ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාටේ ඉතිහාසයේ පළමු පදක්කම් ද්විත්වයේ හිමිකාරිය ද ඇයයි. දශකයකට වැඩි කාලයක් ලාංකේය කරාටේ පිටියේ කාතා ඉසව්වේ වඩාත් තරගකාරී ක්‍රීඩිකාව වන ,ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක් ලෙස රේණුකා නිශාන්ති හැඳින්විය හැකිය.
"මම කරාටේ ක්‍රීඩාවට පිවිසෙන්නේ ඉතාම කුඩා කාලයේ දීමයි. මේ දක්වා ලැබුණ හැම දෙයක් ම පිටි පස්සේ තියෙන්නේ කරාටේ ක්‍රීඩාවයි. රැකියාව, මගේ ස්වාමි පුරුෂයා පවා ලැබෙන්නේ කරාටේ ක්‍රීඩාව නිසා. ඒක මගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. මගේ දරුවන් පවා අද කරාටේ ක්‍රීඩාවේ නියැලෙනවා. විවිධ හැල හැප්පීම් නැතුව නෙවෙයි, ඒත් අපිට කරාටේ ක්‍රීඩාවෙන් තොර ජීවිතයක් නැහැ." රේණුකා ක්‍රීඩා සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා ය.
කළු පටි හිමිකාරියක් වෙන රේණුකාගේ කරාටේ තරගවල බොහොමක් දක්ෂතා ලියැවී ඇත්තේ දේශීය තරග පිටියේ ය. 1999 සිට 2016 දක්වා පැවති ජාතික ක්‍රීඩා උළෙලේ කරාටේ තරගවල පළමු ස්ථාන තුනේ සිටි ඇය ඒ අතර වැඩි හරියක් ම දිනා ඇත්තේ රන් පදක්කම් ය.
එමෙන් ම 2004 සිට 2016 දක්වා ජාතික කරාටේ තරගාවලිය නියෝජනය කරන ඇය එම වසරවල දී ද පෙර සේ ම දක්ෂතා අතර රැදී සිටිමට සමත් වුවා ය.
ඒ අතර, 2002 - 2003 දී ත්‍රිවිධ හමුදා කරාටේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, 2012 වසරේ (National Grand Champion) ජාතික මහා ශූරතාවලියේ ශූරිය ලෙසත් , 2014 වසරේ දී ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම කරාටේ ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගැනීමට සමත් වුවාය.
එමෙන් ම 2002 - 2017 වසර දක්වා ම ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ කණ්ඩායම නියෝජනය කරමින් එහි වැඩිම රන් පදක්කම් දිනා ගත් කරාටේ ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වන්නීය.
රේණුකා ලැබූ ඉහළ ම පදක්කම වන්නේ 2014 වසරේ දී ඉන්දියාවේ දී පැවැති දකුණු ආසියානු කරාටේ තරගාවලියේ දිනාගත් රන් පදක්කමයි.
රේණුකාට ඒ ගැන අදටත් ඇත්තේ මිහිරි මතකයකි. "ඊට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලි කිහිපයකට සහභාගී වුනත් නොයෙකුත් හේතූන් ඉදිරිපත් කරමින් මාව ඒ තරගවලට ඉදිරිපත් කළේ නැහැ. මේ නිසා ලොකු බලාපොරොත්තුවකින් හිටියා ලැබෙන තරගාවලිය හොඳින් කරන්න. අවසානයේ මම මගේ දක්ෂතා රන් පදක්කමක් දිනා ගනිමින් ම පෙන්නුවා."
