
මරණයට පත්වූවන් බොහෝ දෙනෙකු බෝ නොවන රෝගවලින් පෙළුණ අයවලුන්
මේ වනවිට පෝලිම් ජනජීවිතයේ කොටසක් වී හමාරය. ආර්ථික අර්බුදය මේ වන විට මහජනයාට උසුලාගත නොහැකි තරමේ බරක් දක්වා වර්ධනය වෙමින් තිබෙන්නකි. ඒ අතරේ පෝලිම්වල සිදුවූ මිනිස් ජීවිත හානිද නිමාවක් නැති වගක් පෙනී යන්නේ පවතින අර්බුදයේ ඛේදනීය බව තීව්‍ර කරමිනි. ගෙවී ගිය සතියේත් පෝලිම්වල ළතැවීමෙන් මිනිස් ජීවිත තුනක් මෙලොව හැර ගියේය. ඒ දංකොටුව, වෙන්නප්පුව සහ ගාල්ල තවලම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසලයි. ඒ මරණ තුනත් සමඟ මේ වන විට පෝලිම් නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ වාර්තා වනුයේ මහනුවර, කඩවත, නිට්ටඹුව, මීරිගම, අතුරුගිරිය, දංකොටුව, වෙන්නප්පුව සහ තවලම ප්‍රදේශවල ඉන්ධන හල් ආශ්‍රිතවයි.
ගෙවී ගිය සතියේ 9 වැනිදා රාත්‍රී 7ට පමණ පෝලිම්වල ළතැවීමෙන් ඇද වැටීම නිසා 6 වන මරණය ලෙස දංකොටුව - මීගමුව ප්‍රධාන මාර්ගයට එක්වන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසලින් මරණයක් වාර්තා වූයේය. මියගොස් සිටියේ පන්නල, ගෝනවිල, එලිවිල පදිංචි 47 හැවිරිදි එච්. ඒ. චමින්ද පුෂ්පකුමාර නමැත්තෙකි. ඔහු ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරෙකි. චමින්ද මිය යන්නට මත්තෙන් බස්රථයට ඩීසල් ලබා ගැනීමට දින දෙකක් පුරා පෝලිමේ ළතැවූ බවට සැල වේ.
එම මරණයෙන් පැය කිහිපයක් ගතවෙද්දී ඊට ආසන්න ප්‍රදේශයකින්ම පෝලිම් නිසා තවත් මරණයක් වාර්තා විය. ඒ ඉකුත් 10 වැනිදා උදෑසන 7ට පමණය. මරණයට පත්ව සිටියේ කොච්චිකඩේ, දළුවකොටුව, තක්කියා පාර, අංක 475/41 ලිපිනයේ පදිංචිව සිටි 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් මුහම්මදු ජසීම් නමැත්තෙකි.
ඔහු කළු පැහැති මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණ තිබුණේ මීගමුව - දංකොටුව මාර්ගයේ තඹරවිල පිරවුම්හල වෙතයි. ඉන්ධනහලෙන් ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ජසීම් මෝටර් රියෙහි රෝද සඳහා සුළං පිරවීමට රථය නතරකොට තිබියදී ඔහු රථය තුළම මියගොස් සිටි බවකි. ටයරවලට සුළං පිරවීමෙන් පසු එහි සේවකයකු මෝටර් රථය තුළ විපරම් කර බලද්දී රථයේ රියැදුරු අසුනේ වූ ජසීම් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ අයවලුන් පැමිණ පරීක්ෂාවේදී ඔහු මියගොස් ඇති බව තහවුරු වී තිබිණි.
මේ අතර 11 වැනිදා සඳුදා දින පෙරවරු 6.30ට පමණ ගාල්ල, හිනිදුම, තවලම සිපෙට්කෝ ඉන්ධන හල අසලින්ද මරණයක් වාර්තා විය. මරණයට පත්ව සිටියේ තවලම, හබරකඩ, බදුවත්ත ප්‍රදේශයේ පදිංචිව 43 හැවිරිදි තිලක් ප්‍රසන්න කුමාර නමැති දෙදරු පියෙකි. ප්‍රසන්න පෙරදා එනම් 10 වැනිදා රාත්‍රියේ සිටම ඔහුගේ ඩිමෝ ලොක්කා ලොරි රථයට ඉන්ධන ලබා ගැනීමට සඳහා පෝලිමට එක්ව පසුව ලොරි රථය පෝලිමේ තබා නිවෙසට ගොස් ඇත. පසුව නැවත ඔහු පෝලිමට පැමිණ ඇත්තේ 11 වැනිදා අලුයම 4.30ට පමණය. අනතුරුව ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් නිකුත් කිරීමත් සමඟ පෝලිම ඉදිරියට යද්දී ප්‍රසන්නගේ ලොරි රථය ඉදිරියට නොගැනීම පිළිබඳව පුද්ගලයන් විපරම් කර බලද්දී ඔහු ලොරි රථයේ රියැදුරු අසුනේම හිස කඩාපාත් වෙමින් මියගොස් සිටියේය. ප්‍රසන්නගේ මළසිරුර පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ ප්‍රසන්නට වැලඳුණු හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බවයි.
