Online තාක්ෂණයෙන් ක්‍රීඩාව ජයගත් කෑගල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය | Page 2 | සිළුමිණ

Online තාක්ෂණයෙන් ක්‍රීඩාව ජයගත් කෑගල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය

 

අපුර්ව පාසලකි. ඔවුන් ඔවුන් ව හඳුන්වා ගන්නේ අපුර්ව නමකිනි.ඒ නම GKV ක්‍රීඩා සමාජය යනුවෙනි.මේ අන්තර්ජාතික පාසලක් ද? ඕනැ ම කෙනෙකුගේ හිතට නැගෙන මුල් ම පැනය එය බව නොරහසකි. ඇත්තට ම මොකක් ද මේ පාසල, GKV ක්‍රීඩා සමාජය කියන්නේ, අපේ පාසලේ නම කෙටියෙන් හඳුන්වා දෙන්න නිර්මාණය කරගත් කෙටි යෙදුම. අපේ පාසල තමයි කෑගල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය.ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය කියන නමේ ඉංග්‍රීසි නමේ මුලකුරු යොදාගෙන තමයි අපි ඒ නම ජාත්‍යන්තරයට ගැළපෙන විදිහට GKV යන කෙටි යෙදුම යොදා ගෙන ක්‍රීඩා සමාජයක් නිර්මාණය කරගත්තේ. එය ජාත්‍යන්තරයට යනකොට පරිගණකගත කරන්න ඉතාමත් පහසුයි.

ලොව පුරා මේ වන විට ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත්තේ පරිගණක ක්‍රීඩාවයි. නමුත් අනේකවිධ පරිගණක ක්‍රීඩා ළමා මනස විකෘති කරන ක්‍රීඩා බවට පත්ව ඇති බව ද නොරහසකි. මෙරට ද එවැනි වු ඛේදනීය ඉරණම් කිහිපයක්ම පසුගිය වකවානුවේ දී වාර්තා විය. නමුත් පසුගිය කොවිඩ් ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට මෙන්ම අන්තර්ජාතික ගෘහස්ථ ක්‍රීඩා බොහෝමයක් තරග සංවිධානය කළේ මාර්ගගත ක්‍රමවේදය අනුව ය. ඒ වාර්ෂිකව ලොව පුරා සංවිධානය වන ශූරතා තරගාවලි පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව ය. එකී ක්‍රීඩා අතර ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ද හිමිවන්නේ සුවි‍ශේෂි ස්ථානයකි.මෙකී මාර්ගගත ක්‍රමවේදය අනුව මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ නිරත වෙමින් අන්තර් ජාතික ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට කෑගල්ල විද්‍යාලයේ බාලක බාලිකාවන් සමත් වීම කැපිපෙනෙයි. අපි මේ පිළිබඳ කෑගල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යාලයීය ක්‍රීඩා පුහුණුකරු වන එන්.ජී. සී. ජයරත්න ගෙන් විමසුවෙමු. ජයරත්න කොරියාවේ පුහුණුව ලත් ටයිකොන්ඩෝ කළු පටි 4වන ශ්‍රේණිය සමත් ක්‍රීඩකයෙකු වන අතර ජාතික විනිසුරුවරයෙකු ලෙස හා කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ උප ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

 

‘‘අපි මැතකදී ම ජයගත් අන්තර් ජාතික තරගාවලිය තමයි මෙක්සිකෝ ජාතික ටයිකොන්ඩෝ තරගාවලිය (Copa De Anniversary Cup AiNi) එම තරගාවලිය පසුගිය අගෝස්තු මාසයේදී තමයි අවසන් වුණේ. එම තරගාවලිය නියෝජනය කරමින් ඉරානය, කියුබාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉන්දියාව හා පකිස්තානය ඇතුළු රටවල් 22ක් තරගාවලියට එක් වුණා. එම තරගාවලියෙන් අපිට රන් පදක්කම් 8ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට හැකි වුණා. එය විශාල ජයග්‍රහණයක්. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එවැනි ජයග්‍රහණයක් මීට පෙර අපි හිමිකරගෙන නෑ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි. GKV ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙක්සිකෝ අන්තර් ජාතික තරගාවලිය ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ.කේ.යූ.රණසිංහ රන් පදක්කමක්, එස්.පී.ඒ.එස්.සේරසිංහ රන් පදක්කම් දෙකක්, කේ.ජී.වී.ඒ. ප්‍රේමතිලක රන් පදක්කම් දෙකක්, හිමරු මිෂාර රන් පදක්කමක්, එස්.අයි.ජේ.සී. රණවීර රන් පදක්කමක්, ආර්.ඒ.ඒ.කේ.ජේ. රණතුංග රන් පදක්කමක්, යූ.සී.ඩී. කරුණාරත්න රිදී පදක්කමක්, ආර්. එනෝත් උෂාල් ලෝකඩ පදක්කමක්, ආර්.ඒ.එන්.ඒ.රණතුංග ලෝකඩ පදක්කමක්, එස්.අයි.ඩී.සිරිවර්ධන ලෝකඩ පදක්කමක්, ලෙස ශ්‍රී ලංකා මාතාවට පදක්කම් 12ක් දිනා ගැනීමට අපට හැකි වුණා.

