ලාංකේය මලල ක්‍රීඩාවට වසර 100ක් සපිරීමත්, මෙකී වසරේ චීනයේ දී පැවැත්වෙන ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් තේරීම් පරීක්ෂණය ඉලක්ක කරගෙන දියගම ක්‍රීඩාංගණයේ දී වර්ෂාවෙන් එල්ල වූ දැඩි බාධා මධ්‍යයේ පුරා දින තෙදිනක් තිස්සේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වර්තා තුනක් සහ කනිෂ්ඨ වාර්තා දෙකක් බිහි කිරීමට ද ක්‍රීඩක ක්‍රීඩීකාවෝ සමත් වුහ.අතරමඟ නවතා දැමු මෙකී තරගාවලියේ ඉතිරි තරග 23වැනිදා එනම් ඊයේ දියගම දී ම පැවැත්විමට නියමිතව තිබුණි.
රිටි පැනිමේ ඉසව්වේ ජාතික ශූරිය වන කෞෂල්‍යා පෙරේරා (මී.3.70) මසක් ඉක්ම යාමටත් මත්තෙන් තමා සතු ජාතික වාර්තා සෙන්ටි මීටරයකින් ඉදිරියට ගෙන යාමට සමත් වුවාය. ඒ මීටර් 3.71ක දක්ෂතාවක් සමඟින් ය.
මීටර් 3000 බාධක දිවීමේ දී තමන්ගේ ම ජාතික වාර්තාව අලුත් කිරීමට නිලානි රත්නායක සමත් වුනේ විනාඩි 9:40.25ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ය. පැරණි වාර්තාව විනාඩි 09.46.76කී.එකී ඉසව්වේ දෙවැනි ස්ථානය එන්. නිදර්ශනී විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය උදයකුමාරි ට හිමිවිය. මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ පිරිමි අංශයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට යූ. බී. හේරත් සමත් වුයේ විනාඩි 8:57.12ක කාලයක් වැය කරමින් ය.
2021.04.09 දා අහිමි වු මීටර් 800 ජාතික වාර්තාව හරියට ම වසරකට පසු නැවතත් තමන් සතු කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ගයන්තිකා අබේරත්න සමත් වුයේ විනාඩි 2:01.44ක කාලයක් වාර්තා කරමින් ය.මෙකී ඉසව්වේ තවත් ප්‍රබල ක්‍රීඩිකාවක් වු ඩිල්ෂි කුමාරසිංහ එතෙක් මෙකී වාර්තාවට හිමිකම් කිව්වේ විනාඩි 02.02.52කට ය.එහි දෙවැනි ස්ථානය නිමාලි ලියනආරච්චි විසින් දිනා ගනිද්දී, යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න (විනාඩි 2:04.40) එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ එම ඉසව්වේ කනිෂ්ඨ වාර්තාව ද බිඳ දමමින් ය.වලල ඒ. රත්නායක විදුහලේ අධ්‍යාපනය හදාරන තරුෂි ලබන අගෝස්තු මාසයේ කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ ශූරතාවලියට ද සුදුසුකම් ලබා තිබේ.
පිරිමි මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කරමින් එහි ජාතික කිරුළ ජයග්‍රහණය කිරීමට රුසිරු චතුරංගට (විනාඩි 1:50.84) හැකි වු අතර, එහි දෙවැනි ස්ථානය ටී. බුලුගහපිටිය (විනාඩි 1:51.13) විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය කේ. කුෂාන්ත හිමි කර ගත්තේ (විනාඩි 1:51.20) වාර්තා කරමින් ය.
කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ පළමු ස්ථානය කෞෂල්‍යා මධුෂානි තත්පර 58.73 දක්ෂාතවයක් සමඟින් අවසන් කරද්දී පිරිමි ඉසව්වේ ජයග්‍රහණය දිනා ගත්තේ ධනුක දර්ශන (තත් 52.17) යි. මීටර් 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය මිනිත්තු 1:00.23ක කාලයකින් ඉසව්ව අවසන් කළ අමේෂා හෙට්ටිආරච්චි හට හිමි වූ අතර එය නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් වීම ද විශේෂත්වයකී. මහනුවර උසස් බාලිකා විදුහලේ සිප් සතර හදාරණ අමේෂා මෙකී තරගාවලියට පෙර ම ලෝක කනිෂ්ඨ ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගත්තා ය.
කාන්තා දුර පැනීම ඉසව්වේ දී මීටර් 6.52ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සාරංගි ද සිල්වා සමත් වුවා ය.සාරංගි බිඳ දැමුවේ ඈ විසින් ම 2021 දී, පිහිටුවා තිබුණු මීටර් 6.48 වාර්තාවයි. මෙකී ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ද සාරංගියි. වාර්තාව මීටර් 6.95කී. වාර්තා පිහිටුවීමට සමත් වු සියලු ම දෙනා එළැඹෙන ආසියානු ක්‍රීඩා උලේලට පහසුවෙන් ම සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාස කරයි.
මෙකී තරගාවලියේ සමාරම්භක ඉසව්ව වූ කාන්තා මීටර් 10,000 ඉසව්ව විනාඩි 35:01.28ක කාලයකින් අවසන් කරමින් ජාතික කිරුළ තමන් සතු කර ගැනීමට ගුවන් හමුදාවේ ලංකා ආරියදාස සමත් වුවාය. එහි දෙවැනි ස්ථානය විනාඩි 36:31.77කින් ඉසව්ව අවසන් කළ එස්. ඩී. හේරත් විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය විනාඩි 36:46.98කින් ඉසව්ව අවසන් කළ එම්. එස්. පී. එම්. පෙරේරා සතු විය.
කාන්තා මීටර් 1500 ඉසව්වේ ආධිපත්‍ය එලෙසෙම රඳවා ගත් නාවික හමුදාව නියෝජනය කරන ගයන්තිකා අබේරත්න රන් පදක්කම ජයග්‍රහණය කළේ විනාඩි 4:12.41ක දක්ෂතාවයක් වාර්තා කරමින් ය. විනාඩි 4:34.29ක කාලයකින් ඉසව්ව අවසන් කළ කේ. එස්. ලක්ෂානි (යුද හමුදා) දෙවැනි ස්ථානයත්, මිනිත්තු 4:35.03ක කාලයකින් ඉසව්ව අවසන් කළ කෙම්නා කුමාරි (ගුවන් හමුදා) තෙවැනි ස්ථානයත් දිනා ගත්හ.
කාන්තා මීටර් 5000 ඉසව්වේ ජයග්‍රහණය දිනා ගන්නට නිලන්ති ලංකා ආරියදාස සමත් වුනේ විනාඩි 16:56.08ක දක්ෂතාවයක් වාර්තා කරමින් ය. මෙවර තරගාවලියේ ඇය විසින් දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වීම විශේෂත්වයකී.
විනාඩි 17:25.99ක කාලයකින් ඉසව්ව අවසන් කළ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත් දෙවැනි ස්ථානය දිනා ගන්නා විට, විනාඩි 17:29.14ක කාලයකින් තරගය අවසන් කළ එන්. නිදර්ශනී තෙවැනි ස්ථානය දිනා ගත්තා ය.
තරගාවලියේ පවත්වන්නට නොහැකි වූ අනෙකුත් ඉසව් අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය විසින් නිවේදනය කළේ ය.
තරගාවලිය උණුසුම් ම ඉසව්වක් වූ කාන්තා මීටර් 200 ඉසව්වේ කිරුළ මේධානි ජයමාන්න (විනාඩි 24.58) හිමිකර ගනිද්දී, මීටර් 200 පිරිමි කිරුළ සුපුරුදු පරිදි මොහොමඩ් සෆාන් විසින් දිනා ගත්තේ විනාඩි 21.44 කාලයකින් ය.