ජීවිතය පිළිබඳ සංවේදී කියවීමකි | Page 2 | සිළුමිණ

ජීවිතය පිළිබඳ සංවේදී කියවීමකි

චම්පිකා තමරා ගුණ­සේ­කර

කෘතිය - සයිබීරියාවේ කඳවුරක  
පරිවර්තනය - චම්පිකා තමරා ගුණසේකර 
ආශීර්වාද ප්‍රකාශනයකි 
මිල - රු. 450 
පිටු - 171 කි. 
විමසීම් - 071 850 2386 

“දුම්රියේ ගමන නතර වූවත් පොළොව මඳ වේගයෙන් ගමන් කරනවා මෙන් මට දැනිණ. මඩ සහිත දුම්රිය වේදිකාව මත මගේ පා වාරු නැතුව යන්නට ආසන්න බව මට දැනිණ. මා පුංචි වයස්ගත කාන්තාවක මෙන් හිසේ සිට දෙපතුල දක්වා එක ලෙස රිදුම් දෙන්නට විය. තවදුරටත් සිටගෙන සිටීම අපහසු වූ මම මගේ සූට්කේසය මත වාඩි වුණෙමි.”

“සති ගණනක් අඳුරේ ගත කළ බැවින් හිරු එළියට මුහුණදීම අපහසු විය. දැඩි හිරු රැස් නිසා දෙනෙත මෙන්ම හිස තුළද බරක් පටවා ඇති සේය. මා අවට දහස් ගණනක් අප වැනි මිනිසුන් ය. සියල්ලන්ගේම මුහුණු විඩාවට පත් වී තිබිණ. ඇඳුම් කිලිටි වී, පොඩි වී තිබිණ. හැම මුහුණකම වූයේ කලකිරුණු ස්වභාවයකි.”

එස්තර් රුඩෝමින්ගේ ඉරණම වෙනස් වූ තැන එතැනයි. දෙවන ලෝක යුද්ධ කාලයේ එනම් 1941 දී සෝවියට් දේශය විසින් පෝලන්තය ආක්‍රමණය කරන්නට යෙදුණි. බොහෝ පෝලන්ත වැසියන් සයිබීරියා කඳවුරු බිමට පිටුවහල් කරන ලද අතර එස්තර් ද ඒ අතර සිටි දැරියක වූවා ය. එතැන් සිට වසර පහක කාලයක් පුරා විඳි බොහෝ දුක් මෙන්ම කලාතුරකින් ලද සතුටක් වේනම් ඒ සියලු දෑ එක් කොට ඇය විසින්ම ලියන ලද ඇගේ ජීවන ගෙත්තම “ද එන්ඩ්ලස් ස්ටෙප් ” නම් කෘතිය චම්පිකා තමරා ගුණසේකර අතින් සිංහලට පරිවර්තනය වන්නේ “සයිබීරියාවේ කඳවුරක” යන හිසිනි.

මිනිසුන් දුක් විඳින්නේ තමන් කළ කී දෑ අනුව නම් එස්තර් ඇතුළු පෝලන්ත වැසියන් මෙවැනි ඉරණමකට ගොදුරු වූයේ ඔවුන් කුමන වරදක් කළ නිසාද යන්න ප්‍රශ්නයකි. දෙවන ලෝක යුධ සමයේදී එස්තර් ඇතුළු සිය පවුල විල්නාවේ රන් බඩු සාප්පුවක් හිමිව, ධනවත් ඉසුරුමත් ජීවිතයක් ගත කළ පවුලක් වූයේ ය.

“මගේ සුන්දර ලෝකය සුනු විසුනු වී ගිය උදෑසන එය යි. එදා මට තාත්තාගේ කන්තෝරු කාමරය අසල ලිලී මල් පඳුරට වතුර දැමීමට නොහැකි විය. එවන් සුන්දර උදයක මුළු නගරයේම වැසියන් තම තමන්ගේ ගෙවතුවල අසිරිය නරඹමින් සිටින්නට ඇත. යුද්ධය, බෝම්බ නිවෙස්වල තාප්පවලින් පිටත ලෝකය තුළ තිබුණ ද කිසිවිටක ගේට්ටුවලින් ඇතුළට පැමිණ තිබුණේ නැත.”

එහෙත් එක් අවස්ථාවකදී ඒ නිවෙස්වල ගේට්ටු විවෘත වී යුද්ධය ඔවුන්ගේ නිවෙස් තුළට ම ආවේ ය.

“අපි බඩු පොදි ඔසවා ගත්තෙමු. සෙබළුන් පිටුපසින් ගම්මානයට යාමට සූදානම් වුණෙමු. මොන ගමට ද? එය කොහේද තිබෙන්නේ? මේ මුළු සති ගණන තිස්සේම මගේ සිතේ වද දුන් ප්‍රශ්නය ද එය යි. අප යන්නේ කොහේ ද? දැන් අප, යම් තැනකට පැමිණ ඇත. ඒ තැන කුමක් ද?”

මෙසේ අවතැන් වූ මිනිසුන්ගේ කතා ඉතිහාසයේ මුලසිටම අපි අසා ඇත්තෙමු. ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට මිනිසුන් පැමිණ ඇත්තේ මෙවැනි ඛේදවාචකයන් හිස මත තබාගෙන ය. එහෙත් එස්තර්ගේ මේ ජීවන ප්‍රවෘත්තිය තුළින් ඔබ වෙසෙසින්ම උගත යුතු දෙයක් වේ. එනම් ඒ බිහිසුණු ඉරණම හමුවේ ඇගේ ඒ විඳ දරා ගැනීමේ ශක්තියයි. සිය ජීවිතය එවන් අකාල ඉරණමකට කිසිදු හේතුවකින් තොරව එසේ ඇද දමා තිබියදීත් ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තු සහගතව එය අත් නොහැර ආ ඇගේ ඒ ගමන සියුම්වූත් ප්‍රබලවූත් ජීවිත කියවීමක්ම වන්නේ ය.

Comments