![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/22/14.jpg?itok=NGp_htb9)
මෙකී තීරණය පිළිබඳ ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ විනිසුරුවරුන් ප්‍රකාශ කරන්නේ විනිසුරුවන් ජාත්‍යන්තර නීතියේ වලිගයෙන් අල්ලා ගෙන තීරණ දෙන බවයි. ඒ අර්ථයෙන් මෙය ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩකට එහා ගිය දෙයකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 23 වැනි වරටත් සංවිධානය කළ ගුවන් පාපැදි සවාරිය පසුගිය මාර්තු මාසයේදී අර්බුද රැසක් මැද අවසන් විය. දින තුනක්, අදියර තුනක්, තරග කරුවන් 215ක් හා කිලෝ මීටර් 415ක් අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම සියළු ගෞරව දිනා ගත් අතර එකී සවාරිය අවසානයේ පාපැදි ක්‍රීඩාවට ඉතිරි වුයේ අපකීර්තියකි.
සවාරිය ආරම්භයේදීම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විරෝධාකල්ප නොතකමින් ඇරැඹි ගුවන් සවාරිය අවසන් වුයේ උභතෝකෝටික ප්‍රශ්න සමුහයක් පාපැදි ක්‍රීඩාවට මෙන්ම පාපැදි ක්‍රීඩා තරග සංවිධානය කරන සංවිධායකයන්ට ද ඉතිරි කරමින් ය.
සවාරිය ආරම්භයේදී විනිශ්චය කිරීම සඳහා සිය විනිසුරුවන් හා තීරකවරුන් සහභාගී කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඒ වෙනුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරියගේ ද අනුමැතිය ලබාගත් විනිශ්චය මණ්ඩලයක සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබුණී. එම අවස්ථාව වන විට වසර ගණනාවක් ගුවන් පාපැදි සවාරියේ විනිශ්චය මෙහෙයවා තිබුණේ පාපැදි විනිසුරුවරුන්ගේ සංගමය විසිනි. නමුත් මෙවර ඒ අවස්ථාව මඟ හරිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් අනුමත කළ විනිසුරු මඩුල්ලක් මෙම සවාරියට ඉදිරිපත් කර තිබෙන බවත් ඊට තරග සංවිධායකයන්ගේ පිළිගැනීම හිමිවන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති ගුවන් කොමදෝරු කිත්සිරි ලීලාරත්න පවසා ඇත. තත්ත්වය එසේ තිබියදී සවාරියේ සංවිධානයට විරෝධය පළ කරමින් පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ දෙදෙනෙකුද ඉල්ලා අස්වීමේ සිද්ධියක් වාර්තා වුවද, එම කිසිම විරෝධතාවකට සවන් නොදුන් ගුවන් පාපැදි සවාරියේ සංවිධායකයන් යොදා ගත් කාල වකවානුවේදී සවාරිය පවත්වා අවසන් කළේය.
මෙකි සමස්ත සවාරියේ සියලුම සංවිධාන කටයුතු හොඳින් සිදුවු බව තහවුරු කරන විනිසුරුවන්ගේ සංගමය තරගයේ දෙවැනි අදියරේ සිදු වු දෙය හා සමස්ත සවාරියේ දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් වෙනුවෙන් ගොනු කරන විරෝධය මත පදනම්ව සමස්ත සවාරිය ඔවුන් දකින්නේ කිරි කළයට ගොම ගොඩක් එක් කළ තරග අවසානයක් ලෙස ය.
දෙවන අදියරේ එනම් පුත්තලම දඹුල්ල අතර අවසන් මීටර් 300 තුළ සිදුවු අනතුරක් නිසා වර්තමාන ජාතික පාපැදි ශුරයා වන චතුර මදුශාන් ද සිල්වා එදින තරගයෙන් ඉවත් කිරීමත් සමඟ කවුරුත් කියන්න ගත්තේ පාපැදි සම්මේලනයේ විනිසුරුවන් අබිං ගසා මෙකි තීරණය ගත්තා ද යන්නයි.