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පැවැති ශ්‍රී ලංකා විවෘත අන්තර්ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේදීත් රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ද අපට හැකි වුණා. එම තරගාවලියේදී එස්.පී.ඒ.එස්. සේරසිංහ රන් පදක්කමක්ද, කේ.ජී.විනුක ආත්මා ප්‍රේමතිලක රිදී පදක්කමක් හා එස්.අයි.ඩී. සිරිවර්ධන හා ඒ.කේ.යූ. රණසිංහ යන දෙදෙනා ලෝකඩ පදක්කම් දෙකක් ද දිනාගනිමින් දස්කම් දැක්වුවා.

2020 වසරේදී ඉන්දියාවේ සත්කාරකත්වය ඇතිව දෙවන වරටත් සංවිධානය වු ඉන්දියානු අන්තර්ජාතික ටයිකොන්ඩෝ තරගාවලියෙන් ද අපිට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට හැකි වුණා. ඉන්දියාව ඇතුළු‍ව රටවල් 18 ක් එම තරගාවලිය නියෝජනය කළා. අපි ඒ තරගාවලිය නියෝජනය කළේ පුම්සේ තරග කාණ්ඩයෙන්, පුම්සේ තරග කාණ්ඩයේ කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් හා රීදී පදක්කම් දෙකක් ද, ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කරමින් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට හැකි වුණා.

13න් පහල පුම්සේ ඉසව්ව නියෝජනය කරමින් එස්. අයි.ජේ.සී. රණවීර රන් පදක්කමක් දිනාගත් අතර එම වයස් කාණ්ඩය නියෝජනය කළ යු.සී. ඩී. කරුණාරත්න රිදී පදක්කමක් දිනා ගත්තේය. 15න් පහළ පුම්සේ ඉසව්ව නියෝජනය කරමින් ආර්.එනෝත් උෂාන් රන් පදක්කමක්ද එම වයස් කාණ්ඩයම නියෝජනය කළ හිමරු මිෂාර රීදී පදක්කමක්ද දිනාගැනීම‍‍ට සමත් වුණා.

මට හැමවිටම පාසලේ විදුහල්පතිතුමා වන විජිත් බී. රණවීර මහතාගෙන් නොමද සහයෝගයක් ලැබෙනවා. රණවීර විදුහල් පතිතුමාට පෙර සිටි එච්.පී.ඥානතිලක මහතාගෙන්ද නොමද සහයෝගය මට හිමි වුණා. ඒ වගේම ගුරු මණ්ඩලයේ සාමාජිකයන්ද නොමඳ සහයෝගයක් නිරන්තරයෙන් ලබා දෙනවා. ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, පාපන්දු, නෙට්බෝල් වැනි ක්‍රීඩාවන්ගෙන් අප පාසල කලාප මට්ටමෙන් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. සමස‍්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ ආසන්නයට මලල ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප පාසලේ සිටිනවා. දැනට අප පාසලේ දරුවන් 400ක් පමණ අධ්‍යාපනය හදාරනවා ගුරුවරුන් 35ක් පමණ සේවයේ නිරතව සිටිනවා. මට 2019දී තමයි පත්වීම ලැබුණේ. තවම මට නිසියාකාර වැඩපිළිවෙලක් පාසල තුළ පෙළගස්සන්න බැරි වුණා. ඉදිරියේදී මීට වඩා වැඩි වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙනවා.

මාර්ගගත තරගාවලියක් කියන්නේ මොකක්ද? එවැනි තරගාවලියකට එක් වන්නේ කොහොම ද?

