මගෙ රත්තරන් පුතේ“ යැයි හඬමින් ගුණවතී වහා එතැනට දිව ආවාය.

ශාරිකා කරුණාතිලක

Comments