පුත්තලම දඹුල්ල අතර සමස්ත තරගයේ ජයග්‍රහණය කල අවිශ්ක මැඩොන්සා සහ දෙවන ස්ථානය දිනාගත් චමොද් ද සිල්වා තරගයේ මුලින්ම පැමිණි පොකුරේ සිට ඉදිරියට ගියත් එම පොකුරේ ම සිටි චතුර මදුශාන් , නිදුෂ් නිරන්ත ,සංජු දීමන්ත ,චාමික සඳුන් කුමාර, පැතුම් සම්පත් , දර්ශන ප්‍රසාද් ,ඇතුළු දොළොස් දෙනෙකු පමණ එක පොකුරට තරගය අවසන් කිරීමට ඉදිරියට ඇදෙද්දී නිදුෂ් නිරන්ත සමග චතුර මදුශාන් ඇතුළු ක්‍රිඩකයන් හතර දෙනෙකුගේ පමණ පාපැදි එකට ගැටී බිම ඇද වැටීමෙන් චතුර බරපතළ ලෙස තුවාල නොවුනත් පාපැදියේ ෆෝක් එකද දෙකට කැඩී වෙන්ව යන තරමට ම අනතුර බරපතළ විය. මෙකි අනතුර දැක එම ස්ථානයට පැමිණි නරඹන්නෙක් චතුර තුවාල ලැබීම නිසා කැඩිච්ච පාපැදියේ කොටස් රැගෙන තරග අවසන් ස්ථානයට දුවගෙන ඇවිත් තිබෙන අතර මෙම අවස්ථාවේ දී චතුර ද රෝදය රැගෙන පැමිණියත් එකි තරග නරඹන්නා චතුරගේ අතින් ලේ ගලන නිසා ඔහු අත තිබු රෝදය රැගෙන චතුර සමඟ අවසන් රේඛාවට පැමිණි තිබේ . මෙකි අවස්ථාවේ දෙවන විනිසුරු හා පාපැදි විනිසුරුවරයෙක් ඔවුන් අසල සිටිය ද තරගකරුට හෝ නරඹන්නාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර,අඩුම තරමින් මෙකි අවස්ථාවේ තරගය අවසන් කරන ආකාරය වැරදි නම් ඒ බවවත් විනිසුරුවන් චතුරට පවසා නැත . කොටින් ම නීතිය අනුව අනතුරට පත්වුණ ක්‍රීඩකයකු ක්‍රියා කලයුතු ආකාරයවත් කියා දී (මෙවැනි ප්‍රධාන පෙළේ තරගවලට ඉදිරිපත්වන ක්‍රීඩකයන් ද මෙවැනි අවස්ථවලදී ක්‍රියා කල යුතු ආකාරය දැන සිටිය යුතු බව වෙන ම කතා කල යුතු කරුණකි.) නැති බවටත් තොරතුරු අනාවරණය වෙයි .ඒ පිලිබඳ වැඩි අවධානයක් යොමු නොකළ චතුර තුවාල පිටින් ම තරගය අවසන් කර තිබේ.
එම නිසා ජාත්‍යන්තර පාපැදි නීතිය අනුව පාපැදිය හෝ පාපැදියේ කොටසක් සමඟ තරගය අවසන් නොකිරීම නිසා දියයුතු දඬුවම යැයි පවසා ,තරග අවසන් වාර්තාවේ සඳහන් කර ප්‍රධාන විනිසුරු සමග විනිසුරු මඩුල්ල අත්සන් කර ඔහුව තරගයෙන් ඉවත් කර තිබේ .
