උඩරට රාජධානියේ වේදනාකාරි පුරාවෘත්තය | Page 3 | සිළුමිණ

උඩරට රාජධානියේ වේදනාකාරි පුරාවෘත්තය

ප්‍රියංකා අම­ර­තුංග

කෘතිය - ඉතින් ආයුබෝවන් 
කර්තෘ - ප්‍රියංකා අමරතුංග 
සරසවි ප්‍රකාශනයකි. 
මිල - රු. 600 
පිටු ගණන 399 කි. 
විමසීම් -071 446 2799 

ඒ 1816 ජනවාරි මස 24 වැනි දිනය යි. උඩරට රාජධානියේ සතරවන නායක්කාර් වංශික රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ මෙරටින් පිටුවහල් කරන ලද දිනය එයයි. සිංහල රාජවංශ බිඳවැටීම් පිළිබඳ ඉතිහාසය විජය කුවේණි පුවතේ සිටම අප කියවා ඇතත් උඩරට රාජධානියේ බිඳ වැටීම අදටත් අපට සංවේදී අත්දැකීමක් සේ සමීපව දැනෙන්නකි. ප්‍රියංකා අමරතුංග ඉතින් ආයුබෝවන් නමින් ලියන්නා වූ මෙම කෘතියට පාදක වන්නේ ද ඒ සංවේදී ඓතිහාසික අත්දැකීම යි. ලේඛිකාවක වශයෙන් ඇය ලියූ බොහෝ කෘතිවලට පාදක වී ඇත්තේ ද මේ රාජකීය ඉතිහාසයේ සංවේදී සිද්ධි හා බැඳුණු පුරාවෘත්තයන් ය. එහෙත් එහිදී එම සිද්ධිය හෝ පුරාවෘත්තය පමණක් නවකතාවකට ගළපා ගන්නවාට වඩා ඊට අදාලව ගවේෂණාත්මකව සොයා බැලීම් සිදු කරමින් ඇගේ අතින් ලියවී ඇති මෙම කෘති ඉතිහාස විවරණ වශයෙන්ද ගත හැකි බවක් ද පෙනේ. ඉතින් ආයුබෝවන් ඊට කදිම නිදසුනකි. පහත දැක්වෙන්නේ ඒ ගැන ඇය විසින්ම කරන ලද විස්තරයකි.

අදටත් ශ්‍රී දළදා මාළිගය ආසන්නයේම ඇති වීදිය හැඳින්වෙන්නේ මලබාර් වීදිය නමිනි. ඉන්දියාවේ මලබාර් සිට පැමිණි නායක්කාර් වංශිකයන්ගේ ඥාතීන් එහි පදිංචිව සිටීම නිසා ඊට ඒ නම ලැබුණේ යැයි පැවසේ. එමෙන්ම මෙරට බෞද්ධ ඉතිහාසයේ කැපී පෙනෙන බෞද්ධ ප්‍රබෝධයකට අනුග්‍රහය සැපයූ රාජ වංශිකයන් ලෙසින් ද නායක්කාර්වරු කීර්තියක් අත් කරගෙන සිටිති. එහෙත් මේ රාජධානිය බිඳ වැටෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි නම් කුප්‍රකට ඔත්තු කරුවා දිගු කාලීනව සැලසුම් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ද කියවේ. මේ කෘතියේ දැක්වෙන්නේ ඒ වේදනාකාරී ඉතිහාසයට ගොදුරු වූ අවසන් රජතුමා මුල් කොට ගත් කතා ප්‍රවෘත්තියකි. විශේෂයෙන්ම ඔහුගේ මව වන සුබ්බම්මා දේවියගේ ඇසින් ඒ අවසන් රජතුමාගේ කාලය නිරූපණය කෙරෙන ආකාරයක් මෙහි එයි.