රේණුකාගේ උපන් ගම්පියස කුරුණෑගල ය. මුලින් ම පාසල් යන්නේ මාඑළිය විද්‍යාලයට , අපොස උසස් පෙළ සඳහා පොල්පිතිගම මහා විද්‍යාලයට ඇතුළත් වෙන අතර, ගොවිතැනින් ජීවිතය සරි කෙරුණ රේණුකාගේ පවුලේ රේණුකා සමඟ වැඩිමල් සහෝදරියක්, සහෝදරයෙක් සහ බාල සහෝදරයෙකි.මේ කිසිවෙකුත් ක්‍රීඩාවට සම්බන්ධ නොවුණ නමුත් රේණුකාට ලොකු ආසාවක් තිබුණේ, කරාටේ ක්‍රීඩාවට එකතු වෙන්නට ය. ඒ මාඑළිය විද්‍යාලයේ කරාටේ ක්‍රීඩාව පටන් ගත්ත මුල් ම අවධියයි. ඒ වෙද්දී රේණුකාට අවුරුදු 12ක් පමණි.
"කරාටේ ක්‍රීඩාව පටන් ගන්නවා කියල අපේ පංතියටත් දැන්වීමක් ආවා. මට ඒකට එකතු වෙන්න ලොකු අවශ්‍යතාවක් දැනුණා. අපේ පංතියේ කිසිම කෙනෙක් සහභාගී වුනේ නැහැ. මට තනියම සහභාගී වෙන්නත් බැහැ. පස්සෙ මම මගේ යාළුවෝ කිහිප දෙනෙක් ලෑස්ති කරගෙන කරාටේ උගන්නන සර් ළඟට ගියා. මගේ යාළුවෝ සතියෙන් දෙකෙන් නතර වුණා. මම දිගට ම කරගෙන ගියා."
එහෙම පුහුණුවීම් ආරම්භ කළත් රේණුකාට ක්‍රීඩාව දිගට ම කරගෙන යන්න තරම් අවශ්‍ය පහසුකම් හරි හැටි නොතිබුණි. කොටින්ම කරාටේ ඇඳුම ගන්න පවා අමතර මුදලක් වියදම් කරන්න ඔවුන්ට පුළුවන් කමක් තිබී නැත. මේ නිසා රේණුකා අම්මා-තාත්තා ඉදිරියේ දවස් ගණනක් පිංසෙන්ඩු වී කඳුළු සලන්නට සිදුව තිබේ.
"ඒ දේවල් ලැබෙන්න පරක්කු වුනත් මම කරාටේ ක්‍රීඩාව පුහුණු වෙන්න නොකඩවා ගියා. අපේ ගෙදර ඉඳලා පාසලට යන්න ගොඩක් දුර යන්න ඕන. ඒක හරි වෙහෙසකර ගමනක් වුණා. කොහොම හරි සාමාන්‍ය පෙළ දක්වා මාඑළියෙ ඉගෙන ගත්තා. පොල්පිතිගමට යන්නෙ කරාටේ ක්‍රීඩාව කරන්න ඕන නිසාමයි. වැඩි දුර අධ්‍යාපනය හදාරන්න කියන හැඟීමක් තිබුණේ නැහැ."
නමුත් ඒ වෙද්දී රේණුකාගේ ගමනට විවිධ බාධා එල්ල වු අතර ආර්ථික අපහසුතා ඒ අතරින් පෙරමුණ ගෙන තිබේ.අනෙක් අභියෝගය වී ඇත්තේ වැඩිහිටි ගෑණු ළමයෙක්ට කරාටේ වගේ ක්‍රීඩාවක් සුදුසු නැහැ කියන කතාව ය.
"ඒ මොන දේ වුණත් පාසල් කාලයේ දී රණසිංහ, ශාන්ත, ජානක, ජයසිංහ කියන ගුරුවරුන් යටතේ කරාටේ ක්‍රීඩාව ඉගෙන ගත්තේ, ගෙදර විරෝධය මඟ හැරීමට ඔවුන් ඉදිරිපත් වුණු නිසයි. ඔය අතර මම ජාතික පාසල් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තා. ගෙදර තත්ත්වයත් ඒ එක්ක ම වගේ ඉබේ ම හොඳ අතට පෙරළුණා. ඊට පස්සේ මම 1999 අවුරුද්දේ ජාතික ක්‍රීඩා උළෙලේ කරාටේ රන් පදක්කම දිනා ගන්නවා. ඒ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකා කරාටේ සංචිතයට ද එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා."