මෙකි තිරණය පිළිබඳ ලංකාවේ ප්‍රමුඛ පෙලේ විනිසුරුවරුන් ප්‍රකාශ කරන්නේ විනිසුරුවන් ජාත්‍යන්තර නීතිය වලිගයෙන් අල්ලා ගෙන තීරණ දෙන බවයි. ඒ අර්ථයෙන් මෙය ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩකට එහා ගිය දෙයකි.
මීටත් එහා ගොස් අවසන් කිලෝමීටර් දෙක තුනක් තුළ ක්‍රීඩකයෙක් හෝ කිහිපදෙනෙක් අනතුරට ලක්වී රෝහලට රැගෙන යාමට සිදු වී, අනතුරුව රෝහල් නිර්දේශය අනුව තරග කිරීමට අවස්ථාව ලබා දීමට සිදු වුණොත් එවිට විනිසුරු තීරණය වන්නේ එකි ක්‍රීඩකයා හෝ කිහිපදෙනාට අනතුරට පත්වන අවස්ථාවේ පොකුර තරගය නිම කල කාලය ලබාදී එම පොකුරේ අවසන් ස්ථානය ලබා දීම ද? නැද්ද ? මෙය ඉතාම සරලව විසඳා ගතයුතු ගැටළුය. මෙවැනි දඬුවම් වලංගු වන්නේ වංචනික ලෙස තරග කල ක්‍රීඩකයන්ට නොවේ ද? ක්‍රීඩකයෙක් නියමිත ගමන් මාර්ගයේ නොගොස් කෙටි මඟකින් පැමිණි තරගය නිමා කිරීම/ වාහනයක නැගී පැමිණ තරගය නිම කිරිම/එවැනි වංචනික ක්‍රියා සඳහා ජාත්‍යන්තර පාපැදි සම්මේලනය දඩයක් සමග දඬුවම් ලබා දෙයි.
එමෙන් ම ක්‍රීඩකයෙක් අතින් නොසිතා වරදක් සිදු වනවා නම් ඔහු අසල සිටින විනිසුරුට හෝ එකි කණ්ඩායමට වරද කියාදී එය නිවැරැදි කිරීමට හැකිය. දිගින් දිගට ම යම් ක්‍රීඩකයකු එකි වරද ම කරනවා නම් ඔහුට කාල දඬුවමක් ලබාදිය හැකිය. නමුත් මෙකි සිදුවීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අනතුරට ලක්වු ස්ථානයේ සිටි විනිසුරුවරයා හෝ කණ්ඩායම බරපතල ලෙස වගකම් පැහැර හැරීමක් කර තිබෙන බව පැහැදිළිය. එනම් ඔහු මුලින්ම මෙම අනතුරු පිළිබඳ ප්‍රධාන විනිසුරුවරයා අමතා ගිලන් රථය සමඟ වෛද්‍යවරයා කැඳවිය යුතුය.
එසේ නොකර සිටීමෙන් තුවාල ලැබු ක්‍රීඩකයෙක් ලේ ගැලීම් සහිතව මීටර් 300 ක් දිව යෑමේදි මරණය පවා සිදුවිය හැකිය .මෙකි අවස්ථාවේ අනතුරට ලක්වු ක්‍රීඩකයන් සිහිමඳ ගතියක් නොපෙන්වා පාපැදි රැගෙන තරග අවසානයට දිව ගියත් ගිලන් රථයක් ඔවුන් පසුපස තිබෙන බවක්වත් වැටහිමෙන් කටයුතු නොකිරීම නිසා විනිසුරුවන් ක්‍රීඩක ආරක්ෂාව පිළිබඳ තඔ ශතයකටවත් ගණන් නොගෙන කටයුතු කර ඇති බව නම් පැහැදිළිය. මෙවැනි අවස්ථා වලදී විනිසුවරුන් නියම ආකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳ පරික්ෂණයක් පවත්වනවා ද? ඔවුන් යම් වරදක් කර ඇත්නම් දඬුවම් කරනවා ද? මේවාට වගකිව යුත්තන් ගන්නා ක්‍රියා මාර්ග මොනවා ද ? යන්නත් අප බලා සිටිය යුතු ය.