ගෙවුණු දින කීපයේ වාර්තා වූ මරණ තුනට අමතරව මාර්තු 26 වැනිදා ද ඉන්ධන පිරවුම්හලක් අසලින් මරණයක් සැල විණි. පෝලිම්වල ළතැවීමෙන් වූ පස්වන මරණය ලෙස එම මරණය වාර්තා වූයේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකිනි. මියගොස් සිටියේ අතුරුගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි 85 හැවිරිදි එම්. ජිනදාස පෙරේරා නමැත්තෙකි. ඔහු වෑන් රථයකින් පැමිණ ඉන්ධන ලබා ගැනීමට රථයෙන්ම පෝලිමේ ඉදිරියට ගොස් ඇත. එතරම් තදබදයක් නොවූ ඒ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට සැරැසෙද්දීම ඔහු මියගොස් සිටියේය. මියගිය ජිනදාස කලෙක සිටම හෘද රෝගයෙන් පෙළෙමින් සිටි අයෙකි.
ආර්ථික අර්බුදයෙන් කැකෑරෙමින් සිටි ජනයා තව තවත් අර්බුදයේ වළපල්ලටම ඇද දමමින් වූ පෝලිම් නිසා සිදුවූ පළමු මරණය වූයේ ඉකුත් මාර්තු 19 වැනිදායි. ඒ මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ලබාගැනීමට පැය 4ක පමණ කාලයක් පෝලිමේ රැඳි සිටි 71 හැවිරිදි හනිෆා මොහොමඩ් ඉල්ලියාස් නමැත්තායි.
පැය හතරකට අධික කාලයක් භූමිතෙල් ලබා ගැනීමට පෝලිමේ සිටි ඉල්ලියාස් එදින සවස 3.30ට පමණ එක්වරම සිහිසුන්ව ඇද වැටිණි. ඇද වැටුණු ඉල්ලියාස් අසලට කිසිවෙක් ළං නොවීම නිසා බොහෝ වේලාවක් එම ස්ථානයේ සිටි පසුව 1990 සුවසැරිය ගිලන් රථයකින් මහනුවර ජාතික රෝහලට රැගෙන ගියත් අවාසනාවන්ත ලෙස ඔහු මෙලොව හැර ගොස් සිටියේය.
ඉල්ලියාස්ගේ මරණය පිළිබඳ සිදුකළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් එම මරණය සිදුව ඇති ආකාරයයි. එසේ ධමනියක් පුපුරා යාමට ප්‍රධාන ලෙසටම හේතු විය හැක්කේ දැඩි සේ ආතතියෙන් පෙළෙමින් සිටීම බවත් වෛද්‍ය මතය විය. ඉල්ලියාස්ගේ මරණයෙන් පැය කිහිපයක් ගතවෙද්දී පෝලිම් ආශ්‍රිත දෙවන මරණය සිදු වූයේ කඩවත නගර මධ්‍යයේ පොලිසියට යාබද නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලිනි.
මාර්තු 20 වැනිදා පෙරවරු 11.30ට පමණ එම මරණය සිදුවිණි. මියගොස් සිටියේ 73 හැවිරිදි සමරවීරආරච්චිගේ එඩ්මන් රිචඩ් පෙරේරා නමැත්තෙකි. ඔහු මාකොළ දකුණ, සිරි මංගල පාර, හයවැනි පටුමගේ පදිංචිව සිටි ත්‍රිරෝද රථ රැකියාවේ නියුතු වූවෙකි.
එදින කඩවත ප්‍රදේශයට කුලී ගමනක් යාමෙන් පසු ත්‍රිරෝද රියට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටියදී ඇද වැටීමෙන් එඩ්මන් මියගොස් තිබුණේය. ඔහුද කලෙක සිටම දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසකින් පෙළුණු අයෙක් බව අනාවරණය වූයේ එඩ්මන්ගේ බිරිය රාණි හේමලතා එම ස්ථානයට පැමිණ මාධ්‍යය ඇතුළු පොලිසියට ලබාදුන් ප්‍රකාශවලිනි.
එඩ්මන්ගේ මරණය සිදුවූ දිනම රාත්‍රී 8.30ට පමණ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවත් මරණයක් සිදු විය. ඒ තෙවන මරණය ලෙසිනි. මරණය සිදු වූයේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, හොරගොල්ල, සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලිනි. එම මරණය පෝලිම්වල ‘කට්ට‘ කෑමෙන් වූ හෙම්බත් වීමෙන් පීඩිත වූ මිනිස් ඝාතනයකි.