එය රේණුකාගේ කරාටේ මෙන් ම ජීවිතයේ ද ප්‍රබලත ම හැරුවුම් ලක්ෂය වට පත් විය. රේණුකාගේ ස්වාමියා, අකිල බස්නායක. ඔහුත් කරාටේ මෙන් ම විවිධ ක්‍රීඩා ඉසව්වල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකී. අනෙක් අතට ඔවුන් පාසල් කාලයේ පටන් ම ළබැඳි මිතුරන් ය.
"එයා ඒ දවස්වල ගුවන් හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. එයා තමයි මට කිව්වේ, ගුවන් හමුදාවේ රස්සාව කරන ගමන් ම කරාටේ ක්‍රීඩාව කරන්නත් අවස්ථාවක් සලසා දෙන්න පුළුවන් කියලා. මම ඒකට කැමති වුණා. ඒ දවස්වලත් අපි හොඳ යහළුවන් විතරයි."
කරාටේ ක්‍රීඩාවට දැක් වු දැඩි කැමැත්ත නිසා රේණුකා පාසලෙන් ඉවත් වී ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක් වෙන අතර,එකී එක්වීම රේණුකාගේ පමණක් නොව, ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාටේ ඉතිහාසය ද අලුත් කිරීමක් වන්නේ ගුවන් කාන්තා කරාටේ සංචිතයක් ආරම්භ වෙන්න මුලික අඩිතාලම වැටෙන්නේ ද එය හේතුවක් වීම නිසා ය.
"දවස් තුනකින් ත්‍රිවිධ හමුදා කරාටේ තරගාවලිය තියෙනවා සූදානම් වෙන්න කියලා පණිවුඩයක් ලැබෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒ වෙද්දී එච්චර පුහුණුවකුත් නැහැ. නමුත් හිතේ තිබුණ ධෛර්යයෙන් තරගාවලියට එක් වුණා. එතැන දී මට කාතා සහ කුමිතේ ඉසව් ජයග්‍රහණය කරන්න හැකි වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාටේ ඉතිහාසයේ ලැබූ පළමු පදක්කම් ද්විත්ව ය."
එකී පදක්කම් දෙක රේණුකාට, කරාටේ පිටියේ ජය කෙහෙලි නංවන්නට ද ප්‍රබල රුකුලක් විය. කරාටේ ක්‍රීඩාව කරගෙන යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන්න පාර පෙන්වූ ළබැඳි මිතුරා, අකිල බස්නායක කාලයාගේ ඇවැමෙන් ඇයගේ ජීවන ගමන් මඟේ හවුල්කරුවා ද විය.
"පවුලක් ලෙසින් ගොඩ නැගීමට අමතර ව මගේ කරාටේ ජීවිතයේ බොහෝ තැන්වල හිටියේ එයා." රේණුකා ගෞරවනීය හඬින් පවසන්නිය.
පවුල් ජීවිතය ඇතුලේ රේණුකාට තරගයක් නොවු නමුත්, කරාටේ ගමනේ දී එසේ නිදහස් අවකාශයක් ඇයට නොවීය. හැළ හැප්පීම් රාශියකට මුහුණ දෙන්න සිදු වු එකී අත්දැකිම් ඇය පවසන්නේ ඉතා සංවේදීව ය.
"ගෑණු අපට දරාගන්න බැරි ගොඩාක් දේවල්වලට මුහුණ දෙන්න වුණා. ඒ හැම තැනක දී ම ඔහු ඉදිරිපත් වුණා. මට ලැබිය යුතු අවස්ථා බොහොමයක් එවකට හිටපු කරාටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන් අතර බෙදා දුන්නා. හිතවතුන්ට සලකන්න අපේ දක්ෂතා පසෙකට දැම්මා.