මෙකි සවාරියේ ප්‍රධාන විනිසුරු තිරණය එසේ වන විට වර්තමාන පාපැදි සම්මේලනයේ තාක්ෂණ කමිටුවේ සිට ඉවත් වු විනිසුරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ප්‍රකාශ කරන්නේ අපි දැනගෙන හිටියා මේ කට්ටිය අනා ගන්නවා කියලා.එකයි මමයි තව එක්කෙනෙකුයි, මෙම තාක්ෂණ කමිටුවෙන් අයින් වුණේ. චතුර මදුශාන්ට වෙච්ච දේට හරි ම කනගාටුයි, එයා ලංකාවේ අංක එකේ රැන්කින් තිබෙන ක්‍රීඩකයෙක් මෙම තරගයේ ඔහු ආපු විදිහට ඔහුට අනිවාර්යයෙන් ලකුණු 15කට වැඩියෙන් ගන්න තිබ්බා. නිලධාරින්ගේ වැරැදි නිසා ක්‍රීඩකයන්ට වන භයානකම දේ තමයි රුපවාහිනියෙන් තරගය පිළිබඳ විශේෂඥ විචාර ගෙන ආ විචාරකයන් මෙම ක්‍රීඩකයා චංචාකාරයෙක් විදිහට පෙන්නන්න දරපු උත්සාහය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුව , ක්‍රීඩා අමාත්‍යංශයට , ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ ජාත්‍යන්තර සයිකල් සම්මේලනයට ඡායාරුප ,වීඩීයෝ දර්ශන සහිතව පැමිණිලි ඉදිරිපත් කල හැකි බවය.
අපි දකින්නේ මෙම ක්‍රියාවලිය ක්‍රීඩාවට නොවටින නොහොබිනා වැඩක් ලෙසයි. නමුත් අපට ඉන් එහා ගිය යමක් කිරීමේ අවස්ථාවක් නෑ. ඒ අද පවතින ක්‍රීඩා ප්‍රඥප්තියේ ඇති ගැටළුව නිසයි. අපි ජාත්‍යන්තරයට වගකීවද අපට මෙරට සංවිධානය වන සමහර පාපැදි සවාරි ගැන වගකීමක් නෑ. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියා පදිංචි පාපැදි සම්මේලනයක් මෙරට තුළ ක්‍රියාත්මකව පවතින නිසා. යම්කිසි පිළිගත් පාපැදි සවාරියක් මෙරට තුළ සංවිධානය වනවා නම් ඒ පිළිබඳ වගකීම ජාත්‍යන්තර පාපැදි සම්මේලනය පවරන්නේ අපට, ඒ නිසා අපට ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා. අපි මෙරට තුළ වගකීම් දරන්නේ ඔලිම්පික් කමිටුවටයි. ලෝක පාපැදි සම්මේලනයටයි. යම්කිසි පාපැදි ක්‍රීඩකයෙකු හෝ වේවා, පුහුණුකරුවෙකු හෝ වේවා පාපැදි තරගයකට හෝ පුහුණුවකට හෝ සම්මන්ත්‍රණයකට මෙරට නියෝජනය කරමින් විදෙස්ගත වනවා නම් වගකීම තියෙන්නේ අප සම්මේලනයටයි. ඒ හැම අවස්ථාවක ම අප සම්මේලනයේ උපදෙස් හා නිත්‍යානූකූල අවසරය ලබා ගත යුතු වනවා. නමුත් ඔලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර නීති රීතී වලට පටහැනිව ක්‍රියාත්මක වන ක්‍රීඩා පනත තුළින් මෙවැනි අර්බුද රැසක් මේ වන විට උද්ගතව තිබෙනවා යැයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති නිහාල් කරුණාරත්න පවසයි.