
මහ කළුපහණ වට කඳුළ
මහ කළුපහණ තරණය කර හිරි පින්නේ
පොවමින් තේ කහට අතැ‘ඟිලි මත ගැම්මේ
ගිනි අව් කූටකේ තේ කූඩය පිට නැම්මේ
හෙවණැල්ලම වගෙයි එල්ලීගෙන උන්නේ
ඉත්තෙන් ඉත්ත දල්ලට පැන පැතුම් පොදී
දෑඟිලි මතම තර වටුකර වදී
හෙම්බත් ජීවිතය හෙටටත් පණ අයදී
මහ කළුපහණ උන්නා සැම දින පිට දී
දල්ලෙන් දල්ල නැඟි තේ දලු කැඩුණාය
රැල්ලෙන් රැල්ල නිති හම රැළි වැටුණාය
අම්මා හැමදාම දිවමන් කරුණාය
මහ කළුපහණ මත කඳුළක් වැටුණාය
රංග සමරවික්‍රම
අස්තිර ආදරය
මම ඇයට අමතමි
ඇයට මාව නොඇසෙයි
මම මගෙ දෑත ඒ මේ අත වනමි
ඇයට මාව නොපෙනෙයි
මට පිටුපාපු පිට
දෙකනේ පොරොප්ප
ඇයට මාව දැනටමත්
අමතකව ගොස් ඇත
පාවෙන අස්තිර ආදරය
ඔබ මා අසලින් පියඹා ගියා පමණි
එහෙත් ඔබ මහදවත මත
නොමැකෙන කැළලක් තබා ඇති හැටි
නූතන ප්‍රංශ කවි
බෙර්නාර් ෆ්‍රියෝ
(Bernard Friot)
1951 දී උපන් බෙර්නාර් ෆ්‍රියෝ ප්‍රසිද්ධ ප්‍රංශ කවියෙක් ලේඛකයෙක් මෙන්ම වෘත්තීය ගුරුවරයෙකු ද වේ. පැතිරුණු ක්ෂේත්‍ර ගණනාවක දිවෙන කාව්යාරම්මණ සහිත ඔහුගෙ කෙටි කවි තියුණු මනෝභාවයයන්ගෙන් සමලංකෘත බව එකවි සමීපව හදාරන කළ පෙනීයයි. විවේක විරහිත පොදු මිනිසාගේ සාමාජීය ඛේදය විස්තර විභාග කරගැනීමට ඔහු දරන ප්‍රබල ආයාසය නිසා ඔහුගේ බොහෝ කෘති විද්වතුන්ගේ මහත් ඇගැයීමට ලක්ව තිබේ.
උදයංග අමරසේකර
හඳුනා ගැනීම
හසරැල්ල නොවේ ඔබ
කඳුළු බිඳුවයි
වෙර වඩා
උපයා
පැලඳිය යුතු
හසරැල්ල
නොවේ
ඔබ
අමතක විටත්
ගැඹුරු උල්පත් රකින
දුකිනැ‘යි හැඟුණු විගසින්
දිගු නිවාඩු නිමවා
සියල්ල පසෙක ලා
වහා දිවැ‘විත්
නෙත් කෙවෙණි තුළ රඳන
ලොවෙන් සඟවන්ට
ඕනෑ යැයි කී විට
නෙතු මත
යන්තමින් තැවරෙන
දරා ගෙන දුක
වියැළෙන්ට වෙහෙසෙන
ඒ බැරි තැනදි
නෙත් කෙවෙණි ඉමෙන් ගිළිහී
මුව පුරා රූරා ගලන
ඉනිඳු
සැනසෙනු නො හෙන තැන
ඉකි ගසන්නට ඉඩ දී
සියොළඟ පුරා තැවරී
දුක මකන්නට
බිඳී ඉහිරෙන
වියැළෙන හද
වියැළෙන්ට නොදී
තෙත ම රඳවන
චමින්ද රොෂාන්
පන්හිඳ