එක පාරක් බංග්ලාදේශයට එක්ක ගිහින් එක තරගයක්වත් මට දුන්නේ නැහැ. මගේ ඉසව්වට සහභාගී වෙන්න මට නොදී වෙනත් අය දැම්මා. ඒ අය පරාජය වුණා. අපේ රටට ලැබෙන්න තිබුණ පදක්කම් අපට අහිමි වුණේ ඒ විදියට. අපි තේරීම් තරග ඔක්කෝම දිනලා කණ්ඩායමට එකතු වෙනවා. ඒත් පිට අය ඇවිත් තරගවලට සහභාගී වෙනවා. 2006 අවුරුද්දේ සාෆ් රන් පදක්කමට යන්න තිබුණා. ඒත් මට කිසිම කෙනෙක් උදව් කළේ නැහැ. මේ අසාධාරණකම් අපි කියන්න පුළුවන් හැම කෙනාට ම කිව්වා. ඒත් කිසිම ඵලක් වුනේ නැහැ. ඒ ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්."
මේ කලකිරීම කෙතෙක් දැයි කියනවා නම් රේණුකා ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීවිතයට විශ්‍රාම දී 2017 වසරේ දී සමුගන්නවා.
"මට කරාටේ ක්‍රීඩාවෙන් යමක් ලැබුණා නම් ඒ ගුවන් හමුදාවෙන්. මම ඒ ගැන එහි සියලුම දෙනාට ම ස්තූති කරනවා. ඒ වගේම මගේ පුහුණුකරු ලෙසින් කටයුතු කරපු ආර්. අයි. සිංහවංශ ගුරුතුමාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා අද ජීවතුන් අතර නැති වුනත් මට විශාල ශක්තියක් වීම තුළ ඔහුට ඒ ගෞරවය ලැබිය යුතුයි."
රේණුකා, මේ වෙන විට පදිංචිව සිටින්නේ මැල්සිරිපුර ය. රේණුකා නැමති ක්‍රීඩිකාව කරාටේ ක්‍රීඩාවට තිත තැබුවත්, ඇය මේ වන විට අනාගත පරපුර වෙනුවෙන් කරාටේ ක්‍රීඩාවේ ගුරුහුරුකම් බෙදා දෙන්නී ය.
"ක්ෂේත්‍රය ගැන විශාල කලකිරීමක් තියෙන්නේ. ඒත් තවමත් කරාටේ ක්‍රීඩාව අගේ තියෙනවා. ඒකයි දන්න දේ ළමයින්ට කියල දෙන්නේ."
රේණුකා මේ වන විට ළමුන් තිදෙනෙක්ගේ ආදරණීය මවකී. ලොකු පුතා අදීශ ප්‍රභාශ්වර බස්නායක, අවුරුදු 15 වෙන ඔහු කුරුණෑගල යුද හමුදා පාසලේ ඉගෙන ගන්නා ගමන් කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. මද්දුමී අවුරුදු 7ක් වෙන යළින්දි රෙශන්‍යා බස්නායක, ගලේවෙල ඕල්කට් බෞද්ධ පාසලේ ඉගනුම ලබන අතර කරාටේ ක්‍රීඩාවේ නියුතු වෙනවා. බාලයා අවුරුදු එකහමාරක් වෙන පසින්ඳි රෙහන්‍යා බස්නායක ය.
"ළමයි කරාටේ ක්‍රීඩාවට යොමු කළේ මේ තුළ දිගු ගමනක් යවන්න නෙමේයි. මොකද මට වුන අසාධාරණකම් නිසා මට හොඳ අනාගතයක් මේ තුළ පෙනෙන්නේ නැහැ. නමුත් ළමයින්ගේ කැමැත්තට ඉඩ නොදී බෑ. ඔවුන් ඔවුන්ගේ හෙට දවස තීරණය කරයි. ඒ වෙනකම් මම දන්න දේ, මගේ ළමුන්ට වගේ ම මා වටා සිටිමින් පුහුණුවට එන ළමුන්ට කියල දෙනවා." රේණුකා නිශාන්ති පවසන්නී ය.කරාටේ ජීවිතයේ ලද අනේක විඳ හැල හැප්පීම් මැද, ඉන් නොනැවති අදටත් ඊට ආදරය කරමින් මතු පරපුරක් බිහි කිරීමට ගන්නා වූ ඇයගේ මේ උත්සාහයට ක්‍රීඩා ද මෙසේ ආශිර්වා ද එක් කරන්නෙමු.