එදින ඝාතනය වූයේ 29 හැවිරිදි තුවාන් මිල්ෂාන් තාජුඩින් නමැත්තා කොළඹ 14, සිරිමුතු උයනේ පදිංචිව සිටි අවිවාහක පුද්ගලයෙකි. තාජුඩින් එදින රාත්‍රී 8.30ට පමණ BAS 5684 දරන යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පොම්පය අසල සිටියදී පෝලිම මඟහැර පැමිණියේ ත්‍රිරෝද රියකි. එම ත්‍රිරෝද රියේ පැමිණියේ 38 හැවිරිදි බී. ඒ. නුවන් ප්‍රියදර්ශන නමැති දෙදරු පියෙකි. ඔහු නිට්ටඹුව, පනාවල පදිංචි අයෙකි. නුවන් ප්‍රියදර්ශන සිය ත්‍රිරෝද රථයට පෝලිමෙන් පිට පැන තෙල් ලබා ගැනීමට තැත් කරද්දී තාජුඩින් ඊට එරෙහි වූයේය. අනතුරුව දෙදෙනා අතර සිදුවන බහින්බස් වීම ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී කැමරාවන්හිද සටහන් වී තිබිණි.
පෝලිමෙන් පිට පැන ත්‍රිරෝද රියට තෙල් ලබා ගැනීමෙන් පසු නුවන් ත්‍රිරෝද රථය ඉන්ධන පිරවුම්හලෙන් පිටතට ගෙන අසල නුවර - කොළඹ මාර්ගයේ නතර කරගෙන සිටියේය. යතුරුපැදියට තෙල් ලබාගත් තාජුඩින්ද ත්‍රිරෝද රථය ගිය දෙසට ගමන් කරන්නට වුවත් ඔහුට වැඩි දුරක් යාමට නොහැකි විය. ත්‍රිරෝද රථයේ සිටි නුවන් තාජුඩින්ගේ යතුරුපැදිය ඉදිරිපිටට පැන ඔහුට පිහි පහරක් එල්ල කළේය. පිහි ඇනුමෙන් යතුරුපැදිය සමඟ එම ස්ථානයේ ඇද වැටුණු තාජුඩින් පිරිසක් වතුපිටිවල රෝහලට ඇතුළත් කළේය. එහෙත් ඉතා සුළු සිදුවීමක් නිසා තාජුඩින්ගේ ජිවිතය වතුපිටිවල රෝහලේදී අතහැරුණේ ඉතාම අවාසනාවන්ත අන්දමිනි.
පෝලිම්වල සිදුවූ සිවුවැනි මරණයද මිල්ෂාන් තාජුඩින්ගේ ඝාතනයෙන් දිනකට පසු එනම් මාර්තු 21 පෙරවරුවේ සිදු වූයේ මීරිගම නගර මධ්‍යයේ වූ බෝ ගස අසල පිහිටි ඉන්ධන පිරවුම්හල අසලිනි. මරණයට පත්වූයේ 76 හැවිරිදි අතුකෝරලලාගේ ජයරත්න වික්‍රමපාල නමැත්තෙකි. දරුවන් සයදෙනකුගේ පියකු වූ මීරිගම, නවාන පදිංචිව සිටි ජයරත්න වික්‍රමපාල ඩීසල් ත්‍රිරෝද රථයකින් පැමිණ පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. පසුව වික්‍රමපාල කෑන් දෙකකට ලබාගත් ඉන්ධන ත්‍රිරෝද රථයට රැගෙන ගොස් තබා තුන්වැනි කෑනයද රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම ඇද වැටී ඇත.
වික්‍රමපාල ක්ෂණිකවම ගිලන් රියකින් මීරිගම මූලික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කළත් ඔහු ඒ වන විටත් මියගොස් සිටියේය.
ඔහු ගේ මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ වික්‍රමපාලගේ මරණය හෘදයාබාධයක් නිසා සිදුවූ මරණයක් බවයි. මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් වික්‍රමපාලගේ දියණියක් වන අනුෂා සිරන්ති වික්‍රමපාල පවසා සිටියේ තම පියා කලෙක සිටම හෘදයාබාධයකින් පෙළුණු බවත් ඊට ප්‍රතිකාර ලබමින් සිටි අයකු බවයි.
ඉකුත් අඟහරුවාදා දින පුවත්පත මුද්‍රණයට යද්දී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පෝලිම්වලින් මරණ අටක් සිදුවී හමාරය. ඊට අමතරව යාපනය, අච්චුවේලිහි ඉන්ධන පිරවුම්හලක් අසල වාහන පෝලිමක වූ රිය අනතුරකින්ද ඉකුත් 10 වැනිදා මරණයක් සිදුවිණි. එම ඉන්ධනහලට ඩීසල් බවුසරය පැමිණීමෙන් පසුව වූ වාහන තදබදයට මැදිව මියගොස් සිටියේ අච්චුවේලිහි පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකි.
පවතින ආර්ථික අර්බුදයට රජය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ ආර්ථික විශේෂඥයන් එක්ව විසඳුම් සොයමින් සිටී. මහජනයාගේ පෝලිම්ල ළතැවීමට පිළිතුරක් නුදුරේදීවත් ලැබේවිද යන්න ජනතාව ඉදිරියේ ඇති ගැටලුවයි.