සිතේ ඇති දේ නුඹට දැනෙනවා
පත්තිරුව තුළ ඒක ලියනවා
ගලේ කෙටුවා වගේ තියනවා
ඒක බල බල සතුට ලබනවා
තල් පත්වල පහස ලබනවා
දහම් ගැදි පැදිවලින් පිරෙනවා
යුගෙන් යුගයට ජීව ලබනවා
අදත් මේවා රැකී තියනවා
හසුන් තුඩපත් වලට හැරෙනවා
සන්නස් රජ අනින් ලියනවා
රජුගේ උණුසුම මෙයින් ලබනවා
පෙට්ටගම් තුළ සුරක තිබෙනවා
පෑන් උල්පත්වලින් හැදෙනවා
ඒක කාබන්වලට හැරෙනවා
තල්පත් කඩදාසි කරනවා
පෑන පැන්සල කියා හැදෙනවා
පාට පාටින් පෑන් තියනවා
සාක්කුවේ එල්ලිලා ඉන්නවා
ලක්ෂ ගණනින් මිලට ගන්නවා
ඉවර වූ විට ඉවත් කරනවා
පරිසරයට බරක් වෙනවා
සිරිල් සෙනෙවිරත්න
කෙදිනක අපි සිනාසෙමු ද
සළෙල දනසිත් කලඹවා ලූ
රෝස දෙකොපුල්
මුතු දසන් - රතදරද
සැඟව ඇත මුව වැසුම් තුළ...
පුන් සඳක් වන් ලලන රූ
සැරසරයි වී අද අඩ සඳක්
රුව නිසා මත් වූ ළඳුන්ගේ
රුසිරු මන් සුන් වී ගොසින්...
එදා අප දෙස බලා ඉවතට
ගත් දෙනෙත් උද්දාමයෙන්
මෙදා රුව හැඳිනිය නොහැකි වී
සිනා සී යයි ඇස්වලින්...
ඇසින් නොව හදවතින් හිනැහෙන
ලෝකයක් කෙදිනකදී හමුවෙද?
එවන් දිනකදී සිනාසෙමු අපි
සැබෑ මිනිසුන් ලෙසින් මිහිමත...
එච්. එම්. ආර්. ශාන්ත කුමාර
අම්මා සහ අත්තම්මා
මා නිදි ගැන්වූ නැළැවිලි ගීයේ
මිහිර තවත් ඉතිරිව තිබුණි
නුඹේ උකුල් තල මා දරුවන්ටත්
අම්මේ සුව යහනක් සැදුණි
උන් වෙනුවෙන් පෑ දයාව හමුවේ
රතු ලේ කිරි නොවුණා පමණි
අත්තම්මාගෙන් උන් ලද සෙනෙහස
මගෙ ආදරයට නෑ දෙවැනි...
ජීවිතයේ යස ඉසුරු සොයන්නට
දිව රෑ වෙහෙසන විටදි නොමින්
පැටවුන්ගේ රැකවරණය සැදුවේ
අම්මේ ඔබමය නොමඳ පෙමින්
දිවි මඟ සරතැස පලවා ඈතට
නිබඳව ගත සිත දිරිය ගමින්
උන් ළඟ නුඹ නිති අලුතෙන් ඉපදුණි
ආයෙත් අම්මා කෙනෙකු වෙමින්...
දරුවන්, දරුවන්ගෙත් දරුවන් ළඟ
ගතේ සවිය දිය කළ නිතිනේ
මෙතරම් ආදර කරුණා සයුරක්
අම්මේ, කොතැනින් දෝ ලැබුණේ
පිදුවත් යසි‘සුරු නුඹ පය පා මුල
බිඳුවක් වත් නෑ ණය ගෙවුණේ
නිදුකින් බෝ කල් ජීවත් වේවා
ලබා උතුම් දම් රැකවරණේ...!!
