
*12 වැනිදා වන විට ඖෂධ වර්ග හා ශල්‍ය උපකරණ 254ක් හිඟයි
*විදෙස්ගත ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ඖෂධ පරිත්‍යාග සඳහා ඇරයුමක්
*සෞඛ්‍ය හදිසි ආපදා තත්ත්වයක් ඇති කළ යුතුයි
“විදේශගත ශ්‍රී ලාකේය වෛද්‍යවරුන් සහ ජනතාවට කෙරෙන කාරුණික ආරාධනයයි. දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණය නිසා ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි ඖෂධ හා උපකරණ හිඟය හමුවේ රෝගී ජීවිත රැක ගැනීමේ දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ මොහොතේ ඔබගේ නොමසුරු සහයෝගය අපට අවශ්‍ය වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සහ උපකරණවල ප්‍රමිතිය තහවුරු කරන යාන්ත්‍රණය තුළ ඔබ ලබාදෙන ඖෂධ සහ උපකරණ පරිත්‍යාග රෝගි සත්කාර සේවා සඳහා රෝහල් වෙත යොමුවීම තහවුරු කිරීමට පාරදෘශ්‍ය සම්බන්ධීකරණයක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සූදානම්.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෙබ් පිටුවක් නිර්මාණය කරමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත මෙවැනි ආරාධනාවක් කර සිටින්නේ මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඖෂධ හිඟයකට මුහුණදී සිටින බැවිනි.
පසුගිය දින කීපය පුරා දිවයිනේ රෝහල් ආශ්‍රිතව උද්ඝෝෂණ සහ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සෞඛ්‍ය නිලධාරීන් රෝහල් පද්ධතිය තුළ පැනනැඟී ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් රජයට බලපෑම් කිරීමට උත්සාහ දරන ආකාරය දක්නට ලැබිණි.
“මේ තත්ත්වය අපි කල්තියා හඳුනාගෙන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළා ඖෂධ සහ උපකරණ කළමනාකරණය කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. ඒත් ඔවුන් ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඒනිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල් තුළ හිඟ වී තිබෙන ඖෂධ සහ උපකරණවල ලේඛනයක් සකස් කරලා විදේශගත ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඇතුළු පරිත්‍යාගශීලින්ගේ උදව් උපකාර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කළා. මේ වන විට අපිට දුරකතන ඇමතුම් 1000කට වැඩිය ලැබුණා. අප්‍රේල් 12 වැනිදා වනවිට දැනට හිඟ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රමාණය 254ක්. ඒත් මෙය දිනපතා වෙනස් වෙනවා. ඒනිසා දෛනික වාර්තා ලබාගෙන අපේ වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න අපි සූදානම් වී සිටිනවා.” යනුවෙන් පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික, වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ ය. ඔහු විදෙස්ගත පරිත්‍යාගශීලීන්ගේ වෛද්‍ය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකි.
දැනට අර්බුදයට ලක් වී ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ 252 අතරින් කීපයක් මතු දැක්වේ.
Amlodipine Besylate Tab
Amphotericin injections
Anti Rabies human
Anastrozole Betamethason Eye/Ear Nasal
Calcium 500mg + vitamin D 3250 Iu Tab
Cephalexin
Metformin Tab
Nifedipine Tab
IV Cannulae
Buckry balloon catheter
Cotton Needle
Gause
Neonatal disposable breathing circuits (ventilator circuits)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා ඉතා ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම් දැනුම්වත් කර ඇති බවයි. මෙම ක්‍රියාමාර්ග මතු දැක්වේ.
(1) සෞඛ්‍ය හදිසි ආපදා තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කිරීම.
(2) අදාළ සියලු පාර්ශ්ව කැඳවා පවතින ඖෂධ සහ උපකරණ තත්ත්වය සමාලෝචනය කිරීම.
(3) සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට ඇති ඖෂධ මනාව කළමනාකරණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශන සැකසීම.
(4) ජාත්‍යන්තර සහය සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ලබා ගැනීම.
(5) විදේශ ආධාර මත ලැබෙන ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කෙරෙන ක්‍රමවේදයක් සැකසීම.