පාසල් අධ්‍යාපන විෂයට පසුගිය වසංගත තත්ත්වයන් හමුවේ කෙසේද එක් රොක් වූයේ එලෙස ම මාර්ගගත ක්‍රීඩා තරගයටත් වෙලාවට ලොවම එකට එක් රොක් වෙනවා. ඒ කියන්නේ අපි යම් තරගාවලියකට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා එම තරගාවලියට අයැදුම් කළ පසු අපට එම තරගාවලිය පවත්වන දිනය වේලාව හා තරග කාණ්ඩය දන්වා විද්‍යුත් තැපැලෙන් පණිවිඩයක් තරග සංවිධායකයන් විසින් ලබා දෙනවා. ඒ ලබා දෙන වෙලාවට තරගයට සම්බන්ධ වන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව පරිගණකයක් ඉදිරිපිට තම ක්‍රීඩා ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටිය යුතුයි. ඒ වගේම විනිසුරුවරුන්ද නියමිත පරිගණකයක් වෙත පැමිණ තරග නීති රීති පරිගණක ගත කර විසුරුවා හරිනවා. ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ තිරය මත නීති රීතී ප්‍රදර්ශණය කොට තරගය ආරම්භ කරන වෙලාවේ සටන් කරනවා. එසේ අරඹන තරගය ඒ ඒ තරග ඉසව් ඔස්සේ පවත්වමින් ඒ ඒ කාණ්ඩයේ ජයග්‍රහකයන් තෝරා ගැනෙනවා.

තවත් සරල ලෙස පැවැසුවොත් ‘ස්පීඩ් කිකිං‘ තරග ඉසව්වෙන් තරග වදින ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව විනිසුරුවරයා විසින් ලබා දෙන වේලාව තුළ වැඩිම වාර ගණනක් වේගයෙන් පා ප්‍රහාර එල්ල‍ කළ යුතුයි. එසේ තම කාලය ආරම්භයට හා නිමාවට දෙන සංඥාවත් සමඟ තරගය ආරම්භ කර අවසන් කළ යුතු වනවා. සමස්ත තරගය අවසානයේදී නියමිත කාල වකවානුව තුළ වැඩිම වාර ගණනක් පා පහර එල්ල කළ ක්‍රීඩකයා ජයග්‍රාහකයා බවට පත් වෙනවා. තරගයෙන් තරගයට හා වර්ණ ලාභී පටි (බේල්ට්) මෙන්ම වයස් කාණ්ඩ අනුව තරග ඉසව් මෙන්ම තරගයේ ස්වභාවයද වෙනස් වෙනවා.

අපි ජාත්‍යන්තරව ලියාපදිංචි ආයතනයක් නිසා තරග පැවැත්වෙන අවස්ථා මෙන්ම තරගාවලි ගැනද නිරන්තරයෙන් දැනුවත් කරනවා. එම නිසා අපට අපගේ ක්‍රීඩකයන් පුහුණුවීම් සපුරා ඇත්නම් ඒ ඒ තරගාවලියන්ට අයැදුම් කළ හැකියාව තියෙනවා. ඒ වගේම අපි දැන් ජාත්‍යන්තර තරග ජයග්‍රහණයත් දිනා ගත් කණ්ඩායමක් නිසා නිරතුරුවම අපට අවස්ථාව උදා වෙනවා තරගාවලියන්ට සහභාගී වෙන්න.

 

ඔබ යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව ලබන්නේ මාර්ගගත ක්‍රමවේද ඔස්සේද?

 

මාර්ගගත ක්‍රමවේද ඔස්සේත් පුහුණු විම්වල නිරත වෙනවා. ඒකරාශී වී ගෘහස්ථ ක්‍රීඩා පිටි තුළ හා විවෘත ක්‍රීඩා පිටි තුළත් පුහුණු වීම්වල නිරත වෙනවා. යම් යම් පුහුණු අභ්‍යාස ගෙදරදී කිරිමටද ලබා දෙනවා. ඒ හැම මොහොතකම ක්‍රීඩකයාගේ මානසිකත්වය කායිකත්වය පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ශීල්පීය ඥානය ලබා දෙනවා. අපට දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි පුහුණුවිම් ලබන ළමයින්ට වුවමනා කරන ක්‍රීඩා උපකරණ හිඟකම. කෑගල්ල ප්‍රදේශයටම ලොකු මෙට්ට හිඟයක් තියෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට වුවමනා කරන යටිතල පහසුකම් තියෙනවා නම් මෙයට වඩා ජයග්‍රහණ ලබාගැනීමට හැකියාවක් අපට තියෙනවා.

 

 

Comments