කුමුදුනී වේලාරත්න
සෙත් කවියක් වේවා
මිරිවැඩි සඟලක පහස නොලද
ඔබේ පා පොඩි
රළු පොළවේ
පතිත වෙද්දී
මහ මන්දිරවල සුර සැප විඳ
දෙපය සරසාගත් සුවපහසු පාවහන් පැලඳ
ඔබට එරෙහිව කෙළිබිමට බට
ඔබේම වයසේ සොයුරන් පරදා
ජය ලබන විට ඔබ දිරිමත් කරන්නට
අත්පොළසන් දුන්නේ මමයි එදා
කුසෙන් අඩක් අහරින් පුරවාගෙන,
කලාගාරයේ වේදිකාව මතට නැගී,
ඒ සොයුරනි
ඔබේ මුවින් රිදී සීනු පරදන හඬින්
සැමට පොදුවූ දුක
දෝංකාර දෙද්දී, ඔබ දිරිමත් කරන්නට
කලාගාරයේ කොනක අසුනක වාඩිවී
අත්පොළසන් දුන්නේ මමයි
ඔබව හා අපි සැම පාගා
ජය ලබා ජය පැන් බොන්නට
සැරසෙන ඒ දස මරසේනා පරදා ජයගන්නට
නුඹ වෙනුවෙන් මා නැඟූ ඒ හඬ
දිනෙක ඔබට සෙත් කවියක් වේවා
දුවගේ ශ්‍රියාකාන්ති
වෙස් මුහුණු
බලය ළඟ හිනැහෙමින්
ධනය ළඟ කුදුවෙමින්
නිලය ළඟ වැලපෙමින්
සොරාගෙන
ලේ කඳුළු දහඩිය
ඉර හඳ ද රවටනා
අපේ කාලේ..
ෂෙල්ටන් හෙට්ටිආරච්චි
අභියාචනයයි
හීන් නූලෙන් කැපු මගේ හිත්
අතින් අත යවා කොක් හඬින් සිනාසෙන
යළි යළිත් තලු මරා රස මතක අවුස්සන
බිතු සිතුවම් රූ සදිසි පස මිතුරනේ...
කියා නෙක නෙක මුසා බස්
නගා නොසරුප් අවලාද
කළ නොකළ මහ වැරැදි කප්පරක්
ඇගෙ පුංචි හිත මතට පටවා..
දොර ජනෙල් තිර අතරින් එබීගෙන
අපෙ දිවිය හැඩි කළ ප්‍රාණ සම සකියනේ
දෙනවාද දැන්වත් පොඩි ඉඩක්
ලැබගන්න නුඹලත් ඉසිඹුවක්...
මා හද තුළ කල්ප කාලයක්
ඈ නමින් ගොඩ ගසා රැස් කළ
අකාලික සෙනෙහසක නැවුම් බිජුවට
ඇගේ නොකිලිටි හද මත වපුරන්න
දයාවංශ ජයසිංහ
හිත ගිය තැන
සරසවි පෙම් හිත් නළවන
සීතල මීදුමෙන් වැසුන
හන්තානේ කඳු වැටියයි
හරි වටිනා සරසවියයි
රාජකීය මල් උයනයි
ගලනා මහවැලි නදියයි
මට හරි සම්පත් ම තමයි...
නගරය මැද බස් නැවතුම
හරි අමුතුම ස්ටේසම
දහසක් දෙනා නිතර
ගමන් බිමන් යන එන තැන...
හලමි නගරය කියලා
නමක් ලැබූ මේ නගරය
මල් උයනෙන් දරු ගෙවුවෙන්
හැඩ වූ විසිතුරු පරිසරය
සිතට ගතට සුවය ගෙනෙයි
භද්‍රා රාජපක්ෂ
මිතුදම
උපතත්
මරණයත්
අතර ඇත්තේ
ඉතාම සමීප
ළෙන්ගතුකමකි
ඇම්. ඩබ්.