“මෙම ප්‍රශ්නය හදිසියේ ඇති වූ දෙයක් නෙමෙයි. ක්‍රමිකව වර්ධනය වූ දෙයක්. පසුගිය අවුරුදු දෙකේදී රාජ්‍ය අංශය ඖෂධ ගෙන්වා තිබෙන්නේ දෙන්නම් කාසි ක්‍රමයට. ඒ හිඟ මුදල් ගෙවන තුරු අපිට ඖෂධ දෙන්නේ නැහැ. පුද්ගලික අංශයට ඖෂධ ගෙන්වන්න සල්ලි තියෙනවා. ඒත් ඒ සල්ලි ඩොලර් කරගන්න විදිහක් නැහැ. අද වනවිට අක්ෂි කාච නැහැ; ස්ටෙන්ට් නැහැ, කෘත්‍රිම ශ්වසන බට නැහැ. නොමේරු බිළිඳුන්ට සවි කරන කෘත්‍රිම ශ්වසන බට සහ නාසයෙන් දමන බෙහෙත් නැහැ. ඒ සෑම දෙයක්ම ඉතාමත් සීමිත ගණනකින් තිබෙන්නේ. ඒ සීමිත ගණන ඉවර වුණාම මොකද වෙන්නේ? වෛද්‍යවරුන් හැටියට අපිට සිද්ධ වෙන්නේ බේත් දෙන්න විදිහක් නැතිව ලෙඩ්ඩු දිහා බලාගෙන ඉන්න. මේ තත්ත්වය තවම ජනතාවට දැනෙන්නේ නැහැ. ජනතාවට දැනෙන්න පටන් ගන්නේ තව මාස දෙක තුනක් ගියාම.” යනුවෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය ජී.ජී. චමල් සංජීව සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ පැවසුවේ රජයේ රෝහල්වල පවත්වා ගෙන යන සායනවල නිකුත් කරන ඖෂධ හිඟයකින් තොරව නිකුත් කරන බවයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වේගවත් ගමනක යෙදෙන බව සඳහන් කළ ඔහු වාර්ෂිකව ඖෂධ නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව ද පැවසුවේය. ඖෂධ ආනයනය මත යැපීම නවතා මෙරට ඖෂධ නිෂ්පාදනය වැඩිදියුණු කළ යුතු බව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශගේ අදහස විය.
නමුදු රෝගින්ට අවශ්‍ය සියලුම ඖෂධ නිෂ්පාදනය කිරීමට තවමත් අපේ රටට හැකියාවක් නැත.
“අපේ රටේ බෙහෙත් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නෙත් පිටරටින්. අමුද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් නැතිව බෙහෙත් නිෂ්පාදනය කරන්නේ කොහොමද?” යනුවෙන් ගැටලුවක් මතු කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු ය. ඔහු පවසන ආකාරයට මේ මොහොතේ ණයවර ලිපි නිකුත් කර, ඖෂධ ආනයනය කිරීමට ඇණවුම් කළ ද එකී ඖෂධ මෙරටට ළඟාවීමට අඩුම වශයෙන් මාස 2ක්වත් ගත වේ. මේ වන විට පිස්සු බල්ලන් සපා කෑ විට ලබාදෙන ජලභීතිකා එන්නත්, හෘදය රෝගීන්ට ක්ෂණිකව ලබා දෙන එන්නත් හිඟය උග්‍ර වශයෙන් පවතී. එවැනි රෝගින් රෝහලට පැමිණිවිට සිදු වන්නේ කුමක්ද? විදේශගත ශ්‍රී ලාංකේය පරිත්‍යාගශීලින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ එබැවිනි.
“සාමාන්‍යයෙන් රෝහල්වල ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ තුන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඕනෑම කාලයක මේ ඖෂධවලින් කීපයක හිඟයක් තිබෙනවා. වර්තමානයේ ඒ හිඟය කීපගුණයකින් වැඩිවෙලා තිබෙනවා. කෙසේ වෙතත් අපේ රෝහලේ මාස 2, 3කට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් තිබෙනවා. ඖෂධ වර්ග 4ක 5ක හිඟයක් තිබුණත් ඒ වෙනුවට ආදේශක ඖෂධ වර්ග භාවිත කරනවා. අපි සතිපතා සාකච්ඡා පවත්වලා හිඟ වීගෙන එන ඖෂධ සහ ශල්‍ය උපකරණ ගැන සංගණනය කරලා ලේඛනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යවනවා. ඒ හැර රෝහලට මිලදී ගත හැකි ඖෂධ අපි මිලදී ගන්නවා. මේ වන විට අපේ රෝහලේ කිසිම ප්‍රතිකාර සේවාවක් හෝ ශල්‍යකර්ම කිසිවක් නතර කරලා නැහැ. ඒත් කලින් සායනික ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගින්ට මාස 3කට ඖෂධ දුන්නත් දැන් නිකුත් කරන්නේ එක් මාසයකට විතරයි. ඊට හේතුව තමයි ඉස්සර අපිට හය මාසයකට ප්‍රමාණවත් තරම් ඖෂධ තොග ලැබුණත් දැන් මාස දෙක, තුනකට ප්‍රමාණවත් තොග ලැබීම. ඒ නිසා අපේ රෝහලට පරිත්‍යාගශීලින්ගේ ආධාර ලැබෙනවා නම් එය ඉතා අගේ කොට සලකනවා.” යනුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති අර්බුදය හැකි ඉක්මනින් විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවක සක්‍රීයව දායකත්වය ලබා දීමට ඔවුන් සූදානමින් සිටින බව පැවසූ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති සහ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ, මේ වන විට දිවයින පුරා ඇති රෝහල් පද්ධතිය තුළ ඇති සීමාසහිත ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව සාකච්ඡා කරමින් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවත් සීමිත සම්පත් කළමනාකරණය තුළින් සේවා සමාන ලෙස ලංකාව පුරා සෑම ප්‍රජාවකටම බෙදී යන ආකාරයට ස්ථාපිත කිරීම සඳහා කැප වී සිටින බවත් සඳහන් කළේය. එයින් හැකිතාක් දුරට රෝගින්ගේ ජීවිත හානි අවම කරගත හැකි බව ඔහුගේ අදහස විය.
ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ජීවිත හානි සිදුවීම ගැන කතා කිරීමේදි අපට මහරගම අපේක්ෂා රෝහල අමතක කළ නොහැකිය. මන්ද පිළිකා රෝගීන්ට මාසයක් ඖෂධ නොමැති වුවහොත් වසර ගණනක් පුරා කළ ප්‍රතිකාර ඵල රහිත වන බැවිනි. එය ඉතා භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
“කවදත් වෛද්‍ය සැපයුම් අංශය මහරගම පිළිකා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල වැනි රෝහල් කීපයකට ප්‍රමුඛත්වය දෙනවා. ඒනිසා මේ කතා කරන මොහොත වන තුරු අපිට ඖෂධ හිඟය නිසා ප්‍රතිකාර නැවැත්වීමට හෝ අඩු කිරීමට සිද්ධ වුණේ නැහැ. අනික, රෝහලට අවශ්‍ය ඖෂධ සම්පූර්ණයෙන් ම තිබෙන දවසක් මම දැකලා නැහැ. හැමදාම ඖෂධ කීපයක් හෝ අඩු වෙනවා.
හැබැයි මේ දවස්වල වෙන දවස්වලට වඩා අපහසුවක් තිබෙනවා. සමහර වෙලාවට අපි වෙනත් රෝහල්වලින් ඖෂධ මාරු කර ගන්නවා. අදත් අපේ වැඩිපුර බෙහෙත් වගයක් රාගමට දීලා රාගමින් අපිට වුවමනා බෙහෙත් ගෙන්වා ගත්තා. කොහොමටත් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලින්ගේ ආධාර ගොඩාක් ලැබෙනවා.
ඒක මේ වෙලාවේ ගොඩාක් වටිනවා. අදත් ඉතා මිල අධික ඖෂධ වර්ග අපිට ප්‍රදානය කළා. ඒ බෙහෙත්වලින් පිළිකා රෝගින් තුන්දෙනකුගේ ජීවිත බේර ගන්න පුළුවන්. මේ විදිහට කොහොමහරි කළමනාකරණය කරගෙන යනවා. ඒත් හෙට දවසේ මොනවා වේවිද කියන්න මම දන්නේ නැහැ.” යනුවෙන් විස්තර කළේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර ය.
දැනට සෞඛ්‍ය සේවාවේ උද්ගත වී තිබෙන්නේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පමණි. ඇතැම් ඖෂධ සහ උපකරණ ෆාමසිවලින් මිල දී ගැනීමට සිදු වී තිබේ. අද දවසේ රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කටු පවා ෆාමසිවලින් මිල දී ගෙන ලබා දිය යුතුව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් ද මෙතෙක් සාර්ථක විසඳුමක් ලැබී නොමැත. එහෙත් තවත් මාස කීපයකින් ඖෂධ නැත්තටම නැති විය හැකි වීමේ අවදානමකට අප මුහුණදී සිටින්නේ රටේ උද්ගත වී ඇති ඩොලර් ප්‍රශ්නය නිසාය.
“අපේ රෝහලේ ඖෂධ හිඟය ඒතරම් බරපතළ අර්බුදයකට ගිහින් නැහැ. ඒත් පොඩි පොඩි අඩුපාඩු තිබෙනවා. අද දවසේ බෙහෙත් නැති වුණත් හෙට දවසේ බෙහෙත් ලැබෙනවා. හැබැයි අනිද්දා කොහොම වෙයිද කියන්න බැහැ. අපේ රෝහලේ ඇතැම් ශල්‍යකර්ම ඖෂධ අර්බුදය නිසා කල්දාන්න සිද්ධ වුණා. අද රෝහලේ වැඩ කටයුතු සිද්ධ වේගෙන යන්නේ එදාවේල ටුවර්ස් සිස්ටම් එකට තමයි. ඒකට හේතුව තමයි අපිට ඖෂධ සැපයුම ගැන විශ්වසනියත්වයක් නැතිවීම. ඖෂධ සැපයුම් ජාලයක් තිබෙනවා. අද ඒ ඖෂධ සැපයුම් ජාලය බිඳ වැටිලා.” යනුවෙන් දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බව අප කවුරුත් දන්නා කාරණයකි. එහෙත් ඖෂධ නොමැති වීමෙන් අත්‍යවශ්‍ය සේවාව සැපයිය හැක්කේ කෙසේදැයි අද වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්යය මණ්ඩලය උභතෝකෝටික ගැටලුවකට මුහුණදී සිටිති. මෙයින් සිදු වෙන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි වී ජන ජීවිත මරු තුරුලට තල්ලු වීම පමණි. ඖෂධ අර්බුදය කඩිනමින් විසඳිය යුතු වන්නේ එබැවිනි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර සිටින්නේ රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා අසත්‍ය බවයි.