ප්‍රචණ්ඩත්වයට එරෙහිව ලිබරල් නිදහස | සිළුමිණ

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ලිබරල් නිදහස

එඩ්මන්ඩ් ජය­සිංහ

කෘතිය - පියවි ඇස 
කර්තෘ - එඩ්මන්ඩ් ජයසිංහ 
සරසවි ප්‍රකාශනයකි 
මිල - රු.900 
පිටු - 523 කි. 
විමසීම් - 011 276 9446 

අද වන විට රට තුළ සමාජ පැවැත්ම සීමාවකින් තොරවම දේශපාලනීකරණය වීමේ ඛේදවාචකයට එරෙහිව නව ලිබරල්වාදි ප්‍රවේශයක් වෙනුවෙන් චින්තන විප්ලවයකට බලාපොරොත්තු තබන ස්වභායක් මෙම කෘතිය තුළ දකින්නට ඇත. “පියවි ඇස” හි එන කථකයා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල්කොට ගෙන ගොඩනගන සමාජ දේශපාලන ව්‍යාපාරය තුළ අපට එම ලක්ෂණ පැහැදිලිවම දැකිය හැක. එහිදි ඔවුන්ට එරෙහි වන පාර්ශ්වය වශයෙන් දැකිය හැකි වන්නේ විශ්වවිද්‍යාල මුල්කොට ගෙන අදටත් යම් බලයක් පවත්වා ගෙන යන ආදි කොමියුනිස්ට් මතවාදම අන්ධානුකරණයෙන් අහුලා ගෙන කන සමාජවාදි ශිෂ්‍ය ව්‍යාපාරය වැන්නකි.

71 කැරැල්ල මුල් කොට ගෙන නැඟී ආ තරුණ සටන්කාමි දේශපාලනයේ ස්වභාවය අද වන විට එයට මුල් වූ අයගෙන් මෙන්ම බාහිර දේශපාලන විචාරකයින් ගෙන් විවිධ අර්ථ නිරූපණ ලබයි.

එක් අතකින් කිසිදු දේශපාලන මුහුකුරායාමක් නැති, සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීම පිළිබඳව අල්ප අවබෝධයක් හෝ නැති සාමාන්‍ය සමාජ පාන්තිකයන්ගේ දරුවන් එක් රැස් කර ගනිමින්, අනුකරණවාදි ලෙසින් කොමියුනිස්ට් මතවාද මත පිහිටමින් සිදු කළාවු එම දේශපාලන කැරැල්ලේ ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම මෙරට මැද පාන්තික උගතුන්ව ප්‍රකම්පනයට ලක් කළ බවක් පෙනෙයි. අනිත් අතට පොදුවේ සමාජවාදි අදහස් මත සටන් වැදුණු මෙම දේශපාලන ව්‍යාපාරය අවසානයේ දී තමන් වෙනුවෙන් ඉතිරි කර ගත්තේ දේශප්‍රේමි විමුක්ති ව්‍යාපාරය නම් භාවාතීශය ආස්ථානයයි.

මෙය ඉතිහාසයේ අත් වැරදීමක්ය, තවදුරටත් එය අනාගතයට නරක පූර්වාදර්ශයක් නොවිය යුතුය යන ආකල්පයෙන් මැදපාන්තික උගතුන් අතින් එය පසුබිම් කොට ගෙන ලියවුණු නිර්මාණ සහ විචාර කෘති විරළ නැත. මහාචාර්ය සරත්චන්ද්‍රගේ “වල්මත් වී හසරක් නුදුටිමි” ඊට අදාළව පූර්ව උදාහරණයක් වේ.

මෑතදි පළවූ මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ “මුක්ති” නවකතාව ද අර ප්‍රචණ්ඩත්ව දේශපාලනයේ විනාශකාරිත්වයට එරෙහිව නව ලිබරල්වාදි සාමයක් වෙනුවෙන් කටයුතු කරන විශ්වවිද්‍යාලයීය උගත් තරුණයකුගේම හැසිරීමක් වේ.

“පියවි ඇස” නමින් එඩ්මන්ඩ් ජයසිංහ විසින් ලියූ මෙම කෘතිය ද මෙරට දේශපාලනය තුළ පවත්නා අරාජික බව විමසන තැනක තිබේ. ස්කැනේඩ්වියානු රටවල පවත්නා දේශපාලන සංහිඳියාව, බටහිර මෙන්ම අමෙරිකානු දේශයන්හි අසීමිත නූතන සංවර්ධනය හමුවේ ලංකාවේ ක්ෂුද්‍ර භාවය මැද පාන්තික උගතුන්ව කම්පනයට පත් කොට ඇති ආකාරයක් මෙම කෘතිය තුළ දක්නට ඇත. එමෙන්ම රුසියාවේ ස්ටාලින්ගෙන් මෙන්ම චීනයේ මා ඕගෙන් පසුව නැඟී එන අධිපතිවාදි දේශපාලන ක්‍රියාකරකම් ද මේ මැද පාන්තික උගතුන්ගේ විවේචනයට ලක් වීම තුළ ඔවුන් වඩ වඩාත් සාමකාමි සංහිදියාවක් වෙනුවෙන් ලිබරල්වාදි ප්‍රවේශයකට යොමුවීම වටහා ගත හැක්කකි.

විශේෂයෙන්ම 80 දශකය තුළදී සමාජවාදි ක්‍රියාකාරිකයන් තුළින් පවා ලිබරල් නිදහසක් වෙනුවෙන් නව සමාජවාදි ව්‍යාපාරයකට සංශෝධන ඉදිරිපත් කිරීම අපට දකින්නට ලැබුණි.

මෙහි එන කථකයා සහ ඔහුගේ සහායිකාව සිය කැපවීමෙන් ගොඩ නඟන සමාජ ව්‍යාපාරය තුළ අපට පැහැදිලිවම දැකිය හැකි වන්නේ ඉහත කී ඒ තත්වයයි.

මෙය සාධනීය උත්සාහයක් වශයෙන් ගත හැකි වුවද පොදු දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් ජාතික සංස්කෘතියක මුල් දිවගොස් ඇති ආකාරය (අවස්ථාවාදී සටන්පාඨවලට යටත් නොකොට) පුළුල්ව විමසා බැලීමද මීට අදාළව කළ යුත්තක් වේ.

එඩ්මන්ඩ් ජයසිංහ වැනි පළපුරුදු වෘත්තීයවේදීන්ගේ හඳුනා ගැනීම් රටට අවශ්‍යම වී ඇති කාලයක ඔහුගේ පියවි ඇස නම් වූ මෙම නිර්මාණාත්මක මතු කිරීම හුදුු වැලඳ ගැනීමකින් තොරව විචාරාත්මකව විමසා බැලිය යුත්තක් යැයි සිතමි.

Comments