“රාජාධි රාජසිංහ රජතුමාගේ රිදී දෝළිය වූ උපේන්ද්‍රම්මා දේවිය දැක ගැනීමට සුබ්බම්මා දේවිය ඇයගේ ස්වාමි පුරුෂයා වන වෙන්ගඩ පෙරුමාල් සහ තම මෑණියන් සමඟ මදුරා පුරයේ සිට ලක්දිවට පැමිණෙයි. මහ මුහුද මධ්‍යයේදී වෙන්ගඩ පෙරුමාල් ජීවිතක්ෂයට පත් වන්නේ දෛවයේ සරදමක් නිසා විය යුතු ය.” ළාබාල වයසේ කුමරියකු වූ සුබ්බම්මා රූමත් තරුණියක වූවා යැයි ද පැවසේ. ඒ අනුව රාජාධි රාජසිංහයන් ඇයව සිය රාජකීය උද්‍යානයේ වූ මැඳුරේ නතර කර ගත් බවත් ඒ වනවිටත් එහි සිටි බිසෝවරුන් සිව්දෙනාටම වඩා ඔහුගේ සිත්ගත් එකිය බවට පත්වන්නේ සුබ්බම්මා දේවිය යන්නත් කතුවරියගේ නිරීක්ෂණයට හසුවී තිබේ.

කතුවරිය මෙහිදී පාදක කොට ගෙන ඇති කතා පුවත තුළ එවකට සිටි ප්‍රබල අදිකාරම් වරයෙකු වූ පිළිමතලව්වේ සහ සුබ්බම්මා අතර ඇති වූවා යැයි පැවසෙන ප්‍රේම සම්බන්ධතාවයට වැදගත් තැනක් හිමිවී තිබේ. “රාජාධි රාජසිංහ මහරජතුමාගේ බිසෝවරුන් කිසිවෙකුටත් දරුවන් නොසිටිය ද, ගැබිනියක බවට පත්වන සුබ්බම්මා දේවිය පුතකු බිහි කරයි. ඔහු කන්නසාමි කුමාරයා ය. කන්නසාමි කුමාරයාගේ පීතෘත්වය පිළිබඳ විවිධ කතා පැතිර තිබුණ ද 18 වන වියට පත්වන කන්නසාමි කුමරු රාජාධි රාජසිංහ මහරජතුමාගේ ඇවෑමෙන් පසු රාජකීයත්වයට ඔසවා තබන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් ය.”

කතුවරිය මෙහිදි ඉතිහාසයේ විවිධ කුප්‍රකට මෙන්ම අප්‍රකට කතා අනුවම නොයමින් සියුම් විමසීමකින් යුතුව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් බලයට පත් වූ කන්නසාමි කුමරුගේ චරිතය විමර්ශනයට ලක්කොට ඇති ආකාරය වැදගත් ය.

“කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වූ දින පටන්ම ඔහු පිළිබඳව, නැඟෙන විවේචන බොහෝ විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර රජෙක් යැයි ඇතැම් ඉංග්‍රීසි ජාතිකයින් ලියූ ලේඛනවල සටහන් වන්නට ඇත්තේ ඉංග්‍රීසින්ගේම වාසියට විය නොහැකි දැයි ගැටලුවක් ඇතිවේ.” ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ජාතික කුප්‍රකට ඔත්තුකරුවාගේ පහත් පෙලේ ඒ කාර්යභාරය මෙහිදී යළිත් සිහි කැඳවීම සුදුසු යැයි සිතේ.

උඩරට ඉතිහාසය තුළ සැඟවුණ චරිතයක් මෙන් සැලකෙන සුබ්බම්මා දේවියම මුල් කොට ගනිමින් කතුවරිය විසින් රචනා කරන ලද මෙම කෘතිය ශ්‍රී වික්‍රම රාජසිංහයන්ට එරෙහිව ගොඩ නැඟු විවිධ අසත්‍ය ප්‍රවාද හමුවේ නිර්මාණය කරන ලද ඉතින් ආයුබෝවන් කෘතිය අර සියලු කාරණා හැකි පමණින් සොයා බලමින් එමෙන්ම විමසමින් ලියූ ප්‍රබන්ධයක් වශයෙන් මෙන්ම යම් දුරකට හෝ ඓතිහාසික විවරණයක් හැටියට ද සැලකිය හැකි යැයි සිතේ.

Comments