අනුර ශාන්ත පීරිස්
සැරයටිය
නරඹන්නට ලොව අසිරිය
නුඹත් සමඟ අතිනත ගෙන
පිය මං කළ ඒ කාලය
සිහිවෙයි මට නිරතුරුවම
දෙපා වාරු නොමැති කමින්
නුඹගේ ඒ තැන ගන්නට
මගෙ අතැඟිලි බැඳගෙන දැන්
ඉදිරියෙන් යන්නෙ සැරමිටියයි
අටමස්ථානය වඳිනට ගිය
අවසන් වර අනුරපුරට
ඔබ සිහිකර පින් දෙන්නට
ලැබුණා පසු පෝය දිනක
සැරයටියයි දැන් ඉන්නෙ
රැක දෙන්නට මගෙ තනිකම
නැවත නොගිය තැන් බලන්ට
මතු භවයක එන්න මැණික
පී. කේ. එස්. පෙරේරා
සොඳුරු නිශාන්තය
අඳුර නසාගෙන සඳ පායද්දී
සිනිඳු තුහින මල් කඩා හැලෙද්දී
ආදර හැඟුමන් සිතේ මැවෙද්දී
සීත නලින ලොව මිහිරක් ලැබූවෙමි..
අතු අතරින් සිසි කිරණ ගලද්දී
මඳනල හා තුරු ලතා වැනෙද්දී
තුරු මත විහඟුන් හීන දකිද්දී
නිදි නැති ලොව මම සුවයක් වින්ඳෙමි..
අතු අග මල් මත තුෂර ඉහෙද්දී
තරු කැට එක දෙක විකසිත වෙද්දී
සේපාලික මල් සිනා නඟද්දී
සීත තුහින මැද සිසිලක් ලැබුවෙමි..
සිසි කිරණට මල් විකසිත වෙද්දී
නිල් ගඟුලැල්වල පියුම් පිපෙද්දී
රෑ බඹරුන් කඩුපුල් සිපගද්දී
සොඳුරු නිශාවේ රූසිරු වින්දෙමි
රේණුකා ගුණසේකර
කූඩුවක්
රිදුම් දෙන පියාපත්
තනිවම ම සනසලා
පරඬැල් ද ඉපල් ඉති
තුඩින් ගෙන ඇවිල්ලා
එකින් එක රඳවමින්
තුරු මුඳුනතෙ අතු අතර
හැදුවෙ හරි ලස්සනට
සැඩ සුළං හැමූ වත්
නොසෙල් වෙන තාලයට
හරි හයිය කූඩුවක්
අපෙ කුරුලු තාත්තා
පියඹලා කූඩුවෙන්
හිරුගෙ ළා රැස් සමඟ
පල වැල ද ගෙන එමින්
හීන් බිම් කළුවරේ
තුඩින් තුඩ බණ්ඩි ගෙඩි
පුරවලා සෙනෙහසින්
මවගෙ තටු උණුසුමින්
රැකුණු අපෙ කැදැල්ලේ
කිචිබිචිය අඩු නැතුව
ගෙවිලා ගියා කාලයක්
නැතිව හැලහොල්මනක්
මහා වැසි වලටවත්
නොසෙල්වුණු කූඩුවම
දෙදරලා සුන් ව ගිය
නිමේශය දුක්බරය
පැටව් අපි සී සි කඩ
විසිරුනා අසරණ ව
නාඳුනන කුරුල්ලෙක්
රිංගලා කූඩුවට
වයලට් ප්‍රියදර්ශනී විතානගේ
නැඳුන්ගමුවේ පින්කඳ
බුදුන් හිසින් වැඩමෙව් ඇත් රජුනි නැඳුන්
දරන් එරන් කරඬුව අබිමනකි ගමන්
වටින් පිටින් නොබලා සංවරව හෙමින්
පිනින් උපන් ඇත් රජුනේ ගමුවෙ නැඳුන්
එළන් පාවාඩ පෙරහැරෙ රජුන් ලෙසින්
ගමන් කළා රුක අබිමන් සතුටු සිතින්
මගින් ඉවත්වූ පාවඩ සකස් කරන්
එරන් කරඬු හිස පිට ගෙන ගියා තුටින්
ගමන් බිමන් නොගියා රියක කිසිදින
පයින් ගමන් ගිය ඇත් රජු ලෙස සොබන
