පිහිනුම් සහ බැඩ්මින්ටන් අතහැර ක්‍රිකට් ගහන්න ආ මුරණ්ඩු කොල්ලා “රමේෂ්” | සිළුමිණ

පිහිනුම් සහ බැඩ්මින්ටන් අතහැර ක්‍රිකට් ගහන්න ආ මුරණ්ඩු කොල්ලා “රමේෂ්”

 

ලාංකේය ක්‍රිකට් පිටියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර 26 හැවිරිදි රමේෂ් තරින්ද මෙන්ඩිස්ට හිමි වෙන්නේ සුවිශේෂි වටිනාකමකි. දක්ෂ දකුණත් පිතිකරුවෙක්, දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් පමණක් නොව විශ්වසනීය පන්දු රකින්නෙක් ලෙසින් ද රමේෂ් හැඳින්වේ.

 

රමේෂ් ගැන වඩාත් කතාබහට ලක්වෙන්නේ 2020 වසරේ දී දේශීය තරග පිටියේ ත්‍රිත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වීමත් සමඟිනි. ඉතා කෙටි එම ලැයිස්තුවේ රමේෂ්ගේ නම විවිධාකාරයෙන් ලියැවුණි.

පළමුවෙන් ම එය ලියැවෙන්නේ ලොව 8 වැනි වේගවත්ම පළමු පෙළ ත්‍රිත්ව ශතකය වන අතර එය ලාංකිකයෙකු වාර්තා කළ 3 වැනි වේගවත්ම පළමු පෙළ ත්‍රිත්ව ශතකය ලෙසිනි. එමෙන් ම මෙරට දකුණත් පිතිකරුවෙක් වාර්තා කරන ලද දෙවැනි ත්‍රිත්ව ශතකය වූයේ ද එයයි.

කුසල් ජනිත් පෙරේරා පන්දු 244කදී සහ කිත්රුවන් විතානගේ පන්දු 245කදී ලබාගත් පළමු පෙළ ත්‍රිත්ව ශතක රමේෂ්ට ඉදිරියෙන් ඇති වේගවත්ම ත්‍රිත්ව ශතක වන අතර රමේෂ්ගේ ත්‍රිත්ව ශතකය වාර්තා වූයේ පන්දු 270කිනි. රමේෂ්ගේ එම ඉනිමට හතරේ පහර 28ක් සහ හයේ පහර 10ක් ඇතුළත් වන්නේ ය.

මේ වන විට ශ්‍රී ලාංකීය පිතිකරුවන් 9 දෙනෙක් ත්‍රිත්ව ශතක රැස් කරගැනීමට සමත් වී ඇති අතර එම 9 දෙනාගෙන් 7දෙනකුම වමත් පිතිකරුවන් වීම සුවිශේෂී කරුණකි. දකුණත් පිතිකරුවන් අතුරින් පළමුවැනියා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන වාර්තා වන අතර ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 374ක් ලබා ගත්තේ ය.

මෙවැනි දක්ෂතාවලින් අනූන, රමේෂ් ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියට දායාද වෙන්නේ පිට පළාත් ක්‍රීඩකයෙක් ලෙසිනි. රමේෂ්ගේ උපන් ගම අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශය ය. එය පිහිනුම් ක්‍රීඩකයන්ගේ තෝතැන්නකි. රමේෂ්ගේ උපත සිදු වෙන්නේත් මේ කියන ඌරවත්ත බිමේ ය. ගමේ කොල්ලෝ කුරුට්ටන්ගේ එක ම විනෝදය මාදම්පා ගඟේත් අනෙක් පසින් පිහිටි මුහුදේත් තරගයට පිහිනීම ය. රමේෂ් ද ඒ නඩේ ප්‍රබල සාමාජිකයෙක් වූයේ ය.

ඊට තවත් හේතුවක් තිබුණි, ඒ රමේෂ්ගේ ගෙදර පරිසරය ද පිහිනුම් ක්‍රීඩාවත් සමඟ දැඩිව බැඳී තිබීම ය. රමේෂ්ගේ පියා ප්‍රසන්න මෙන්ඩිස් SAG පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකි. ඔහු 1987 සහ 1989 වසරවල පැවති SAG තරගාවලි නියෝජනය කළ දක්ෂයෙකි.

මේ SAG පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයාට අවශ්‍ය වූයේ රමේෂ්ව හය හතර තේරෙන්නට ගත්ත දා සිට පිහිනුම් ක්‍රීඩකයෙක් කිරීමේ මංපෙත සෑදීම ය. ඔහු ඒ වෙද්දී ගමේ පිරිස වෙත මාදම්පා ගඟේ දී තම අත්දැකීම් බෙදා හදා දුන්නේ ය. මේ යන ගමනට කුඩා රමේෂ්ව ද එක් කර ගැනීමට ඔහු අමතක කළේ නැත.

තම අඩි පාරේ යමින් රමේෂ් දිනෙන් දින පිහිනුම් ක්‍රීඩාවෙන් ඉදිරියට එද්දී ප්‍රසන්න මෙන්ඩිස් තරම් සතුටු වූ වෙනත් කෙනෙක් සිටින්නට නැතිව ඇති. ඔහු දකින්නට ඇත්තේ තමන් සේ ම තම වැඩිමහල් දරුවා ද දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන අයුරුයි. මේ සිහිනයේ සිටි රමේෂ්ගේ පියා, කුඩා රමේෂ්ව අම්බලන්ගොඩ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගයටත් සහභාගී කරවන්නේ ය. එහි දී රමේෂ්ට ඉදිරි පෙළ ස්ථානයක් නොමැති වුනත් අවුරුදු දෙකක් ම මේ තරගයට සහභාගී වන රමේෂ් ඒ වසර ද්විත්වයේ තරගය නිමා කරමින් ඊට හිමි සහතික දිනා ගන්නේ ය.

පොලිස් සේවයේ නියුතු පියා ගමෙන් පිටත රාජකාරියට එක් වීමත් සමඟින් රමේෂ්ගේ පිහිනුම් පුහුණු කටයුතුත් ඔහු වෙතින් ටිකෙන් ටික දුරස් වූවේ ය. කුඩා රමේෂ් පිහිනුම් ක්‍රීඩාව පසෙක තබමින් පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් බවට පත් වනනේ ය. නොබෝ දිනකින්ම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන රමේෂ් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා දක්වන්නට සමත් වෙන්නේ ය.

පියා පිහිනුම් ක්‍රීඩාවේ දී රමේෂ් අසලින්ම සිටියා සේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී රමේෂ් අසල දැවටුණේ ඔහුගේ මව වන දුල්මිණි කහඳවල. ඇය සමස්ත ලංකා පදක්කම්ලාභී මලල ක්‍රීඩා සහ දැල්පන්දු ක්‍රීඩිකාවකි. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් පැහැදිලි අනාගතයක් පෙන්නුම් කළ ද රමේෂ් ඊට ආයුෂ දෙන්නේ ඉතා ටික කාලයකි. එවර රමේෂ්ගේ තෝරා ගැනීම ක්‍රිකට් ය. මේ සම්බන්ධයෙන් පියා නිහඬ වතත් පෙන්නුම් කළත් මව ඊට තදින්ම විරුද්ධ වූයා ය. ඇය රමේෂ් බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහරිනවාට කොහෙත්ම කැමති වී තිබුණේ නැත. එහෙත් රමේෂ් ද තම ආසාව අත හැරියේ නැත. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට තිබෙන තම ආසාව බැගෑපත්ව මෙන් ම මුරණ්ඩු වෙමින් ද පැවසුවේය. එහෙත් ගෙදර ප්‍රතිචාරය යහපත් වී නැත.

එහි දී රමේෂ්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උදව්වට පැමිණෙන්නේ විශ්‍රාමික මේජර් නිමල් මෙන්ඩිස් වන රමේෂ්ගේ බාප්පා ය. ඔහු රමේෂ්ගේ වගකීම් සියතට ගනිමින් දෙමාපියන්ගේ ආශීර්වාදය ද සමඟින් රමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්නේ ය.

රමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙනි. ඔහුගේ මුල්ම පුහුණුකරු වන්නේ සුරාජ් සංජීව ය. ඔහු යටතේ පුහුණුවීම් කරමින් රමේෂ් වසර ත්‍රිත්වයක් ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන අතර 2008 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකත්වය ද උසුලන්නේ ය.

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් බෞතිස්ම ලැබූ රමේෂ් 2008 වසරේ සිට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා එක් වෙන්නේ ය. එහි වයස අවුරුදු 15න් පහළ සිට වයස අවුරුදු 19න් පහළ දක්වා වූ සෑම කණ්ඩායමක ම නායකත්වයට ද පත් වෙන රමේෂ්, 2012/13 තරග සමයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවෙන් සහ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන්නේ ය.

අනතුරුව එළැඹි 2013/14 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී නැවත වතාවක් දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන රමේෂ්, කුසල් මෙන්ඩිස්ට දෙවැනියා වෙමින් දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවය පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට සමත් වෙන්නේ ය.

එහි දක්ෂතාත් සමඟ රමේෂ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් 2014 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය, එංගලන්තයට එරෙහිව 2021 වසරේ ජනවාරියේ දී ටෙස්ට් වරම් හිමි කර ගන්නා රමේෂ් මේ දක්වා ටෙස්ට් තරග 6ක ඉනිම් 9කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 111කි. දඟ පන්දු යවන්නෙක් ලෙසින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 27කි. එහි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 70කට කඩුලු 6ක් දවා ගැනීම ඉනිමක හොඳම පන්දුයැවීමේ දක්ෂතාව ලෙසත් සහ එම තරගයේ දී ම ලකුණු 136කට කඩුලු 11ක් දවා ගනිමින් පෑ දක්ෂතාව ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වේ.

රමේෂ් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ 2021 වසරේ මැයි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිවයි. ඒ අනුව මේ දක්වා එක්දින තරග 4කට ක්‍රීඩා කර ඇති රමේෂ් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 50ක් වන අතර කඩුලු 4ක් වාර්තා කරගෙන සිටි. එම වසරේ ම ජුලි මාසයේ දී ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නා රමේෂ් තරග 2කට ක්‍රීඩා කරමින් ලකුණු 2ක් සහ කඩුල්ලක් දවාගෙන ඇත.

 

 

Comments