එයින් වෙහෙසවී නොකිපිණ කිසිමදින
නිවන් දකින් නැඳුන්ගමුවෙ මතු ගමන
මෙවන් ඇතෙක් නැවතත් ලොව උපදීද
එවන් ඇතෙක් දැකුමට පින පෑදේද
ලෙවන් තුටු කරන ඇත් රජු කවදාද
නිවන් පුරට යන දින දුර නෑ නේද
කනවැරැල්ලේ හේමා ලෝක හිමි
ඔබේ තරම ඔබ නොදනී
මහා බලැති
මහා ධනැති
මහා පැණැති
මහා නැණැති ඔබ
ප්‍රඥාවේ පහන් නිවා දමලා
වීරිය නිදි කරවාලා
මහා ධන නිධන්
දෙපයින් මැඬගෙන
මුග්ධ බවේ කොළපත පළා
දෙව් මැදුරුවල හිඟමන්
අයදිනව දැක
දෙවිවරු ද හිනහෙනවා ඇති
හර්ෂ හෑගොඩ
කිළුටු රෙදි
ඇතුළු ගෙයි
කිලුටු රෙදි
කුමට පාරේ
සෝදන්නේ
කාලය කන
බොහෝ දෙනා
කරති අනුවණකම්
විමල් බී. ලියනගේ
මතක සැමරුම්
තිළිණ කළ සැමරුම්
රෝස මල් ගොමුවේ
තිබුණු ඒ වදන්
සිහිනයකි අද නම්
දුරින් ඉන්න එපා
ළං වෙන්න දිව ඇවිත්
ආදරෙන් ආ... දරෙන්
තිබුණු ඒ වදන් සිහිනයකි අද නම්
රෝස මල් පොකුරේ
කටු ඉත්ත කවුදෝ
එහි රැඳී තිබූ ඒ
සුවඳ කොයිබක දෝ
ගයාන් නිරෝෂන්
මගේ ආදරේ
සංසාරගත බැඳිම්
අදටත් හමුවෙනවා
නොසිතු ලෙසින්
ප්‍රේමයක් පැමිණේවී
මග හැරගෙන යන්නට
බැරි විලසින්
දැකලා හුරුපුරුදු හඳුනන අයුරින්
හැරී බලන්නේ නොදැනම රහසින්
සිනා සී නොයා නෙත් නවතින්නේ
කලින් හමුවෙලා ඇති සංසාරේ
මුළු ජීවිතයම වෙනස් වෙන්නට
මොහොතින් එයි ළඟටම අතරමඟින්
කඳුළ හෝ සතුට ඒ පසු පස එයි
යන එන හැම තැන
සෙවණැල්ලක් මෙන්
සඳරුවන් කරුණාතිලක
තැබෑරුම
පොළ දවස පඩි දවස වැසි දවස
මෙන් ම පෝයට පෙර දින ද
රැස් කකා පෝලිමේ වන්දනා කරන අය
දුටු නිසා අසමි මා නුඹෙන් මේ පැනය
බැති මතුන් පිරුණු තවත් දෙවොලක් ද නුඹ
යාන වාහනවලින් පැමිණ වන්දනාවේ නිරත
උගත් නූගත් පිරිස සොයයි වැඩිදුර සැපත
ගෙදර ගොස් සමහරුන් තියයි ගුටි පූජාව
බිරියනුත්, දරුවනුත් අඩා වැඳ වැටෙද්දී
වගකිව යුත්තේ කවුද නුඹ නොවේ ද නුඹ
බිව්ව රහ මෙර තරම පෙනෙයි ටික කලක් යයි
ශ්‍රී සිරුර දුර්වලව ලෙඩ යකා වැලඳ ගෙන
අක්මාව දිරා ගොස් බඩගෙඩිය ලොකු වුවත්
ඔළු ගෙඩිය අවුල්වෙයි තව තවත් දිනෙන් දින
අපල ඇති අපි ඉතින් සරණ යා යුතු ද නුඹ
දුකයි සතුටයි මෙන්ම මඟුල හා අවමඟුල
එකම උලෙළක් ලෙසට වින්දනය කළ හැකිය
අගනුවර වැඩ වසන තෙද බලැති, අවසැරැති
මරණයට අඩ ගසා තව තවත් අත වනන
තවත් මල් ශාලාවක් ද තැබෑරුම! නුඹ
ගාමිණී දෙහිවලගේ